Print this Article


ලෝ දහම හෙළිකළ බුදුදහම

ලෝ දහම හෙළිකළ බුදුදහම

මෙම ලිපි පෙළින් අප අපේක්ෂා කරන්නේ අභිධර්මය පිළිබඳව සාමාන්‍ය ලෝකයාට සරලව නමුත් නිවැරැදිව අභිධර්මය ගැන තේරුමක් ඇති කරන්නයි.

නිතර මතක තබා ගත යුත්තක් නම් ධර්මය සරල කළ හැකි එක්තරා සීමාවක් ඇති බව සහ තමාගේ බාහිර උගත්කම් මෙන්ම ධර්මය පිළිබඳ වුවද සුතමය, චින්තාමය, ඤාණදෙකින් හෝ මේ දහම පූර්ණ වශයෙන් හසුනොවන වගයි. මෙය අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් යන දීර්ඝ කාලයක් සීල, සමාධි, ප්‍රඥා ,දාන, ශීල,භාවනා මගින් ලෝභ ,ද්වේෂ ,මෝහ දුර්වල කරමින් ආ අභ්‍යාසයක අවසානයේ ඒවා ක්ෂය කළ උතුමකුගේ වැටහීමයි. අවබෝධයයි. ඔබත් මමත් ලෝභ, ද්වේෂ, මෝහ ඇති අය බව අමතක නොකර දහම ඉගෙන ගන්න බලමු.

සිත පිළිබඳ මුල් පාඩම් 3 මගින් අප දළ හැඳින්වීම කළේ සෙසු අභිධර්මය ප්‍රධාන මාතෘකා 3 ද (චෛතසික,රූප, නිර්වාණ) සමගිනි. දැන් සූදානම් වන්නේ තව දුරටත් එක් මාතෘකාවන්ගේ පළමුවැන්න වූ සිත ගැනම වැඩි හඳුන්වා දීමක් කිරීමටයි. මෙම චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, යන ධර්මතා වලින්ද වඩාත් අවධානය යොමුවිය යුත්තේ සිත ගැනම දැනගැනීමටයි. අනාදිමත් කාලයක් සත්වයෙකු වශයෙන් දෙව්ලොව ,මනුලොව, බඹලොව, සතර අපාය, පිට සක්වළයන්හි පවා මෙකී ස්ථානයන්හි චුති පටිසන්ධියෙන් ගැළපීම සිදුකරන්නෙත් ඒ භවය තුළ චිත්ත පරම්පරාව අඛණ්ඩව පවත්වන්නෙත් සිත මගින්මය . නමුත් සත්වයාට එක භවයකින් චුතව තව භවයක පිළිසිඳ ගත් පසු පෙර භවය ගැන කිසිදු වැටහීමක් නැත. පූර්වේනිවාස ඤාණය ලබා එම වැටහීම සුළු දෙනෙක් ලැබුවත් එයද සීමිත භව ගණනක් පිළිබඳව නිසා බෙහෙවින් එමගින් වන්නේද සත්වයාගේ ජීවයක් ආත්මයක් භවයෙන් භවයට යන බවකුයි. එයද ලෝකයේ සත්‍යය නොවේ. සිතේ ඇති සංකීර්ණත්වය නිසාම, මායාකරි තත්වය නිසාම මෙසේ වේ. ශරීරයට පවා, ශක්තිය සිතයි. චෛතසිකයන්ට හෙවත් ලෝභ, දෝශාදීන්ටත් අලෝභ අදෝසාදීන්ට ප්‍රධාන වන්නේ සිතයි. එහෙයින් මනෝ පුබ්බංගමා යනාදි වශයෙන් වදාළේය.

සිත පිළිබඳ න්‍යායාත්මක හැඳින්වීම්වලට වඩා එහි ක්‍රියාකාරිත්වයන් මගින් තේරුම් ගැනීම පහසුය. එබැවින් මුලින්ම සිතේ ක්‍රියාකාරිත්වය ඉතා ප්‍රබල ලෙස මතු වූ අවස්ථාවන් කිහිපයක් මෙසේ සලකා බැලේ.

