UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මනුෂ්‍යත්වයේ සංකේතය වූ සඳහිරු සෑය

මනුෂ්‍යත්වයේ සංකේතය වූ සඳහිරු සෑය

ශ්‍රී සර්වඥ ධාතු නිධානය ජනපති අතින් 23 දා සිදු කෙරෙන වගයි

පූජේථ නං පූජනීයස්ස ධාතුං
ඒවං කරො සග්ගමිතො භවිස්සති

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර ශාරීරික ධාතුන් වහන්සේලා පුදනු ලබන සැදැහැවතුන්ට ඒ තුළින් ස්වර්ග මානුෂීය සම්පත් ලැබෙන බව අපේ දේශනාවේ සඳහන් වේ.

තථාගතයන් වහන්සේ පිරිනිවන්පාන අවස්ථාවේදී උන්වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ දේහයට කුමක් කළ යුතුදැ?’යි යන ප්‍රශ්නය ආනන්ද හාමුදුරුවන් වහන්සේ විසින් නඟන ලද මොහොතේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ සක්විති රජකුට සමානව පිළිපැද අවසානයේදී උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර බොහෝ දෙනා වෙත මේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයැයි හැඟීමෙන් වැඳ පුදාගෙන පින් කර ගැනීමට අවස්ථාව සලසන ලෙස දේශනා කර වදාළහ.

බුදුරඳුන් ජීවමාන දවස

තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබෙන චෛත්‍යය ජීවමාන බුදුහාමුදුරුවෝම යැයි සිතා වන්දනා කර බුදුරජාණන් වහන්සේ සංකේතවත් කර ගනිමින් සිතේ සැදැහැවත් බව උපදවා ගන්නා ස්ථානයක් ලෙස චෛත්‍යය හඳුන්වා ඇත.

ස්ථූප පුජාව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සිට ව්‍යාප්ත වූවකි.

තිස් අවුරුදු ත්‍රස්තවාදය නිමා කර මව්බිමට සාමය උදාවීම නිමිත්තෙන් ඉදි කිරීමට නියමිත ස්ථූප අතරින් පළමුව ඉදි කරනු ලබන අනුරාධපුර සඳහිරු සෑයේ ගර්භ නිධානය උදෙසා වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේ 12 වන දා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමන් විසින් එම සර්වඥ ධාතුන් වහන්සේ කොළඹ ජනාධිපති මන්දිරයේ බුද්ධ මන්දිරයේ තැම්පත් කර පූජෝපහාර දැක්වීය. එම අවස්ථාවට එල්ලාවල මේධානන්ද හිමි, උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. චන්දන පෙරේරා

රහතන් වහන්සේලා වෙනුවෙන් ස්ථූප ඉදිකිරීම බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය, අවවාද මත සිදු වූ බව භාහිය දාරු චීරිය ආදි කථා වස්තු මගින් පෙනී යයි.

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කර යම් යම් ප්‍රදේශවල චෛත්‍ය ඉදිකරවූහ.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම ලක්දිව ගිරිහඬු සෑය ගොඩනඟන ලදී. මියුගුණ සෑයද එසේ ඉදි කළ චෛත්‍යයකි.

දඹදිව අශෝක රජතුමා දවස ඉදි කළ ස්ථූප අසූහාර දහසක් ගැනද සඳහන් වේ. මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම වීමෙන් පසු ලිඛිත ඉතිහාසයක් සතු ථූපාරාමය ආදි මහා වෙහෙර විහාර ඒ අයුරෙන් ගොඩනැංවූහ. මෙරට විහාරස්ථානයක් පාසා චෛත්‍යය ඉදිවූ බව අපි දනිමු. ඒ චෛත්‍යාවලියේ අනුරාධපුර යුගයෙන් පසු එවන් ඓතිහාසික, ගාම්භීරත්වයට පත් චෛත්‍යයක් දක්නට ලැබේ නම් ඒ මෙම සඳහිරු සෑය චෛත්‍යය වේ. ඒ මෑත යුගයයි.

