Print this Article


පූජාච පූජනීයානං

හේන්පිටගෙදර ඤාණාවාස නා හිමි

දිවුලපිටිය හේන්පිටගෙදර කොරනේලිස් පෙරේරා සකලසූරිය පවුලේ කනිටු පුතණුවන් ලෙස 1917 ජනවාරි 14 දින උපත ලැබූ පින්වත් දරුවා නමින් කරුණාතිලක සකලසූරිය නම් විය. සකලසුන්දරාරාමය සඟ සතුකර පූජා කරන අවස්ථාවේ දී සකලසූරිය පවුලේ අය විසින් කරුණාතිලක සකලසූරිය කුඩා දරුවා ද සසුනට පූජා කරන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායකව වැඩ විසූ අති පූජ්‍ය හිස්සැල්ලේ ඤාණෝදය මහා නාහිමියන් වෙතින් 1926 දී හේන්පිටගෙදර ඤාණාවාස නමින් පැවිදි ජීවිතයට ඇතුළත් විය.

පැවිදි ජීවිතයට අදාළ මූලික අධ්‍යාපන කටයුතු බලගල්ල සරස්වතී මහ පිරිවෙනින් ලැබූ අතර වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනට වැඩම කරවන ලදී. 1940 දී අධිසීල උපසම්පදා භූමියට ඇතුළත් විය. 1946 දී රාජකීය පණ්ඩිත උපාධියත් 1955 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත් ලබා ගැනීමට සමත් විය. 1964 දී දර්ශන විශාරද උපාධිය ද ලබා ගත්තේ ය.

රත්නපුර ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් ශ්‍රී සුමන විද්‍යාලය හා සුමන බාලිකා උසස් විද්‍යාලය ආරම්භ කිරීමේ දී මූලිකව කටයුතු කළේ ය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අතර විදේශ රටවල් කිහිපයකම බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළේ ය.

රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ මෙන්ම බලගල්ල සරස්වතී මහ පිරිවෙනෙහි ද අධිපතිධූරය ද ඉසිලූහ. අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් සමඟ සෙවනැල්ලක් මෙන් කටයුතු කළ ඤාණාවාස නාහිමියන් වෙත ඤාණසීහ නාහිමියන් අදර්ශවත් වුහ.ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ව්‍යවස්ථාව සකස් කිරීම, බෞද්ධ කොමිෂන් සභා වාර්තාව, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ව්‍යවස්ථාව සකස් කිරීමේ දී ද මුල් තැන ගෙන කටයුතු කළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ නාහිමියන් නිකායේ දියුණුව උදෙසා ද මහත් සේවාවක් ඉටු කළේ ය.

1986 නොවැම්බර් 02 දින අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණාවාස නාහිමියන් විසින් ඉටු කළ සේවාවන් අගය කිරීමක් වශයෙන් සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේගේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරී බුළුගහපිටියේ සුමංගල නාහිමියන් හා විහාරස්ථාදායක සභාව, ශ්‍රී සුමන දහම් පාසල, බෞද්ධ කාන්තා සමිතිය ඒකාබද්ධව රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව ගුණ සමරු විශේෂ පින්කම් මාලාවක් නොවැම්බර් 1 – 2 දෙදින තුළ සංවිධානය කර ඇත.


නාරගල සුමනසිරි නා හිමි

කළුතර බුලත්සිංහල කළු ගඟ අසබඬ ඉහළ නාරගල ගම්මානයේ දී 1924 ජූනි 22 වන දින කත්‍රිආරච්චිගේ දොන් සෙමනේරිස් අප්පුහාමි මහතාටත්, තඹවිටගේ දොන් මිසිනෝනා මාතාවටත්, දාව පවුලේ දෙටු පුතු ලෙස ජන්ම ලාභය ලබා ඇත.

1937 අගෝස්තු 25 වන දින ගෝවිනිමානානේ ශ්‍රී සුදර්ශනාරාමයේ දී රයිගම් හේවාගම් පස්යොදුන් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක කොබවක සිරිසුමන නා හිමියන්ගේ ඉල්ලීම මත දෙමාපිය ආශිර්වාදය මැද පැවිදි දිවියට පත් වූහ. උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ ලෙස කටයුතු කරන ලද්දේ බැල්ලපිටිය විද්‍යාශේකර පරිවේනාධිපති ජඹුරලියේ ශ්‍රී ප්‍රඥානන්ද නාහිමියන් ය.

1940 /1943 වර්ෂවලදී බැල්ලපිටිය විද්‍යාශේකර පිරිවෙනෙන් මූලික දහම් අධ්‍යාපනයෙන් පසු 1944 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා ගෝනගල ශ්‍රී සුධම්මකාර පිරිවෙනට ඇතුළත්ව යගිරල ශ්‍රී ප්‍රඥානන්ද නාහිමියන්ගෙන් ද අධ්‍යාපනය ලබා ඇත. සිංහල භාෂාව, පාලි, සංස්කෘත ආදී භාෂා කිහිපයක් හැදෑරූහ.

