Print this Article


දම්පද මිහිර 13 පිනට ලැදි සිත් ඇති දනන් දෙලොවම තුටු වෙති

දම්පද මිහිර 13

පිනට ලැදි සිත් ඇති දනන් දෙලොවම තුටු වෙති

පින් කරන්න බිය විය යුතු නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ ඉගැන්නුවෙ. අප කාටත් පුළුවන් පින් කරන්න. එකම පින්කම එකම විධියට දෙදෙනෙක් සිදු කළත්, දෙදෙනා තුළ පවතින ධර්මාවබෝධයට අනුව අනුසස් වෙනස් වෙනව. මොකද අවබෝධයෙන් කරන පින්කම් නිසා ඇති වෙන්නෙ ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත්. අනවබෝධයෙන් සිදුකරන පින්කම්වලදී ඇති වෙන්නෙ ඤාණ විප්‍රයුක්ත කුසල් සිත්. ඒ නිසා මෙලොවත් සතුටු වී පරලොවදීත් සැබැවින්ම සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත් පහළ කරගන්න අයට පමණයි.

සැවැත්නුවර කියන වචනය ඇසෙන විටම අපේ මතකයට එන්නෙ ජේතවනාරාමය. ඒ ආරාමය පූජා කළේ සුදත්ත කියන සිටුතුමා. ඔහු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වගේම දුගී මගී යාචකයන්ටත් නිරතුරුවම දන් දුන් මහා දානපතියෙක්. ඒ නිසා ඔහු ප්‍රසිද්ධ වෙන්නෙ අනාථපිණ්ඩික සිටුතුමා කියල. මේ සම්බුද්ධ ශාසනේ මහෝපාසක කියන ගෞරවය හිමි වුනේ ඔහුට. ඔහු බොහෝම ශ්‍රද්ධාවන්තයි.

අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේ ගැන තිබුණෙ ගෞරවයක් වගේම ආදරයක්. ‘රජ ගෙදරක සිව්මැලි ලෙස හැදුණු වැඩුණු කුමාරයෙක් නේද මේ’ කියල නිතරම බුදුන් වහන්සේ ගැන හිතන ඔහු ප්‍රශ්නයක් වත් අහල උන්වහන්සේ වෙහෙසට පත් කරන්න කැමති වුණේ නෑ. ඒ බව දන්න නිසා බුදුරජාණන් වහන්සේ එතුමා මුණගැසෙන හැම වෙලාවෙම ඔහුගේ හිතේ තියෙන හැම ගැටලුවකටම විසඳුමක් ඇතිවෙන විධියට දහම් කරුණක් කියා දෙනව.

එතුමා වගේම විශාඛාවත් සැවැත් නුවර පූර්වාරාමය කියන සොඳුරු ආරාමයක් කරවල සම්බුද්ධ ශාසනයට පූජා කළ උත්තමාවියක්. ඇය සෝවාන් ඵලයට පත් වුණේ අවුරුදු හතක් වයසැති ළදරු වියේදීමයි.

සැවැත් නුවර කෝටි හතක් ජනගහණය හිටිය. ඒ අතරින් කෝටි පහක්ම තෙරුවන් සරණ ගිය අය. ජේතවනාරාමයත්, පූර්වාරාමයත් ඇසුරු කරගෙන විශාල භික්ෂු පිරිසක් සසුන් බඹසර හැසිරෙමින් වැඩ සිටිය. උන්වහන්සේලා පෙරවරු කාලයේ වීථියක් වීථියක් ගානෙ පිඬුසිඟා වඩින කොට හරිම ලස්සනයි. දන් පහන් දෙන්න සැදී පැහැදී සිටි විශාල පිරිසක් සංඝයා පිඬු පිණිස වඩිනතුරු මග දෙපස බලා සිටිනව.

