UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස... අනවබෝධයෙන් ස්වාමියා අහිමි වූ රූමත් වැදි තරුණිය චාපා

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...

අනවබෝධයෙන් ස්වාමියා අහිමි වූ රූමත් වැදි තරුණිය චාපා

“පවුල් සංස්ථාව“ ගැන කතා කරන විට සැමියා වගේම බිරිඳත් ප්‍රධාන චරිත බවට පත්වෙනවා. යම් පවුලක් සමබරව පවත්වාගෙන යන්නටත් දියුණුව කරා ගෙන යන්නටත් සැමියා සහ බිරිඳ යන දෙදෙනාටම සමාන වගකීම් පැවරෙනවා. එහෙත් ඈත අතීතයේ සිට අද දක්වාම “පවුල් සංස්ථාව” දෙස විමසිල්ලෙන් බැලුවහොත් පැහැදිලිවම දැක ගත හැකි කරුණක් වන්නේ, සැමියාට වඩා සමාජය තුළ බිරිඳ කෙරෙහි වැඩි ප්‍රමුඛත්වයක් ලබා දී තිබීමයි. ග්‍රාමීය ප්‍රදේශවල තවමත් “බිරිඳ” හඳුන්වන්නේ විශේෂිත වූ නමකිනි. ඒ තමයි “පවුල” කියන නම.

මේ “පවුල” කියන වචනය තුළ ගැබ්වී ඇති අරුත ඉතා ගැඹුරුය. ගම තුළ “පවුල” යන්නෙහි අර්ථය වන්නේ “නිවසක ගෘහණිය” කියන එකයි. “පවුල” නැති වුණොත් දරු පවුල ද නැති වේ. “පවුල” යහපත් වුවහොත් දරු පවුලද යහපත් වේ.

යහපත් “පවුලක්” (බිරිඳක්) වන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ “සත්තභරියා සූත්‍රයේදී” භාර්යාවන් හත්දෙනෙකු පිළිබඳ විස්තර සඳහන් කොට ඇත. වධක, චෝර, ආර්යා, මාතු, භගිනි, සඛී, දාසි යනු ඒ භාර්යාවන් හත් දෙනායි. මේ අතරින් වධක, චෝර, ආර්යා යන භාර්යාවන් කවරාකාරයකින්වත් සැමියෙකුට නොගැළපෙන අතර සාමකාමී පවුල් දිවියකට නම් , මාතු, භගිනි, සඛී, දාසි යන භාර්යාවන් හතර දෙනාගෙන් එක් ගුණයක් හෝ මේ ගුණ සියල්ල එකට කැටි වූ කාන්තාවක් තෝරා ගත යුතුය.

ගෞතම බුදුන්වහන්සේගේ කාලයෙහිදී දඹදිව වංගහාර ජනපදයෙහි එක්තරා වැදිගමක් විය. එහි නායකයාගේ දියණිය චාපාය. සෙසු වැදි තරුණියන්ට වඩා චාපා රූමත් විය. වැදි නායකයාද තම රූමත් දියණිය ඉතා ආදරයෙන් රැක බලා ගත්තේය.