1954 ජූනි 14 වන දින මහනුවර මල්වතු මහාවිහාරිය මංගල උපෝසථගාරයේ දී උපසම්පදා සීලය ලැබූහ. ගෝවිනි මානානේ ශ්‍රී සුදර්ශන දහම් පාසල් ගුරුවරයෙකු ලෙසත් 1952 – 1960 කාලය තුළ දේවමුල්ල ශ්‍රී සුමංගලාරාමයට වැඩම කළ අතර එහිදී ද දහම් පාසලක් ආරම්භ කළ අතර ආවාසගෙය, විහාර මන්දිරය, බෝධිප්‍රාකාරය, ආදී විහාරාංග ඉදිකරමින් භෞතික සම්පත් වල දියුණුවක් ද මානව සම්පත සඳහා මෙලොව පරලොව දියුණුව සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අපරිමිත ශාසනික මෙහෙවරක් ඉටුකරන ලද සුපේසල ශික්ෂාකාමී සංඝපීතෘවරයෙක් විය. ජීවිතයේ තීරණාත්මක ගමනකට වැඩම කරන්නේ 1960 දී ය. ඒ කොබවක සුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙසය. එදා සිට අපවත්වනතුරු කොබවක ගම බබළන මිණි පහන වූයේ කොබවක නා හිමිපාණන් වහන්සේ ය.

චතුර කථිකත්වය, ධර්ම කරුණු පැහැදිලි කිරීමේ සරල බස් වහර, ඕනෑම සභාවක් නිහඬ කර ගැනීමේ වාග් විලාසය, තේජාන්විත පෙනුම, කරුණාවන්ත හදවත, තැනට සුදුසු නුවන ආදී අපරිමිත ගුණාංගවලින් පිරිපුන් නිසා නාහිමි මුළු ගමේම නායකයාණෝ වූහ. ස්වභාවික පරිසරය අනුව කළුගඟ, මායිම් සුන්දර කොබවක ගම්මානය කඳු පන්ති රාශියකින් කෙත්වතුවලින් ද තේ, රබර්, පොල් ආදී නේක බෝග වගාවන්ගෙන් ද සශ්‍රීක පින් බිමක් වූහ. මුළු ගම්පියසේම ජනතාව එකම අරමුණක් කරාගෙන යාමේ උතුම් වූ හැකියාව නා හිමියන් සතුව තිබුණි. උන්වහන්සේගේ සෘජු නොසැළෙන ගුණාංගය නිසාත් කිවයුතු දෙය සෘජුවම ප්‍රකාශ කරන උතුම් ගුණයෙන් යුක්ත වූ නිසාත් ගම්වාසීන් නායක හාමුදුරුවන්ට නිතැතින්ම ගරු කළහ.

කොබවක ශ්‍රී සුමනාරාමයට අත්‍යවශ්‍ය විහාරාංග ඉදිකිරීම සඳහා දායක දායිකාවන් මෙහෙයවන අතර නායක හාමුදුරුවන් වහන්සේ තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් හා හිතවතුන්ගේ ආධාර උපකාරයෙන් මනරම් කුඩා ස්තූපයක් ඉදිකරවමින් ජනතාවට වැඳුම් පිදුම් කිරීමට අවශ්‍ය මඟ හදා දී ඇත. 285 මාර්ගයේ සිට බලනවිට දර්ශනීය පියගැට පෙළක් මෙම සිද්ධස්ථානයේ ද ඉදිකරවා දෙපස සු අරලිය රෝපණය කරවූයේන් ඔසු උයන සකස්කර දුර්ලභ ඖෂධ පැළෑටි වගා කරවූයෙන් නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදිය.

උන්වහන්සේගේ ශාසනික, ආගමික, සාමාජික මෙහෙවර අගය කරමින් මල්වතු මහා විහාරීය සංඝ සභාව මඟින් 1991 සැප්තැම්බර් 07 වන දින උන්වහන්සේට විනය කීර්ති ශ්‍රී භාරතීශ්වර සිරිසුමන යන ගෞරව උපාධිය සහිතව පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක පදවියෙන් පුදනු ලැබූහ. නායක හාමුදුරුවන් වහන්සේ වරින්වර අසනීප තත්ත්වයෙන් පෙළෙමින් සිට කොබවක ශ්‍රී සුමනාරාමයේ වැඩ සිටි අතර උන්වහන්සේගේ ශිෂ්‍යයකු වන දෙල්මෑල්ලේ සුමනරතන හිමියන් හා දායක දායිකාවන් විසින් නිරන්තරයෙන් ඇප උපස්ථාන කළහ. වයෝවෘද්ධ තත්ත්වයට පත්වෙමින් සිටි අප නායක හාමුදුරුවෝ තමන් වහන්සේ පැවිදි දිවියට පත් වූ මුල් පන්සල වූ ගෝවින්න ශ්‍රී සුදර්ශනාරාමයට නැවත වැඩම කරමින් තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ගෝවින්න මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රපති, සද්ධම්ම කීර්ති ශ්‍රී ධම්ම විශාරද, පණ්ඩිත, නවදගල චන්දසිරි හිමියන්ගේ ඇප උපස්ථාන මැද අවසන් සුසුම් පොද වාතලයට මුසු කරමින් ලොව සියල්ල අනියත බව අප හැමට පසක් කරමින් අපවත්වනතුරුම එහිම වැඩ විසූහ.

