Print this Article


පෙරභවය යි කර්ම විපාකය යි 09 ගිනිගෙන දැවෙන නාගපේ‍්‍රතයෙක් වූයේ ඇයි?

පෙරභවය යි කර්ම විපාකය යි 09

ගිනිගෙන දැවෙන නාගපේ‍්‍රතයෙක් වූයේ ඇයි?

ගියවර අපගේ අවධානය යොමු වූයේ මිනිස් ලොව ඉපිද සිටියදී කයෙන් පමණක් සංවරව වචනයෙන් සංවර නොවී පේ‍්‍රතව ඉපිද දුක් විඳින “සුඛරමුඛ” නම් ප්‍රේතයා පිළිබඳව පහදා දීමටයි.අද අපගේ අවධානය යොමු වන්නේ ගොවියෙකු ඉපිද කළ අකුසල කර්මයක් නිසා නිතර ගින්නෙන් දැවෙන නාග පේ‍්‍රතයෙකු පිළිබඳ විමසා බැලීමටයි.

ලක්බණ තෙරුන් සමඟ ගිජුකුළු පව්වෙහි වැඩ සිටි මුගලන් මහරතන් වහන්සේ දිනක් පිණ්ඩපාතයේ වැඩීමට එම පව්වෙන් බසින විට අසාමාන්‍ය පේ‍්‍රතයෙක් දුටුවේය. එම පේ‍්‍රතයාගේ හිස මිනිසෙකුගේ වැනිය. කය නාගයෙකුගේ වැනිය. ශරීරය විසිපස් යොදුනක් දිගය. හිස නව යොදුනකි. දිව යොදුන් පහකි. වරක් එම පේ‍්‍රතයාගේ හිස ප්‍රදේශයෙන් මහත් ගිනි කඳක් නගියි. එය අවසන් වන්නේ පාදාන්තයෙන්ය. වරක් පාදාන්තයෙන් නැගෙන ගිනි කඳ හිස දක්වා එයි. නැවත වරක් පාදාන්තයේ සිට කේශාන්තය දක්වාද කේශාන්තයේ සිට පාදාන්තය දක්වාද නැගෙන ගිනි දැල් පිට මැද දක්වා ඇවිලගෙන එයි. ඔහු නිතර ගින්නෙන් දැවෙමින් අප්‍රමාණ දුකක් විඳියි.මේ අසාමාන්‍ය කටුක දුක්විඳින පේ‍්‍රතයා දුටු මුගලන් මහරහතන් වහන්සේ ඔහු කළ අකුසල කර්මය විචාළේය.

පේ‍්‍රතය, ඔබගේ ශරීරය විසිපස් යොදුනක් දිගය. හිස නව යොදුනක් දිගය. දිව යොදුන් පහක් දිගය. නිතර ඔබගේ ශරීරය ගින්නෙන් දැවෙයි. මෙසේ අතිශය කටුක දුක් වේදනා විඳීමට ඔබ කළ අකුසල කර්මය කුමක්ද ?

පඤ්චයොජනිකා ජිව්හා සීසං තෙ නවයොජනං
කායො අච්චුග්ගතො තුය්හං පඤ්චවීසතියොජනං
කිං නු කම්මං කරිත්වාන පත්තොසි දුක්ඛ මිදිසන්ති

එවිට පේ‍්‍රතයා මෙසේ පවසයි. ස්වාමීනි, මම පෙර අත් බවක පසේ බුදුරදුන් නමක් වැඩ සිටි අරමක් ගිනි තැබීමේ විපාක වශයෙන් මෙසේ අතිශය කටුක වූ දුක්ඛිත පේ‍්‍රත අත්බවක් ලැබුවෙමියි පැවසීය.

