Print this Article


බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව වූයේ සෑම අවස්ථාවකම යථාවබෝධය ලබාදීමයි

බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව වූයේ සෑම අවස්ථාවකම යථාවබෝධය ලබාදීමයි

උප්පත්තිය මෙන්ම මරණය සම්බන්ධයෙන්ද උත්සවයන් පැවැත්වීමට අප හුරු පුරුදු වී සිටිනවා. එමෙන්ම බුදු දහම තුළත් “ඉපදීම” මෙන්ම “මරණය” යන මෙලොව දීම අපට අත්දැකීමට සිදුවන සිද්ධාන්තයන් බවත් දක්වා තිබෙනවා. එහෙත් ඒ දෙඅංශයන්ම සමාන බවත් බුදු දහමේ දැක්වෙනවා. එය ඇතැම් විට විවාද සම්පන්න විය හැකියි.

බුදු දහමින් එසේ “ඉපදීම” සහ “මරණය” යන දෙඅංශයම සලකා ඇත්තේ සසර පැවැත්ම දිගු කරනු ලබන ධර්මතා ලෙසින් වීම ඊට හේතුවයි. “මරණය” නැති කිරීමට නම් අප “ඉපදීම” නැති කළ යුතුයි යනු බුද්ධ දේශනාවයි. මංගල හෝ අවමංගල යන මේ සංකල්ප දෙකින්ම අපට සසර පැවැත්ම ඇති කරන මෙන්ම නිවන් මඟට බාධා බමුණුවන ලබන බව බුදුදහමේ දැක්වෙනවා.

ඉපදිමේදී සතුටුවීමත් මරණයේදී දුක්වීමත් බුදු දහම අනුමත කරන්නේ නැහැ. එහෙත් බුදු දහම සැම විටම සමාජ සම්මත අයුරින් ජනතා සිත් සතන් තුළට කාවැදුණූ බව අප හොඳින් දන්නවා. ස්වභාව ධර්මය අනුව මරණය උරුම වුවත් මරණයකදී එසේත් නැත්නම් අවමංල්‍යයකදි අප කටයුතු කළ යුතු ආකාරය බුදු දහමේ දැක්වෙනවා.

ඒ ජීවත්ව සිටින්නාට ඥාතියෙකුගේ අවමඟුලකදී හඬා වැලපීම මඟින් නොව යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් එම අවමංගල්‍යය මිය ගිය තැනැත්තාට හා ජීවත්ව සිටින්නන්ට සුවදායක කර ගැනීමට හැකි බවයි.

මෙසේ ආගමානුකූලව මරණය දෙස බැලීමේදී ඉතාම වැදගත් වන්නේ පාංශුකූලය ලබාදීමයි. පාංශුකූලය පූජා කිරීමයි. එය බුදුරජාණන් වහන්සේගේ සමයේ සිට අද දක්වාම නොනැසී පවතින්නක්ම යම් අයකු මිය ගිය පසු පාංශුකූලය ලබාදීම ඇත්තේ බුදු දහමේ පමණයි. පාංශුකූල අවස්ථාවන්ට සහභාගි වීමට ඥාති මිත්‍රාදීන්ට හැකියාව ඇත්තේ බුදු දහම තුළ පමණයි.

එහෙත් අප අතර ඇතැම් පිරිස්හි මතය වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ පාංශුකූලය ලබා දී නොමැති බැවින් පාංශුකූලය ලබාදීම අවශ්‍ය නොවන බවයි. මෙය සහමුලින්ම සාවද්‍ය මෙන්ම අඥාන මතයකි. පාංශුකූලය යනු කුමක්ද ? පස් තැවුරුණූ රෙද්ද යන්න එහි අර්ථයයි.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කළ වදාළේ තම චීවරය සපයා ගත යුත්තේ මියගිය අය ගේ දේහය ඔතා සොහොනට ගෙන ගොස් දමන වස්ත්‍රයෙන් බවයි. බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කළ වදාළේ තම වස්ත්‍රය සපයා ගැනීමට හෝ මහජනතාවට කරදර නොකර එසේ තම අවශ්‍යතා සලසා ගන්නා ලෙසයි.

