Print this Article


ධාතු නිධානෝත්සවය 23 වන දා සිදුකෙරෙන අනුරාධපුර සඳහිරු සෑය

ධාතු නිධානෝත්සවය 23 වන දා සිදුකෙරෙන අනුරාධපුර සඳහිරු සෑය

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ලෙස දැක්වේ. ඒ අනුව ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික ලෙස එම ධාතුන් වහන්සේලා කොටස් තුන ලෙස සඳහන් වේ.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමේ දී ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව සිදුකෙරේ. ශාරීරික, පාරිභෝගික හා උද්දේසික වශයෙන් එම ත්‍රිවිධ චෛත්‍ය නම් කරනු ලැබේ. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේදීම උන්වහන්සේගෙන් ලබාගත් කේශධාතුන් වහන්සේ තැන්පත් කර ධාතු ස්ථූප කරවා වන්දනා කළ අයුරු පැහැදිලි වේ. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආදාහනය සිදු කළ අවස්ථාවේදී ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා ලබාගෙන චෛත්‍ය කරවා පූජෝපහාර දැක්වූහ. එසේ උන්වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදි කරවන ලද චෛත්‍යය ශාරීරික චෛත්‍යය වේ.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද බෝධීන් වහන්සේ, පාත්‍රාධාතුව, පටි ධාතුව ආදිය පාරිභෝගික චෛත්‍යය වේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා කරවන ලද පෙති පිළිම ආදිය උද්දේසික චෛත්‍යය වේ.

ධාතුන් වහන්සේලා පිළිබඳ ධාතු භාජනීය කතාවේ ඉතා වැදගත් විස්තරයක් දැක්වේ. සම්පිණ්ඩිත මහානිදානය නම් පාලි ග්‍රන්ථයේත් මේ පිළිබඳව තොරතුරු ලැබේ.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ආදාහනය කුසිනාරා නුවර මල්ල රජ දරුවන් විසින් සිදු කරන ලදී. අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලා සමව බෙදා දුන්නත්, ධාතුන් වහන්සේලා නොලැබුණු බොහෝ රටවල මිනිස්සු මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ හා ආනන්ද හාමුදුරුවන් වහන්සේ වෙතද පැමිණ ඒ අයටද වැඳ පුදා ගැනීමට අවශ්‍ය ධාතුන් වහන්සේලා ලබා දෙන්නැයි ඉල්ලීම් කළේ ය. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට අවස්ථාව සලසා දුන්හ. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ චීවර, පාත්‍ර ආදිය ධාතු ගණයෙහිලා සැලකීමට අවස්ථාව ලැබිණි.

ධාතු භාජනීය කතාව තුළ ධාතුන්වහන්සේලා වැඩසිටින ස්ථාන කීපයක් පිළිබඳව බුද්ධවංශය තුළ සඳහන් වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ පටිධාතුව පාඨලී පුත්‍රනුවරටත් උන්වහන්සේගේ පැන් පෙරන දබරාව පාඨලී පුත්‍ර නුවරටද සිවුර, සැරයටිය, පාත්‍රාධාතුව මධුරා පුරයේ ද බුදුරජාණන් වහන්සේගේ පත්කඩය අවන්තිපුරයේද, කසාවත බ්‍රහ්ම ලෝකයේ ද, උන්වහන්සේගේ දිය සාඨකය චම්පා නුවරද ආදී විස්තර බුද්ධවංශ පාලියේ සඳහන් වී ඇත.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විවිධ රටවලට වැඩම කරවාගෙන ගොස් මේ ජීවමාන බුදුරජාණන් වහන්සේම යැයි යන හැඟීමෙන් වන්දනාමාන, පූජෝපහාර දැක්වූ බව දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රධාතුව විශේෂ චීවර ධාතු කොටස් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තරම් වාසනාවක් ශ්‍රී ලාංකික ජනතාව ලැබූහ. ඒ නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතර එම ශාරීරික, පාරිභෝගික ධාතුන් වහන්සේලා තැන්පත් කර ධාතු චෛත්‍ය ඉදිකරවූහ. මුල් යුගයේ ධාතුන් වහන්සේලා ලබා ගැනීමට නොහැකිවූ අවස්ථාවක පෙති පිළිම ආදිය තැන්පත් කර චෛත්‍ය කරවූ බව පෙනේ.