අනේපිඬු සිටුතුමා වගේම විශාඛාවත් දන් දීමටම පුරුදු කරන සිතක් තිබූ දෙදෙනෙක්.විශේෂිත දාන ශාලාවක් තුළ අඛණ්ඩ දන් වැටක් සිටුතුමාගෙ මාලිගාවෙ දෛනිකව පූජා කෙරුනේ ඒ නිසයි. ඈත සිට වඩින සංඝයා වෙනුවෙන් විශාඛාවගෙ ගෙදරත් නිතරම දානය සූදානම් වෙලයි තිබුණෙ. වෙනත් සැදැහැතියනුත් තම නිවෙස්වලට වරින් වර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩම කරවගෙන දන් පහන්දෙන සිරිතක් තිබුණ. ඒ හැම තැනකම උපදේශකත්වයෙන් එක්කො අනේපිඬු සිටුතුමා හිටිය, නැත්නම් විශාඛාව හිටිය. ඒ දෙදෙනාගෙන් කෙනෙක් දානෙ ගෙදර සංවිධාන කටයුතුවලට කැඳවාගත්තෙ නැත්නම් ඒක අඩුවක් හැටියටයි සැලකුනේ. සෝවාන් ඵලයට පත් වූ කෙනෙකුගෙ උපදෙස් පරිදි සංවිධානය වන දානයක් මොනතරම් පිළිවෙලකට තියෙන්න ඇත්ද කියා හිතා බලන්න.

විශාඛාව තමාගේ ඇවෑමෙන් ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් විධියෙ ආදර්ශමත් ලේලියක් හදා වඩා ගත්ත. ඒ වගේම අනේ පිඬු සිටුතුමත් තම දියණිවරුන් තිදෙනාගේ ශ්‍රද්ධාව දියුණු කරල සකසා දන් දෙන පිළිවෙල ඔවුන්ට ආදර්ශයෙන්ම උගන්වා තිබුණ. යම් දානෙ ගෙදරකට සිටුතුමාට සහභාගි වෙන්න අපහසු වුණොත් එතැනට තම වැඩිමහල් දියණිය වන මහා සුභද්‍රා සම්බන්ධ කරන්න ඔහු අමතක කළේ නෑ.

ඇයත් තාත්ත වගේම දානය පූජා කරන නිවසේ සංවිධාන කටයුතු මනාව සැලසුම් කළා. මහා සුභද්‍රා විවාහ වී ගියාට පසුව ඒ ආකාරයටම සියල්ල සිදු කළේ ඇගේ වැඩිමහල් නැගණිය වන චූල සුභද්‍රා විසිනුයි. ඒ සිටුතුමාගෙ දෙවැනි දියණියයි. ඇයත් විවාහ වී ගියාට පසුව අනේපිඬු සිටුතුමාගෙ බාල දියණිය වන සුමනා කුමරිය ඒ වගකීම භාර ගත්ත. අනෙක් සොහොයුරියන් වගේම ඒ සියල්ල මනාව ඉටු කළා. දැහැමි කාය , වචී මෙන්ම මනෝ සමාචාර වලින් යුතු ඇය සකෘදගාමි ඵලයට පත් වූ තරුණියක්. ධර්මාවබෝධයෙන් යුතු සුමනා දියණියගෙ පියකරු ලෙන්ගතු දිවි පැවැත්ම ගැන සෝවාන් ඵලයට පත් වී සිටි සිටුතුමා තුළ පැවතුනේ විශාල ආදරයක්.

දිනක් අනේපිඬු සිටුතුමා මැදුරෙන් බැහැර ගිය අවස්ථාවක සුමනා දියණිය හදිසියේ රෝගාතුරවුණා. ඇයගේ තත්ත්වය එන්න එන්නම උත්සන්න වෙන්න පටන් ගත්ත.තමා මිය යන මොහොත ආසන්නව ඇති බව අයට වැටහුණා. ඒත් ඇයට බියක් උපන්නෙ නැහැ. හේතුව ඒ වන විටත් සුමනා කුමරිය සකෘදගාමී ඵලයට පත්ව දුගති බියෙන් අත මිදී සිටි නිසා.

සුමනා කුමරිය අවසන් මොහොතෙවත් සිය රෝගී වේදනාවන් සිහිකරමින් හිටියෙ නැහැ. ඇය කල්පනා කළේ තම පියාණන්ගෙ ආධ්‍යාත්මික ලෝකය තවත් දියුණු කර ගන්න උදව් කරන්නෙ කොහොමද කියල. ඉතිරි මාර්ග ඵල ප්‍රතිලාභය උරුම කර ගැනීමේ උනන්දුව ඇති කිරීමට දැහැමි උපායක් කල්පනා කළා.

