Print this Article


පූජාච පූජනීයානං

අලුත්නුවර සීවලී නා හිමි

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි ගල්බඩ කෝරලයේ මාවනැල්ල ඓතිහාසික අලුත්නුවර ග්‍රාමයෙහි දැඩිමුණ්ඩ දේවාලයට ඉතා සමීප වැදගත් පරම්පරාවකට හිමිකම් කියන ධර්මසේන ජයකොඩි සහ කරුණාවති ගංගොඩ යන දානපතීන්ට දාව පවුලේ බාලයා වශයෙන් 1948 නොවැම්බර් 04 වැනි දින මෙලොව එළිය දුටු පින්වත් කුමරු නමින් ආනන්ද වික්‍රමසිංහ නම් විය. කුඩා කල සිට ආගමට දහමට මහත් ලැදිකමක් දැක් වූ මෙම කුමරු දෙමාපියන් විසින් ගම්පහ බණ්ඩාරවත්ත ශ්‍රී විද්‍යාවංශ මහා පිරිවෙන් පරිවේණාධිපති වැඩ සිටි රාජකීය පණ්ඩිත ගැටමානේ ආර්යවංශ මාහිමියන්ට භාර කෙරිණි. මූලික බණ දහම් උගත් මෙම කුමරු 1963 මැයි මස 29 වැනිදා අලුත්නුවර සීවලී යන නමින් උතුම් ප්‍රව්‍රජ්්‍යා භූමියට ඇතුළත් වූහ. ඉන්පසු මූලික අධ්‍යාපනය රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහා පිරිවෙනින්ද උසස් අධ්‍යාපනය ගම්පහ බණ්ඩාරවත්ත ශී‍්‍ර විද්‍යාවංශ මහා පිරිවෙනින්ද ලැබූහ.

මෙම අවදියේදි දර්ශන චක්‍රවර්ති අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ , මහාචර්ය අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණවාස සහ අතිගරු අමිතිරිගල සිරිවංස වැනි මහා තෙරවරුන්ගේ පා සෙවනේ පැවිදි දිවිය සරු කර ගැනීමට අවස්ථාව සැලසුනි. 1972 ජූලි 10 වැනි දින කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදා භූමියට පත් වූහ. 1976 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත් උන්වහන්සේ 1977 දි ගම්පහ බණ්ඩාරවත්ත ශී‍්‍ර විද්‍යාවංශ මහා පිරිවෙනේ පරිවේණාචාර්යවරයෙකු වශයෙන් ගුරු වෘත්තියට පිවිසි උන්වහන්සේ 1995 දී ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමි කරගත්හ.

අධ්‍යාපනික සේවය මෙන්ම නිකායික කටයුතු කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ උන්වහන්සේ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශීය සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට 1996 වර්ෂයේදි පත් වූහ. පුරා වසර 32 ක කාලයක් අධ්‍යාපන සේවයේ නිරත වූ උන්වහන්සේ ගම්පහ බණ්ඩාරවත්ත ශී‍්‍ර විද්‍යාවංශ මහා පිරිවෙනෙහි පරිවේණාධිපති වශයෙන් 2009 වර්ෂයේදී පිරිවෙන් ගුරු සේවයෙන් විශ්‍රාම ලබා ගත්හ.

ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ 2010 දී සිය ගුරු දේවයන් වහන්සේ අපවත්වීමේ පුරප්පාඩු වූ යටියන මැද උයන්ගොඩ සිරි සුමනාරාමාධිපතීත්වයට ද පත් වූහ. එසේම 2012 වර්ෂයෙහි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පූජ්‍යතර දිසාපාලක ධුරයට පත් වූ උන්වහන්සේ ගම්පහ සහ මිනුවන්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි සහ උප සභාපති ආදි තනතුරු දරමින් ප්‍රදේශයන්හි බොදු සිසු දරුවන්ගේ දහම් දැනුම සංවර්ධනයට මහත් සේවයක් සිදු කළහ.

එසේම 2003 වර්ෂයෙහි දෙවලපොල, ගල්ලේගෙදර ශ්‍රී ශාක්‍යසිංහාරාමාධිපති ධුරයට පත් වු උන්වහන්සේ සිය විහාරස්ථානය දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කිරීමට මහත් කැපවීමෙන් කටයුතු කරති. 66 වැනි දිවියට පා තබන ගෞරවණීය නායක ස්වාමින් වහන්සේ අල්පේච්ඡ නිහතමානි ගුණයන්ගෙන් හෙබි මහ තෙර නමකි. උන්වහන්සේට ආශිර්වාද පිණිස 2014 නොවැම්බර් මස 04 වැනි දින සවස 7.00 ට ගම්පහ බණ්ඩාරවත්ත ශී‍්‍ර විද්‍යාවංශ මහා පිරිවෙනෙහි පරිවේණාචාර්ය ශාස්ත්‍රවේදී කිනිගම සෝමවංස හිමියන් බෝධි පූජා පින්කමක් සිදු කැරිණි. පූජ්‍යතර අලුත්නුවර සීවලී නායක ස්වාමින් වහන්සේට තෙරුවන් සරණීන් දෙවි රැකවරණින් නිදුක් නිරෝගි සුව වේවායි ප්‍රාර්ථනා කරමු.

