Print this Article


මේ මොහොත සිහිනුවණින් සිටීමට පුහුණු වෙමු

මේ මොහොත සිහිනුවණින් සිටීමට පුහුණු වෙමු

පුද්ගලයාගේ චරියාව හෙවත් හැසිරීම සකස් කරන්නේ ඔහුගේ සිත පූර්වාංගම කරගෙනය. ඒ නිසා ඔහු නිතරම එකම ආකාරයකට හැසිරෙන්නේ නැතිව සතුටින්, අසතුටින්, කෝපයෙන්, මෛත්‍රියෙන්, ඊර්ෂියාවෙන් , දයාවෙන් හැසිරෙන අවස්ථා ඇති වේ. කාරුණික පුද්ගලයාම තවත් විටෙක ප්‍රකෝපකාරි පුද්ගලයෙකු ලෙස ක්‍රියා කරයි.

විරාගී පුද්ගලයාම ඇතැම් විටෙක රාගී පුද්ගලයෙකු සේ හැසිරෙයි. දයාබර ස්වාමියෙකු ලෙස හැසිරෙන තැනැත්තාම යම් කිසි විටෙක තම බිරිඳ මරා දමයි. මෙසේ එකම පුද්ගලයා තුළින් විවිධාකාර පුද්ගලයින් බිහි වන්නේ ඔහුගේ චින්තනය අනුවයි. ක්‍රෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයා තුළ කරුණාව, මෛත්‍රිය නැතුවා නොවෙයි. අපගේ චින්තනය නිසා කරුණාව, මෛත්‍රිය අබිභවා ක්‍රෝධය ඉස්මතු වේ. එම ක්‍රෝධ නමැති නරක සිතිවිල්ල මතු වී එයින් පිරිසුදු සිත වෙලී ගිය විට ඔහු ක්‍රියාත්මක වන්නේ ඒ සිතිවිල්ල අනුවයි.

නිතරම සිත පිරිසුදුව කෙලෙස් සිතිවිලිවලින් වැසි ආවරණය වී පවතින්නේ නැත. ඉන්ද්‍රියන්ට අරමුණු වන බාහිර ලෝකයේ වස්තු නිසා මේ සිතිවිලි මතු වේ. සිත කෙලෙසයි. සිත අපිරිසුදු කරයි.

“මහණෙනි මෙ සිත ප්‍රභාස්වරයි. එය පිටින් ගලා එන කෙලෙස් සිතිවිලි නිසා කිලිටි වේ.”

යමෙක් මේ රාගය ද්වේෂය ආදි සිතිවිල්ලකින් සිත වෙලී කිලිටි වී තිබෙන අවස්ථාවක ඒ කිලිටි සිතින් දෙන උපදෙස් අනුව හැසිරෙනවා නම් හෙවත් ක්‍රියාත්මක වෙනවා නම් තමාටත් , අනුන්ටත්, දුකක්, විපතක් සිදුවීම වැළැක්විය නොහැකියි.

“බ්‍රාහ්මණය, යමෙකුගේ සිතක් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැඩී වෙලී ගත් විට ඔහු තමාටත් අනුන්ටත්, දුකක්, විපතක් ඇති වීමට චේතනය කරයි. සිතයි එසේම තම සිතින් දුක් දොම්නස් සන්තාපයන් විඳියි. තවද තමාගේ හෝ අනුන්ගේ යහපත නොදකියි. එබඳු සිතිවිලි අනුව ඔහුගේ හැසිරීම සකස් වේ.

ඔබගේ චරියාව මේ සිතිවිලි අනුව සිදුවන්නේ නම් ඔබ නිතරම ඔබගේ සිතිවිලි දැකීමට පුහුණු වූවොත් එම සිතිවිලි හඳුනාගෙන එබඳු සිතිවිලිවලින් සිත වෙලී ගත් විට ක්‍රියාත්මක නොවීමට වගබලා ගත හැකිය. මෙය ඉබේම සිදු වන්නක් නොවේ. ශික්ෂණය හෙවත් පුහුණුව තුළින් මනස ක්‍රියාත්මක වන ආකාරයයි. සිතට බාහිර ලෝකයේ අරමුණු ඉන්ද්‍රියන් මගින් ලැබෙන විට සිතේ ඇතිවෙන සිතිවිලි දැකීමට ඔබ ළඟ ඇති මානසික ශක්ති දෙකක් උපයෝගි කර ගැනීමෙන් එම සිතිවිලි අනුව ක්‍රියාත්මක වීම වළකා දැමීමට හැකිවන බව බුදුන් වහන්සේ පෙන්වා දෙයි. ඔබ ළඟ ඇති සතියත් ප්‍රඤ්ඤාවත් (සතිසම්පජඤ්ඤය) හෙවත් සිහියත්, නුවණත් උපකාරි කර ගත හැකිය. එනිසා මේ මොහොතේ උපදින දුක වළකා ගැනීමට නම් ඔබ නිතරම සිහි නුවණින් ක්‍රියා කළ යුතුය.

ඔබ සතුව ඇති ඇස , කන, නාසය ආදි ස්පර්ෂ ආයතන හය පවත්නා තාක් කල් බාහිර ලෝකයේ තිබෙන රූප, ශබ්ද ,ගන්ධ ආදි බාහිර ආයතන හය ස්පර්ශ වීම වැළැක්විය නොහැකිය. ඒ හැපීම හෙවත් ස්පර්ෂ වීම නිසා සිත තුළ සැප දුක මධ්‍යස්ථ භාවය ක්‍රෝධය, ඊර්ෂියාව, වෛරය ආදි සිතිවිලි පහළ වේ. ඒ බව බුදුන් වහන්සේ පෙන්වා දෙයි. “ ඵස්ස නිදානං සාතං අසාතං” ඵස්සෙ අසන්තෙන භවන්ති හෙතෙ” (කලහ විවාද සූත්‍රය – සුත්ත නිපාතය) සුඛ වේදනා දුක්ඛ වේදාන ස්පර්ෂ නිසා ඇතිවේ. ස්පර්ෂය නොමැති විට සැප දුක ඇති නොවේ” බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ ආදිය අපගේ ඉන්ද්‍රියන්ට හැපෙනවාය කියා ඒවා විනාශ කළ නොහැකිය. අපට තිබෙන්නේ අප සතු අපගේ ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමයි.

