Print this Article


නුවණින් විමසිය යුතු ධාතු මනසිකාරය

නුවණින් විමසිය යුතු ධාතු මනසිකාරය

තථාගතයන් වහන්සේ නමක් ලොවට පහළවෙලා දුක්විඳින සත්ත්වයාට එයින් මිදෙන මාර්ගය කියා දෙනවා. උන්වහන්සේ වදාළ ඒ දහම දකින්න අවශ්‍ය කරන කාරණා කීපයක් අපි සාකච්ඡා කරමු.

ධාතු මනසිකාරය මුල්කරගෙන කථාකරන විට ‘ධාතු’ කියන වචනය ඔබට හුරුපුරුදු ඇති. බොහෝ විට ධාතු මනසිකාරය වඩනවා කියා අප මේ ශරීරයේ කොටස් ටික ධාතු වශයෙන් විමසනවා. නමුත් මේ තුළ සියුම් වශයෙන් වරදින තැන් බොහෝ විට තිබෙනවා.

ඇයි? අප ධාතු මනසිකාරය වඩන්න ඕන කියන එක මුලින් කථා කරමු. අපට කන්න අවශ්‍ය නම් බඩගින්න ආවිට, බඩගින්න දැනුන විට ආහාර ගන්නවා. ඔබගේ සිතට ආශාවක් ආවොත් මොනවා හරි කරන්න තිබුණානම් හොඳයි කියා සිතුණොත් පමණයි කෑම කන්නේ. අවශ්‍යතාව දැනුණොත් තමා කරන්නේ. නිදාගන්න අවශ්‍යතාව ආවිට අප නිදියනවා. ඒ වගේ ධාතු මනසිකාරය කියන මේ භාවනාව කොතරම් වටිනාකමක් තිබෙනවාද? කියන දේ පිළිබඳව අද සිට ඉදිරි ලිපිවලින් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

’ධාතු’ ලෙස අප නිතර කථා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ පිළිබඳවයි. පඨවි කියන ධාතුව තමන්ගේ ශරීරයේ තිබෙන පොළොවට පස්වන තද ගතියෙන් යුක්ත කෙස් ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදි දේයි. ‘ආපෝ’ ධාතුව කියන්නේ වැගිරෙන ස්වභාවයෙන් තිබෙන දේ. වැගිරෙන ස්වභාවයෙන් යුතු  දේ රූපයට වුව-මනා කරන්නේ අර ‘පඨවි’ ධාතුව හෙවත් තද ගතියෙන් යුතු දේ යම්කිසි අවශ්‍ය හැඩවලට යම් මට්ටමක දියාරු වීමක් කරන්නයි. ඒ සඳහා ‘ආපෝ’ ධාතුව උදව් කරනවා.පඨවි, ආපෝ ධාතුව උදව් කරද්දී මේ ධාතු දෙක සඳහා දිගින් දිගටම ඒ ධාතුන්ගේ වැනසීමක් තිබෙන නිසා ඒ වැනසීම අභියස ඒවා දිරා යාමට වුවමනාක් වෙනවා. අප ආහාර වුවත් කයට ලබාදෙද්දී ඒ ආහාර දිරවීමක් අවශ්‍ය කරනවා. ඒ දිරවීම අවශ්‍ය වුණේ නැත්නම් ආමාශයේ ආහාර පැසවලා එහි අවශ්‍ය දේ උරාගෙන අනවශ්‍ය දේ බැහැර කළේ නැත්නම් ආමාශයට තව තව ආහාර දාගන්න බැරි වෙනවා. මේ දේ ආහාරයට පමණක් නොවේ, කයේ සෑම තැනකටම සිදුවෙනවා. එහෙනම් මේ කය දිරවීම සඳහා ‘තේජෝ’ ධාතුව උපකාරි වෙනවා. මෙසේ වෙනවිට මේ ධාතු හසුරුවන්න කයේ හැඩ එහාට මෙහාට ගෙනයන්න, හැරවීම ආදී සියලු දෙයට ‘වායෝ’ ධාතුව උපකාරි වෙනවා. මේ වාතය එසේ උපකාරි වනවිට මේ වාතයටත් තේජෝටත්, අපෝටත්, පඨවියටත් ඉඩක් ඕන. ඒ ඉඩ ලබා දෙන්නේ තවත් ධාතුවක් විසින්. අප කන මුල්කරගෙන විමසුවොත්, මේ ධාතු හතරට වුවමනා කරනවා ඉඩක්. ඒ ඉඩ නැත්නම් ධාතුන්ට පවතින්න රැඳෙන්න, වැඩෙන්න හා ක්ෂය වෙන්න, වැනසෙන්නත් තැනක් නැහැ. ඒ ඉඩ ලබාදෙන්නේ ‘ආකාස’ ධාතුව විසින්. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතුන්ට ආකාස ධාතුව ඉඩ ලබාදෙන විට මේ ධාතුන්ගෙන් ගමනට උදව් කරනවා ‘විඤ්ඤාණ’ ධාතුව කියා තවත් සිත මුල්කරගත් ධාතුවක් තිබෙනවා. මේ විඤ්ඤාණ ධාතුවත් මේ ධාතුන්ට උපකාර කරනවා.

