Print this Article


පෙරභවය යි කර්ම විපාකය යි 11 අකුසලයෙන් කුදුවූ ඛුජ්ජුත්තරා

පෙරභවය යි කර්ම විපාකය යි 11

අකුසලයෙන් කුදුවූ ඛුජ්ජුත්තරා

පසුගියදා අපගේ අවධානය යොමු වූයේ කුසල් දහමෙහි නොයෙදී ඉඩකඩම්වලට කළ ආශාව නිසා තිරිසන් යෝනියෙහි උපන් පවුලක් පිළිබඳව විමසා බැලීමටයි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ ධර්ම සාහිත්‍ය තුළ ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූ ඛුජ්ජුත්තරා නම් දාසිය පිළිබඳ කතා පුවත විමසා බැලීමටය.

උදේනි රජුගේ අගමෙහෙසිය වූ සාමාවතී බිසවගේ ප්‍රධාන මෙහෙකාරිය වූයේ ඛුජ්ජුත්තරාය. ඇය ශරීරයෙන් මදක් කුදු වූ තැනැත්තියකි. ඇයගේ ප්‍රධාන රාජකාරිය වූයේ මාලාකාරයාගේ මල්වත්තට ගොස් සාමාවතී බිසවට මල් රැගෙන ඒමයි. ඇයට මල් ගෙන ඒම සඳහා සාමාවතී බිසව කහවණු අටක් දෙයි. එහෙත් මල් මිලදී ගන්නේ කහවණු හතරක පමණි. ඉතිරි කහවණු හතර ඇය සඟවා ගනියි. දිනක් සාමාවතී බිසවට මල් රැගෙන ඒමට සුමන නම් මාලාකාරයාගේ මල්වත්තට පැමිණි පසු ඇයට මාලාකාරයා ඔහුගේ නිවසේ වූ මහා සංඝරත්නයට දානය පිළිගැන්වීමේ මහා පින්කමකට ආරාධනා කළේය. එයට සහභාගි වූ ඛුජ්ජුත්තරා දහම් අසා සෝවාන් ඵලයෙහි පිහිටියාය. වෙනදා කහවණු හතරක පමණක් මල් මිලදී ගන්නා ඛුජ්ජුත්තරාව එදින කහවණු අටෙහිම මල් මිලදී ගත්තාය. එදින වෙනදාට වඩා මල් ගෙන ආ ඛුජ්ජුත්තරාව දුටු සාමාවති බිසව එයට කරුණු විමසීය. ඊට පසු සියල්ල පැවසූ ඇය දහම් අසා සෝවාන් ඵලයෙහි පිහිටි බව පැවසීය. සාමාවති බිසව ඛුජ්ජුත්තරාව ඇසූ බණ තමාටද දෙසන ලෙස පැවසීය. මීට පසු ඛුජ්ජුත්තරාව තමා ඇසූ බණ එලෙසින්ම කීවාය. එය ඇසූ සාමාවති බිසව මෙන්ම ඇගේ පරිවාර ස්ත්‍රීහුද සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඊට පසු සාමාවතී බිසව ඛුජ්ජුත්තරාව දාස බවින් මුදා මව් තනතුරෙහි තැබීය.

එදින දම් සභාවට රැස් වූ භික්ෂූන් වහන්සේලාට ඛුජ්ජුත්තරාව පිළිබඳ ප්‍රශ්න කිහිපයක් ඇතිවිය. එනම් ඛුජ්ජුත්තරාව දාසියක්ව කුදුව ඉපදීමට හේතුවත් ඥානවන්තව ඉපදීමට හේතුවත්, සෝවාන් වීමට හේතුවත් කුමක් ද යන්නයි. දම්සභාවෙහි වූ භික්ෂූන් වහන්සේලාගේ මේ ප්‍රශ්නය දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ දම් සභාවට වැඩම කොට ඛුජ්ජුත්තරා පිළිබඳ වූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් ධර්මය දේශනා කළහ.

ඛුජ්ජුත්තරා පන, භන්තෙ, කෙන කම්මෙන ඛුජ්ජා ජාතා, කෙන කම්මෙන මහාපඤ්ඤා ,කෙන කම්මෙන සොතාපත්තිඵලං අධිගතා, කෙන කම්මෙන පරෙතං සෙනකාරිතා ජාතාති

ඛුජ්ජුත්තරාව දාසියක්ව ඉපදීමට හේතුව

පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන සමයේ ඛුජ්ජුත්තරා බරණැස් නුවර සිටුවරයාගේ දියණියක්ව ඉපිද සිටියා. තරුණ වයසෙහි වූ ඇය දිනක් තම ශරීරය සරසමින් සිටියාය. එම අවස්ථාවෙහි එක් රහත් මෙහෙණින් වහන්සේ නමක් එම සිටු දියණිය හමුවීම සඳහා මාලිගයට වැඩියහ. කෙළිදෙලින් සිටි සිටු දියණිය ,මෙහෙණින් වහන්සේ දැක ගරු සරු නොමැතිව “මාගේ ආභරණ පෙට්ටිය ගෙන එව“යි (ආය්‍යෙ, එතං තාව මෙ පසාධනපෙළකං ගහෙත්වා දෙරා”ති ආහ( එම රහත් මෙහෙණින් වහන්සේට අණ කළාය. එවිට රහත් මෙහෙණින් වහන්සේ සිතන්නේ “මැයට මෙය ගෙනත් නොදුන හොත් මාව මරවා අපායෙහි උපදින්නේය. මැය කියු දෙය කළොත් මාගෙන් වැඩගත් නිසා දාසියක්ව උපදින්නේයැයි දිවැසින් දැක අපායෙහි උපදිනවාට වඩා මැය දාසියක්ව ඉපදීම මැනවයි” සිතා ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය කී දෙය කළාය. රහත් මෙහෙණින් වහන්සේට දාසියකට සේ අණ කොට වැඩලත් පාපය නිසා ඇය ආත්ම ගණනාවක්ම දාසියක්ව ඉපිද අප බුදුරජාණන් වහන්සේගේ කාලයේද දාසියක්ව උපන්නාය.

ඛුජ්ජුත්තරාව කුදුව ඉපදීමට හේතුව

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි ඛුජ්ජුත්තරා එම රජුට දාසියක්ව උපන්නාය. නිතර රජ ගෙදරට මදක් කුදු ගැසුණු පසේ බුදුරජාණන් වහන්සේ නමක් දානය සඳහා වඩිති. පසේ බුදුරජාණන් වහන්සේ දන් වළඳා ආපසු වැඩිකල්හි එම දාසිය රතු රෙද්දක් පොරවා රන් තැටියක්ද අතැතිව අපගේ පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින්නේ මෙසේ යැයි පවසමින් කුදු ගැසී උන්වහන්සේ පිණ්ඩපාතයට වඩින අයුරු අනුකරණය කොට පෙන්වා අන් අය සිනා ගස්වයි. මෙසේ පසේ බුදුරජාණන් වහන්සේට අපහාස වන අයුරින් හැසිරුණු නිසා ආත්ම ගණනාවක් කුදුව ඉපිද මේ අත්භවෙහිද කුදුව උපන්නාය.

(අතෙකා උපට්ඨායිකා ඉත්ථී කම්බලං පාරුපීත්වා සුවණ්නසරණං ගහෙත්වා, “අම්හාකං පච්චේකඛුද්ධො එවඤ්ච එවඤ්ච විවරති”ති ඛුජ්ජා සුත්වා තස්ස විවරණාකාරං දස්සෙසි. තස්ස නිස්සන්දෙන ඛුජ්ජා ජාතා) ඛුජ්ජුත්තරාව සෝවාන් වීමට හේතුව පසේ බුදුවරුන්ට කළ උපස්ථාන නිසා ඇය සෝවාන් වන්නට තරම් භාග්‍යසම්පන්න වූවාය.

(පච්චේක බුද්ධානං කතඋපට්ඨානස්ස නිස්සන්දෙන පන සොතාපත්තිඵලං පත්තා)

ඛුජ්ජුත්තරාව ඤාණවන්තව ඉපදීමට හේතුව

තවද එක් අත් බවක ඛුජ්ජුත්තරාව බරණැස් නුවරම රජ ගෙදර දාසියක්ව උපන්නාය. දිනක් රජ ගෙදරට දානය පිණිස පසේ බුදුවරු අටනමක් වැඩියහ. දානය පිණිස උන්වහන්සේලාට ලැබුණේ උණු කිරිබත්ය. උණු කිරිබත් පාත්‍රවලට බෙදූ නිසා පාත්‍ර රත්විය. අත මත පාත්‍රය තබා ගන්නට නොහැකි තරමට පාත්‍රය රත් වූ නිසා පසේ බුදුරජාණන් වහන්සේලාට පාත්‍රය දකුණතින් වම් අතටත් වමතින් දකුණූ අතටත් මාරු කරන්නට සිදුවිය. මෙය දුටු මෙහෙකාර ස්ත්‍රිය ස්ථානෝචිතව කල්පනා කොට තමා සන්තකයේ තිබු ඇත්දත් වළලු අට පූජා කළාය. ඒවා පිළිගත් පසේ බුදුරජාණන් වහන්සේලා පාත්‍රය ඒ මත තබා අපහසුතාවකින් තොරව දානය වැළඳූහ. මෙසේ තැනට සුදුසු ලෙස ඤාණවන්තව කටයුතු කළ නිසා මේ අත් භවෙහි ඇය සෝවාන් වීමට තරම් ඤාණයෙන් යුක්ත වීමට භාග්‍යවන්ත වූවාය.

(සා ඉත්ථ තෙ තථා කරොන්තෙ දිස්වා අත්තනො සන්තකානි අට්ඨ දන්තවලයානී දත්වා” “ඉධ ඨපෙත්වා ගණ්හථා”ති ආහ)