මුගලන් මහරහතන් වහන්සේත්, ලක්ඛණ තෙරණුවොත් පිණ්ඩපාතයෙන් පසුව දානය වැළදීමෙන් අනතුරුව දම් සභාවට වැඩම කොට මේ අභිපේ‍්‍රතයා පිළිබඳ කතාවෙහි යෙදෙමෙන් සිටියේය. එවිට එම දම් සභාවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එම කතාව අරමුණ කරගනිමින් තමන් වහන්සේද එම පේ‍්‍රතයා දැක ඇති බව පවසමින් දහම් දෙසූහ. මේ පේ‍්‍රතයා පෙර අත්බවක ගොවියෙක්ව උපන්නේය. ඔහුට අයිතිය හිමිවූ මහත් කුඹුරක් විය. මේ කුඹුරට එහා සීමාවෙහි පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ සිටියහ. සැදැහැති උවැසි –උවසුවෝ දන් – පැන් ආදිය මෙන්ම මල්, සුවඳ දුම් ආදියද රැගෙන නිතර මේ කුඹුර මැදින් එහා මෙහා යන්නට වූහ. මෙසේ නිතරම පිරිස තමාගේ කුඹුර මැදින් ගමන් බිමන් යෑම පිළිබඳව ද්වේෂයෙන් සිටි ගොවියා වහාම පසේ බුදුරදුන් වැඩ සිටින පන්සල වනසා දැමිය යුතු යැයි සිතා දිනක් පසේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වැඩසිටි කුටියෙන් බැහැරට වැඩි අවස්ථාවක පන්සලට ගිනි තැබීය. ද්වේෂ සිතින් ඔහු කළ ඒ අපරාධයේ විපාක වශයෙන් අවීචියේ බොහෝ කාලයක් දුක් විඳ කර්ම විපාක ක්ෂය නොවූ හෙයින් මෙසේ අභිපේ‍්‍රතයෙක්ව අතිශය කටුක වූ, දරුණු වූ වධ වේදනාවන් විඳිමින් දුක් විඳිති යනුවෙන් දේශනා කොට මෙම ගාථාවද වදාළහ.

න හි පාපං කතං කම්මං සජ්ජුඛිරංව මුච්චති
වහන්තං බාලමන්වෙති, භස්මච්ඡන්නොව පාවකොති

දොවා ගත් සැනින් කිරි නොමිදෙයි. එමෙන්ම කළ පාප කර්මයේද විපාක එය කළ සැනින් නොලැබෙයි. අළු යට සැගවුණු ගිනි පුපුරක් මෙන් අවස්ථාව ලද සැනින් කළ පාප කර්මයේ විපාක බාලයා විඳියි.

බොහෝ අය පව් කම් කරනුයේ එහි විපාක කෙසේ වේ දැයි විශ්වාසයකින් තොරවය. පව් කම් කළ අය විඳින විපාකයන් යමෙක් දන්නේ නම් කිසි දිනක ඔහු හෝ ඇය පව්කම් නොකරනු ඇත. ඇතැමෙක් පව්කම් කරන්නේ එකෙනෙහිම එහි විපාක ලබා නොදෙන හෙයිනි. එම පව් පලදීමට අවස්ථාවක් එළඹිය යුතුය. එවිට ඔහු කළ සියලු පව් වල විපාකයන් නො අඩුව ලැබෙනු ඇත. ඉහත ගාථාව තුළින්ද පෙන්වා දෙන්නේ එයයි. දෙනකගෙන් කිරි දෝ ගත් සැනින් එය මිදෙන්නේ නැත. එයට යම් කාලයක් අවශ්‍ය වේ. එමෙන්ම බාලයා කළ අකුසල කර්මයේ විපාකයටන්ද එම විපාකයන් ලබා දීමට සුදුසු කාලය එනතෙක් අළු යට වූ ගිනි පුපුරක් මෙන් සැගවී පවතී.

කුසල හෝ අකුසල හෝ යම් කර්මයක් (එහි බල – දුබල බව අනුව) විපාක දෙන ක්‍රම හතරක් ඇත. ඒවා මෙසේය. දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය, අපරාපරියවේදනීය හා අහෝසි යනුවෙනි. දිට්ඨදම්මවේදනීය යනු මේ ආත්මයේ දීම පල දෙන කර්මයන්ය. ධර්ම සාහිත්‍යයේ සඳහන් සුමනමාලාකාර, ඒකසාටක බමුණා , පුණ්ණා දාසිය, සුප්පියා උපාසිකාව වැනි අය දිට්ඨධම්මවේදනීය වශයෙන් කුසල විපාක ලත් අය වෙති. නන්ද නම් ගෝඝාතක කෝකාලික භික්ෂුව නන්ද නම් මානවකයා නන්ද නම් යක්ෂයා, සුප්‍රබුද්ධ ශාක්‍ය රජු, චිංචි මානවිකාව, දෙව්දත්තෙර යන අය දිට්ඨධම්මවේදනීය වශයෙන් අකුසල විපාක ලත් අය වෙති.