මේ කය තුළ සතර මහ ධාතුන්වලට අදාළ එක් එක් කොටස් වෙන වෙනම තිබෙනවා. මේ දේ එකින් එක ඉවත් කළොත් ඉතිරිවෙන කිසි දෙයක් නැහැ. අප කය කියා කථා කරන යමක් ඇද්ද ඒ සියල්ලම ධාතුන්ගෙන් සකස් වූ දෙයක්ම පමණයි. ධාතුන්ගෙන් සකස් වූ මේ කය හසුරු වන බාහිර ලෝකය ගත්තාම ඒ බාහිර ලෝක-යෙන් හැම තැනකම දකින්න ලැබෙන්නේ මේ ධාතුම තමා. ආකාස ධාතුවේ ඉඩක් අරගෙන පඨවි, ආපෝ, තේජෝ, වායේ කියන ටික තමා අපට හැම තැනකම දකින්න ලැබෙන්නේ. අපට මේ සියලුම දේ ධාතුවල එකක්,එකක් ලෙස විමසන්න පුරුදු වුණොත් එය භාවනා ලෙස වඩන්න පුළුවන.

බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධ දේශනාවලට එකඟව අප මේ ධාතු මනසිකාරය පුරුදු වුණොත් එය අපට බොහෝ ප්‍රයෝජන වෙනවා. මේ සඳහා ඔබට ‘මහාහත්ථිපදෝපම’ සූත්‍රය, ‘ධාතු විභංග‘ සූත්‍රය හා ‘මහාරාහුලෝවාද’ සූත්‍රය උපකාරි කර ගන්නවා.

සතර සතිපට්ඨාන දෙසුමේදී බුදුරජාණන් වහන්සේ මොකක්ද ධාතු මනසිකාරයෙන් කෙරෙන්නේ කියන හැඟීම මේ උපමාවෙන් අපට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ වදාළ ගවයෝ මරන මිනිසෙක් ගවයෙක් මරා ඒ ගවයාගේ ශරීරයේ කොටස් වෙන වෙනම වෙන් කර මේවා වෙළෙඳපොලේ අලෙවි කරනවා. මේ ගවයාගේ මස්වල කොටස් අලෙවි කරනවිට ඔහුට ගවයා කියන සංඥාව ඇතිවෙන්නේ නැහැ. ඒ කොටස් දකින විට ඇත්වෙන්නේ මස් කියන හැඟීම. මස් හැඟීමෙන් මිසක් ගවයා කියන හැඟීමෙන් මොහු බැහැර වෙලා ඉන්නවා වගේ දෙයක්ම තමා ධාතු මනසිකාරයෙන් සිදුවෙන්නේ. අප තමාගේ කය දැක්කාම මම කියන සංඥාත්, බාහිර කයක් දැක්කාම අසවලා කියන සංඥාවත් ඇතිවෙනවා. මේ සංඥාව සම්මුතිය තුළ සිදුවන දේ. අවබෝධයක් කරා යන්න අවශ්‍ය කෙනාට සම්මුතිය තුළින් පරමාර්ථය කරා යොමු වෙන්න වෙනවා. පරමාර්ථ පැත්ත විමසා බලනවා කියන එකේ තේරුම සම්මුතිය අතහරිනවා කියන දේ නොවේ. අප තමා කෙරෙහි තිබෙන පුද්ගල සංඥාව හා තමාගෙන් බැහැරව කයක් දකින විට ඒ ශරීරය කෙරෙහි ඇතිවන පුද්ගල සංඥාව පැත්තකට ගිහින් මේ සියල්ල තුළ ධාතු සංඥාවක් අපට ගොඩ නැඟෙනවා නම් ඒ සංඥා ඔස්සේ මනසිකාරය කරන්න, මනස පවත්වන්නට පුළුවන්නම් එයයි ධාතු මනසිකාරය.