මෙයට වසර පහකට පෙර අපවත්වී වදාළ නාරගල සුමනසිරි නාහිමියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස වත්මන් කොබවක ශ්‍රී සුමනාරාමාධිපති හා ප්‍රවාහන මගී සංගම් උපදේශක, දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි, ශ්‍රී සුමනාරාමයේ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් කොබවක ශ්‍රී සුමනාරාමයේ දී නොවැම්බර් 01 දින ගිලන්පස බුද්ධ පූජා පින්කමක් ද, පසුදා එනම් නොවැම්බර් මස 02 වන දින දවල් ගරුතර මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

නොවැම්බර් මස 21/22 දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී ද පින්කම් මාලාවකි. නොවැම්බර් මස 21 වන දින සවස ශ්‍රී දළදා වහන්සේ වෙත පිරිනැමෙන ප්‍රණීත ගිලන්පස බුද්ධ පූජාවකි. පසුදා එනම් නොවැම්බර් 22 වන දින උදෑසන ශ්‍රී දළදා සමිඳුන් වෙත පිරිනැමෙන අමුතු මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාව පවත්වා ඉන්පසුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේ දී ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.


කදුරුපේ ගුණාලංකාර නා හිමි

රත්මලාන රජමාවත ශ්‍රී විද්‍යාරාමාධිපති සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක කදුරුපේ ගුණාලංකාර නා හිමිපාණන් වහන්සේ සිල්වත් ගුණවත් මහ තෙරනමකි.

දකුණේ ගාලු වැල්ලබඩපත්තුව ආශි‍්‍රතව බූස්ස කදුරුපේ ගම්පියසේදී වසර 1959 සැප්තැම්බර් 11 දා මෙලොව එළිය ලද අතර කදුරුපේ ධීරානන්ද විදුහලේදී අකුරු කර 06 වැනි ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය ලැබූහ.

වයස අවුරුදු 11 ක් සපිරෙන ළමා අවධියේදී තම සිතැඟි පරිදි මලවැන්න ශ්‍රී පුෂ්පාරාම මහා විහාරාධිපති වූ මාවඩවිල ගුණානන්ද හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1971 දෙසැම්බර් 22 දින සසුන් ගත විය. පැවිදි ජීවිතයේදි උසස් අධ්‍යාපනය දක්වා පිරිවෙන් අධ්‍යාපනය ලද නාහිමිපාණෝ 1980 ජුනි 25 දින බලපිටිය මහා කප්පින වලව්වේ උදකුක්ඛේප සීමාවේදී උපසම්පදාව ලබා ගත්හ. ගුරු වෘත්තියට 1983 දී පත්වීමක් ලබා ගත් උන්වහන්සේ 1986 -1987 දී පිරිවෙන් ගුරු විදුහලෙන් ගුරු පුහුණුව ලබා ගත්හ. ගා/ක්ෂේත්‍රාරාම පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ධුරය ද කළුතර පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණනාධිපති ධුරය දරමින් සිට උන් වහන්සේ දෙහිවල ශාස්ත්‍රානන්ද පිරිවෙනට ස්ථාන මාරුවක් ලබා ගත්තේය. එකී පිරිවෙනේ දැන් පරිවේණාධිපති ධුරය උන්වහන්සේ හොබවති. උන්වහන්සේ සේවය අගයමින් 2005 වසරේදී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය මගින් කොළඹ සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය සහිත ශ්‍රී ප්‍රඥාවතංස සිරිගුණානන්ද සද්ධර්ම කීර්ති ශී‍්‍ර යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ. මලවැන්න ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය රජ්ගම දේවපතිරාජාරාම පුරාණ විහාරය, මාතර පරමුල්ල චූලාලංකාර විහාරය, රත්මලාන රජමාවත, ශ්‍රී විද්‍යාරාම විහාරය යන සිව් විහාරයන්ගේ අධිපතිත්වය දරමින් සසුනට පැවිදි සිසුන් රැසක් දායාද කර ඇත. ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරණ මාවඩවිල ශාන්ත හිමි බුද්ධම නන්දසාර හිමි, රුප්පෙබැද්දේ චූලාලංකාර හිමි, බුද්ධම සාරාලංකාර හිමි ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් 15 නමක් පමණ සාසනය දායාද කර ඇත. රජමාවත ශ්‍රී විද්‍යාරාමයේ නිතර වැඩ වාසය කරමින් ප්‍රදේශයට ඉමහත් සේවයක් කරන උන්වහන්සේ සමිති සමාගම්වල නිලතල දරමින් 2004 වසරේ දී සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලැසීමට මූලිකත්වය ගෙන කටයුතු කළහ. ඉකුත් 11 වෙනි දින පනස් පස් විය සපිරූ කදුරුපේ ගුණාලංකාර නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .