UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොවට පින් කෙතක් වූ පිළිවෙත් සරු මහා සඟ රුවන

ලොවට පින් කෙතක් වූ පිළිවෙත් සරු මහා සඟ රුවන

පිළිවෙත් සරු මහ සඟ රුවනෙහි ගුණ ගැයෙන සඟ ගුණ පාඨයෙහි සඳහන් වන අවසන් ගුණය “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” යන ගුණයයි. අනුත්තර යනු යමක් හා සමාන නොවන බව දක්වන උසස් බව දක්වන පදයකි. ලොව පුණ්‍යෂේත්‍ර යනුවෙන් හඳුන්වන යමක් වේද ඒ හැම ක්ෂේත්‍රයකට ම වඩා උසස් වන බැවින් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස යනුවෙන් දක්වා ඇත.

ලොව වෙසෙන ගොවියෝ කෙත්හි බිජු වපුරති. කෙත්හි බිජු වපුරන්නේ සරුඵල ලබන්නටය. වපුළ බිජුවෙන් සරු ඵල ලැබෙන්නට නම් කෙත ද සරු විය යුතුය. කෙතද සුදුසු විය යුතුය. මනා කොට ජලය යොදා පොහොර යොදා සී සා සකසා ගත් එකක් විය යුතුය. සරු කෙතක තිබිය යුතු අංගයන් පිළිබඳව විස්තරයක් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ඛෙත්තුපම සූත්‍රයේ දක්වා ඇත.

1.වළගොඩැලි නැති කෙතක්, 2.ගල් බොරළු නැති බිමක්, 3.කරමැටි නැති බිමක්, 4.ගැඹුරට සාන ලද බිමක්, 5.ගලා ගෙන එන දිය පහරවල් වලින් යුක්ත වීම 6.කුඹුරින් ගලා යන දිය පහරවල් ඇත්තක් වීම 7.දිය ගලා යන ඇළ මාර්ග ඇති තැනැක් වීම 8. කෙතේ නියරවල් සීමාවල් තිබිම.

මේ අංගයන්ගෙන් යුක්ත කෙතෙහි වපුළ බීජ මහත් ඵල ඇත්තේ වෙයි. මධුර වෙයි, වැඩෙන්නේ වෙයි, යනුවෙන් දක්වා ඇත. මෙකී කරුණුවලින් සමන්වාගත කෙතෙහි වපුළ බිජු සරු ඵල ගෙන දෙන්නා සේ සැදැහැති පින්වතුන්ගේ පුණ්‍ය බීජයන් වැපිරීමෙන් ඔවුනට මහත් ඵල මහානිසංස ගෙන දිය හැකි යම් කෙතක් වේ ද, ඒ ආර්ය මහා සංඝරත්නය නමැති කෙත වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එසේ හඳුන්වනුයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්ත වන ආර්ය මාර්ගයෙහි ගමන් කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් පමණි.

