Print this Article


ස්ථූප පුරාණය

ස්ථූප පුරාණය

ඔක්තෝබර් 08 වෙනිදා වප් පුර පසළොස්වක පෝදා මෙම ලිපියේ මුල් කොටස පළවිය

පෙර බුදුවරුන්ගේ කාලවලදී ස්ථූප කිරීම් පිළිබඳව දක්නට ලැබේ. බුද්ධ වංශය, චර්යා පිටකය ඊට අදාළ අටුවා ආශ්‍රයෙන් ඒ පිළිබදව කරුණු සොයා ගත හැකිය. ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා ස්ථූප කිරීම පිළිබඳව දේශනා කරන ලද අවස්ථා රාශියක් අපට දක්නට ලැබේ. එහිදි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් ඉදිකළ චෛත්‍යය ගැන අසන්නට ලැබේ. උන්වහන්සේගේ කේශධාතු පළමු කෙස් පිඬ අරගෙන දෙවිවරු විසින් 'සිළුමිණි සෑය' කරවන ලදී. උන්වහන්සේ ගේ රජසළු ලබාගෙන 'සළුමිණි සෑය'ද දෙවිවරු විසින් ඉදිකරවන ලදී. එසේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු ලබා ගත් කේශධාතු තැන්පත් කර තිරියාය ගිරිහඬු සෑය ඉදිකරන ලද්දේ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසිනි. එමෙන්ම බුදුහාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් වැඳ පුදා ගැනීමට වස්තුවක් නැති තැන උන්වහන්සේගේ පාරිභෝගික චෛත්‍යය වන ශ්‍රී මහා බෝධින් වහන්සේගේ (අංකුරයක් ජේතවනාරාමයේදී ආනන්ද බෝධිය රෝපණය කරන ලදී. ඒමෙන්ම ජීවමාන බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට වැඩම කරවූ ස්ථානයෙහි” මියගුණුසෑය” ත් චූලෝදර ,මහෝදර සටනේදී ඒ සටනට මුල් වු මැණික් පුටුව තැන්පත් කර නාගදීප චෛත්‍යයද කරවන ලදී. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ විවිධ ධාතුන් වහන්සේලා (විශේෂයෙන් පරිභෝග කරන ලද) තැන්පත් කැලණි විහාරයේ චෛත්‍යය ඉදි කරවන ලදි. බුරුමයේ 'ස්වේදගොන්' චෛත්‍යය ආදි විදේශවලත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කර චෛත්‍ය නිර්මාණය කළේය. බුදුරජාණන් වහන්සේජීවමාන ව වැඩ සිටි යුගයේ චෛත්‍යය ඉදිකිරීම පිළිබදව කරුණු එසේ සනාථ කරයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ භාහියදාරුචීරිය ගිහියෙක් ලෙස එළදෙනක් ඇනීමෙන් මරණයට පත්වේ. එහෙත් ඒ වන විටත් බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා රහත් වී සිටියේය. බුදුරජාණන් වහන්සේ ඒ ගිිහි රහතන් වහන්සේ වෙනුවෙන් භික්ෂූන් වහන්සේට සඳහන් කරනුයේ ඒ දේහය චිතකයක දල්වා ස්ථූපයක්ද කරවන ලෙසය. ගිහි රහතන් වහන්සේ කෙනෙකු වෙනුවෙන් උපහාරය සඳහා සෑයක් කරවූ බව අපේ සූත්‍ර සාහිත්‍යයෙහි සඳහන් වේ.ඒ බාහියදාරු චීරිය කථාවයි. අනතුරුව බෞද්ධ ඉතිහාසය තුළ සක්විති රජ කෙනෙකු පිළිබඳව මෑත යුගයේ දක්නට නොලැබුණත් සක්විති රජ දරුවන් වෙනුවෙන් කරවන ලද ස්තූප ගැන දැක්වේ. සක්විති රජ කෙනෙකු යනු දඬුවම් නොකර අවි ආයුධ නැතිව ධර්මානුකූලව රාජ්‍යය කරන කෙනෙකි. ඒ සක්විති රජතුමා සක්විති රජකමට පත්වනුයේ පරපුරෙන් නොවේ. “න පෙත්තිකංදායාදං” පියාගෙන් පුතුට උරුම වූවක්ද නොවේ. ඒ සඳහා තමන්ම සීලයෙහි පිහිටා තමාම ගුණ දහම් සමඟ ඇතිකර ගනු ලබන රාජ්‍යයකි. එය තමන්ට හිමිවනුයේ තමන් වඩන ගුණ දහම් ද සමඟය. එවන් සක්විති රජවරු, පසේ බුදුවූ බුදුරජාණන් වහන්සේ නමක් ගෞතම සම්බුදු සසුන තුළ පහළ වන්නේ නැත. ඊළඟට රහතන් වහන්සේලා වැඩ සිටියහ. සක්විති රජ කෙනෙකු අපේ ජීවමාන බුදුහාමුදුරුවෝ කාලයේ පහළ නොවූහ. ඒ නිසා ඒ අය වෙනුවෙන් කරන ලද ධාතු පූජා අප සඳහන් කළ අයුරෙන් දැක්වේ.

බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසුව එම ධාතුන් වහන්සේලා වෙනුවෙන් ධාතුන් වහන්සේලා බෙදා ගැනීම පිළිබඳව ඉමහත් උනන්දුවක් එදා සිටි ජන කණ්ඩායම්වලට ඇති වූයේය. එහිදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ කොටස් අටකට බෙදා ඒ ඒ ප්‍රදේශවල තැන්පත් කිරීම සඳහා ඒ ඒ අය පෙරහරෙන් වැඩම කරවූහ. ඒ අයුරෙන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ධාතු පූජාවන් සිදු කරන ලදී. අනතුරුව එම ධාතු චෛත්‍යය නැවත බිඳ ඒවායෙන් ඒ ධාතුන් වහන්සේලා නැවත ලබා ගෙන චෛත්‍යය අසුහාර දහසක් ඉන්දියාව තුළ ගොඩනංවයි. ඒ ධර්මාශෝක මහ රජතුමා විසිනි. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්ට ලැබුණු ධාතුන් වහන්සේලාගේ සමහර කොටස් අදටත් අපට ලැබී තිබේ. ඉන්දියාවේ මෙන්ම නොයෙක් ස්ථානවල ඒ ධාතු කොටස් දක්නට ඇත.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඉතා කුඩාවට සමහරවිට පිච්ච පොහොට්ටුවක් තරමට,අබ ඇට තරමට විසිරී ගිය ධාතුන් වහන්සේලාය. ඒ නිසා එම ධාතුන් වහන්සේ කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් වැඩ හිඳි . එම ධාතුන් වහන්සේලා තැන්පත් කර ධාතු පූජා පවත්වමින් චෛත්‍යය ඉදිකරවා ඇති බව අපි දනිමු. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කිරීමෙන් පසු අපේ රටේ ඉදිවූ ප්‍රථම චෛත්‍යය ථූපාරාමයයි. බුදුරජාණන් වහන්සේ වැඩමවීමට පෙර මහියංගණ චෛත්‍ය ඉදිකරවූ බව සඳහන් වේ.පෙර රජදරුවන් එම චෛත්‍ය සඳහා “කංචුක චෛත්‍යය” ලෙසින් නැවත නැවත එම චෛත්‍ය විශාල ලෙස කරවූහ. එමෙන්ම එම චෛත්‍යය පූජාවේදි එම චෛත්‍යයට යන වියදම හෝ ඊට වැය වන ශ්‍රමය ගැන නොසිතූහ. ඊට වඩා බුද්ධෝපස්ථානයක් ලෙස චෛත්‍යය ඉදිකළ යුතු බව ඒ චෛත්‍යය පූජාවලින් හෙළිවේ.

අපේ ඉතිහාසය තුළ සදහන්අනුරාධපුරයේ ඉදිකරන ලද චෛත්‍යය නිර්මාණය තුළ ඒ අයගේ පැවැති ශ්‍රද්ධාව මොනතරම්දැයි කියන බව එහි ඇති දැවැන්ත බවෙන් පෙනේ.

