Print this Article


ත්‍රි ලක්ෂණය අවබෝධය මඟින් ජීවිතයට සහනයක්

ත්‍රි ලක්ෂණය අවබෝධය මඟින් ජීවිතයට සහනයක්

විකසිත කුසුමක අසිරිය මැවූ මේ සුන්දර රූප ශෝභාව ළමා විය. තරුණ විය ඉක්මවා මහලු වියට පත්වනතුරු කෙතරම් වෙනස්වීම්වලට බඳුන්වේද ? ළදරු වියේ මල් කැකුළක් බඳු ශරීරයට යොවුන් වියේ ආකර්ෂණීය පිරිපුන් බවකින් සමලංකෘත වු විට එය ආත්මීය වශයෙන් වැළදගන්නේ තමන්ම පමණක් නොවේ. කිසිදා නවතාලිය නොහැකි විපරිනාමීය ධර්මතාවයකට යටත්ව ඇති දෙතිස් කුණපයන්ගෙන් යුතු මේ සිරුර ඇසුරුකොට පවතින මිල කළ නොහැකි සිත හා සිතිවිලි නිවැරැදි කර ගැනීමටත් පිරිසුදු කර ගැනීමටත් ආරක්ෂා කර ගැනීමටත් උත්සාහ දරන කිසිවෙකු මේ අතර සිටීද?

අප උපන්නේ කුමක් සඳහා දැයි කිසිවෙකු අපෙන් විමසූ විටක දිය හැකි නිවැරැදි පිළිතුර කුමක් දැයි නිශ්චය කර ගැනීම අසීරුය. එහෙත් බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති පුද්ගලයෙකු මීට නිවැරැදි පිළිතුරක් සපයාගනු ඇත. එවැනි නිරවද්‍ය පිළිතුරු රාශියක් අතරින් එළැඹිය හැකි පැහැදිලි නිගමනය මෙයයි.

සංසාර ගමනේ නිමාවක් දකිනු පිණිස විදර්ශනා ඥානය උපදවා ගැනීම මිනිස් ලොව ඉපදීමේ අරමුණයි.

විදර්ශනා යනු විස්තර සහිතව දර්ශන කිරීමයි. හෙවත් සවිස්තරාත්මකව බැලීමයි. ලෝකයේ පැවැත්ම දෙස විස්තරාත්මකව බලන විට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ ත්‍රය අවබෝධ වෙයි. අනිත්‍ය යනු ස්ථීරත්වයක් නැති බවයි. මෙම අස්ථිරත්වය ලොව පුරා පැතිරී ඇති යථාර්ථයයි. නොවෙනෙස් වන කිසිවක් ලෝකය තුළ අපට හමු නොවේ. පරිනාමය – විපරිනාමය ආදී ලෝකය පිළිබඳ ස්වභාවයන් අර්ථ දක්වන වචන පහළ වී ඇත්තේ මේ වෙනස්වීම් පදනම් කරගෙනය.

අප මෙලොව ජීවත්වන විට සතුට, පී‍්‍රතිය, සිනහව ,සොම්නස ආදි වඩාත් සුබවාදී ආකල්ප සමඟ හැසිරෙන්නේ හුදෙක් ඉහත කී අනිත්‍යතාවය මදකට අමතක කරමිනි. හෙවත් යථාර්ථය යටපත් කර ගැනීමෙනි. ඉද හිට හෝ අප අනිත්‍යතාවයන් පිළිබඳ අත්දැකීම්වලට මුහුණදෙන විට හඬා වැළපෙමු. දුක් සුසුම් හෙළමු. ලෝකය තුලින් සදාකාලික සැප ප්‍රාර්ථනා කරන පුද්ගලයන් දුක් සහිත අත්දැකීම් ලත් විට සියදිවි පවා නසාගන්නේ එබැවිනි. මේ අනුව පැහැදිලි වන දෙවන ලක්ෂණය නම් දුක්ඛ යනුවෙන් සඳහන් වන සිතට පීඩාගෙන දෙන සංකල්පයයි.

අප ජීවත්වන ලෝකය වෙනස්වීම් සහිතයි. එබැවින් දුක් සහිතයි. මේ කරුණු දෙක නිසා පැහැදිලි වන තුන්වන යථාර්ථය නම් අනාත්ම යන්නයි. ඉන් අදහස් වන්නේ (න +ආත්ම = අනාත්ම) ආත්මයක් හෙවත් මමය,මාගේය යන උරුමකරුවකු පිළිබඳ පවතින මායාවයි. මගේය, යනුවෙන් වැළඳගැනීමට හෝ උරුමකර ගැනීමට යමක් මෙහි නැති බව අපට පසක් වන්නේ මේ තුන්වන ලක්ෂණය තේරුම් ගත් විටයි.