ලොව ඇති කෙත් අතර ගොවියා බොහෝ වෙහෙසී ගොවික මෙහි නියැළුණද, අල්ප වූ ම ඵල ගෙන දෙන කෙත් වෙති. තවද මධ්‍යම ප්‍රමාණ ඵල ගෙන දෙන කෙත්ද වෙති. එසේම වෙහෙසෙන තරමට ඵල ලැබෙන කෙත් ද වෙති. බොහෝ ඵල ගෙන දෙන කෙත්හු ද වෙති. එසේම දානයක් පූජා කරන විට එය අල්ප වූ ආනිසංස ඇත්තක් වීමටද මධ්‍යම ප්‍රමාණ වූ ආනිසංස ඇත්තක් වීමට ද, බොහෝ ආනිසංස ඇත්තක් වීමටද , ප්‍රතිග්‍රාහකයාගේ පාර්ශ්වයෙන් ප්‍රබල දායකත්වයක් ලැබේ. වෙනත් ලෙසකින් පවසන්නේ නම් මේ සස්නෙහි සඟරුවන වුව පුණ්‍යෂේත්‍රභාවයෙන් සමාන නොවෙති. මෙහිදී මේ පුණ්‍යෂේත්‍රභාවය පෞද්ගලික හා පොදු වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. පෞද්ගලික වශයෙන් ගැනෙන පුණ්‍යක්ෂේත්‍රභාවය ආරම්භ වනුයේ පෘථග්ජන සිල්වත් භික්ෂුවගෙනි. පෘථග්ජන සිල්වත් භික්ෂුවකට වඩා සෝවාන් පුද්ගලයා උසස් පුණ්‍යෂේත්‍රයකි. සෝවාන් පුද්ගලයාට වඩා සකෘදාගාමි පුද්ගලයා උසස් පින් කෙතති. සකෘදාගාමි පුද්ගලයාට වඩා අනාගාමි පුද්ගලයා උසස් පින් කෙතකි. අනාගාමී පුද්ගලයාට වඩා රහත් පුද්ගලයා උසස් පින් කෙතකි. මේ උතුම් පුද්ගලයෝ වෙනත් සස්නක නොලැබෙන බැවින්ද මේ බුදු සස්නෙහි ම දක්නට ලැබෙන බැවින්ද මේ සියලු දෙනා අනුත්තර වු පුණ්‍යෂේත්‍රයන් හැටියට දක්වා ඇත.ආර්ය මහා සංඝරත්නය ලොව වෙසෙන පිරිස් පොදු වශයෙන් ගත් කළ උත්තම පිරිස නියෝජනය කරන උතුමෝ ය. සිල්වත්කම,උගත්කම, ගුණවත්කම හා නිකෙලෙස් මනැසින් යුතුවීම ආදි ගුණයන්ගෙන් අනූන ආර්ය මහා සංඝරත්නය ලොව උත්තම පිරිස නියෝජනයට අවැසි සියලු ගුණයන්ගෙන් ශෝභමාන වූ බැවින් අනුත්තර තත්ත්වයෙන් ම හඳුන්වති. සංඝරත්නය කෙදිනකවත් දුස්සීල තත්ත්වයෙන් නො සැලකේ සංඝ යන පදයෙන් හඳුන්වන්නේ ම සිල්වත් පිරිසකි. යමෙක් දුස්සීල වේද හේ සංඝ නාමයෙන් නො ගැනේ. හේ දුස්සීල ශ්‍රමණයෙකැයි හැඳින්විය හැකිය. නමුත් දුස්සීල සංඝයා යැයි පැවැසිය නොහැකිය. සංඝ රත්නය ස්වභාවයෙන් ම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සිල්වත් වූ පිරිසක් වන බැවිනි. එබැවින් දක්ඛිණා විභංග අටුවාවෙහිදී දුස්සීලෝ සංඝන්ති න වුත්තෝ සංඝෝ හි දුස්සීලෝ නාම නත්ථි යනුවෙන් සඳහන් කොට ඇත.

යමෙක් සංඝයා උදෙසා යමක් පූජා කරන විට එය දුස්සීල ශ්‍රමණ පිරිසක් පිළිගනිති. නමුත් දායකයාගේ ආනිසංසවලට ඉන් හානියක් නොවන්නේ දායකයා එය පූජා කළේ ආර්ය මහා සංඝරත්නය උදෙසා උන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කර ගෙන වන බැවිනි. අනාගත කාලයෙහි ශ්‍රාවක සංඝ නාමයෙන් පෙනී සිටින්නා වූ ගෙලෙහි හෝ අතෙහි කහ රෙදිකඩක් දරන්නා වූ දුස්සීල පාපී පුද්ගලයන් ඇති වන බව ද ඒ අයට ද මිනිසුන් දන් දෙන බව ද එසේ දෙන්නා වු දානයෙන් ද අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වු ආනිසංස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දක්ඛිණාවිභංග සූත්‍රයේදි සඳහන් කොට ඇත. මේ කරුණින්ද තහවුරු වන්නේ මහා සංඝරත්නයේ ඇති අනුත්තර පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ගුණයයි.