සතුන් මරා ඒ මාංශයන් වෙළෙඳ පොළට විකුණා තම ජීවිකාව කරගෙන යන මේ වැදි පිරිස් රැඳී සිටි ගම්මානයට එක් දිනක අමුත්තෙක් පැමිණියේය. ඔහු පැහැපත්ය. ශාන්ත ඉරියව්වලින් යුක්තය. නමින් උපක නම් වූ ඔහු නිරුවත් ආජීවකයෙකි. ඔහුගේ ප්‍රසන්න වාග් විලාසය නිසා,ආජීවකයා කෙරෙහි පැහැදුණූ වැදි නායකයා වැදි ගමේ ගල්ලෙනක නවතින ලෙසින් ආරාධනා කළේය. එතැන් සිට දිනපතා වැදි නායකයා උපක ආජීවක හට තම නිවසින් දානය පිරිනැමීය. සෑම උදයකම වැදි නායකයාගේ නිවසේ වැට අසලට පැමිණෙන උපක හට වැදි නායකයා එදින පිසූ ආහාර දානය වශයෙන් පිළිගන්වයි. කාලය කෙමෙන් ගෙවී යද්දි වැදි නායකයා තම පිරිවර වැද්දන් සමඟ කැලයෙහි දඩයමේ යන දිනය උදා විය. මෙහිදී වැදි පිරිසට දින කිහිපයක් යනතුරු වනාන්තරයේ කල්ගත කිරීමට සිදුවේ. දඩයමේ යන්නට පෙර තම තාපසතුමාට සිරිත් පරිදි දානය දීම නොකඩවා කළ යුතු යැයි දියණියට පවසා, එහි වගකීමද ඇයට පවරා වැදි නායකයා තම ගමන පිටත් විය. සිරිත් පරිදි පසුදා දානය පිණිස වැදි නායකයාගේ නිවස අසලට පැමිණෙන උපක ආජීවක ඉදිරියට, දානය රැගෙන පැමිණෙන්නේ වැදි නායකයා නොව ඔහුගේ රූමත් දියණියයි. කිසි දිනක දැක නොතිබූ චාපා කෙරෙහි එවෙලෙහිම උපක සිත තුළ ආශාවක් ඇති විය.ඇයගෙ සුන්දර නාරි ලාලිත්‍ය කෙරෙහි වශීකෘත වු ආජීවකයා දානය රැගෙන ආපසු ගල්ලෙනට යන්නේද ඇයගේ රෑපශී‍්‍රය මෙනෙහි කරමින්ය. ඉන් පසු කිසි විටක උපකට චාපාව අමතක කළ නොහැකි විය. අළුයට සැඟව තිබූ ගිනි අඟුරු මෙන් සිත් පත්ලෙහි සැඟව සිටි රාග ගිනිජාලාව හදවත මත්තෙහි බුර බුරා නැගෙන්නට විය. ඇය තමාගේ භාර්යාව වශයෙන් නොලදහොත් තමාට ජීවත්වීමටද නොහැකි වනු ඇතැයි සිතෙන්නට විය. වැදි නායකයා යළිත් සිය නිවසට පැමිණෙන තෙක් උපක යළි දානය රැගෙන ඒම පිණිස එම නිවස වෙත නොගියේය. චාපා පිළිබඳ මෙනෙහි කරමින් නොකා නොබී ගල් තලාව මත වැතිර නිසොල්මන්ව වාසය කළේය. යළි නිවසට පැමිණෙන වැදි නායකයා තාපසතුමා දානය රැගෙන යාමට පැමිණියේ එක් දිනක පමණක් බව චාපාගෙන් දැනගනී. තාපසතුමාට කුමක් හෝ අනතුරක් වූවා දැයි බියට පත්වී වහ වහා ගල්ලෙනට ගිය වැදි නායකයාට දැක ගන්නට ලැබුණේ ඉතා ශෝකයෙන් යුතුව නිරාහාරව ගල්තලාව මත වැතිරී හිඳින උපකය. තාපසතුමාගේ වෙනසට හේතුව විමසන වැදි නායකයා හට දැනගන්නට ලැබෙන්නේ තපස්තුමා දියණිය කෙරෙහි උමතු වූ පේ‍්‍රමයකින් යුක්තව කල් ගෙවන බවයි.උපක ආජීවක නගරයේ සිට පැමිණි නිදහස් තරුණයෙකු වූ බැවින්ද ගමේ අනෙක් වැදි තරුණයන්ට වඩා සන්සුන් ශීලාචාර , නිවුණූ ගතිපැවතුම්වලින් යුක්ත වූ අයෙක් නිසාද, ඔහුට තම දියණිය පාවා දෙන්නට වැදි නායකයාද කැමැති විය. ඒ අනුව චාපාත් උපකත් තම නව ජීවිතය නව නිවසකදී ආරම්භ කළේය.

ගැටලුව මතුවන්නේ මෙතැන් සිටය. චාපා වැදි තරුණියකි. ස්වභාවයෙන්ම ඔවුන්ගේ ගති සිරිත් ශිෂ්ටාචාරයක ජීවත් වූ මිනිසුන්ට වඩා තරමක වෙනස්ය .ඔවුන් චණ්ඩය, සැර පරුෂය,ආක්‍රමණශීලිය. බොහෝ විට අසංවරය, නොහික්මුණු ගති පැවතුම්වලින් යුක්තය. එසේ වන්නේ ඔවුන්ගේ ජීවිතය වනාන්තරය හා රඳා පවතින බැවිනි. ඒ ඒ පරිසරයට අනුරූපව ජීවත්වීම මිනිස් සත්වයාගේ ස්වභාවයය. උපක යනු ආගමික ජීවිතයක් ගත කළ නිහඬ තැන්පත් තරුණයෙකි. වැදි තරුණයන් මෙන් දඩයමේ ගොස් ජීවිකාව කරගෙන යෑමට උපකට පුරුද්දක් නැත. ඒ නිසාම ඔහු අනෙකුත් වැද්දන් පසුපස ඔවුන්ගේ සහායකයා වශයෙන් ගියේය. වැද්දන් මරා මස් කරන සතුන්ගේ මාංස කද ඔහු කර තියාගෙන පැමිණියේය. දඩයමේ ගොස් එන විට සම්පොදිය ගෙන ආවේය. දිය ඇද්දේය. දර පැළුවේය. ඉතා දුකසේ තම ජීවිතය ගත කරන උපකට වසරක පමණ ඇවෑමෙන් චාපා පුතණුූ කෙනෙකුද තෑගි කෙළේය. දැන් චාපාට පැලේ ආහාර පිසීම,දරුවා බැලීම ආදි වැඩ රාශියකි. දරුවා හඬන විට නළවා ගන්නට උපකට දුන්නද දරුවන් නළවා පුුරුද්දක් නැති උපක යළි දරුවා චාපා අතට දෙන්නේය. ගේදොර වැඩ කටයුතු අධික වීමත් දරුවාගේ කරදරත් ස්වාමියාගේ ඔතෑනි ස්වභාවයත් නිසා මහත් වූ මානසික පීඩනයකට ලක්වන චාපා සිය සිත තුළ පවතින තරහව සෑම අවස්ථාවකදීම උපකට පරිභව කිරීමෙන් පිටකර ගත්තාය. ස්වභාවයෙන්ම සැර පරුෂ ගැහැනියක වූ චාපා මුළු වැදි ගමටම ඇසෙන සේ උපකට බැණ වදින්නේ.