විශේෂ ස්තුතිය
ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති , රාජකීය පණ්ඩිත මොනරාගල නන්දසිරි ස්වාමීන් වහන්සේට හිමිවේ


රන්මුතුගම සරණතිස්ස නා හිමි

මාතලේ අඹන්ගඟ කෝරළේ මැටිහක්ක, අලුත්වෙල ශ්‍රී මහින්දාරාම පුරාණ විහාරය, රන්මුතුගම සරණතිස්සාරාමය, නාරංගොල්ල පුරාණ විහාරය, මැටි හක්ක රන්මුතුගම සරණතිස්සාරාමය යන සිව් මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී රන්මුතුගම සරණතිස්ස ස්වාමින්වහන්සේ වෙත ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරිපාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් “විමලකීර්ති ශ්‍රී සද්ධාතිස්ස” යන ගෞරව නාමය සහිත මාතලේ නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ද තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සහ මැති ඇමැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන්ද සිදුකෙරේ.

ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් මස 14 දා පස්වරු 3.00 ට අස්ගිරිමහා විහාර මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරේ. අභිනව නා හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය, දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 15 දා පස්වරු 02.30 ට මාතලේ මැටිහක්ක අලුත්වෙල ශ්‍රී මහින්දාරාම පුරාණ විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය නීතීඥ වසන්ත ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරු ප්‍රමුඛ මධ්‍යම පළාතේ ගරුතර මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද මෙම පූජෝත්සවයට සහභාගි වෙති. මාතලේ බෞද්ධ මන්දිරයේ සිට විහාරස්ථානය දක්වා උන්වහන්සේ පිළිගැනීමේ උත්සව රැසක් මඟ දිගටම සංවිධානය කර ඇත.

නොවැ. 15 දා උත්සව සභාවෙන් අනතුරුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසු දින (16) දා සියක් නමක් මහා සංඝරත්නය වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට දායකකාරකාදීන් කටයුතු සංවිධානය කර ඇත.


බුලත්සිංහල ධම්මරාම හිමි

ගෝවින්න ශ්‍රී සුදර්ශනාරාමය, ඈගල්ඔය, ශ්‍රී සුනන්දාරාමය,දේවමුල්ල ශ්‍රී සුමංගලාරාමය යන විහාරස්ථානයන්හි අධිපතිත්වය හෙබ වූ බුලත්සිංහල ධම්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වී වසර 14 ක් මෙම මස 15 දාට සපිරේ.

1914 පෙබරවාරි 26 දින බුලත්සිංහල දී ජන්මලාභය ලැබූ උන්වහන්සේ 1925 අගෝස්තු 25 දින සසුන්ගත විය. පුරා වසර හැත්තෑ පහක් පමණ සසුනඹර එළිය කරමින් උන්වහන්සේ විසින් සිදුකරන්ට යෙදුණු ජාතික, ආගමික හා සමාජයීය සේවාව අතිමහත්ය. තමන් වහන්සේ වැඩ විසූ ගෝවින්න ශ්‍රී සුදර්ශනාරාමයේ සුවිසල් විහාර මන්දිරයේ කටයුතු අරඹමින්, දාන ශාලාව, සීමා මාලකය යනාදිය ඉදිකරමින් විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළහ. විහාරස්ථ ශ්‍රී සුදර්ශන දහම් පාසල ආරම්භ කරමින් ඒ තුළින් ප්‍රදේශයේ දරු දැරියන්ගේ නැණ ගුණ වඩන්නට මහත් කැපවීමකින් කටයුතු කළහ.

තමන් වහන්සේ විහාරාධිපතිත්වය උසුලන අනෙකුත් විහාර ස්ථානයන්හිද අභිවෘද්ධිය උදෙසා තම දායකත්වය සපයමින්, මඟ පෙන්වමින් කටයුතු කළහ. සෙත්කවි කලාව පිළිබඳව මනා හැකියාවක් ඇතිව සිටි උන්වහන්සේ එමඟින් සිය දහස් ගණන් අසරණ රෝගීන්ට සෙත ශාන්තිය ළඟා කර දුන්හ. ශාසනයේ ඉදිරි පැවැත්ම උදෙසා ගිහි පැවිදි සිසු පරපුරක්ද දැයට දායාද කළහ. ප්‍රදේශයේ කීර්තිධර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ උන්වහන්සේ එවන් අවස්ථා වලදී තම යුතුකම නොපිරිහෙලා ඉටු කළ හිමිනමක් වූයේය. ආදර්ශවත් සංඝයා වහන්සේ නමක් වූ බුලත්සිංහල ධම්මාරාම ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් ප්‍රදේශයට, රටට, සම්බුද්ධ ශාසනයට සිදු වූ ඒ උදාර සේවාව සිහිපත් කරමින්, උන්වහන්සේගේ අපවත්වීමෙන් වසර 14 ක් ගෙවී යන මේ මොහොතේ ලොකු හාමුදුරුවන් වහන්සේට අති උතුම් වූ අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.


මොරතිහ තිලකසිරි හිමි

1948 ජනවාරි මස 28 වෙනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරහිත නම් සොඳුරු ගම්මානයෙහි දංගොල්ල අප්පුහාමිලාගේ පොඩිනේරිස් අප්පුහාමි හා ලක්ෂපති විදානලාගේ කරලැයින් හාමිනේ යන යුවතිපති දෙපළට දාව ඉපදුණු අප කතා නායකයාණෝ රඹුකන්දන හා මොරතිහ යන කනිෂ්ඨ විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලබා 1964 නොවැම්බර් 11 දින මොරටුව රාවතාවත්ත භාවනා මූලස්ථානයේ දී පැවිදි බව ලැබුවේ ආභිධම්මික දොඩම්පහළ කවිධජ මාහිමි හා මොරටුවේ වාචිස්සර මාහිමිවරුන් වෙතිනි.

උපසම්පදාව ලැබුයේ 1965 ජූලි 01 වන දින දීය.මොරටුව ශ්‍රී සුමංගල පිරිවෙන හා හෝමාගම විද්‍යාවර්ධන යන පිරිවෙන් වලින් ප්‍රාචීන ප්‍රාරම්භය දක්වා අධ්‍යාපනය ලැබූහ.

1970 දී පමණ බදුල්ල මයිලගස්තැන්න ශ්‍රී බෝධිරුක්කාරාම විහාර නිර්මාතෘ කම්මට්ඨානාචාර්ය දිඹුල්ගහගෙදර ශ්‍රී ඥානවිමල මාහිමියන්ගේ මග පෙන්වීම උඩ උන්වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙසින් හා අපවත් වී වදාළ ඌව අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි ව වැඩ විසූ කම්මට්ඨානාචාර්ය බෝලියද්දේ ශ්‍රී මේධානන්ද මාහිමිපාණන් යටතේ ශිෂ්‍ය දිවිය සරු කර ගැනීම සඳහා බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද මහා පිරිවෙනින් හා උඩුවර ශ්‍රී සුධර්මාවාස විද්‍යායතන වලින් උසස් අධ්‍යාපනය හදාරන අතර එවකට ගරා වැටෙමින් පැවති හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බ/කිරින්ද ශී‍්‍ර නිගෙ‍්‍රීධාරාම විහාරයට වැඩමකර එහි දියුණුව සලසන අතර 1979 වසරේ සිට ලුණුගල්ල ශී‍්‍ර විද්‍යාසාගර පිරිවෙන්පති වශයෙන්ද දීර්ඝ සේවයක් සලසන ලදී. 1986 දී පමණ එවකට දායක සභාවේ සභාපති වශයෙන් සිටි පරලෝ සැපත් පී. වනසූරිය නොතාරිස් මහතාණන්ගේ නොමද කැපවීම ද අගය කළ යුතුය.

1987 ජනවාරි 28 වන දින ශී‍්‍ර මේධානන්ද දහම්පාසල ඇරඹීම
1989 ජනවාරි 28 වන දින ශී‍්‍ර තිලක සිඟිති පෙර පාසල ඇරඹීම
නෙළුව සිට කිරින්ද විහාරස්ථානය දක්වා මාර්ගය සැකසීම
1996 දී ගම්මානයට විදුලිය ලබා ගැනීම
සකලාංග සම්පූර්ණ විහාරයක් සැකසීම
සතර මහා දේවාලය ඉදිකිරීම

මෙයට අමතරව නිසග කවි කුසලතාවයකින්ද හෙබි උන්වහන්සේ “හද විමනේ බිතු සිතුවම්” නම් කාව්‍ය ග්‍රන්ථය රචනා කිරීම ද ප්‍රකට ගීත, බොදු බැති ගී නිර්මාණය ද උන්වහන්සේ ගේ සේවා අතර ප්‍රමුඛ වේ. එමෙන්ම ප්‍රදේශයට සේවය කළ හැකි දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් සැකසීම ආදි බොහෝ ශාසනික සේවාවක් සිදු කරනු ලැබූහ. උන්වහන්සේගේ පැවිදි දිවියට මෙම නොවැම්බර් මස 11 වන දිනට වසර 50 ක් සපිරිණි.