Print this Article


පිළිගැනීම සහ පිළිගැන්වීම

පිළිගැනීම සහ පිළිගැන්වීම

පිළිගැනීම යන්න බෞද්ධ සමාජයකට කෙතරම් අවශ්‍ය වන්නේ ද යන්න ගැන අප පසුගිය කලාපයෙන් කතා කළා. මේ පිළිගැනීම එක්තරා අතකින් බලපෑම් කරන්නට සමත් ආකාරයෙන් සකස් කර ගන්නටත් අපගේ ඇතැම් අය කටයුතු කර තිබෙනවා.තවත් අතකින් මේ පිළිගැනීම පිළි නොගැනීමේ ධර්මයක් ලෙසින් සකස් කර ගන්නටත් අපගේ සමාජ පිරිස් හුරුවී තිබෙනවා.

පෙර කතා කළ පරිදි පිළිගැනීම හා නොපිළිගැනීම යන සිද්ධාන්තයන් අප සමාජයේ තැන්පත් වන්නේ එක් පාර්ශ්වයක් විසින් ස්වයං තීරණ ලබා ගන්නා විටයි. එය සමාජයේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට බලපානු ලබනවා.

දෙදෙනකු අතර සිදුවන කිසිදු කාර්යයකදී එක් අයකුගේ තීරණ පමණක් ක්‍රියාත්මක කිරීම බුදුදහම කිසිම විටක අනුමත කරන්නේ නැහැ. විශේෂයෙන්ම යම් අයකුට යම් දෙයක් ලබා දීමේ දී අප විසින් බොහෝ දේ සිතා බැලිය යුතු වනවා.

මදක් සිතා බලන්න ඇතැම් විට වැඩිහිටි නිවාසයක වැඩිහිටියන්ට එහි පාලක පිරිස් රසකැවිලි ආහාර පිණිස ලබා දෙන්නේ නැහැ. නමුත් වැඩිහිටියන් ඒ ආහාර පිළිගැනීමට බලා සිටිනවා. එහෙත් ලබා දෙන්නා එය පිරි නමන්න සූදානම් නැහැ. ඇතැම් විට පිරිනමන්නා සූදානම් වූවත් අතරමැදියකු ඒ සඳහා හරස් කපනවා. ඔයාල ඕව දිල යයි. අපි එපැයි වද විඳින්න. යම් ආහාරයක් හෝ පානයක් ආහාරයට ගැනීම හෝ නොගැනීම එසේත් නැත්නම් රෝගාබාධයකින් පෙළෙන්නේ නම් එය පාලනය කර ගැනීමට අදාළ තැනැත්තා පියවර ගන්නවා විනා එය ලබා නොදුන් විට එතැන විශාල වරදක් සිදුවනවා.

අප කළ යුත්තේ ලබන්නාට අවශ්‍ය දේ ලබාදීමයි. සිතේ සතුටක් ඇතිව ආහාර ලබා දීමයි වැදගත් වන්නේ. එවිටයි නියම දානමය පින්කමක් සිදුකරගත හැකි වන්නේ. එම ආහාර පාලනය කර ගැනීම හෝ ආහාර ගැනීමෙන් වැළකීම ලබන්නා විසින් කළ යුත්තක්. එසේ නොමැතිව වැඩිහිටි නිවාස වැනි ස්ථානවල සිටින වයෝවෘද්ධ අයට කෑ ගැසීමෙන් හෝ වධකයන් මෙන් වැඩිහිටියන්ට ලබාදීමට ගෙනා ආහාර ඉවත් කිරීමෙන් සිදු වන්නේ අකුසලයක් සිදු කර ගැනීම පමණයි.

විශේෂයෙන් වැඩිහිටි නිවාසයන්හි සිටින පුද්ගලයන් අසරණ වූවන් ද? ඔවුන් සිටින්නේ මුදල් ගෙවාද? යන්න ගැන අප කතා නොකළ යුතුයි. සේවාවක් ලෙසින් එය කරන්නේ නම් එය නිසි ආකාරයෙන්ම කළ යුතු වෙනවා. අප කරන්නේ සේවාවක් නම් ලබා දෙන්නේ වැඩිහිටි ආහාර නම් ඔවුන් කැමැති දේ ලබා දීමට කටයුතු කළ යුතුයි. දහ දෙනෙක් කැමැති ආහාර වර්ග දහයකට නම් අනිවාර්යයෙන්ම එය කළ යුතු වෙනවා. මෙසේ ඉන්න වැඩිහිටියන් ශාසනයේ නිවන් දකින්න ආපු පිරිසක් නෙමෙයි. එයාල බැරි අමාරු තත්ත්වයන්ට පත් වුණායින් පස්සේ අප ඒ අය අල්ල ගත්තේ අපි සලකන්නම් කියලා. එසේ ඒ අය බාර ගත්ත නම් ඒක කරන්න ඕන. අප බාර ගත්තේ නැත්නම් ඒ අය කොහේ හරි නෑයෙක් ළඟ ඉඳියි. අඩුම ගානේ නිවසක් නැත්නම් මහ මඟ හෝ තමන්ට කැමැති ආකාරයකට දිවි ගෙවයි. නමුත් සිදුවන්නේ ඒ අයගේ වගකීම් බාර අරගෙන ඔවුන්ගේ අවශ්‍යතා අපට ඕනෑ විදිහට ඉටු කරන්නට යාමයි. අවම වශයෙන් සීනි තියෙන අයට ඊට ගැළපෙන ආහාර කොළොස්ටරෝල් තිබෙන අයට ඒ විදිහට සුදුසු ආහාර ලබා දීමයි වැදගත් වන්නෙ. ගුවන් යානයක ගමන් කරද්දී අවශ්‍යතා අනුවයි ආහාරපාන ලබාදෙන්නෙ. එසේම ගමේ කුඩා කඩයකට ගියත් අවශ්‍යතාව අනුවයි අවශ්‍ය දේ ලබා දෙන්නේ. අසා විමසා බලා කැමැති දේ ලබාදීමයි වැදගත් වන්නේ.