අප සිතමු අප ළඟ තිබෙන බෑග් එකේ අමතක වූ බත් මුලක් කුණු වී තිබෙනවා කියා. මේ බත්මුල තියාගෙන ඉන්න ඉන්න මේක තුළින් දුකක් සිදුවෙනවා. අප මේ බත්මුල බෑගයෙන් වීසිකර දානවා. බත්මුල වීසිකළා කියා බෑග් එක පිරිසුදු නැහැ. ඒ බත් මුල ගඳ ගැසුවා වගේම ඒ බත් මුලට පුළුවන්කමක් තිබුණා මුළු බෑග් එකම ගඳ ගස්වන්න. අප බත්මුල වීසි කළා කියා බත් මුලේ ගඳ එක පාරටම යන්නේ නැහැ. බෑග් එකේ තාමත් ගඳ ඉතිරි වෙලා තිබෙනවා. එසේනම් බෑග් එකේ ගඳ යන්න අවශ්‍ය කරන දේත් කළයුතු වෙනවා. සක්කාය දිට්ඨිය කියන මේ ගඳ බත් මුල වීසි කළාට තවදුරටත් ‘මම වෙමි කියන අස්මිමාන්නය’ ඉතිරි වෙනවා. අස්මිමාන්නය අරහත්වය දක්වාම තිබෙනවා. ඒ අස්මිමාන්නය නිසා ඒ ශ්‍රාවකයා තුළ තණ්හාව ඉතුරු වෙනවා. සෝවාන් ඵලයට පත්වුවත්, ගඳගහන බත්මුල වූ සක්කාය දිට්ඨිය විසිකර දැම්මත්, ඒ සක්කාය දිට්ඨිය නිසා අර බෑග් එකේ රැඳුන ගඳ වගේ අර අස්මිමාන්නය ඉතිරි වෙනවා. එය හරියට බත් මුල විසිකර ගත්තා, නමුත් බෑග් එකේ තවම ගඳ ඉතුරුයි වගේ. එසේනම් මේ අස්මිමාන්නයත් නැති කරන්න ධාතු මනසිකාරයම උපකාරි කර ගන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළින් අපට කියා දෙනවා සංඥාව වෙනස් කරන ක්‍රමයක්. මේ ලෝකය කෙරෙහි ධාතු ගැන අවබෝධයක් ඇතිවන තාක්කල් සංඥා විපල්යාසයක් තිබෙනවා. (විපල්යාසය කියන්නේ වෙනස් වූ දෙයක් පිළිබඳවයි. බුලත් කොළයක් තිබෙනවා. හිතන්නේ ගම්මිරිස් කොළය කියා. නැත්නම් ගම්මිරිස් කොළයට සිතනවා බුලත් කියා. නමුත් ගම්මිරිස් කොළයට බුලත් කොළය කියා සිතුවානම් ඔහුට තිබෙනවා බුලත් කොළ විපල්යාසයක්). ඒ වගේ මේ ලෝකයේ ධාතු ගැන අවබෝධයක් නැති නිසා අපට තිබෙනවා ප්‍රශ්නයක්. ඒ අනිත්‍ය වූ ධාතු අප දකිනවා නිත්‍ය වශයෙන්. නිත්‍ය සංඥාව මතු කර යථා තත්ත්වය ඇතිකර ගන්න පුළුවන් ධාතු නිසිලෙස අවබෝධ කර ගැනීමෙන්.

මේ ධාතු සම්බන්ධව අප පැහැදිලිව අත්විඳින දුකක් තිබෙනවා. ඒ ධාතු සමඟ එන්නේ සැප කියන සංඥාව. මෙතැනින් වෙන්නේ වරදවා ගත් සංඥාවක් නිසා වැරුදුණු සංඥාවෙන් කරන කියන දේ වරදින නිසා එය අප නිවැරැදි කරගත යුතුයි. ඒ සංඥාව නිවැරැදි කර ගන්නත් දුක්ඛ සංඥාව ඇති වෙන්නත් මේ සංඥාව ඇතිකරගන්න පුළුවන්. ඒ වගේම අපට මේ ධාතු සම්බන්ධව තිබෙනවා මම, මගේ, මා තුළ තිබෙන දෙයක්. මම ඒ තුළ සිටිනවා කියන වැරැදුන ආත්ම සංඥාවක්. ඒ වැරැදුන ආත්ම සංඥාව අපට ධාතු මනසිකාරය ඔස්සේ නැතිකර අනාත්ම මනසිකාරය ඇතිකර ගන්නත් පුළුවන්.

ඊළඟට ධාතුන් තුළ තිබෙනවා අසුභ වූ පිළිකුල් වූ ස්වභායක්. අසුභ පිළිකුල් ස්වභාවය ධාතු ගැන හරියට තේරුම් ගත් දාට ඔහු අවබෝධ කර සුභ සංඥාවෙන් අසුභ සංඥාවට යනවා. ඒ සුභ සංඥාව නිසා ඇති වූ ප්‍රශ්නයක් එවිට ඔහු තුළ මඟහැරිලා අසුභ සංඥාවට සිත දියුණු කර ගන්න පුළුවන්. මේ සියලු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා අසුභ කියන සංඥාව ඇතිකර ගත්විට එම සංඥාව නිවැරැදි කර ගන්නවා. අප ධාතු මනසිකාරය ගැන ඔබට තේරුම් කර දෙන ගමන්ම තමා තමා තුළින් අනවබෝධයෙන් අවබෝධයට එන ආකාරයටත් දහම දකින්න කියාදෙන්න ඉදිරියේදී අප බලාපෙරොත්තු වෙනවා.

ඔබ සියලු දෙනාටම බුදුරජාණානන් වහන්සේ වදාළ සද්ධර්මය අවබෝධ කිරීමේ ශක්තිය ධෛර්ය ලැබේවා කියා ආශිර්වාද කරනවා.