ධර්ම පුස්තක තැන්පත් කර සිදුකළ ධාතු පූජා පිළිබඳව මහායාන ග්‍රන්ථ තුළ දක්නට ලැබේ.

බුදුරජාණන් වහන්සේගේ පිළිරුව නෙළීමට නොහැකියැයි පැවැසූ යුගවල උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කිරීමට බෝධිය, ආසනය, සිරිපතුල ආදී සංකේත පවා වන්දනීය තත්ත්වයට පත් විය.

සඳහිරු සෑය නිර්මාණයේ දී ධාතු නිධානොත්සවය සඳහා දැනගත් ඇතැම් අය තමන්ට අහසින් පහළ වූයේ යැයි කියන ධාතු ලබාදීමට යෝජනා කරතත්, ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූයේ ය. විශ්වාසනීයත්වයෙන් යුත් ඓතිහාසික නිවැරැදි ධාතුන් වහන්සේලා පමණක් නිධන් කිරීමට එම ධාතු නිධානෝත්සවයේ දී යොදා ගනු ලැබේ.

සඳහිරු සෑයේ ධාතු නිධානෝත්සවයේදී ඒ සඳහා යොදා ගනු ලබන්නේ දැනට අපේ රටේ සුප්‍රකට ඓතිහාසික ධාතු චෛත්‍යයන් සහිත විහාරස්ථ කැණීම්වලදී හමු වී ඇති ධාතුන් වහන්සේලාගෙන් ඇතැම් කොටස් චෛත්‍යවල නිදන් කර තිබෙන අතර අතිරික්ත කරගත් ධාතුන් වහන්සේලා ඒ විහාරස්ථානවල සම්භාවනීය මහා සංඝරත්නය ලබාදීමට කටයුතු කර තිබේ. ඒ අනුව සඳහිරු සෑ ධාතු නිධානෝත්සවය සිදු කෙරේ.

සඳහිරු සෑ ස්ථූපයේ ධාතු නිධානෝත්සවය තුළ ඉතාමත් වටිනා පූජනීය වස්තු තැන්පත් කෙරේ. සෑ ගර්භය තුළ රනින් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ, රනින් කළ බෝධීන් වහන්සේ නමක් (රන්පත්තිරුවල ලියන ලද) පිරිවානා පොත් වහන්සේ සහ මුළු ත්‍රිපිටකයම තඹ පත්වල ලියා තැන්පත් කිරීමටද කටයුතු යොදනු ලැබේ.

ඒ තුළින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තැන්පත් කිරීම මඟින් මහා වන්දනීය, පූජනීය ස්ථානයක් බවට පත්වේ.

සඳහිිරු සෑ නිර්මාණය ඉතා උසස් අරමුණකින් යුක්තව ඉදි වේ. ඒ උසස් අරමුණ නම් ඒ බෙදුම්වාදී, ත්‍රස්තවාදී කණ්ඩායම ලංකාව තුළ යම් යම් සාම විරෝධී කුමන්ත්‍රණකරුවන් විසින් නිර්මාණය කළේ ය. අවසානයේ දී ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය ලෙස අපේ රටේ, දේශීය දරුවෝ සිංහල වේවා, ද්‍රවිඩ වේවා, දේශීය දරුවෝ දහස් ගණනින් මිය ගියහ. මේ සියලු දෙනාගේ ජීවිතවලට අපට වන්දි ගෙවීමේ වෙනත් ක්‍රමයක් නොමැත. යුද්ධය හමාර කර ඒ යුද්ධය වෙනුවෙන් මියගිය අයට පින්පෙත් අනුමෝදන් කරමින් කරනු ලබන මෙම වැඩ පිළිවෙළ නැවත අපේ රටේ යුද්ධයක් නොවන පරිදි ප්‍රාර්ථනාවයි. ඒ නිසා සඳහිරු සෑය ප්‍රාර්ථනා සෑයක් බවට ද පත් වේ. ප්‍රාර්ථනා සෑයක් යනුවෙන් සඳහන් කරන ලද්දේ නැවතත් මෙවන් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ඇති නොවේවා යි යන ප්‍රාර්ථනාවයි. එහිදී චෛත්‍ය හුදෙක් භෞතික කර්මාන්තයක් වෙතත් ඒ භෞතික කර්මාන්තයට එහා ගිය ආධ්‍යාත්මික වෙනසක් සමාජය තුළ සඳහිරු සෑ සංකල්පයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයත් අපේක්ෂා කරනු ලැබේ.

අපේ රටේ බෞද්ධයා සතු බලය බෞද්ධයාට අහිමිවී තිබේනම් ඒ දේශපාලන වශයෙන් බෙදී පැවැතීම නිසාය. ඕනෑම ජනවර්ගයක් තමන්ගේ ආගමත් සමඟ දේශපාලනය අමතක කළත් අභාග්‍යයකට අපේ බෞද්ධයා දේශපාලනය වෙනුවෙන් ආගම අමතක කරන ස්වභාවයක් අපට පෙනෙන්නට තිබේ. ඒ නිසා මේ චෛත්‍යය පොදු පෙරමුණේ චෛත්‍යයක් හෝ ශි‍්‍ර.ල.නි. පක්ෂයේ හෝ යූ.එන්.පී. හෝ ජේ.වී.පී. චෛත්‍යයක් ද නොවේ. මෙය දේශපාලන අරමුණු බැහැරකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරනු ලබන පූජාවකි.

ඒ නිසා මෙම සඳහිරු සෑ මහා චෛත්‍යය පූජාවට සහභාගි වී එහි පින් අනුමෝදන්වීමට සියලු දෙනාටම අවස්ථාව ඇත.

චෛත්‍ය කර්මාන්තයකදී පින් අනුමෝදන්වීම තුළ මහා පින් උපදවා ගත් ඓතිහාසික ප්‍රවෘත්ති අප අසා දැක තිබෙන අතර චෛත්‍ය පූජාවට ගර්හා කිරීම, ලොව්තුරා, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරනු ලබන චෛත්‍යය කර්මාන්තයක් හෙළා දැකීමෙන් ලබා ගත් දුර්විපාකත් අප අසා ඇත. ඒ නිසා මෙවන් අවස්ථාවක සැදැහැසිත් උපදවා ගෙන ඒ දෙස දැකීමට කටයුතු කිරීම බෞද්ධයා සතු වගකීම වේ. ඒ සඳහා සියලු දෙනාට අවස්ථාව සැලසී තිබෙන අතර තමන්ට එහි නොයෙක් නිධන් වස්තු නිධන් කිරීම සඳහා ප්‍රධාන ධාතු කුටියට අමතරව ධාතු කුටි, සම්පාදනය කර ඇත.

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් පූජා කිරීමේ අවස්ථාව සලසා තිබේ. බුදුරජාණන් වහන්සේට රත්‍රං, මුතු, මැණික් අවශ්‍ය නොවේ. එහෙත් සැදැහැති දායකයන් තමන්ට පුළුවන් උපරිම අයුරෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගෞරව දැක්වීමට එබඳු ක්‍රම භාවිතා කරනු ලැබේ. එමෙන්ම එය පැරැණි රජ දරුවන්ගේ කාලවලදී සිදු වී ඇත. ථූපවංශයේ සඳහන් වන ස්ථූප පූජාවේ ධාතු නිධානෝත්සවය ආදර්ශයට ගනිමින් මෙවර සඳහිරු සෑ ධාතු නිධානෝත්සවය සිදු කෙරේ. මෙය වසර සිය ගණනකින් සිදු නොවූ සහ තවත් වසර සිය ගණනකින් වත් දක්නට නොලැබෙන රජුන් දවස ඉටු කළ ඓතිහාසික සිද්ධියකි. ඒ නිසා මෙම සිද්ධිය හැමට, රටට ආශිර්වාදයක් වන බව නොඅනුමානයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර සංකල්පනාවකට අනුව සඳහිරු සෑය ඉදිරීම් ආරම්භ කරන ලදී. මෙම 23 වන දා පන්දහසකට අධික මහ සඟරුවන පෙරටු කර ගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සුරතින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කැරේ.

සාකච්ඡා කළේ - සීසර් සුදුසිංහ