දානයකදී ව්‍යංජන වර්ග විස්සක් තිහක් පමණ සකස් කරන්නේ ඇයි? අවශ්‍ය අයට අවශ්‍ය දේ ලබා ගැනීමටයි ඒ අයුරින් කටයුතු කරන්නේ. දානයකදී එක් ව්‍යංජනයක් ලබා දෙන්නත් පුළුවන්. ඒ ලබා දෙන්නාගේ හැකියාවයි. එසේම ව්‍යංජන තිස් දෙකක් සමඟ දානයක් ලබා දෙන්නත් පුළුවන්. එක් වර්ගයකින් අට බැගින් සකසා අසදුස මහා දානයක් ලබා දෙන්නත් පුළුවන්. එහිදී දානය ලබන්නා තමන්ට අවශ්‍ය දේ පමණක් මෙය කැපයි, මෙය අකැපයි යනුවෙන් අවශ්‍ය ආකාරයට අවශ්‍ය දේ වෙන් කර ගන්නවා. වර්තමානයේ ව්‍යායාම අඩුවීමයි මේ සියල්ලටම හේතුවී ඇත්තේ. අතීතයේ වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි සංකල්පය යටතේ ගැමියා නිරතුරුවම කුඹුරු ගොවිතැන් කර විහාරස්ථානයටත් පා ගමනින් ගමන් කළා. එම නිසා ව්‍යායාමය නිතැතින්ම ලැබුණා. ස්වාමීන් වහන්සේත් ගැමියාගේ නිවසට පාගමනින් වැඩම කළා. විහාරස්ථානයේ විශාල භූමි වපසරියේ නිරතුරුවම පාගමනින් වැඩම කළා. අද මේ තත්ත්වය වෙනස් වෙලා. නිවසයි පන්සලයි අතරේ සබැදියාව ත්‍රි රෝද රථයකින් සම්බන්ධ වෙලා. මේ නිසා ව්‍යායාමය අතුරුදන් වෙලා.

කෙසේ වූවත් අතීතයේ සිටම පැවත ගෙන එන අපේ දානමය සම්ප්‍රදාය අප ඒ අයුරින්ම රැක ගත යුතු වෙනවා. සුජ කෝප්පයෙන් අරඹා බත්, පලතුරු, අතුරුපස අවසානයේ පිළිගන්වන කෝපි කෝප්පය දක්වාම සිදු කෙරෙන මේ දානමය පින්කමේ ක්‍රමවේදය ඒ අයුරින්ම තබා ගැනීමයි වැදගත් වන්නේ. අපේ මේ බෞද්ධ දානමය පින්කමක් දුටු විදේශිකයෙක් ඒ ගැන මවිතයට පත් වී අවසානයේ කෝපි වළඳන ආකාරය දැක එය සමබල ආහාරයක් බව පවසා තිබෙනවා.බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ පිළිගැනීම හා පිළිගැන්වීමේ සංකල්පය ඉතා ඉහළින්ම සිදු කෙරෙන සංකල්පය දානමය පින්කමයි.

පිළිගැනීමේ දී අනුගමනය කළයුතු සංකල්පය කුමක්ද? අපේ බොහෝ දන්සල්වල ආහාර පාන බෙදා දෙනවා.නමුත් පහුගිය වෙසක් දිනවල රාජ්‍ය නායකයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු දන්සලකදී කිසිදු සීමා බන්ධන තිබුණේ නැහැ. අවශ්‍ය තරම් අවශ්‍ය අයට ලබා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් එහිදී රූපවාහිනියෙන් දැක ගැන්මට ලැබුණු ආකාරයට බොහෝ අයට කිසිදු ආහාර සීමාවක් තිබුණේ නැහැ. කුඩා දරුවන්ට පවා ආහාර ලබා ගන්නා ආකාරය පුරුදු කර තිබුණේ නැහැ. අප හැම විටම ලබා ගත යුත්තේ අපට සරිලන අවශ්‍ය ප්‍රමාණය පමණයි. මේ සඳහා හොඳම උදාහරණයක් බුද්ධ ශාසනයෙන් ලබා දෙන්න පුළුවන්. කොසොල් රජතුමා ආහාර අධික ලෙසින් ගැනීමට පුරුදු වී සිටියා. බුදුරජාණන් වහන්සේ මේ බව දැක රජතුමාට වදාළ සිටියේ සේවකයෙක් පත් කර දිනකට බත් පිඬක් බැගින් අඩු කරගන්න ලෙසයි. රජතුමා ඒ අනුව කටයුතු කළා. අවසානයේ තමන්ට දැනුණු පහසුව රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා.