”චිත්තේන වත්තතේලෝකෝ - චිත්තේන පරිකස්සති
චිත්තස්ස ඒකධම්මස්ස - සබ්බේව වසමන්වගු “

සිතින්ම සුගති දුගති ලෝකයන්ගේ පැවැත්ම වේ. අපායෙන් මනු ලොවට මනුලොවින් දෙව්ලොවට දෙව්ලොවින් මනුලොවට නැවත මනුලොවින් බඹලොවට නැවතද මනුලොවට අපායාදියට අදින්නේ සිතේ බලයෙනි. සත්වයා වශීවී පවතින්නේ සිතේ බලයෙනි. සත්වයා වශිවී පවතින්නේ සිතටමයි. අවීචි නරකයේ සිටින සත්වයා වුවද ඒ භවයට ඇලුම් කරන්නේ මැරෙන්න කැමැති නොවන්නේ මේ නිසයි. සිතට නිරායාසයෙන් ස්ථිර වශයෙන්ම වසඟ නොවී සිටින්නේ බුදු පසේ බුදු රහතන් වහන්සේ පමණි. ඒ පූර්ණ වශයෙන්ම තෘෂ්ණාව ක්ෂය කළ හෙයිනි. ඔවුහුම සිතේ ස්වභාවය පූර්ණ වශයෙන් අවබෝධ කළෝය. තව ලෙසකින් කීවොත් තනිකර දුකිනුත් දුක සමග මිශ්‍ර වූ මනුලොව ,දෙව්ලොව ,බඹලොව ඇති සැපෙනුත් මිදුණෝය. සිත ගැන නුවණින් සිතීම ලෝභාදිය පහළ නොවන සේ රැකීම වැදගත් වන්නේ මේ නිසාය.

සිත කුසල චේතනා පහළ වනසේ හෙවත් කිසිවකට නොඇලෙමින් ,නොගැටෙමින් නොම විසිරෙමින් පැවැත්වීම සිත ගැන අවබෝධ කරගැනීමට ඇති මගයි. එසේ කිරීම බුදුදහමේ භාවනා කිරීම ලෙස හැඳින්වේ. කාමාදි ලෝභාදී අරමුණුවලට දුවන සිත එක කුසල් අරමුණක තබා ගැනීම ඉතා දුෂ්කරය. ලෝකයේ ඇති දුෂ්කරම කටයුත්ත එයයි. දුන්නිග්ගහස්ස ලහුනෝ යනාදී වශයෙන් ඒ බව බුද්ධ වචනයෙන් සහතිකයි. සීල,සමාධි, ප්‍රඥා වශයෙන් සිතේ අලෝභ, අදෝස, අමෝහ මුසු චේතනා පහළ කිරීමට උත්සාහ ගනිද්දි එය “දියෙන් ගොඩට දැමූ මාලුවෙකු සේ දඟලයි” කකියයි. නමුත් එසේ දඟලන සිත “කැලෙන් අල්ලාගෙන ආ කුළු ගොනෙක්” සවිමත් කණුවක සවිමත් රැහැනකින් බැඳ ආහාරපාන සීමිතව දෙමින් කලක් ගතවෙද්දී කණුව වටේ කැරකී කැරකී කණුව මුලට වී නිදාගනු ඇත. මෙලෙස දුවන සිතද එසේ ලෝභාදියට දුවන්නට නොදී බුදුගුණ ආදී අරමුණ නමැති සවිමත් කණුවක් අරමුණු කොට එහිදී දියුණුවන සිහිය නමැති ශක්තිමත් රැහැනකින් සිත නමැති ගොනා දමනය කරන්නට දක්ෂ කෙනා සිතේ ස්වභාවය හඳුනා ගනියි.එසේ කරන්නා මවකට පියෙකුට, ඤාතියෙකුට කළ නොහැකි තරම් පමණ කළ නොහැකි ලෞකික, ලෝකෝත්තර සැප තමාට ලබාදීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්කරන බවයි. බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම. එසේ නොසකස් කරගත් සිත සතුරෙක් තමාට කරන විපතට වඩා අප්‍රමාණ හානියක් කරයි. සතුරාට අපට කළ හැක්කේ අපව මරා දැමීමක් පමණකි.උපරිමයෙන් නමුත් නොහික්මුනු සිතෙන්ම මෙහෙයවීමෙන්ම, ප්‍රාණඝාතාදි ආනන්තරිය දක්වා පාප කර්ම කෙරේ. එසේ කරන්නේ නොහික්මනු සිත නිසාය. එමගින් අතිදීර්ඝ කල අවිචියේ පවා, තිරිසනුන් පවා වී අසීමිත දුක්, එළුවන් , කුකුඵන්,බැටළුවන් ආදි නොයෙකුත් සතුන්ව බෙලිකැපුම්වලට පණපිටින් අනුන්ගේ ආහාර බවට පත්වන වාර අනන්තය.