ඒවා පාලනය කිරීමට අපට සිහි කල්පනාවක් තිබිය යුතුයි. එසේ කිරීමට ඇති එකම මග සතිය පිහිටුවා ගෙන සිහිය පෙරටු කරගෙන හෙවත් සිහිනුවණින් දවසේ වැඩ කටයුතු කිරීමයි.

මේ ඉන්ද්‍රියන් පාලනය කළ යුත්තේ පෝය දවසට පමණක් නොවේ. දෛනික ජීවිතයේ සෑම විටම මෙය කළ යුතුය. එසේ කිරීමට පුහුණුවක් අවශ්‍යය. බුදුන් වහන්සේ ශික්ෂා පද මගින් ලබා දෙන්නේ මෙන්න මේ පුහුණුව හෙවත් ශික්ෂණයයි. එසේම පුහුණුව උපකාරි වන්නේ ජීවත් වන මොහොත හෙවත් පවත්නා ජීවිතය දුකින් ගලවා ගැනීමටය. පරලොවක ගත කිරීමට බලාපොරොත්තු වන ජීවිතයක් නොවේ. තම සිත දෙස බැලීමේ පුහුණුව මනසට ලබා දීමට උපයෝගී කරගත හැකි මානසික අභ්‍යාස රාශියක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුන් වහන්සේ අපට පැහැදිලි කර වදාළ සේක.

“ආනන්දය ආර්ය විනයෙහි කෙසේ උසස් ඉන්ද්‍රිය භාවනාව සිදු වෙයිද? යම්කිසි ශ්‍රමණයෙකුට හෝ යම්කිසි පුද්ගලයෙකුට ඇසින් රූපයක් දැකීම නිසා සිත තුළ මනාපයක්, අමනාපයක් හෝ මධ්‍යස්ථ සිතිවිල්ලක් ඇතිවේ. එවිට ඔහු වහා තමාගේ සිත දෙස තම සිත තුළ ඇතිවු මනාප අමනාප හෝ මධ්‍යස්ථ සිතිවිල්ල දැක මෙසේ දැන ගනී. මට මනාපයක් උපන, අමනාපයක් උපන, මධ්‍යස්ථ සිතිවිල්ලක් උපන, ඒ උපන් සිතිවිල්ල මේ රූපය දැකීමේ හේතුව නිසා ඇති වූ සිතිවිල්ලකි. එය උසස් හැඟීමක් නොවේ . ලාමකයි මෙයට පෙර පැවැති උපේක්ෂා සහගත සිතිවිල්ල මෙයට වඩා ශාන්තයි. ප්‍රණීතයි . යනාදි වශයෙන් සිතයි. එසේ සිතන විට ඔහුට උපන් යම්කිසි රුචි අරුචි හෝ වෙනත් ආකාරයක වූ සිතිවිල්ල නැති වී යයි. සිත තුළ පෙර පැවැති මධ්‍යස්ථ ස්වභාව සිතිවිල්ල යළි ඇති වෙයි.

මෙයින් පැහැදිලි වන්නේ බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ ආදි අරමුණූ අපගේ ඇස, කන ආදි ඉන්ද්‍රියන්ට හමුවූ විට සිත තුළ ඇති වන විවිධාකාර සිතිවිලි නිසා තමා නොදැනුවත්වම විවිධාකාර හැසිරීම්වලට ගොදුරු වන බවයි. එනිසා නොයෙක් චිත්ත පීඩාවන් විඳින බවත්ය. ජීවත් වන මොහොතේ සිත තුළ දුක් උපදින්නේ මේ ආකාරයෙනි. නමුත් යමෙක් තම සිත තුළ උපදින විවිධාකර සිතිවිලි දැකීමට පුහුණුවක් ලබා සිටින්නේ නම් ඔහුට බුද්ධිමත්ව තම සිතිවිලි පාලනය කර ගැනීමෙන් වර්තමාන පීඩා වළකා ගන්නට පහසු වේ.

දියුණු මනසක් වර්ධනය කළ යෝගාවචරයා බාහිර අරමුණු නිසා පමණක් නොව ආධ්‍යාත්මක ඇඳී ඇති රූප නිසා උපදින සිතිවිලිද අනිත්‍යය වශයෙන් මනසින් දකියි. විරාගි වශයෙන් මනසින් දකියි. නිරෝධ වශයෙන් හෙවත් විනාශ වී යන ආකාරයෙන් දකියි. එසේ දකිමින් “පටිනිස්සග්ග“ කරයි.

හෙවත් එම සිතිවිලි හා සිතිවිලි උපද්දන ආධ්‍යාත්මික රූප වේදනා අත්හරියි. ඔබට කිරීමට ඇත්තේ බාහිර රූපය අත්හැරීම නොව, ඒ නිසා උපන් සිතිවිල්ල අත්හැරීමයි. රූපය ඔබ අත්හැර ගොස්ය. ඇත්තේ ඒ පිළිබඳ උපන් සිතිවිල්ල පමණි. මේ ගැන සිතන්න. මෙනෙහි කරන්න. මෙය සත්‍යදැයි අවබෝධ කර ගන්න.