අනුරාධපුර රාජධානි සමයේ ඉදිවු ඓතිහාසික මහා ස්ථූපද නිරන්තරයෙන් අපගේ සිහියට නැගෙනු ඇත.

මෑත යුගය

ලක්දිව පරසතුරු ආක්‍රමණයන්ගෙන් මුදා ගැනීම එදා දුටුගැමුණූු මහ රජතුමා සිදුකර රට එක්සේසත් කර චෛත්‍යයක් ඉදිකළා මෙන්ම වර්තමානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් සැබෑ ලෙස රට එක්සත් කිරීම තුළින් මව්බිමට ලබා දුන් ඒ නිදහසත් අනුස්මරණය කර එවන් චෛත්‍යයක් ඉදිකිරීමේ අයිතිය පවතී.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාගේ පූර්ණ මැදිහත් වීමෙන් හා අධීක්ෂණයෙන් ජනාධිපතිතුමාගේ සංකල්පයක් ලෙස රටේම පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා හා ආශිර්වාදය මධ්‍යයේ සුවහසක් බෞද්ධ ජනතාවගේ ගෞරව උපහාරය ආධාරෝපකාරය ආශිර්වාදය මධ්‍යයේ ඉදිවන මෙම සඳහිරු සෑය “ඉර හඳ පවතින තාක්කල් සම්බුද්ධ ශාසනය, පවතීවා යන පරම අභිලාෂය සිත්හි තබා ගනිමින් මෙම සඳහිරු සෑය නිර්මාණය කරනු ලැබේ.

අපේ සමහර අය දැනට මේ යුද ජයග්‍රහණය පිළිබඳ කථා නොකළ යුතු දෙයක් හා එය අවසන් යැයි කල්පනා කළත්, අපේ සිංහල ජාතිය එසේ හිතන ජනතාවක් නොවේ.

දුටු ගැමුණු මහරජතුමාට අදටත් මහත් ගෞරවයක් දක්වනු ලැබේ.

වසර 1600 ක් ගතවුවද රට එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමාට අදටත් එසේ රට එකසේසත් කළ හෙයින් ගෞරවය පුදනු ලැබේ’. එහෙත් වසර පහක් ගත වන විට අමතක වී ඇති කරුණක් නම් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට වෙනුවෙන් කරනලද මහානීය සේවාව එතුමා රටට කුමක් කළේදැයි අසන මනුෂ්‍යයන් ද අප අතර නැතුවා නොවේ.

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමට මත්තෙන් බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා වදාළේ කළගුණ සැලකීමේ උදාර යුතුකම පිළිබඳවය. එම කළගුණ සැලකීම ජනතාවක් ලෙස අප ඉටු කළ යුතු වගකීමක් සේම ජනාධිපතිතුමන්ද මෙය තමන් පෞද්ගලිකව ලබාගත් ජයග්‍රහණයක් නොව ඒ වෙනුවෙන් දහඩිය ,ලේ, කඳුළු, ජීවිත පරිත්‍යාග කළ ඒ බියකරු යුද්ධය නිසාම විනාශ වී ගිය ජීවිත යුද්ධය අවසන් කර රටට සාමය උදාකරලීම සඳහා තමන්ගේ මුළුමහත්, සතුට දෙමාපියන් දරු පවුල් කැප කළ වීරෝදාර පරපුරේ අභීත දරුවන් අනුස්මරණය කර ඒ අයටත් පින් අනුමෝදන් කිරීමක් ලෙසද සඳහිරු සෑය ඉදිකර සමස්ත ලෝකයටම ආදර්ශයක් සපයන ලද්දේ සියලු ජයග්‍රහණයන්හි අවසානයේ ආධ්‍යාත්මික අරමුණුූ වෙත යොමුවිය යුතුය යන ආදර්ශයක් මෙන්ම මගපෙන්වීමක්ද සමඟය.