දියණියගේ රෝගී තත්ත්වයේ තොරතුරු දැනගත් වහාම සිය නිවස බලා පැමිණි සිටුවරයා දියණියගේ ඇඳ ළඟට ගියා. හිස පිරිමැදල ඇගේ තත්ත්වය පිළිබඳව විමසීමක් කළා.

“දියණිය සුමනාවනි, මේ කිමෙක්ද?”

“ඇයි මළණුවනි’යි කියා ඇය පිළිවදන් දෙමින්ම පැනයක් විමසුවාය.”

“දියණියනි, ඔබ රෝගී බවින් පීඩිතව නන් දොඩවන්නෙහිද?”

“නැත මළණුවනි, මම හොඳ සිහියෙන්ම කතා කරමි”

“දියණියනි, ඔබ බියට පත් වූයේ ද?”

“නැත මළණුවනි, මම කිසිවකින් බියට පත් වූයේ නැත” කියමින්ම සුමනා දියණිය දෑස පියා ගත්ත.

ඇය මියගිය බව දැනගත් සිටුතුමාට දරු සෙනෙහස නිසාම විශාල වේදනාවක් ඇති වුණා. තම දියණිය සිහි විකල්ලෙන්ම මිය ගියා යැයි සිතූ ඔහු දැඩි සේ දුකට පත් වුණා. චාරිත්‍රානුකූලව ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු සිටුතුමා දෑසේ කඳුළු පිසිමින් බුදුරජාණන් වහන්සේ වෙත දිව ගියා. බුදු පා පියුම් වන්දනා කළා. සිදු වූ පුවත උන්වහන්සේට දන්වා සිටිය. දියණියගේ අස්වාභාවික හැසිරීම පිළිබඳව ඇති වූ දුගති බිය පිළිබඳවත් උන්වහන්සේගෙන් කරුණු විමසා සිටිය.

“ගෘහපතිය, ඔබේ දියණිය නන් දෙඩවූයේ නැහැ. ඇය මියගියේ හොඳ සිහියෙන්”

“ස්වාමීනි, මාගේ මුහුණ දෙස බලා ගෙනම හිටියත් මා හඳුනා ගන්න ඇයට බැරි වුණා. මට ආමන්ත්‍රණය කළෙත් මළණුවනි කියල”

ගෘහපතිය, ඔබේ දියණිය මග ඵල වලින් ඔබට වඩා මහළු යි. ඇය සකෘදගාමී ඵල ලැබූ තරුණියක්. එහෙත් ඔබ සෝවාන් ඵලයට පමණක් පත් වූ කෙනෙක්. ඒ නිසා ඔබ මග ඵලවලින් ඇයට වඩා බාලයි. ඒ නිසා ඒ බව ඔබට වටහා දෙන්නයි ඇය එසේ මළණුවනි කියා කතා කළේ”

“ස්වාමීනි, ඇත්තද?මගේ දියණිය දැන් ඉපදී සිටින්නෙ කොතැනකද?”

“ගෘහපතිය, ඇය සියලු සම්පතින් ආඩ්‍යව තුසිත දෙව්ලොව පහළ වුණා”

“ස්වාමීනි, මගේ දියණිය අවසන් මොහොත දක්වාම නෑයන් සමඟ සතුටින්ම කල් ගත කරල, සතුටින්ම සිටිය හැකි තැනක ඉපදුණා.”

මේ සාකච්ඡාව සිදු වුණේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා බොහෝ පිරිසක් සිටි තැනක නිසා එය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා.

“කළ පින් ඇත්තා මෙලොවත් සතුටු වෙයි. කළ පින් ඇත්තා පරලොවත් සතුටු වෙයි. “මම පින් කළෙමි’යි බොහෝ සතුටු වෙයි. සුගතියේ ඉපදී තව තවත් සතුටු වෙයි”

මේ දේශනාව අසා සිටි බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලැබුව. සතුටු වුණා. පින ගැන තව තවත් උනන්දු වෙන්න අදිටන් කර ගත්ත.


දම්පද මිහිර 12 -පවෙහිම ඇලුනු සිත දෙලොවම දවාලනු ඇත