Print this Article


කනම්පැල්ල ශ්‍රී සුමනාරාම දහම් පාසල

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම දහම් පාසල


ශාස්ත්‍රපති කනම්පැල්ලේ සුමනනන්ද හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය

ශාස්ත්‍රපති කනම්පැල්ලේ සුමනනන්ද හිමියන් සමඟ ශිෂ්‍ය නායක නායිකාවන්

කොස්ගම සිට කනම්පැල්ල, පූගොඩ මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් ගත් පසු කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානය දැකගත හැකිය. වසර 135 ක පමණ ඉතිහාසයක් ඇතිව නිසංසල පෙදෙසක පිහිටා ඇති එම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති වහන්සේ වශයෙන් මාදන්වල ආනන්ද නාහිමියෝද, විහාරාධිකාරි ශාස්ත්‍රපති කනම්පැල්ලේ සුමනනන්ද හිමියෝ ද වැඩවාසය කරති.

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන එම විහාරස්ථානයේ “ශ්‍රී සුමනාරාම” නමින් දහම් පාසලක් 1978.06.10 දින ශාස්ත්‍රපති කනම්පැල්ලේ සුමනනන්ද හිමියන් විසින් ආරම්භ කිරීමට යෙදිණි. දරුදැරියන් කිහිපදෙනෙකුගෙන් ඇරැඹි එම දහම් පාසලේ අදවන විට 500කට අධික සිසු දරු දැරියෝ ඉගෙනුම ලබති. පළමු පන්තියේ සිට ධර්මාචාර්ය විභාගය දක්වා පන්ති පැවැත්වෙන එහි වර්තමාන ගුරු මණ්ඩලය 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර පණ්ඩිත සුමනනන්ද හිමියෝ ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කරති.

දහම්පාසල් 45ක් නියෝජනය කරන සීතාවක ශාසනාරක්ෂක බලමණ්ඩල තරගවලින් 2012 දෙවන ස්ථානයත්, 2013, 2014 තුන්වන ස්ථානයත් ලබාගැනීමට සමත්වීම නිසා ප්‍රදේශය පුරා එම දහම් පාසල මහත් වූ ඇගැයීමකට ලක්වී තිබේ. මෙසේ දිනෙන් දින සාර්ථකව ඉදිරියට පියවර නඟන කනම්පැල්ලේ ශ්‍රී සුමනාරාම දහම් පාසලට ශුභාසිංසනයද පළකර සිටින්නෙමු.