Print this Article


ටැම්ගොඩ රජ මහා විහාරය

ටැම්ගොඩ රජ මහා විහාරය

ශ්‍රී සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ පාදස්පර්ශය ලත් ධර්මද්වීපය හෙවත් ශ්‍රී ලංකාව නිතර දෙව් මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලබයි. රමණීය බවින් ද ප්‍රෞඪත්වයෙන් ද ඔදතෙද නංවාලූ වෙල්ලස්ස ඓතිහාසික ප්‍රදේශයකි. මෙසේ ඈත අතීතයේ සිට ම ඉමහත් ස්වභාව සෞන්දර්යයෙන් සිත් සතන් සනසන ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යල්කුඹුර නම් ගම් පියසේ ටැම්ගොඩ රාජ මහා විහාරය පිහිටා ඇත. බිබිල නගරයේ සිට බදුල්ල දෙසට ගමන් කිරීමේ දී කිලෝමීටර් 07ක් පමණ ඉක්ම ගිය විට මේ රාජපූජිත පින්බිම නේත්‍රාදර්ශනයට හසුවේ.


විහාරස්ථානය අභියස ඇති තොරණ

මෙහි ඉතිහාසය විමසීමේ දී දුටුගැමුණු මහරජතුමන්ගේ පියාණන් වහන්සේ වන කාවන්තිස්ස රාජ සමය තෙක් ඈතට දිව යයි. එකල රජරට ප්‍රදේශය එළාර නම් සොළී පාලකයාගේ අණසකට නතුව තිබූ අතර රුහුණු දනව්වේ පාලනය කාවන්තිස්ස රජතුමා සතු විය. නමුදු ඔහුට ලංකාව එක්සේසත් කිරීමට එළාර රජු හා සටන් කිරීම දුෂ්කර වූවක් විය. ඒ සඳහා ඔහු අනුගමනය කළ ක්‍රියා පිළිවෙත වූයේ තම පුත් ගැමුණු කුමරුට ඒ සඳහා සුදුසු පරිසරය සකස් කර දීමයි. මෙහි දී රජු කළේ රුහුණු දේශයේ සිට සේරුනුවර දක්වා ප්‍රදේශයේ මිනිසුන් ඒකරාශි කිරීමයි. එක්සත් රටක අවශ්‍යතාව අවබෝධ කර දෙමින් රට කෙරෙහි ජාත්‍යාලය නංවාලමින් බෞද්ධ ජනතාව ඒකරාශි කරනු වස් යොදුනෙන් යොදුනට විහාරස්ථාන කළ බව සඳහන් වේ. මේ අනුව කළ එක් විහාරස්ථානයක් ලෙස ටැම්ගොඩ රජ මහා විහාරය හැඳින්විය හැකිය.මෙහි දක්නට ඇති ස්තූපය කාවන්තිස්ස රජතුමා කළ ස්තූපවලින් එකකි. චෛත්‍ය ප්‍රතිසංස්කරණයේ දී කළ කැණීම්වල දී දේවානම්පියතිස්ස රජුන්ගේ පිළිරුවක් ද තිබී හමුවූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

එහෙත් තවත් තැනෙක සඳහන් වන්නේ මේ විහාරස්ථානය දේවානම්පියතිස්ස රාජ සමයට අයත් බවයි. මීට අමතරව විහාරස්ථානය පිළිබඳව තොරතුරු සඳහන් වන්නේ බුද්ධදාස රජතුමාගේ කාලයේ දී ය. ඔහු ප්‍රකට වෛද්‍යවරයෙකු ලෙස සැලකෙන අතර මෙම විහාරස්ථානය ඔහු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බව සඳහන් වේ. රජ සමයේ සිටුවනු ලැබූ ටැම් ලිපියක් මෙහි ඉතිහාසය විචාරීම සඳහා ද උපකාරී වේ.


සංරක්ෂණය කරන ලද ටැම් ලිපිය.

“මපුරම බුදහ (සම්මාන නාමයකි) සිරිමේඝ සිරිසඟබෝයි (කිත්සිරි මේඝ රජු) ස්වේතඡත්‍ර නංවා රජ වී හතර වන රාජ්‍ය ඇවෑමෙන් බෙජල ග්‍රාමයේ (ජලය බෙදාදුන් වර්තමාන බිබිල ග්‍රාමයේ) විසූ සිරිනාශ විසින් ලටියබදරි හා මහදරි යන කුඹුරු යායවල් පූජා කරන ලදී” යන්න මෙහි අරුතයි.

ඉන්පසු දීර්ඝ කාලයක් පුරා විනාශ මුඛයට පත්ව තිබූ මේ විහාරස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේදී ය. එකල කොකුන්නෑවේ සිල්වත් තැන සංඝකීර්ති නමින් උපසම්පදාව ලබා ඌව වෙල්ලස්සේ විහාරස්ථාන නඟා සිටුවමින් බුදුසසුන නංවාලීමට මහත් වෙහෙසක් දරා ඇත. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යරත්නයක් වූ බණ්ඩිගොඩේ නිග්‍රෝධ හිමියන් ටැම්ගොඩ රාජ මහා විහාරය ඇතුළු වෙල්ලස්සේ විහාරස්ථාන රාශියක් ප්‍රතිසංස්කරණය කර ඇත. වෙල්ලස්සේ සඟ පරපුර නම් ග්‍රන්ථයේ ද මේ පිළිබඳව සඳහන් වේ. උන්වහන්සේ අපවත් වී ඇත්තේ ද මේ විහාරස්ථානයේ දී ය. ඉන්පසු විහාරස්ථානයේ අධිපතීත්වයට පත් හිමිවරුන් විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කැපවී ඇත. එහි දී යල්කුඹුරේ පියදස්සී, ටැම්ගොඩවත්තේ බුද්ධරක්ඛිත, නාපේ රේවත, ලුණුගල ධම්මපාල, ලුණුගල සුනන්ද යන හිමිවරුන් වැදගත් වේ. ලුණුගල සුනන්ද නාහිමියන් මෙහි පිරිවෙනක් ද ආරම්භ කර ඇත. වර්තමානයේ පවා එය ප්‍රදේශයේ සාමණේර හිමිවරුන්ගේ දහම් දැනුම, ශාසනික වත පිළිවෙත පුරුදු පුහුණු කරන අධ්‍යාපන මධ්‍යස්ථානයකි. වර්තමානයේ විහාරස්ථානයේ අධිපතීත්වය දරනුයේ ඊතණවත්තේ අත්ථදස්සි හිමියන් ය. දැනට සියලු විහාරාංගවලින් සමන්විත ඌව පළාතේ ඇති පෞරාණික විහාරස්ථානයක් ලෙස ටැම්ගොඩ රජ මහා විහාරස්ථානය හැඳින්විය හැකිය. විහාරස්ථානය මූලික කර ගනිමින් පුණ්‍යවර්ධන දායක සභාව ද තරුණ බෞද්ධ සමිති ද කුලඟන සමිති රාශියක්ද ක්‍රියාත්මක වේ. විහාරස්ථානයේ ගොදුරු ගම්වාසීන්ගේ දුවා දරුවන්ගේ දහම් පිපාසය සන්සිඳුවනු වස් ඉරු දින දහම් පාසලක් ද සාර්ථක ව පවත්වාගෙන යනු ලැබේ.