Print this Article


50 වන ජන්ම දිනයේ දී ගෞරව නාමයෙන් පිදුම් ලැබූ තුම්මෝදර සමිතසෝම නාහිමි

50 වන ජන්ම දිනයේ දී ගෞරව නාමයෙන් පිදුම් ලැබූ තුම්මෝදර සමිතසෝම නාහිමි

ගම්පහ මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත මහා පිරිවෙන හා මොරගොඩ ශ්‍රී මහින්දාරාම උභය විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ සභික ගම්පහ විහාරාධිපති හිමිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකඛාධිකාරි තුම්මෝදර සමිතසෝම හිමියන් නොවැම්බර් 09 වැනිදා 50 වන දිවියට පා තැබූහ.

1964 නොවැම්බර් 09 දින කුලියාපිටිය තුම්මෝදරදී පතිරන්නැහේලාගේ පොඩිි අප්පුහාමි හා රාජපක්ෂ මුදියන්සේලාගේ කමලා කුමාරිහාමි මව්පියන්ගේ කළුදුල් දරුවා ලෙස උපත ලද රත්නසිරි බණ්ඩාර කුළ කුමරුවා දෙලන්වත්ත කනිෂ්ඨ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා කුලියාපිටිය මහ විදුහලෙන් (අද සාරනාත් විදුහල) වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටියදී පැවැදිවීමට ඇති වූ බලවත් ආශාව මත මව්පියන්ගේ ආශිර්වාදය සහිතව තමන්ගේ ඤාතීවරයෙකු වූ එවකට ගම්පහ සිරිසුනන්දාරාමයේ නේවාසිකව වැඩ සිටි කබලෑවේ සිරිසුමන හිමියන්ගේ මඟ පෙන්වීම මත 1981 ජුනි මාසයේදී ගම්පහට පැමිණියේය.

එවකට ගම්පහ මැදගම සිරි සුනන්දාරාමාධිපතිව වැඩවිසූ ශාස්ත්‍රවේදී මාදෙල්ගමුවේ මහින්දසෝම නාහිමියන්ගේ අවවාද අනුශාසනා ලබමින් සිටි 1983 ඔක්තෝබර් මාසයේදී තුම්මෝදර සමිතසෝම නමින් පැවිදි ජිවිතයට ඇතළත් වූ කුඩා සාමණේරයන් වහන්සේ 1985 පාතදුම්බර උදකුක්ඛෙප සීමා මාලයෙකයේ දී උපසම්පදාව ලැබ වසරකට පසුව 1986 දී මොරගොඩ මහින්දාරාමයේ ප්‍රධානත්වයට පත්විය. තම ගුරු දේවයන්ගේ අවවාද අනුශාසනා ලබමින් එම විහාරස්ථානයේ පාලන කටයුතු මනාව සිදුකරමින් කිතුනු බැතිමතුන් විශාල ප්‍රමාණයක් වාසය කරන මොරගොඩ ප්‍රදේශයේ ආගමික සමගිය ඇති කරමින් පන්සල හා පල්ලිය අතර මනා සම්බන්ධතාවයක් ඇති කරමින් කටයුතු කරමින් සිටින අතර 1997 දී තම ගුරු දේවයාණන් වන මාදෙල්ගල්මුවේ මහින්දසෝම හිමියන්ගේ හදිසි අපවත්වීමෙන් පසුව සිරිසුනන්දාරාමයේ විහාරාධිපති වශයෙන් පත්වී නැවත ගම්පහට පැමිණි අතර එදා පටන් අද දක්වා ගම්පහ මැදගම සිරිසුනන්දාරාමයේ විහාරාධිපති වශයෙන් විහාරස්ථානයේ භෞතික සම්පත් වර්ධනය කිරීමටත් ප්‍රදේශවාදීන්ගේ අධ්‍යාත්මික දියුණුව සැලසීම කෙරෙහි ඉතාමත් උසස් කාර්යයක් කරමින් වැඩ සිටිති.

ඉතාමත් සීමිත දායක පිරිසක් සහිත මොරගොඩ විහාරස්ථානයෙන් ගම්පහ පැමිණ නගර මධ්‍යයේ පිහිටා ඇති අති විශාල දායක පිරිසක් සහිත ගම්පහ මැදගම විහාරස්ථානය භාරගත් අප නාහිමියන් ඉතාමත් නිහඬව මෙන්ම ඉතාමත් අධික්ෂණ තත්ත්වයෙන් දායකයන් පිළිබඳව අධ්‍යන කරමින් වසර කිහිපයක් නිහඬව තම කටහඬ අවදි කිරීමට පටන් ගනී. තම ගුරු දේවයන්ගේ සිහිනයක් වූ දහම් පාසල් දරුවන් විහාර භූමිය තුළ රඳවා ගැනීමට අවශ්‍ය දහම් පාසල් ගොඩනැගිල්ලක් තැනීමට 2000 වර්ෂයේ දී මුල්ගල තබන ලදී. සිව්මහල් ගොඩනැගිල්ලක් වශයෙන් ආරම්භ කිරීමට මූලික කටයුතු සම්පාදයන වූ මෙය දායක පින්වතුන්ගේ හා ප්‍රදේශවාසි දානපතියන්ගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් රුපියල් කෝටි 6 ක් පමණ වැයකර සත්මහල් ප්‍රාසාදයක් වශයෙන් කිරීමට හැකිවිය. ගම්පහට සිව් දිගින් ඇතුලු වන විට මනරම් ආකාරයෙන් දිස්වන ධාතු මන්දිරයක් ද සහිතව “මහින්දසෝම මාහිමි ප්‍රාදසාදය” වශයෙන් නම් කරමින් තම ගුරුදේවයන්ට උපහාර පිදීමට අමතක නොකළ අතර වසරක් පාසා පින්කම් පවත්වමින් පින් අනුමෝදන් කිරිමට මෙම පින්කම්වලට සමගාමීව වාර්තාගත ධර්මදේශනා මාලාව වූ නොකඩවා දින 104 ධර්ම දේශන පැවැත්වීමටද කටයුතු කළ සේක.

දරුවන් 2500 පමණ පිරිසක් ඉරුදින සිරි සුනන්ද සදහම් පාසලෙන් සිංහල මාධ්‍යයෙන් දහම් අධ්‍යාපනය ලබද්දී ඉංගි‍්‍රසි මාධ්‍ය දහම් පාසලක්ද ආරම්භ කර එය සෙනසුරාදා දිනවල පවත්වමින් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් දහම් දැනුම ලබාදීමට ද කටයුතු කරමින් නවීන තාක්ෂණය අනුව දරුවන්ට පරිගණක අධ්‍යාපනය ලබා දීමට නැණසල ව්‍යාපෘතිය විහාරස්ථානය තුළ ආරම්භ කරන ලදී. උන්වහන්සේගේ පාලන කාලය තුළ සත්මහල් ප්‍රාසාදයට අමතරව විහාරස්ථානය තුළ සංඝමිත්තා තෙරණිය වහන්සේගේ හා මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුරෑ නිර්මාණය කිරීමට විහාරස්ථානය ආරම්භ කළ නාහිමියන්ගේ පිළිරුවක් තැනීමද බෝධින් වහන්සේ වටා අටවිසි බුදුකුටි සහිත රන්වැටක් ඉදිකර ඒ ඉදිරිපිට සන්නිපාත ශාලාවක් ඉදිකිරීම ද සිදුවිය.මෙසේ තම දිවියම කැපකරමින් විශාල සේවයක් කරමින් සිටින නාහිමියන්ගේ පනස්වන ජන්ම දිනයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායෙන් පිරිනැමෙන ගෞරව නාමයක් ලැබීණ.