මේ අනුව ත්‍රිලක්ෂණය යනු තෘෂ්ණා මායාවෙන් වෙලී සිටින ,ආශා රැහැනින් බැඳී සිටින ජීවිත වහලුන් විසින් තේරුම් නොගන්නා ලෝකය පිළිබඳ ස්වභාවයයි. මෙය දැන දැක පසක් කරගත් පුද්ගලයා ලෝකය දිනුවෙකි. ලෝකයේ ඉපදීම පිළිබඳ අරමුණ ඉටුකර ගත්තෙකි.

විකසිත කුසුමක අසිරිය මැවූ මේ සුන්දර රූප ශෝභාව ළමා විය. තරුණ විය ඉක්මවා මහලු වියට පත්වනතුරු කෙතරම් වෙනස්වීම්වලට බඳුන්වේද ? ළදරු වියේ මල් කැකුළක් බඳු ශරීරයට යොවුන් වියේ ආකර්ෂණීය පිරිපුන් බවකින් සමලංකෘත වු විට එය ආත්මීය වශයෙන් වැළදගන්නේ තමන්ම පමණක් නොවේ.

සෞන්දර්යාත්මක යොවුන් සිරුර වැහැරෙන්නට නොදී රැකගැනීමට වෙර දරන වියපත් පුද්ගලයන් ඒ සඳහා සිදුකරන කැපකිරීම් සිනා උපදවන සුළුය. තමන් වෙතින් ගිලිහීයන සුන්රත්වය රැකගනු පිණිස දහස් ගණන් මුදල් වැය කරන ගැහැනුන්ගෙන් හා මිනිසුන්ගෙන් අප සමාජය පිරී පවතී.

කිසිදා නවතාලිය නොහැකි විපරිනාමීය ධර්මතාවයකට යටත්ව ඇති දෙතිස් කුණපයන්ගෙන් යුතු මේ සිරුර ඇසුරුකොට පවතින මිල කළ නොහැකි සිත හා සිතිවිලි නිවැරැදි කර ගැනීමටත් පිරිසුදු කර ගැනීමටත් ආරක්ෂා කර ගැනීමටත් උත්සාහ දරන කිසිවෙකු මේ අතර සිටීද?

බුදුපියාණන් වහන්සේට මල් පූජා කරන විට අප ගයන ගාථාවේ මෙබඳු අදහසක් ඇත. ‘මල් මැළවී යයි (පුප්පං මිලායාතී) එසේම මාගේ ශරීරයද විනාශ භාවයට පත්වෙයි. (කායෝ තථා යාති විනාසභාවං) බුදුරදුන්ට පුදන කුසුම පවා අපට කියා දෙන්නේ මැලවෙන මලක් බඳු ශරීරය විනාශ වී ගියත්, එහි රැදුනු ගුණ සුවඳ විශ්වයට දානය කළ හැකි බවයි. යථාර්ථය තේරුම්ගත් සිතක මහිමය කුණුවී යන සිරුරක හැඩරුවට වඩා කෙතරම් බලවත්ද?

ත්‍රිලක්ෂණය අවබෝධරකරගත් ජයග්‍රාහී මිනිසා සියලු අභියෝග ඉදිරියේ අකම්පිතය. ලෝකයේ සිදුවන වෙනස්වීම් ඔහු උගත් දහමට එකඟ බැවින් කම්පාවට හේතුවක් කර නොගනී. විපරිනාමීය දුක ඔහුට නොදැනේ. උරුම කරගත හැකි යමක් මෙලොව නැති බව පිළිගන්නා මෙම ජයග්‍රාහකයා අහිමිවන කිසිවකින් කම්පා නොවේ. ඔහු මෙලොව කිසිවක් ආත්මීය වශයෙන් ඇද බැඳගෙන නොසිටි බැවිනි.

අනිත්‍ය – දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට ජාති,ආගම්, කුල පාට ආදි සියලු භේදයන්ගෙන් තොරව සත්ව වර්ගයා මුහුණ දිය යුතුය. එයට පටහැනිව ක්‍රියා කරන සියලු තැනැත්තන් දුක් දොම්නස් හමුවේ කම්පාවටත් ,අසහනයටත් පත්ව මෙලොවින් සමුගනී. මෙය වටහාගත් තැනැත්තා මෙලොව සුවසේ වෙසෙයි. ඔහු අනුභව කරන ආහාර පාන අඳින පළදින ඇඳුම් පැළඳුම් ගමන් බිමන් යන යාන වාහන වාසය කරන ගේ දොර ඉඩකඩම් සියල්ල පරිහරණය කරන්නේ ඉතා වගකීමෙන් යුතුවයි. ඒ සියල්ල මෙලොව ජීවත්වීම සඳහා පමණක් තාවකාලිකව උරුම වී ඇති කවදා හෝ අත්හැරිය යුතු වස්තුන් ලෙස සැලකීමට ඔහුට නුවණ තිබේ.

මෙලොව සැනසීම ඔහුට හිමිවේ.

නිවනද ඔහුට දුර නොවේ.