තම පරිහරණයට සිවුරු දෙකක් පමණක් තබා ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ වදාළා සිටියත් දස දහසක් හෝ සිවුරු පිරිකර පිළිගැනීම අනුදැන වදාළා. එමෙන්ම භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වා පාංශුකූලික සිවුරු පරිහරණය කළ යුතු යැයි දෙව්දත් තෙරුන් පංචවරය මඟින් ඉල්ලා සිටියත් බුදුරජාණන් වහන්සේ ඊට එකඟත්වය පළ කළේ නැහැ. කැමති අයට එසේ සිටිය හැකි බවත් අකමැති අය එසේ නොකළාට වරදක් නැතැයි ද උන් වහන්සේගේ දේශනාව වුණා.

ආරම්භයේදි අමු සොහොන යන වචනය භාවිතා වුවත්, පසු කලෙක දේහයන් ආදාහනය කිරීම මෙන්ම භූමදානය කිරීම නිසා පාංශුකූලික වස්ත්‍රයක් ඒ අනුව වෙනස් වුණා. එහිදී දේහය ආදාහනය කළ ස්ථානයේ කණුූ හතරක් සිටුවා ඒ මත පාංශුකූලික වස්ත්‍රය රඳවා තැබුවා. එමෙන්ම රෙදි කඩක ඔතා දේහය දැමීම වෙනුවට මියගිය තැනැත්තා ජීවත්ව සිටියදි අඳින ලද වස්ත්‍රය හෝ වෙනත් කැපී පෙනෙන වස්ත්‍රයකින් දේහය සැරසීමට කටයුතු කළා.

දේහය තැබීමට පෙට්ටියක් ආවා.අතීතයේ සිටම මේ පාංශුකූලික තත්ත්වය පැවතුණා. එක් හිමිනමකට රෙදි මීටර් 2 ක් පමණ වන සේ පූජා කිරීම එදා සිටම පැවතුණා. ඒ අයුරින් ස්වාමින් වහන්සේ දස නමක් උදෙසා රෙදි මීටර් 20 ක් පමණ පූජා කළා. මේ පාංශුකූලික වස්ත්‍රය මඟින් ස්වාමීන් වහන්සේ තම චීවරය අඳනය මෙන්ම නානකඩයක් සකස් කර ගත්තා. ඒ මිය ගිය තැනැත්තාට පින් සිදුවන්නටයි. ඇත්තෙන්ම රෙදි කවිච්චියක් යන්නයි එදා භාවිතා කෙළේ.

මඳක් සිතා බලන්න. එක් හිමිනකමක් උදෙසා මතක වස්ත්‍ර රෙදි මීටර් දෙකක් පූජා කළා නම් ස්වාමින් වහන්සේ විසිනමක්. උදෙසා රෙදි මීටර් 40 ක් පමණ පූජා කළ යුතුයි. එහෙත් අද අප ස්වාමින් වහන්සේ කොපමණ සංඛ්‍යාවක් වැඩම කළත් පූජා කරන්නේ රෙදි මීටර් දෙකක් පමණ ප්‍රමාණයක් පමණයි.

යම් ශිෂ්ටාචාරයක ශිෂ්ට සම්පන්න බව සුරැකි ඇත්තේ එය පරිපූර්ණ සමාජයක් බව අපට දැනගත් හැක්කේ එම සමාජයේ අවමංගල චාරිත්‍ර දෙස විපරම් ඇසින් බැලීමෙන් බවත් අප වටහා ගත යුතු වෙනවා. පුරාවිද්‍යාඥයන් ,ගවේෂකයන් විසින් කරන ලද පර්යේෂණවලදි අපේ ශිෂ්ටාචාරයන්ට අදාළ විවිධ අවමංගල චාරිත්‍ර සොයාගෙන තිබෙනවා. වසර 25000 කට පමණ පෙර අපේ රටේද “මමී” තිබු බව සොයාගෙන තිබෙනවා. එපමණක් නොවෙයි. වසර 18000 කට පමණ පෙර බළන්ගොඩ මානවයාගේ සබඳතා මෙන්ම සීගිරි ගල සමීපයේ සුසාන භූමියක තිබී හමුවූ නටබුන් කියා පාන්නේද අපගේ ශිෂ්ටාචාරයේ තිබු ශිෂ්ට සම්පන්න බවයි. මුට්ටිවල බහා තැන්පත් කරන ලද විවිධ දේ එහිදි හමු වී තිබෙනවා. අපේ පැරැණි ශිෂ්ටාචාරය දෙස විමසිලිමත්ව බැලීමේදී පැහැදිලිව පෙනී යන්නේ රත්ගල් කුඩු, සිප්පිකටු, බෙලි කටු ආදිය දේහයන් අසල තබා තිබු ආකාරයයි. මිය ගිය පිරිස් ආහාරයට ගත් දේ සපයා තබන්නට ආදි මුතුන් මිත්තන් කටයුතු කරන්නට ඇත.