මහානීය ආදර්ශය

බටහිර අදත් දේවවාදි ආගම් මත කටයුතු කරන බොහෝ දෙනෙක් මේ ජයග්‍රහණයන්හි ගෞරවය දෙවියන්ට පවරමින් සවුදිය පුරතත්,අපේ බෞද්ධ සම්ප්‍රදාය යටතේ ජයග්‍රහණය යනු වෛරී ප්‍රතිවාදීන් ඇති කරගන්නා ක්‍රියාවක් ලෙස තේරුම් ගත් අපේ බෞද්ධ දායකයන් ඒ වෙනුවට පින්දහම් සිදු කිරීමට, ගුණ දහම් පිරීමට කළ ගුණ සැලකීමට ,නොමඟ යැවු හෝ නොමඟ ගිය සියලු දෙනා සුමගට ගැනීමට සටනේ පක්ෂ විපක්ෂ භේදයක් නොසලකා මිය ගිය හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමට කටයුතු කරන මහානීය ආදර්ශ සම්පන්න මනුෂ්‍යත්වයේ සංකේතය බඳු අහස උසට නැගෙන බුද්ධ ස්මාරකයයි සඳහිරු සෑය.

අපේ රටේ මේ යුගය ධාතුන් වහන්සේලා පිළිබඳව බරපතළ වැරැදි මතවාද ප්‍රචාරය වු යුගයකි.

බොහෝ දෙනෙක් ව්‍යාපාර ලෙස ධාතුන් වහන්සේලා යැයි ව්‍යාජ අස්ථී කොටස් ඇතැම් රසායනික ද්‍රව්‍ය යොදාගෙන තිබෙන අයුරු පසුගිය කාලයේදී අසන්නට ලැබිණි.

නමුත් සඳහිරු සෑ චෛත්‍ය ගර්භයේ නිධන් කරනු ලබන සර්වඥ ධාතුන් වහන්සේලා එවන් ඇස් බැන්දුම්කරුවන්ගෙන් ලැබෙන ධාතුන් වහන්සේලා නොව උන්වහන්සේලා ශී‍්‍ර ලංකාද්වීපයෙහි නිවැරැදි ඉතිහාසයක් ඇති වෙහෙර විහාරස්ථානවලින් තැන්පත් කිරීම සඳහා ලබා දුන් ධාතුන් වහන්සේලා වේ.

එම ධාතුන් වහන්සේලා අතර යුදගනාව චෛත්‍යයේ තැන්පත් කර තිබූ ධාතුන් වහන්සේ කිහිප නමක්, ශ්‍රීපාදස්ථානයට හිමිව පැවැති ධාතුන් වහන්සේ නමක්, වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට අයත් ව පැවැති ධාතුන් වහන්සේ නමක්,අටමස්ථානයට හිමිව පැවැති ධාතුන් වහන්සේ නමක් මිහින්තලා රාජ මහා විහාරස්ථානයට අයත්ව පැවැති මිහිඳු මහ රහතන් වහන්සේ පවා වන්දනාමාන කළ ධාතුන් වහන්සේ නමක් විශ්වසනීයත්වයෙන් ධාතුන් වහන්සේලා යැයි නිසැකව ලැබීම ගිහි පැවිදි හැම දෙනාගේම භාග්‍යය වන අතර එය අතිගරු ජනාධිපතිතුමන්ගේද ධන්‍ය පුණ්‍ය මහිමය හුවා දක්වන කරුණකි.