එය රටේ සශ්‍රීකත්වය, සමෘද්ධිය පිළිබිඹු කරන කරුණක් මෙන්ම ආධ්‍යාත්මය පිළිබිඹු කරන කාරණාවක්ද විය. අදටත් එම මහා චෛත්‍යය නිර්මාණ අප පුදුම කරවන තරම් සුළුය. එසේ අප පුදුම කරවන සුළු එවන් නිර්මාණ මෙම ලක්දෙරණ තුළ ඉදිකළේ අපේම මුතුන් මිත්තන් බවට අපේ ඇතැම් අයට අමතක වී ගොස් ඇති බවක්ද පෙනේ. ඒ නිසා මේ ගෝලීයකරණය තුළ පර ගැති චින්තනය සමඟ යටපත් වේ ගෙන යන විදේශීය සංකර සංස්කෘතියේ ගොදුරු බවට පත්ව ඇති, අගය නොකළ යුතු ජීවිත පෞරුෂ සාධක ලෙස සලකන හිස් මිනිසුන්ගේ හිස් දේ, හිස් මුදුණින් පිළිගැනීමට යොමුවූ සහ එවන් යොමුකිරීම් පවතින සමාජයේ ඒ වෙනුවට ලෝවාමහාපාය ඉදිකළ මහා විහාර දාන ශාලාවේ හාමුදුරුවරු තුන්දහස් හත්සියයක් දානය වළඳපු අභයගිරි දාන ශාලාවේ, හාමුදුරුවරු පන්දහසක් දානය වැළඳු එවන් ඓතිහාසික මහා වටිනාකම් ද සහිත රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය ආදි මේ සිද්ධස්ථාන අහස උසට චෛත්‍යය ඉදි කරපු රටක,ජාතියක, මහා සමුදුර වන් වැව් තනා රටම සහලින් ස්වයංපෝෂිත කරන ලද ආසියාවේ ධාන්‍යාගාරය ලෙස ලොවට බත සපයපු මේ පුංචි රට ඉන්දියාවටත් වඩා ලොකුවට සිතියම් ඇඳි අපේ රටේ මානව සම්පත් හැකියාවන් දැක එවන් රටක තිබූ සෞභාග්‍යයට පමණක් නොව ගුණධර්ම අතින් මැණිකක් ගත් කන්‍යාවියක් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කළ හැකිව තිබූ රටක වර්තමාන පරපුරට ඒ තමන්ගේ සැබැ අතීත උරුමය සිහිකරදීම මෙම චෛත්‍යය පූජාව තුළ සිදු කිරීමට අපේක්ෂිතය.


අනුරාධපුරයේ ඉදිවන සඳහිරු සෑය

බුදුරජාණන් වහන්සේ නමකට පරිනිර්වාණ තුනක් සිදුවේ. ඉන් එකක් නම් ක්ලේශ පරිනිර්වාණයයි. අනික ස්ඛන්ධ පරිනිර්වාණයයි.අනික ධාතු පරිනිර්වාණයයි. ක්ලේශ පරිනිර්වාණය යනු එදා සිද්ධාර්ථ තාපසතුමා වයස අවුරුදු තිස්පහේදී ගයාවේ බෝමැඩදි කෙලෙස් දුරු කිරීමයි. ඊළඟට ස්ඛන්ධ පරිනිර්වාණයයි.උන්වහන්සේ වයස අවුරුදු අසුවේදී මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේදි උන්වහන්සේ ගේ පරිනිර්වාණය සිදු විය. ධාතු පරිනිර්වාණය යනු ශාසන අන්තර්ධානයේදි ධාතුන් වහන්සේලා සියල්ලම ඒකරාශි වී බුදුරජාණන් වහන්සේ හා සමාන රූපයක් මැවී මොහොතක් ධර්මය දේශනා කර නැතිවී යන දවසයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවමානව පවතී. උන්වහන්සේගේ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලාද ජීවමානව වැඩ සිටිති.

ඒනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පරිදි ‘තිට්ඨං චෙ නිබ්බුතෙ චාපී සමෙ චිත්තේ සමංඵලං’ බුදුරජාණන් වහන්සේ නමක් සුජීවත්ව වැඩ සිටියත්, පිරිනිවන් පෑවත් බුදුරජාණන් වහන්සේ නමක් උදෙසාම කරන පූජාවක් හා සමාන ප්‍රතිඵල ලබාගත හැකිය.අදහස වැදගත් වනු ඇත. “චෙතො පසාදහේතුං” චිත්තප්‍රසාදය තුළින් සත්ථා ගච්ඡන්ති සුග්ගතිං “ සත්වයාට සුගතිගාමි විය හැකිය. බුදුපියාණන් වහන්සේගේ දේශනයේ, සොපටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති” “යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය දකීද? ඔහු ධර්මය දකී යො ධම්මං පස්සති සොමං පස්සති” යමෙක් ධර්මය දකීද? හේ මා දකි. මේ අනුව බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් දැකීමට උගන්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය උන්වහන්සේම සඳහන් කරන අන්දමට ශරීරය විනාශ වී ගියත් මේ මගේ ධර්මය තිබෙන තාක්කල් බුදු හාමුදුරුවෝ ධර්මය තුළින් දකිනු ලැබේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේ දැකිමට ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාත් ඒ වගේම උන්වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය පවතී. ජීවමාන බුදුහාමුදුරුවෝ අපට දක්නට නැතත් ජීවමාන බුදුහාමුදුරුවෝ දකින ක්‍රමය අපට ඉතිරිව පවතින්නේ උන්වහන්සේගේ ධර්මය හා උන්වහන්ස්ගේ ශී‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේලා නිසාය.