අපේ ඇතැම් අයට මතුව ඇති බුදුරජාණන් වහන්සේ පාංශුකූලය ලබා දුන්නේද ? මියගිය තැනැත්තන්ගේ නිවෙස් කරා වැඩම කළේද? බුදුරජාණන් වහන්සේ මිය ගිය තැනැත්තන්ගේ ගුණ කථන පැවැත්වූයේද යන ප්‍රශ්න දෙස ධර්මානුකූලව අවබෝධයෙන් බැලීමේදී පැහැදිලිව පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේද පාංශුකූලයන් ලබාදී ඇති බවයි. එසේ වුවත් අපට එය තේරුම් ගැනීමට නොහැකි වීමයි සිදුව ඇත්තේ.

සිරිමා නමැති සුරූපී ගණිකාව මිය ගිය පසු ඇගේ පහස ලැබූ සමාජයේ ඉහළ පෙළැන්තියේ අය දේහය ඇති ස්ථානයට ගෙන්වා ගත් බුදුරජාණන් වහන්සේ දේහය වෙන්දේසි කළා. බුදුරජාණන් වහන්සේ කහවණු දහසකට එය මිලදී ගන්නැයි දේශනා කළ වදාළා. කිසිවකු ඉදිරිපත් වූයේ නැහැ. එය කහවණු පන්සීයයක් දක්වා අඩු කළා. ඒත් කිසිවකු ඉදිරිපත් වූයේ නැහැ. අවසානයේ කහවණු එකක් දක්වා අඩු කළත් කිසිවෙක් ඉදිරිපත් වූයේ නැහැ. දේහය කිසිදු මුදලක් නොගෙවා රැගෙන යන්නැයි දැනුම් දුන්නත් කිසිවෙක් ඉදිරිපත් වූයේ නැහැ.

කිසාගෝතමියට බුරජාණන් වහන්සේ පාංශුකූලය දුන්නේ කොහොමද? කිසිවකු නොමළ ගෙයකින් අබ අහුරක් ගෙන එන්නැයි දැනුම් දෙමින් අවසානයේ ඇය විසින්ම යථාර්ථය අවබෝධ කර ගත්තා. සියලු දෙනාම මිය යන බව ඇය අවබෝධ කර ගත්තා.

මේ අයුරින් බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදි ලෝකයාටම පෙනෙන්නටම ගුණ කථන පැවැත්වූවාක් මෙන්ම අවශ්‍ය පරිදි පාංශුකූල පැවැත්වීම් සිදු කළා. මේ සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ අපේක්ෂාව වූයේ ජනතාවට යථාවබෝධය ලබාදීමයි. වර්තමානයේ පාංශුකූලයක අරමුණ වන්නේත් එයයි. භික්ෂූන් වහන්සේ විසින් කරනු ලබන ගුණ කථනවලදි ඒ බව අපට පැහැදිලිවම වටහා ගන්නට පුළුවන්. අවමංගල්‍යය චාරිත්‍ර සම්බන්ධව අද අප කටයුතු කරන ආකාරය නිවැරැදි ද? අවමංගල්‍යය නිවසක චාරිත්‍ර කෙසේ විය යුතුද ? මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

සාකච්ඡා කෙළේ තාරක වික්‍රමසේකර