Print this Article


ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමියෝ මහානායක පදවි ලබති

ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමියෝ මහානායක පදවි ලබති

අග්ගමහා පණ්ඩිත,සාහිත්‍යශූරි බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහානාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දොළොස් වෙනි මහානායක පදවියට එම පාර්ශ්වයේ අනුනායක පදවිය හෙබ වූ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියන් පසුගියදා කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයට රැස්වූ එම කාරක සංඝ සභාව මගින් තෝරා පත් කර ඇත. කෝට්ටේ පාර්ශ්වයේ කර්මාවාගාචාර්යයන් වහන්සේ නමක් ලෙසත් උප ලේඛකාධිකාරී ප්‍රධාන ලේඛකාධිකාරි ආදි තනතුරු රැසක් හෙබ වූ අභිනව මහානාහිමියෝ මෙරට චිර ප්‍රසිද්ධ ධර්ම දේශකයෙකි. ගත් කතුවරයෙක්ද වන අතර විවිධ ජාතික ආගමික හා සංස්කෘතික කටයුතු කෙරෙහි ප්‍රවීණ දායකත්වයක් ලබා දෙන විශේෂ ගණයේ යතිවරයෙකි.

කළුතර, දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළයේ ඉත්තෑපාන, නම් ගම් පියසෙහි උපත ලද උන්වහන්සේ මේ වන විට අසූවන වියෙහි පසුවෙති. පන්නිපිටිය රුක්මලේ ධර්ම විජයාලෝක විහාරය,ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් මෛත්‍රි විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක ආධිපත්‍ය උසුලන උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේණාධිපතින් වහන්සේ ලෙස කලක් සේවය කළහ.