යුද ජයග්‍රහණය බොහෝ රටවල බොහෝ දෙනා අවසන් කරනුයේ කෲරත්වයෙනි. වහලුන් ලෙස පිරිසක් අල්ලා ගනිමින්. ඒ අය කොටින්ට, ව්‍යාඝ්‍රයින්ට ආහාරයට දී පණ පිටින් මිනිස්සු ලවා මහා දැවැන්ත ආක්‍රමණිකයන් රටවල් ජයග්‍රහණය කරපු අය “ජයං වේර පසවති” ජයග්‍රහණය තුළ වෛරක්කාරයන් බිහිවන බව බුද්ධ දේශනාවයි. “දුක්ඛංයීසේතිපරාජිතෝ” පැරැදුනු අය වේදනාවෙන් පසුවේ. වෛරක්කාරයන් හදා ගැනීම හෝ පරාජිතව වේදනාවෙන් සිටින පිරිසක් ඇතිකර ගැනීමවත් මේ මානුෂීය මෙහෙයුමේ අරමුණ වූයේ නැත. මේ ජයග්‍රහණය පොදුවේ මනුෂ්‍යත්වයයේ ජයග්‍රහණයකි. මෙය අද පවත්නා තත්වය අනුව කල්පනා කරන විට සැබැවින්ම යුද්ධය තුළ ජයග්‍රහණයක් තිබේද? යුද්ධයේ තිබෙනුයේ පරාජයක් පමණි. එය මුළු මනුෂ්‍යත්වයේම පරාජයකි. සිංහල මිනිසුන්ටත් ඒ පරාජය ද්‍රවිඩ මිනිස්සුන්ටත් ඒ පරාජය. යුද්ධය තුළ යමෙක්ද පීඩාවට පත්වූයේ ඒ හැම පරාජයට පත්විය. ඒ නිසා එය ජයග්‍රහණයක් නොව පරාජය අවම කර ගැනීමට එය සිදු කෙරුණි. එබැවින් එය නැවත ජයග්‍රහණයක් කරා රැගෙන යාමට මේ හරහා පළුදු වූ මනුෂ්‍යත්වයට අප සාධාරණ-යක් ඉටු කළයුතුය. යුද්ධය හරහා පළුදු වූ මනුෂ්‍යත්වයට සාධාරණය ඉටු නොකරනවා නම් එය විශාල හානියකි. ලෝකයේ කවදාවත් නොකරපු ආකාරයට අපේ මුතුන් මිත්තන් කටයුතු කළේය. අප දන්නා පරිදි එළාර රජතුමා මිය ගියාට පසු එතුමා වෙනුවෙන් ප්‍රභාකරන් මෙන් විනාශකාරයෙක් නොවුයෙන්. එතුමා ධාර්මිකව අයුරින් කටයුතු කළ අයෙකි. අපේ රටේ එදා පැවැති බුද්ධ ශාසනයත්, සිංහල ජාතියක් බේරාගැනීම සඳහා දුටුගැමුණු මහා රජතුමා පෙරමුණ ගත්හ. එළාර රජතුමාගේ අභාවයෙන් පසු නැවත නැවතත් මිය ගිය එළාර මර මරා නොසිටියහ.මිය ගිය එළාර රජතුමා වෙනුවෙන් ස්මාරකයක් පවා ඉදි කරවූහ. අනතුරුව සිංහල හා ද්‍රවිඩ කණ්ඩායම් එකමුතු වූහ. අවුරුදු දහස් ගණනක ඉදිරි ගමනක් ඇත. අදත් එය නැවත සිදු කිරීමට සිදුව තිබේ. ඒ නිසා යුද්ධයක ජයග්‍රහණය ලබා කණ්ඩායමක් දිනා කණ්ඩායමක් පරාජය කිරීම නොව සඳහිරු සෑයෙන් අර්ථවත් කරෙනුයේ එය මනුෂ්‍යත්වය වෙනුවෙන් මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක් ලෙස අපිට දැකිය හැකිය.