බුදුරජාණන් වහන්සේ මෙකී විෂම විවිධ කුසල වශයෙන් අකුසල වශයෙන් විපාක වශයෙන් ක්‍රියා වශයෙන් පෙනී සිටින සිත ගැන සමස්ත විග්‍රහය පද, වචන රැසක් පාවිච්චි කරමින් දේශනා කරන ලදී. සිතට චිත්ත යැයි පාලි භාෂාවේ ව්‍යවහාර වේ. සිතට චිත්ත කියන්නේ එය ඉතා විසිතුරු හෙයිනි. එයට විසිතුරුය. කියන්නේ එමගින් කරනු ලබන නිෂ්පාදනයන්ගේ අපූර්වත්වය නිසයි. සිතේ නිෂ්පාදන සචේතනික අචේතනික වශයෙන් දෙයාකාරය. සචේතනික චිත්ත නිර්මාණයෝ ආවීච් නරකයේ පටන් බ්‍රහ්ම ලෝකයේ බ්‍රාහ්මරාජවරු කෙලවර කොට වෙති. නිරයේ නිරිසතුන් තිරිසන් යෝනියේ යොදුන් ගණන් දිග පලළැති තිමිර, තිමිරි පිංගල ආනන්ද ,අසුර ආදි සත්වයෝ, මනුලොව අසංඛෙය්‍ය ගණන් ආයු ඇති අසීමිත දක්ෂතා ඇති බුදු පසේ බුදු මහරහත් උතුමෝ’ දෙව්ලොව මහානුභාවසම්පන්න දිව්‍ය රාජවරු, බ්‍රහ්මරාජවරු මේ සියල්ලක්ම තව යම් යම් ඇසට නොපෙනෙන තරමේ ක්ෂුද්‍රජීවින් වෙත්ද මේ සියල්ලම සිතේ විසිතුරු භාවයට ප්‍රකට කර සුවිශේෂි නිදසුන්ය. ලෝකයේ විශ්වයන් සේ සලකන ස්ථාන 7 ක් අනෙක් ලොව පුරා ඇති නිෂ්පාදනයක්, ගොඩනැගීම් මේ සියල්ලක්ම සිත තුළ පළමුව නිර්මාණය වී බාහිර ද්‍රව්‍ය මගින් ඉදිකෙරුණු දෑය. වෙසෙසින් සිතට ඉතා විසිතුරුය. යතාර්ථයෙන් චිත්ත යැයි නම් තැබූහ. සිතට ‘මන’ යැයි නමක් වේ. සිතට ‘හදය’ හෙවත් “හෘදය” යන වචනය බුදුන් වහන්සේ පාවිච්චි කළහ. එයට හේතුව සිතට බෙහෙවින්ම හෘදය වස්තුව ඇසුරු කොට පවතින නිසාය. නිදසුනක් වශයෙන් අපි සමහර විට කියන්නේ අපේ ගෙදර කොළඹ – නුවර පාරෙමයි තියෙන්නෙ කියා . නමුත් එයින් අදහස් කරන්නේ පාරෙ ඇති ගෙයක් ගැන නොවේ පාරේ ගෙවල් හදන්න දෙන්නෙත් නැත . එමගින් පාර සමීපයේ බවයි කියන අහන තේඅඹරුම් ගන්නේ .එමෙන්ම සිතට හදය කියන්නේ හෘදය වස්තුව ඇසුරු කොට ගෙනම බෙහෙවින් සිත පවතින හෙයිනි. ’පණ්ඩරං’ වශයෙන්ද සිතට නමක් යෙදී ඇත. ඒ නම සිතට යෙදෙන්නේ සිත ස්වභාවයෙන් ලෝභාදියෙන් නොම අපිරිසුදුයි යන්න දැක්වීමටයි. පභස්සර , මිදං භික්ඛවෙ චිත්තං...” යනාදි ලෙසින් දේශනාවේ සඳහන් වනුයේ ‘පණ්ඩර’ වශයෙන් හඳුන්වන සිතයි. පණ්ඩර යනු සුදු පැහැයයි. බුදු දහමේ කුසලය සුදු වශයෙන් දක්වා ඇත. සුදු පවිත්‍රත්වය සංකේතවත් කරයි. මේ සිතද අරමුණුවල ගැටෙන කල්හි ලෝභාදිය පහළ කිරීමෙන්ම කළු වේ. නැතිනම් සුදුසුය. කුසල සිත්ද සුදුය. විපාක සිත්ද සුදුය. ක්‍රියා සිත්ද සුදුය. අකුසල් සිත් කළුය. ලෝභාදියෙන් කිළිටි වී ඇති හෙයිනි.

සිත චෛතසික හෙවත් ලෝභාදියත් අලෝභාදියත් යන 52 ධර්මතා නිපදවන ස්ථානයයි යන අරුතින් මනායතන ලෙසින්ද හැඳින්වේ.