“මස් කත් අදින නිකමාගේ පුතා නැළවීයන් දඩයම් බැරි නිකමාගේ පුතා නැළවීයන්”
යනුවෙන් අපහාස වන අයුරිනි.

උපකගේ පැල තුළින් දිනපතා ඇසෙන මේ ගාලගෝට්ටිය වැදි ගමට හුරු පුරුදු චර්යා රටාවක් විය. එහෙත් උපකට මේ සියල්ල විඳ දරා සිටීමට නොහැකි තත්ත්වයක් ඇති විය. පෙර තමා ගත කළ වාසනාවන්ත ජීවිතය ඔහුට මෙනෙහි විය.ආශාව නිසා තමා ගිනි ගොඩකට වැටී ඇත. පහනේ ආලෝකයට වශීවී එහි වසා නසන පළඟැටියාත්, තමාත් අතර වෙනසක් නැතැයි උපක සිතුවේය. වැදි ගමට එන අතරමඟදී උපකට හමුවූ බුදුරජාණන් වහන්සේ යළි ඔහුට සිහි විය. මේ සියලු දුක් කරදර ඉවත දමා සැනසීමක් පතා උන්වහන්සේ සොයා යා යුතු යැයි අවසානයේ උපක තීරණය කළේය. උපක තමාත්, දරුවාත්, හැර යාවී යැයි චාපා කිසි දිනක නොසිතුවේය. තම රූපයට වශී වී සිටි ඔහු තමා කෙසේ ඔහුට පරිභව කළත් තමා හා වාසයට ඇති පි‍්‍රයතාවය නිසා ඒ සියල්ල ඉවසා හිඳීවි යැයි විශ්වාස කළාය. එහෙත් අවසානයේ උපක චාපා සහ දරුවා අතහැර තම සැනසුම සොයා යන්නට ගියේය. තමා විසින්ම තම ජීවිතය වරද්දාගත් බව චාපාට තේරුම් යන විට උපක ආපසු හැරී නොඑන තරමට දුරක ගොස් සිටියේය. සැමියාගේ ගුණ යහපත්කම ඇයට සිහිවිය.තමා කොතෙක් දොස් කීවත් ඒ සියල්ල ඉවසීමෙන් අසා සිටින ඔහුගේ නිහඬ රූපකාය ඇය ඉදිරියේ මැවී පෙනෙන්නට විය. තව දුරටත් ඔහු නැති පැලේ සිටින්නට ඇයට සිත් නොවීය. දරුවා පියාට භාර කළ චාපා අවසානයේ උපක සොයා ගිය කාරුණිකයාණන් වහන්සේ වෙත යන්නට පිටත් වූවාය. පළමුව භික්ෂුණී ආරාමයකට ගොස් එහි මද කලක් නතරව සිට සියලු වත් පිළිවෙත් උගත් චාපා, දිනක් භික්ෂුණීන් වහන්සේලා සමඟ බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීම සඳහා පිටත්ව ගියාය. ධර්ම දේශනය අවසානයේ මහත්සේ පැහැදුණූ චාපා නැවත දහම් ඇසීමට පැමිණෙමියි අධිෂ්ඨාන කරගෙන භික්ෂුණි ආරාමයට පැමිණියාය. ඉන් පසු නිතර නිතර දහම ඇසීමට පැමිණෙන චාපා උවැසියගේ ධර්ම ඥානය දිනෙන් දින වැඩි දියුණු විය. පසුව භික්ෂුණීන් වෙතින් පැවිද්ද ලබා ගන්නා ඇය භික්ෂුණීන් වෙතින් කමටහන් ලබාගෙන භාවනා කොට අරහත්ඵලයද අවබෝධ කොට ගත්තාය.

ස්වාමිපුරුෂයෙකු සතු විය යුතු පෞරුෂය ක්‍රියාශීලි බව උපක වෙතින් ප්‍රකට නොවීමත්, භාර්යාවක සතුව පැවතිය යුතු නිහඬ බව, සන්සුන් බව, ආදරණීය බව, චාපා තුළින් ප්‍රකට නොවීමත්, ඔවුන් තුළ පැවතුණා වූ අනවබෝධයත් හේතු කොටගෙන ඔවුන්ගේ පවුල් සංස්ථාව දෙදරා ගියේය. තමන්ගේ චරිත ස්වභාවය මැනවින් වටහාගෙන ඒ චරිත ස්වභාවයට ගැළපෙන අයකු තම සහකරුවා හෝ සහකාරිය කරගන්නේ නම් මෙවන් ගැටලුවක් ඇති නොවන්නට ඉඩ තිබුණි.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]