Print this Article


සිතේ ප්‍රබලත්වය

සිතේ ප්‍රබලත්වය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුදුද්දසං සුනිපුනං
යත්ථකාම නිපාතිනං
චිත්තං රක්ඛෙථ මේධාවී
චිත්තං ගුත්තං සුඛා වහං තී

ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි,

‘චිත්තං කීවේ සිතටයි. සිත ගැන බුදු පියාණන් වහන්සේ හැර ලෝකයේ කිසිකෙනෙක් තාම අත ගැහුවේ නෑ. අත ගහලා බේරෙන්නත් බෑ. ඒ සිත ඒ තරම් ගැඹුරුයි. ඒ තරම් සියුම්. ඒතරම් ප්‍රණීතයි. එතරම් ශ්‍රේෂ්ඨ දෙයක් මේ ලෝක ධාතුවේ නැහැ. මගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ තමයි සිත පිළිබඳ ඇත්ත ඇති සැටියෙන්ම ධර්මයෙහි හරියට විග්‍රහ කළේ.එනිසා පින්වතුනි, බෞද්ධ ශ්‍රාවකයන් වූ ශ්‍රාවිකාවන් වූ මේ අප හැම දෙනාම ඒ මාගේ ධර්මස්වාමි වූ අමාමෑණියන් වහන්සේ මෙන්න මේ සිත ගැන විග්‍රහ කරන විදිය ඉහත ගාථාවෙන් පෙන්වා වදාළා.

මේ සිත මුළු ලෝක ධාතුවට වඩා බලවත්. මේ සිත දියුණු කරගත්තනම් මුළු ලෝක ධාතුවම දියුණු කරගත්ත හිතක්. ඒ සිතට ඕනෑම දෙයක් යටකරන්නට පුළුවන්. ඒ වගේමයි එහි අනිත් පැත්ත පිරිහිච්ච සිතක් ඇති තැනැත්තා මේ මුළු ලෝක ධාතුවේ සියල්ලටම යටවෙලා අසරණ වෙනවා. ඒකයි වෙනස හිත දියුණු කරගත්ත තැනැත්තා සියලුදේම යටකරනවා. හිත පිරිහගත්ත අසරණ වෙච්ච අහිංසකයා සියල්ලටම යට වෙනවා. ඒ නිසා බුදුපියාණන් වහන්සේ දේශනාකර වදාළා දරුවනි. මම නුඹලාට ජීවිතයට සත්‍යය පෙන්වන මඟ කියා දෙන්නම්. මේ හිතේ හැටි කියා දෙන්නම්. එතකොටයි හිතේ හැටි තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ විස්තර කරනවා මෙන්න මේ විදියට.

“සුදුද්දසං සුනිපුණං “ සුදුද්දසං දකින්නට හරි අමාරුයි. හිතක් ඇහැකින් බලන්න පුළුවන් ද? අනිත් ද්‍රව්‍ය ජාති ඔක්කොම ඇහැකින් බලන්න පුළුවන් . නමුත් හිතක් ඇහැකින් බලන්න බැහැ. ඒකයි කියන්නේ සුදුද්දසං කියල. සුනිපුණං හරි සියුම්. මේ ශරීරයෙන් ස්පර්ශ කරන්න බෑ. හිතක් අපට අතකින් වෙනත් උපකරණයකින් දැලකින්, මල්ලකින්,මොකකින්වත් සිත අල්ලන්න බෑ. ඒතරම් සියුම් ඒ සිත, මෙතරම් සියුම්, මෙතරම් නොපෙනෙන මේ බලවත් වේගවත් වූ සිත යත්ථකාම නිපාතිනං යමක් හිතට කැමැතිද එතන ගිහිල්ලා වැටෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. කිසි වැළැක්වීමක් වෙන්නේ නෑ. ඒ වැටෙන තැන හොඳයි කියලා බලන්නෙත් නැහැ. නරකයි කියලා බලන්නෙත් නෑ. කැමැති අරමුණක් ගන්නවා. හිතේ තිබෙන අවාසනාවන්ත ස්වභාවය ඒකයි. මේ භයානක හිත පෘථග්ජන හිත භාවනාවට නුපුරුදු කරන ලද හිත, අසංවර වෙච්ච හිත, යමක් කැමැතිද එතෙන්ට ගිහිල්ලා වැටෙනෙවා. ඒකේ හොඳ නරක මොකුත් හිතන්නෙ නෑ. හිතට හොඳයි කියලා වැටහුනාද ඒ වැටහිච්ච දේ කළොත් ආනිශංස දෙනවද, ආදීනව දෙනවද මුකුත් පේන්නෙ නෑ. මේ භයානක හිතේ හැටි තේරුණාද? මෙතරම් අවාසනාවන්ත හිතිච්ච හිතිච්ච තැනට වැටිලා විනාශ කරන මේ හිත චිත්තං රක්ඛෙථ මේධාවී මේ සිත යම්කිසි පණ්ඩිතයෙක් ආරක්ෂා කර ගනීද ? අන්න ඒ පණ්ඩිතයා අන්න ඒ ඥානවන්තයා මේ හිත ඒ ඒ තැන්වලට නරක නරක තැන්වලට වැටෙන්න දෙන්නේ නෑ. යන්න දෙන්නේ නෑ. සතියෙන් යුතුව සිහි බුද්ධියෙන් යුතුව යෝනිසෝමනසිකාරයෙන් යුතුව චිත්තං රක්ඛේථ මේ සිත රකිහු. පණ්ඩිතයිනි , ඒ ඒ අරමුණුවලට වැටෙනව මේ අපගේ සිත අප ආරක්ෂාකරගත යුතුයි. මෝඩයා මුලාවට පත්වෙලා අමාරුවේ වැටෙනවා. චිත්තං ගුත්තං සුඛාවහං මහණෙනි, දරුවෙනි, යමෙක් මේ සිත ආරක්ෂා කරගත්තද ඔහුට සැප ලැබෙනවා. සුඛාවහං සැප ලැබෙනවා. මොන විදියේ සැපක්ද ලැබෙන්නේ. සියලු දුක් නැති කරලා ලොකෝත්තර අමා මහ නිවන් සැප ලැබෙනවා. ඒ නිවන් සැප ලබන්නට පළමුව ඒ තැනැත්තාට ලෞකික සියලු සැප ලැබෙනවා යන යන හැම තැනම ධාර්මික විධියට නිවැරදි විධියට ධර්මානුකූලව චාරිත්‍රානුකූලව හැම සැපතක්ම ලැබෙන්නට පටන් ගන්නවා. ඒක ධර්ම ශක්තියයි. හිත රැක ගත්ත එකේ ආනිසංශයයි.

ඒ නිසා මාගේ අමාමෑණියන් වහන්සේ දේශනා කර වදාළේ චිත්තං රක්ඛෙථ මේධාවී පණ්ඩිතයිනි, සිත රකිහු, චිත්තං ගුත්තං සුඛාවහං යමෙක් මේ සිත රැක්කාද ඔහුට සැප ලැබෙනවා. ඔහුට ඒක මහා සැනසිල්ලක් වෙනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ඔබගේ හිත භාවනාවෙන් දියුණූ නොකොළොත් කුසලාරම්මනයන්ට හිත යන්ට පුරුදු නොකොළොත් , අකූශලයන්ගෙන් වළක්වා ගත්තේ නැත්නම් හිතට ඕන ඕන විදියට ඕන ඕන දේවල් කරන්නට ඉඩ ඇරියොත් ඔබ අභාවිත පුද්ගලයෙක් වෙනවා. ඔබ සංසාරයේදී ආත්ම කෝටි ගණන් මේ සසර පෘථජ්ජන ලෝකයේ කෙලෙස් භරිතව ඉපදිලා ඔබගේ මේ භයානක හිත පඤ්චකාම වස්තූන් කරා යනවා. ඒ වගේම ඔබගේ හිත ක්‍රෝධයට, ඔබගේ හිත පළිගැනීමට ඔබගේ හිත වෛරයට යනවා. මොකද සතර අපායෙහි වැඩිපුර උපන් නිසා.

මගේ අමාමෑණියන් වහන්සේ දවසක්දා මේ මහ පොළවෙන් පස් ටිකක් උන්වහන්සේගේ මාපට ඇඟිල්ලේ නියපොත්තට ගෙන දේශනා කරනවා දරුවෙනි, මහණෙනි, මගේ නියපොත්ත උඩ තිබෙන පස්ටික ඔබලාට පේනවාද? එසේය ස්වාමීනි, යම්කිසි කෙනෙක් මාගේ බුද්ධ ශාසනයේදී මේ මා කියන අවවාදය අනුශාසනාව මෙවැනි බුදු වදන් පිළි අරගෙන කෙනෙක් සීලයක පිහිටලා සතර සතිපට්ඨාන ධර්මයන් වඩලා පළමු කොටම උතුම් වූ දැකීම දර්ශනය කියන සෝවාන් මාර්ග ඵල සම්පත්තියට පත්වුණාද අන්න ඒ තැනැත්තාට මෙන්න මේ ලෝකයේ විඳින්ට තියෙන දුක මෙන්න මෙච්චරය. ඔබලාට ඉතිරි වැලිටික පේනවාද මහ පොළවේ. ඔව් ස්වාමීනි, යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ඝනකම ඇති මේ අනන්ත විශාල වූ මේ මහා ජම්බුදීපයේ තිබෙන වැලි ප්‍රමාණය අපට කියන්න බෑ. මුළු ලෝක ධාතුවේ පමණක් නෙමෙයි මුළු ජම්බුදීපයේ, එහෙනම් දරුවනි, පෘථජ්ජනයාට සසර විඳින්නට තිබෙන දුක මේ මහ පොළවේ වැලි ඇටවලට වඩා වැඩියි. විඳලා ආපු දුක මට කියන්නට බෑ. මාගේ මේ සබ්බඤ්ඤුතා ඤාණයෙන් මේ සසර පටන් ගැන්ම මෙතන, කෙලවර මෙතැන යැයි මට කියන්ට බෑ. ඒ තරම් ඔබලා සතර අපායේ වැටුනා. තිරිසන් වුනා. පේ‍්‍රතයන් වුනා. අසුරයන් වුනා. නිර සතුන් වුනා. ඔය ආත්ම දෙකේදීම ඇතිවෙන භයානක සිතිවිලි තමයි. ලෝභ, සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි, මේ සතර අපායේ අයට ත්‍රිහේතුක කුසල් පහළ වන්නෙ නෑ. සතර අපායේ වැටිලා අලෝභ අදෝශ අමෝහ කුසල් පහළ වෙනවාද? සතර අපායේ නැහැ. තිරිසන් ගත සතා වැඩිපුර ජීවත් වෙන්නේ තරහෙන්, ක්‍රෝධයෙක් තමයි ඒ වගේම කාම පිපාසයෙන් ඒ වගේම භයෙන් තමයි ජීවත් වෙන්නේ. පුංචි සතා ලොකු සතාට බයෙන් ඉන්නවා. ඒ ලොකු සතා ඊට වඩා ලොකු සතාට බයෙන් ඉන්නවා. ඒ හැම ලොකු සතාම මිනිසාට බයෙන් ඉන්නවා. මනුස්සයෝ ඒ තරන්ම නපුරුයි. ඒ නිසා මෙ කැලෑවේ ජීවත්වෙන සත්තු එකා මරාගෙන එකා කන්න තරහෙන් ඉන්නවා.

පේ‍්‍රත ලෝකයේ ජීවත් වෙන සත්වයාත් සතර අපායේ ජීවත්වෙන සත්වයාත් පඤ්චකාමයන්ට ආසාවෙන් ඒ වගේම බයෙන් තමයි ජීවත් වෙන්නේ. මේ නිසා අප අනන්ත අකුසල් සිතිවිලි වලට පුරුදු වෙලාය ඉන්නේ. මේ පෘථජ්ජන සත්වයාගේ භයානක තත්ත්වය ඕකයි. ඒ නිසා පෘථජ්ජන සත්වයාගේ සිත අභාවිතයි. භාවනාව පුරුදු කරන්න බෑ. කුසලයට අවනත කරගන්න බෑ. අර සසර පුරද්දට පඤ්චකාමයන් කරා යනවා. ඒ නිසා සිත අභාවිතයි. අභාවිත සිත අකම්මනීයයි. කුසලයකට භාවනාවකට සතර සතිපට්ඨානයකට සිත පුරදු කරන්න බෑ. ඒ වගේම තුනුරුවන්ගේ ගුණවලට, සමථ භාවනාවකට විදර්ශනා භාවනාවකට මිස පුරුදු කරන්න බෑ.

අන්න ඒ සිත නිවන් පැත්තට හරවන්න බෑ. හරවන්න ගිය හැටියෙ දෙකට මැදින් කඩලා යනවා. දරදඬුවෙලා හිත, ඇයි? පුරුදු කරලා නෑ. භාවනාවකට කුසලයකට පුරදු කරලා නෑ. කෙලෙස්වලින් දර දඩුවෙලා. ලෝභයට එක්කෝ තරහට නැත්නම් මෝහයට පත්වෙලා. දරදඬුවෙලා හිත්, ඒ නිසා මේ සිත නුඹලාට අහිතකරයි. ඒ වගේම උන්වහන්සේ දේශනා කළා මේ අභාවිත සිත මහත් වූ අනර්ථය පිණිසමයි පවතින්නේ. මේ භාවනාවට නුපුරුදු වෙච්ච සිත හැම තිස්සේම නියෝග කරන්නේ භයානක විදියේ අනර්ථයකටමයි. අනර්ථයක්මයි කරන්නේ. මොකද මේ කුසල් පැත්තට හැරෙව්වේ නෑ. අභාවිතයි. හිත භාවනාවෙන් අයින් කළා. හිත නිකම් පඤ්චකාම ලෝකයේ දැවටි දැවටි ජීවත් වුනා. ඒ නිසා මේ තැනැත්තගේ හිත මහත් අනර්ථයක්මයි කරන්නේ.

ඒ වගේම මාගේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින් දැක්කා අනන්ත වූ මනුෂ්‍ය සැප සම්පත් අනන්ත වූ දිව්‍ය සම්පත් අනන්ත වූ බ්‍රහ්ම සම්පත්තිත් ලැබීමට හේතුව වශයෙන් හොඳට පිහිටව ගත්ත නිවැරදි ලෙස භාවනාවෙන් කුසල්වලින් පිහිටව ගත්ත හිතෙන්ම මෙන්න මේක ලැබෙනවා.තුන්ලෝකයෙන් නිදහස්ව ලැබෙන නිවන් සැනසිල්ල ලැබෙන්නෙත් හොඳට නිවැරදි ලෙස පිහිටව ගත්ත හිතෙන්මයි. කුසලයක් නිවැරදි ලෙස ඔබ පාවිච්චි කළොත් ඔබට අවිද්‍යාව නමැති පටලය කපලා ඔබට අමාමහ නිවන් සැප ලබන්නට පුළුවනි.