උපපජ්ජවේදනීය යනු දෙවන අත් බවයේ විපාක දෙන කර්මයන්ය. යම් කර්මයක් මෙලොව වශයෙන් විපාක නොදුන හොත් එම කර්මයේ බලවත් බව අනුව මතු භවයේ එහි විපාකයන් විදීමට සිදුවේ.අකුසල කර්ම කරන බොහෝ අය එහි අයහපත් විපාකයන්ට මුහුණ දෙන්නේ මේ දෙවන භවයේ සිටය. යම් හෙයකින් දෙවන භවයේද කරන ලද අකුසල කර්මයක විපාකයන් නොලැබුණ හොත් තුන් වන භවයේ සිට එහි විපාක ඉදිරියට පවතියි. එය උපපජ්ජවේදනීය කර්ම විපාක වශයෙන් හඳුන්වයි. තුන්වන භවයේ සිට ආත්මභාවය අවසානය තෙක් (නිවන් දකින තුරු) කවර හෝ භවයක විපාක දෙන කර්මයන් මෙම ගණයට අයත් වෙයි. බොහෝ විට එම කර්ම විපාකයන් (එහි බලවත් බව අනුව) ආත්ම ගණනාවක් විපාක දිය හැක.මෙයට ගැළපෙන නිදසුනක් ජාතක පොතේ එන මතකභත්ත ජාතකයේ සඳහන් වෙයි.

එක් බමුණෙක් මතක දානයක් දීම සඳහා එළුවෙකු නහවා පිරිසුදු කොට මල් මාලා දමා සරසාගෙන එන ලෙස තම අතවැසියෙකුට පැවසීය. ඔහු ද එසේ කොට එළුවා නහවා සරසා නිම වූ කල්හි එළුවාට ජාතිස්මරණ ඤාණය පහළ වී මහ හඬින් සිනා සී හඬන්නට විය. එයින් පුදුමයට පත් අතවැසියා සිදු වූ සියල්ල තම ආචාර්යවරයා ඉදිරියෙහි තැබීය. එවිට ආචාර්යවරයා එළුවාගෙන් පළමුව සිනාසීමටත් දෙවනුව හැඬිමටත් කරුණු විමසීය. එවිට එළුවා පවසන්නේ තමාත් පෙර ආත්මයක මේ බමුණු මෙන් මතක දානයක් සඳහා එළුවෙකු මැරූ නිසා ආත්ම පන්සියයක් එළුවෙකුව ඉපිද මෙසේ අකාලයේ හිස සිඳීමෙන් මරණයට පත් වූ බවත් මේ ආත්ම බවය එහි විපාක විඳින අවසන් ආත්ම භවය බැවින් සතුටු වන බවත් හැඬිමට හේතුව බමුණු ආචාර්යවරයා වූ ඔබද මේ මාගේ හිස සිඳ ආත්ම පන්සියයක් මෙලෙස ජීවිතය තොරකර ගැනීමට අවස්ථාව සිදුකරගන්නා බැවින් ඔබ කෙරෙහිද ඇති වු අනුකම්පාවෙන් හැඬිය යනුවෙන් පැවසීය. එයින් සංවේගයට පත් බමුණා වහා එළුවා නිදහස් කළත් අසල ගලකට හෙණයක් වැදී එයින් ගැලවුණ පතුරක් එළුවාගේ බෙල්ලේ වැදී ගෙළ සිඳී මරණයට පත්ව ඇත.

අහෝසි කර්ම යනු විපාක ඇතැම් කුශල කර්ම වල හෝ අකුශල කර්මවල බලපෑම මත විපාක දීමට අවස්ථාවන් නොලැබීමෙන් ක්ෂය වී යන කර්මයන්ය. සෝවාන් වීමෙන් දුගති ප්‍රතිසන්ධි ලබා දෙන කර්ම ක්ෂයව යයි. කිසිදා අපාගත නොවෙයි. අනාගාමි වීමෙන් කාම සුගතියෙහි උපත ලබා දෙන කර්ම අහෝසි වී යයි. රහත්වීමෙන් පසු සියලු කර්ම අහෝසි වී යයි. අංඟුලිමාල මහරතනන් වහන්සේ මිනිස් ඝාතන විශාල සංඛ්‍යාවක් කර තිබුණද රහත්වීමෙන් පසු එහි විපාක නොලද්දාහ.


පෙරභවය යි කර්ම විපාකය යි 08 ස්වර්ණවර්ණ සූඛරමුඛ ප්‍රේතයා