බුද්ධ දේශනාව වන්නේ ආහාර පිඬු කිහිපයක් ගැනීමට හැකියාව තිබියදී ආහාර ගැනීම නිම කර ජලය පානය කරන ලෙසයි. අද වෛද්‍ය මතය වී තිබෙන්නේත් පිෂ්ඨය අඩංගු ආහාර අඩුවෙන් ලබාගෙන එළවළු හා පලතුරු වැඩියෙන් ලබා ගත යුතු බවයි. අපේකම බොහෝ දුරට ඈත්වෙලා. කුරුම්බා ගෙඩියක්, අඹ ගෙඩියක් අද අපේ ආහාර වලින් ඈත් වෙලා. අද අපේ දරුවන් අතරේ වෙරළු ගෙඩිය නොදන්නා දරුවන් ඉන්නවා.ලාවලු ගෙඩිය නොදන්නා දරුවන් ඉන්නවා. ලොවි ගෙඩිය නොහඳුනන දරුවන් සිටිනවා. අපේ රටේ ආහාර ගන්නා රටාවේ මෙන්ම වේලාවේත් කිසිදු සීමා නැහැ. අනෙක් ආසියාතික රටවල් උදාහරණයකට ගන්න. චීනය, දකුණු කොරියාව, ජපානය වගේ බෞද්ධ රටවල ආපන ශාලා විවෘතව තිබෙන්නේ උදේ 06.30 ඉඳල උදේ 8.00 වගේ වෙනකම් විතරයි.

නැවත දවල් 11.00 ඉඳල දහවල් 1.00 පමණ දක්වා විවෘතව තිබෙනවා. සවස 5.30 පමණ සිට රාත්‍රී 7.30 පමණ දක්වා යළි විවෘතයි. නමුත් අපේ රටේ එහෙම වෙලාවල් නැහැ. උදෑසන 10.00 ටත් උදේ ආහාර ගන්න පුළුවන්. හවස 4.00 ටත් දවල් ආහාර ගන්න පුළුවන්. අපේ රට වැසියන් මේ නිසා විවිධාකාර වේලාවන්වලදී ආහාරපාන ලබාගැනීමේ වැරැදි ක්‍රම අපේ අතර අද මුල් බැස බැස ඇත. මේ නිසා දේශීය ගොවීන් විවිධාකාර අපහසුතාවලට පත් වෙලා.

අපේ සිත්හි මුල් බැස ගත් වැරැදි අදහස් නිසා බොහෝ වත් පිළිවෙත් අපෙන් ඈත් වෙලා. එමෙන්ම වැරැදි දේ මුල් බැස ගෙන තිබෙනවා. භික්ෂූන් වහන්සේට දානමය පින්කමකදී හිස් පිඟන් ලබා දීම නුසුදුසුයි කියා පැයකට දෙකකට පමණ කලින් බෙදන ලද ආහාර පිළිගැන්වීම මේ එක් වැරැදි මතයක්. මේ සඳහා හොඳම උදාහරණය දකුණු පළාතෙන් ලබා දෙන්න පුළුවන්. එම ප්‍රදේශයේ ජනතාව බත් බෙදීම සඳහා යොදා ගන්නේ නෑඹිලියයි. එය ඉතාම හොඳ මෙන්ම සුදුසු උපකරණයක්.නෑඹිලිය යොදා ගන්නේ බත් ඉවීමේ කාර්යයන් සඳහා පමණයි. බේසම වැනි භාණ්ඩ වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගන්නා නිසා නෑඹිලිය මේ සඳහා යොදා ගැනීම වැදගත් වනවා.

පිළිගන්වන්නා මෙන්ම පිළිගන්නා යන දෙදෙනා කෙරෙහිම සැදැහැසිත් ඇතිවන්නේ අන්‍යෝන්‍ය විශ්වාසය මතයි. අපේ රටේ බොහෝ දුරට ගැටුම් ඇති වන්නේ මේ දෙපාර්ශ්වය අතර එකඟතාවක් නිසි පරිදි ඇති නොවීමයි. මේ නිසා මොනයම් හෝ ආකාරයකින් දෙපාර්ශ්වයක් අතර යම් කාර්යයක් සිදුවීමේ දී දෙපාර්ශවයේම අදහස් පරිදි කටයුතු කිරීම මෙහිදී ඉතාම වැදගත් වනවා.විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් අන්‍ය මත ගරු කරමින් ඔවුන්ගේ අදහස් ද යොදා ගෙන කටයුතු කරන්නේ නම් එය සමාජීය යහපතට ඉවහල් වන බව හොඳින්ම තේරුම් ගත යුතු වනවා.

සාකච්ඡා කෙළේ - තාරක වික්‍රමසේකර