UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාවල ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය

මාවල ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය

හාත්පස ඉතා ඝනව විහිදී ඇති කොන්ක්‍රීට් පද්ධතීන්ගෙන් සමන්විත ගොඩනැගිලි වේ. පරිසරය ඉතා කලබලකාරිය. නාගරීකරණය වූ පෙදෙසක වටපිටාව මෙලෙසින් වීම විස්මය දනවන්නක් නොවේ.

ඒ නගරයක ඇති අනන්‍යතාවය වන බැවිනි. අඟුලාන දුම්රිය පාරේ මඳ දුරක් පැමිණෙන විට මෙකී වටපිටාව අපට නිරන්තරව හමුවේ. එසේ පැමිණෙන අපට “සමන්පුර – ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය මුණ ගැසෙයි. ගොඩනැගිලි කිහිපයකින් සමන්විත වූ එම බෞද්ධ මධ්‍යස්ථානය සැදැහැවතුන් කාගෙත් සිත් නිවාලන පින් බිමකි. බෞද්ධ මධ්‍යස්ථානයට පෙර මෙහි පූර්ව කතන්දරය දිග හැරෙන්නේ විහාරස්ථානය පෙරටුකොටගෙනය. අනර්ඝතම ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානයට සුපේෂල ශික්ෂාකාමී හිමි නමකගේ නිවැරැදි මග පෙන්වීම යටතේ ඒ මහඟු ඉතිහාසය ගොඩනැගිණි. ලබුගම ශ්‍රී විමලතිස්සාභිධාන රයිගම් හේවාගම් පස්යොදුන් තුන්කෝරළයේ ප්‍රධාන සංඝනායක හිමියන් වේ. ඒ මඟ පෙන්වීම ලබා දුන්නේ වසර 40 කට වඩා වැඩි කාලයක් රයිගම් හේවාගම්පස් යොදුන් තුන්කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය දරමින් සුවිශාල මෙහෙයක් සිදු කරන ලදී.

උන්වහන්සේගෙන් පසුව පානදුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපතීත්වය දරමින් ශාස්ත්‍රපති උඩුගම ශ්‍රී විමලකිත්ති නාහිමියන් විසින් සිදු කරන්නාවූ ජාතික,ශාසනික හා අධ්‍යාපනික සේවය ඉමහත්ය. විහාරස්ථ ප්‍රගතිය භෞතිකව මෙන්ම ආධ්‍යාත්මිකව ඇති කරලීම නාහිමිපාණන් නිරන්තර වෙහෙස වන බවට මේ වන තෙක් සිදුව ඇති දියුණු වූ මං ලකුණූ විමසා බැලීමෙන් පැහැදිලිය.

2012.01.22 දින මාවල ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය ඇරැඹීම සුවිශේෂී සමාජ මෙහෙවරක ආරම්භය විය. විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා මත ඒ කටයුතු සියල්ල සිදු විය. නිරතුරුවම අතහිත දෙන පින්කැමැති ඉමහත් සත්භාවයෙන් යුතු දායක පිරිසකගේ සහයද විහාරස්ථානයට ලැබිණි. එහෙයින්, විහාරස්ථානය කේන්ද්‍ර කොට ජනතා සුබසෙත සඳහා විවිධ සුබ සාධක කටයුතු ක්‍රියාත්මක කරන්නට අවස්ථාව උදා වූයේය.ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි රොෂාන් විජේරාම මහතා විසින් තෙමහල් ගොඩනැගිල්ලක් තනාදි බෞද්ධ මධ්‍යස්ථානයට, විහාරස්ථානයට අද්විතීය මෙහෙයරක් කරන ලදී.


ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගෙන් කොටසක්

මෙහි පරිගණක අධ්‍යාපනයද දරුවන්ට නොමිලයේ ලබා දීමට ඉඩ හසර සකසා දී ඇත. තවද, සෑම වසරකම වාර්ෂිකව සිදුකරන ශිෂ්‍යත්ව ප්‍රදානයක් දරුවන්ට සිදු කරන ලදී. ශ්‍රී ඤාණවිමල කාන්තා සමිතිය දක්වන සහයෝගයද අගය කළ යුතුවේ. වාර්ෂිකව මෙම සමිතිය මගින් වෙසක් පුන්පොහොය නිමිති කොට ගෙන සිදු කරනු ලබන අඩු ආදායම් ලාභීන්ට වියළි සලාක ප්‍රදානයක්ද සුවිශේෂී වේ. මාවල ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය ඉතා ක්‍රමවත් , කාර්යක්ෂමවත් මනා පරිපාලන ක්‍රමවේදයකට පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානයක් වේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අතර ශාසනාරක්ෂක තරග මාලාවක් සඳහාද සිසු දරු දැරියන් ඉදිරිපත් කරනු ලබයි.ආරම්භයේදී සිසු දරු දැරියන්70 කින් පමණ හා ගුරු භවතුන් 08 දෙනෙක්ගෙන් සමන්විත මෙම දහම් අධ්‍යාපන මධ්‍යස්ථානය මේ වන විට දරු දැරියන් 200 ක් පමණ දහම් අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර ගුරු භවතුන්ද 16 දෙනෙක් ස්වේච්ඡාවෙන් එකී සත්‍යතාවයන් සත්කාර්යයන්ට මෙම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය මේ දරුවන් වෙනුවෙන් කරනු ලබන මෙහෙය අගය කළ යුතු වේ.

2014 ප්‍රාදේශීය සිසු නිපුණතා තරගාවලියේ ජයගාහි ස්ථාන 06 ක් ලබා ගැනීමට මෙම දහම් පාසලේ දරුවන් සමත්විය. තවද, මොරටුවේ දහම් පාසල් 53 කින් (10) ස්ථානය හිමි වීමද සුවිශේෂී වන්නේ වසර 02 ක් වැනි කෙටි කාලයක් තුළ මේ ජයග්‍රහණ සියල්ල ලබා ගැනීම නිසාවෙනි. සැබෑවටම මේ දරුවන් ඉතා දක්ෂ දරුවන් බව මින් ප්‍රත්‍යක්ෂ වේ. ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලයක්ද ශිෂ්‍යනායක ප්‍රඥප්තියක් මත තෝරාපත් කරගෙන ඇත. දහම් පාසලේ සියලු උත්සව කටයුතු පොදු කටයුතු සඳහා ඔවුන්ගේ නායකත්වය සෑම විටම ලැබීමත් විනයානුකූලභාවය ඉන් ලැබීමත් තව තවත් දහම් පාසලේ කටයුතුවල සාර්ථකත්වයට රුකුලක් වීම භාග්‍යයකි.

වර්ෂ අවසානයේ දැනුම උරගා බැලීම සඳහා විෂයානුබද්ධ හා විෂය පරිබාහිර තරගාවලියද සුවිශේෂි වේ. ඒ සඳහා දරුවන්ගේ ඇත්තේ ඉතා විශාල උනන්දුවකි. ඒ සඳහා අවශ්‍ය මූල්‍යමයන් ලබා ගන්නේ විහාරස්ථානයේ ප්‍රධාන දායකයන් වෙතිනි. දායක මණ්ඩලයේ සභාපතිතුමාගේ ඇල්ම බැල්මත් සෙසු පිරිසගේ අවධානයත් මේ සඳහා නිරතුරුව ලැබීම විශේෂිතයි. මේ කටයුතු මනා සංවිධානයකින් සිදුකරනු ලබයි. තරග විනිශ්චයෙන් අනතුරුව දරුවන්ට ත්‍යාග සහ සහතිකපත් ලබාදීමත් අප්‍රතිහත නිහතමානී සේවය අගැයීමක් ලෙස ගරුභවතුන්ට උපහාර පිදීමක්ද මේ උත්සවය තුළ සිදුවීම වැදගත් වේ.

දහම් පාසලටම (මාවල ඤාණවිමල දහම් පාසලටම) සකස්වුණු ගීතයද නිර්මාණය වී ඇත. එය රචනා කොට ඇත්තේ ප්‍රවීණ ගීත රචක රත්න ශී‍්‍ර විජේසිංහ මහතා විසිනි. එහි නාද රටා ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහතා විසින් සකස් කර දෙන ලද්දේ සිය නොමසුරු මානුෂීය ගුණය දක්වමින් දරුවන්ට කෙරෙන පරිත්‍යාගයක් ලෙසිනි.

දරුවන්ගේ විෂය පරිබාහිර දැනුම සඳහා අවශ්‍ය පතපොතින් සපිරි පුස්තකාලයක්ද ස්ථාපිත කිරීමේ කටයුත්තද මේ වන විට සිදුවෙමින් පවතී.

දරුවන්ගේ ආධ්‍යාත්මය පැහැදිලි ලෙසින් සකස් කර අනාගතය සකස් කිරීම සඳහා අවැසි සියලු සංකල්පයන් වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන සමන්පුර මාවල ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]