Print this Article


පෙරභවය යි කර්ම විපාකය යි 12 අකුසලයෙන් පේ‍්‍රත බව ලත් පවුලක්

පෙරභවය යි කර්ම විපාකය යි 12

අකුසලයෙන් පේ‍්‍රත බව ලත් පවුලක්

අනෙක් පේ‍්‍රතියක් තම දෑතෙහි වූ දික් වූ නියපොතුවලින් තම ශරීරයේ ම මස් කඩා ගෙන කමින් අතිශය දුකට පත්වෙයි. ටික වේලාවකින් කඩා ගත් ඒ මස් නැවැත වැඩේ. නැවැත ඇය ඒ මස් කඩාගෙන කමින් අපමණ දුකට පත්වෙයි. කර්මය ගෙවෙන තෙක් මෙසේ තමාගේ ම ඇඟ මස් කඩා කමින් අතිශය වේදනාවට, දුකට පත්වෙමින් කල් ගෙවයි.

ගියවර අපගේ අවධානයට යොමු වූයේ බෞද්ධ සාහිත්‍ය තුළ ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූ ඛුජ්ජුත්තරා නම් දාසිය පිළිබඳ කතා පුවත විමසා බැලීමටය.අද අපගේ අවධානය යොමු වන්නේ මිනිස් ලොව ඉපිද විවිධ අකටයුතුකම් කළ පවුලක සියලු සාමාජිකයින් පේ‍්‍රත අත්බවක් ලැබූ බව පවසන ‘භූත’ නම් වූ පේ‍්‍රත වස්තුව විමසා බැලීමටයි.

දිනක් ගිජුකුළු පව්වෙහි වැඩ සිට පහළට බසින මුගලන් මහරහතන් වහන්සේට අරුම පුදුම පේ‍්‍රතයන් සිව්දෙනෙක් දක්නට ලැබිණි. එම දර්ශන මෙසේය. එක් පේ‍්‍රතයෙක් ඈතට බොල් වී මෙන් දිස්වෙන ළඟට ගිනි මෙන් දිළෙන අඟුරු ගොඩක් අසල සිට ඒ ගිනියම් වූ අඟුරු දෑතින් ම ගෙන හිසෙහි දමා ගනිමින් මහත් වේදනාවෙන් පීඩිතව කුසට අහරක් නොමැතිව කල් ගෙවයි. තව එක් පේ‍්‍රතයෙක් යකඩ මුගුරක් ගෙන තමාගේ හිසට වැරෙන් පහර දෙමින් හිස දෙබෑ කර ගනියි. එයින් වෑහෙන රුධිරය අනුභව කරයි. ඔහු මහත් දුකකට පත් වෙයි. මඳ වේලාවකට පසු නැවතත් ඔහුගේ හිස තිබෙන පරිදි ම සැකසෙයි. නැවතත් ඔහු පෙර පරිදිම මුගුර ගෙන හිසට පහර දී ගනියි. වෑහෙන රුධිරය අනුභව කරයි. කර්මය ගෙවෙන තෙක් ඔහු මෙසේ කර ගනිමින් අතිශය දුකට පත්ව කල් ගෙවයි.

අනෙක් පේ‍්‍රතියක් තම දෑතෙහි වූ දික් වූ නියපොතුවලින් තම ශරීරයේ ම මස් කඩා ගෙන කමින් අතිශය දුකට පත්වෙයි. ටික වේලාවකින් කඩා ගත් ඒ මස් නැවැත වැඩේ. නැවැත ඇය ඒ මස් කඩාගෙන කමින් අපමණ දුකට පත්වෙයි. කර්මය ගෙවෙන තෙක් මෙසේ තමාගේ ම ඇඟ මස් කඩා කමින් අතිශය වේදනාවට, දුකට පත්වෙමින් කල් ගෙවයි.

තවත් එක් පේ‍්‍රතියක් ඈතට දුර්ගන්ධය හමන විශාල අසූචි ගොඩක් අසල සිට එහිම ළැඟ . දෑතින් ම ගෙන එය අනුභව කරමින් අතිශය දුකට පත්ව කල් ගෙවති.

මේ පේ‍්‍රතයන්ගේ අනේකප්‍රකාර ක්‍රියාවන් දුටු මුගලන් මහරහතන් වහන්සේ ධර්ම සංවේගයට පත්ව ඔවුන් මෙසේ අතිශය කටුක වූ දුක් විඳීමට හේතු වූයේ කවර අකුශල කර්මයක් දැයි අසූචි ගොඩ සමීපයෙහි වූ පේ‍්‍රතියගෙන් විමසීය.

භුසානි එකො සාලිං පුනාපරෙං
අයඤ්ච නාරිසකමං සලොහිතං
තුවඤ්ච ගුථං අසූචිං අකන්තං  
පරිභුඤ්ජසි කිස්ස අයං විපාකොති

එවිට එම පේ‍්‍රතිය පවසන්නේ ස්වාමීනි, මෙසේ විවිධාකාරයෙන් දුක් විඳින අපි එකම පවුලක අය වෙමු. පෙර අපි සැවැත්නුවර සමීපයේ ගමක ධනවත් පවුලක උපන්මෝ වෙමු. මාගේ ස්වාමියා වෙළෙන්ඳෙක් වෙයි. ඔහු දියුණු වූයේ අයථා ක්‍රමවලින් ධනය උපයමිනි. ඔහු බොල් ඇල් වී රැගෙන තඹ පාට මැටි දියකොට බොල් ඇල් වීවල තවරා හොඳ වී සමඟ කලවම් කොට විකුණා අන් අය වංචා කොට මහත් ලාභ ලබා ධනවත් විය. එහෙත් එය එලොවට පමණක් සීමා විය.අන් අය වංචා කිරීමේ විපාක වශයෙන් ඔහු මෙසේ පේ‍්‍රත අත් බවක් ලබා බොල් වී මෙන් දිස්වෙන ගිනි අඟුරු හිසෙහි ලා ගනිමින් අතිශය දුකට පත් වෙමින් කල් ගෙවයි. ඒ ඔහු අන් අය වංචා කොට වෙළෙඳාම් කිරීමේ විපාකය.

මේ හිසට විශාල යකඩ මුගුරකින් පහර දෙමින් තම හිස පළා ගනිමින් එයින් වෑහෙන ලේ බොමින් දුක් විඳින මොහු වෙන කවුරුත් නොව එකළ මාගේ පුතාය. කෙළිලොලින් ජීවත් වූ ඔහුට බොහෝ පාප මිත්‍රයෝ වූහ. දිනක් මිතුරන් සමඟ සුරා පානය කොට නිවසට පැමිණි ඔහු මා ඔහුගේ මිත්‍රයන් නොසැලකුයේ යැයි කිපී හිස පළා තාගේ ලේ බොන්නෙමියි මාගේ හිසට යකඩ මුගුරෙන් පහර දුන්නේය. මවකට අයහපත් ලෙස පිළිපැදීමේ විපාක ලත් එහු එහි විපාක ගෙවෙන තෙක් මෙසේ තමාගේ ම හිසට පහර දෙමින් තමාගේ ම රුධිරය අනුභව කරමින් ඉතා දුකසේ කල් ගෙවයි.

දෑතෙහි දික් වූ නියපොතුවලින් තමාගේ ම මස් අනුභව කරමින් අතිශය වේදනාවට පත් වෙමින් කල්ගෙවන ඇය ඉහත ආත්මයේ මාගේ දියණියයි. වෙළෙන්දන් වූ අප නිතර නිවසෙහි පිසීම සඳහා මස් මාංශ ගෙනාවේය. මසට ලොල් වූ මාගේ දියණිය අන් අයට හොරෙන් සියලු මස් අනුභව කොට ඒ පිළිබඳ විමසූ විට තමා කිසිවක් නොකෑ බවත්, ඒ පිළිබඳ නොදන්නා බව පවසමින් අප වංචාවට පත් කළාය. අන් අය වංචාවට පත් කොට මස් මාංශවලට ලොල්ව හොරා කෑමේ විපාක වශයෙන් මෙසේ තමාගේ ම මස් අනුභව කරමින් අතිශය වේදනාවට, දුකට පත් වෙමින් කල් ගෙවන්නීය යනුවෙන් පැවසීය.

අයං පුරෙ මාතරං හිංසති, අයං පන කූටවාණීජො
අයං මංසානි ඛාදිත්වා මුසාවාදෙන වඤ්චෙති

එවිට මුගලන් මහරහතන් වහන්සේ පවසන්නේ විශාල අසූචි ගොඩක සිට එහි ළගිමින් එය අනුභව කරමින් අතිශය දුකට පත්වෙමින් කල් ගෙවයි. මෙබඳු දුකක් විඳීමට ඔබ කළ අකුශල කර්මය කුමක්ද ? යනුවෙන් ඇයගෙන් විමසීමි.

එවිට එම පේ‍්‍රතිය පවසන්නේ ‘ස්වාමීනි ඒ ධනවත් වෙළෙන්දාගේ භාර්යාව වූ මා ඔහු කළ කී දෑ අනුමත කරමින් වස්තුව වැඩි කිරීමට ම උත්සාහ ගත්තෙමි. යමක් ඉල්ලාගෙන අප නිවසට පැමිණි අයට ඒ ඒ දේ නිවසෙහි තිබියදීත් නැතැයි පවසා නොදී ඔවුන් පිටත් කළෙමි. නිවසට පැමිණි යාචකයෙකුට ආහාර වේලක් වත් නොදුන්නෙමි. මෙසේ කිසිවෙකුට කිසිවක් නොදී වංචා කොට ආපසු හරවා යැවීමේ විපාක වශයෙන් මෙසේ ඈතට දුර්ගන්ධය හමන විශාලා අසූචි ගොඩක් මත්තෙහි සිට එය අනුභව කරමින් එහි ම ළගිමින් අතිශය දුකට පත්වෙමි”යි යනුවෙන් ඒ පේ‍්‍රතිය ඉතා දුක් මුසුව මුගලන් මහ රහතන් වහන්සේට තම දුක පැවසීය.

අහං මනුස්සෙසු මනුස්සභූතා, අගාරිනී, සබ්බකුලස්ස ඉස්සරා
සන්තෙසු පරිගුහාමි, මා ච කිඤ්චි ඉතො අදං

පෙර ආත්මයෙහි මිනිසත් බව ලත් මා සෙසු කුලයන්ට වඩා ඉසුරුමත් වූවාය. මාගෙන් යමක් ලබාගැනීමට පැමිණි අයට අවශ්‍ය දේ තිබිය දීත් නොදුන්නෙමි.

මුසාවාදෙන ඡාදෙමි, නත්ථි එතං මම ගෙහෙ
සවේ සන්තං නිගුහාමි , ගුථො මෙ හොතු භොජනං

මාගේ නිවසෙහි කිසිවක් නැත. ඉදින් එසේ සැඟ වූ යමක් ඇත්නම් මාගේ ආහාරය අසූචි බවටත් පත්වෙනවා යනුවෙන් පැමිණි අය බොරුවෙන් වංචා කළෙමි.

තස්ස කම්මස්ස විපාකෙන, මුසාවාදස්ස වූ හයං
සුගන්ධං සාලිනො භත්තං ගූථං මේ පරිවත්තති

බොරු කියා අන් අය රැවටූ කර්මයේ විපාක වශයෙන් මාගේ ඒ සුවඳවත් වූ ඇල් හාල් බතක මෙසේ අසූචි බවට පරිවර්තනය විය.

අවඤ්ඣානි ච කම්මානි, නහි කම්මං විනස්සති
දුග්ගන්ධං කිමිනං මිලං භුඤ්ජාම් ච පිටාම් චාති

මම ඒ නොකළ යුතු කර්ම කළෙමි. එහි විපාක තාම ගෙවී ගොස් නැත. එබැවින් මෙසේ දුර්ගන්ධය හමන, පණුවන් සහිත අසූචි අනුභව කරමි. එයම බොමි.


පෙරභවය යි කර්ම විපාකය යි 11 අකුසලයෙන් කුදුවූ ඛුජ්ජුත්තරා