පසුගිය 12 වන දින රටේ සිව් දෙසින් වැඩම කළාවූ යථෝක්ත සර්වඥ ධාතුන් වහන්සේලා ජනාධිපති මන්දිරයට වැඩම කොට ජනාධිපති මන්දිරයේ විහාර මන්දිරය තුළ තැන්පත් කොට අතිගරු ජනාධිපතිතුමන්ගේ රාජකීය උපහාරයට බඳුන් කොට එතුමන්ගේ හිසින්, රට එක්සත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමන්ගේ හිස මතින්, කොළඹ සිට මහනුවරටත් මහනුවර සිට අනුරාධපුරයටත් වැඩම කරවන ලද රිය පෙරහරෙහි වැඩම කරවන ලද ගරුතර මහා සංඝරත්නයට බාර කරන ලදී. සුවහසක් ජනතාවගේ අත්‍යන්ත ගෞරවයත්, පුද පුජාවන් හා සාධූකාර මධ්‍යයේ එම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මහනුවර ශ්‍රී දංෂ්ඨ්‍රාධාතු මන්දිරය වෙත වැඩමා අනතුරුව මහ පුද පෙරහරෙන් අනුරාධපුර වෙත වැඩම වන ලදී.

අනතුරුව අතීත උරුමයට ගරු කරමින් අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස විශේෂ බුද්ධ පුජාවක් සහ රුවන්වැලි මහා සෑය වටා කප්රුක් පුජාවක්, ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අබියස මහා බෝධි පූජාවක් පවත්වා අනතුරුව සමස්ත රටටත්, ජනතාවටත්, සෙත, සෞභාග්‍යය පතා සති පිරිත් දේශනාව ආරම්භ කරනලදී. මෙම කාලවකවානුව තුළ ශී‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාව වෙත දන්හල් පවත්වා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු පුජනීය ස්ථානයන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී. අනතුරුව 14 වනදා සිට සති පිරිත් දේශනාවද 21 වනදා රාත්‍රී 9.30 ට දොරකඩ අස්න අනුශාසනාවද එම කාලය තුළ දිනපතා ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවද සිදු කෙරිණි. 23 වනදා පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සඳහිරු සෑ ධාතු ගර්භයේ නිධන් කිරීම ලක්දිව සිව් දෙසින් වැඩමකළ මහා සංඝ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරේ. එම මහා චෛත්‍ය පූජාවේ පළමු අදියර හෙවත් ශී‍්‍ර සර්වඥ ධාතු නිධානෝත්සවය එතෙකින් නිමවන අතර එතැන් පටන් චෛත්‍යරාජයාණන් වහන්සේගේ නිමාව දක්වා වැඩ කටයුතු ආරම්භ කෙරේ.

මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ අතිශය වන්දනීය පූජනීය ස්ථානයක් වනවා සේම ඒ වටා ඉදිකරණු ලබන අර්ධෝන්නත ගල්කැටයම් සහිත සම්බුද්ධ ශාසන ඉතිහාසය, බෝසත් සිරිත හා දම්සක් පැවතුම් සූත්‍රය සංකල්ප රූප වලට නගා කොටන ලද ශෛලමය කැටයම් තුළින් නිර්මාණය කිරීමට කටයුතු යෙදීම මෙය කලාගාරයක් ලෙස පත්වීමටද හේතුවක් වේ. මෙම ස්ථානය අනාගතයෙහි සාංචි පුදබිම, අජන්තා ,එල්ලෝරා කැටයම් මෙන් ලෝක පූජිත පූජනීය ස්ථානයක් වන බවට පත්වනු නොඅනුමානය.

මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමෙන්, ශී‍්‍ර සර්වඥධාතුන් වහන්සේලා වන්දනා මාන කර ගැනීමෙන් කාය වෙය්‍යාවච්ච ,කයින් සිදු කරනු ලබන වතාවත්, වචනයෙන් සිදු කරනු ලබන වතාවත්, මනසින් සිදු කරනු ලබන වතාවත් හේතුවෙන් ලබා ගන්නාවූ පින් බලයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, රට කරවන සියලුම දෙනාටත්, තුනුරුවන්ගේ සරණ සැලසේවා, යුද්ධය තුළින් සිය ජීවිත අහිමිකරගත් අතපය අහිමි කරගත් සියලු දෙනාටත් පින්දීමට හා ආශිර්වාද කිරීමටත් ශක්තිය සැලසේවා.

මෙම මිනිසත් සෑය ලොව තුළ සාමයේ සලකුණ බවට පත්වේවායි ප්‍රාර්ථනා කරමු.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]