සැදැහැවතුන්ගේ දානයන් මහත් ආනිසංස ඇති දානයන් කරවා දීමට මහා සංඝරත්නයේ දායකත්වය සුවිශේෂය. ප්‍රතිග්‍රාහකයන්ගේ තත්වය අනුව දායකයන්ට ලැබෙන ආනිසංවලද අඩු වැඩියක් වන බවට සූත්‍ර පිටකයේ එන විවිධ සිද්ධිහු සාක්ෂි සපයති. බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන්ට ධර්ම දේශනා කරන්නට දෙව්ලොව වැඩි වේලෙහි ධර්ම ශ්‍රවණය සඳහා එක මොහොතෙ-හිම පැමිණි අංකුර සහ ඉන්දක නම් වූ දිව්‍ය පුත්‍රයෝ දෙදෙනෙක් බුදුරදුන් දෙපස හිඳ ගෙන සිටියහ. කල් ගත වෙත් ම මහානුභාව දෙවි දේවතාවුන්ගේ පැමිණීම සිදු වූ බැවින් ඔවුනට ඉඩ දී අංකුර දෙව් පුතුට පසුපසට යන්නට සිදු විය. එසේ පසුපසට තල්ලු වී ගොස් අවසන බුදුරජාණන් වහන්සේ වැඩ හුන් තැන සිට යොදුන් දොළහක් දුර වෙන තෙක් ගොස් නතර වන්නට සිදු විය. එයට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා ඇත්තේ අංකුර කලින් ආත්මයකදී රජ කුලයක ඉපිදි මහ දන් දුන් බවත්, නමුත් ඒ සියලු දානයන්දී ඇත්තේ එය මහත් ආනිසංසදායි කළ නොහැකි දුගී මගී යාචකාදීන්ට බවත්, එසේ හෙයින් දෙව්ලොව උපනත් අල්පේශාක්‍ය ජීවිතයක් ගත කරන්නට වී ඇති බවත් ය. එනමුත් ඉන්දික දෙව්පුත් හට එසේ තමා හුන් තැනින් ඉවත් වන්නට සිදු නොවුණි. හෙතෙම පෙර ආත්මභවයෙහි අනුරුද්ධ මහ රහතන් වහන්සේට දානයක් ලැබෙන්නට සළස්වාලීම එසේ දෙව්ලොව ඉපිද මහේශාක්‍ය තත්ත්වයෙන් සිටින්නට වරම් සලසා ගත්තේය. ඒ දානයෙහි ප්‍රතිග්‍රාහක පක්ෂය පින් බිජු වපුරන්නට යෝග්‍යම වූ අවස්ථාවක් බැවිනි. තව ද වේළාම සුත්‍රයෙහි සඳහන් වන පරිදි වේළාම බ්‍රහ්ම-ණයා දුන් ඒ අසිරිමත් දානය ද මහත් ඵල මහානිසංස කිරීමට කිසිවෙක් නොවු බව සඳහන් වනුයේද මහා සංඝරත්නයෙහි වන “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” ගුණයෙහි ඇති අගය වඩ වඩාත් තහවුරු කරමිනි.

එසේම අනුත්තර වු පුණ්‍යෂේත්‍රයක් වන සඟරුවන සතුවිය යුතු ගුණ දහයක් පිළිබඳ ව අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආහුනෙය්‍ය සූත්‍රයෙහි සඳහන් වේ. සිල්වත්වීම,ශ්‍රැතධර වෙයි, කළ්‍යාණ මිත්‍රයන් ඇතියේ අනුනට ද කළ්‍යාණ මිත්‍රයෙක්ව කටයුතු කිරීම, සම්මාදිට්ඨියෙන් යුක්තවීම, ඍද්ධිප්‍රාතිහාර්ය දැක්වීමට හැකිවීම, දිව කන් ඇත්තෙකු වීම , අනුන්ගේ සිත් පිරිසිඳ දැනීමේ හැකියාව , පෙර විසූ කඳ පිළිවෙල සිහිකිරීමේ හැකියාව , දිවැසින් ලොව වෙසෙන සත්ත්වයන් කර්මානුරූපිව මැරෙන ඉපදෙන අයුරු දැකීමට ඇති හැකියාව ,ක්ෂීණාශ්‍රවවීම මෙකී ගුණයන්ගෙන් යුක්ත වන ආර්ය ශ්‍රාවකයා සැදැහැවත් ජනතාවගේ පින් බිජු වපුරන්නට සුදුසු කෙතක් වන්නේය. බුදුරජාණන් වහන්සේ දෙසු දහම බොහෝ සෙයින් ජනතාව අතරට ගෙන ගියේ ආර්ය මහා සංඝ රත්නයයි. ලොව මහා සංඝරත්නය නොමැති නම් සසුනද පවතින්නේ නැත. ලොව බුදු සසුන නොපවතින්නේ නම් කිසිම කෙනෙකුට මේ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේද නැත. උතුම් මහා සංඝරත්නය තම ශීලාදී ප්‍රතිපත්තීන් ද රැක ගෙන ජනතාවට මඟ පෙන්වන බැවින් ඔවුහු ද ධර්මානුකූලව ජීවත් වෙති. සිත් සේ තම පින් බිජු වපුරති. ලොව වෙසෙන සැමට පින් කිරීමට අවස්ථාව සැලසී ඇත්තේ උතුම් මහා සංඝ රත්නයෙහි සුවිශේෂ සහාය ඔවුනට ලැබෙන ලැබුණු බැවින් බව හැම දෙනෙක්ම දැන ගත යුතු කාරණයකි.

මහා සංඝරත්නය පොදු වූ පිරිසක් වශයෙන් ගෙන දන් දෙන විට පුද්ගලිකව බුදුරජාණන් වහන්සේට දෙන දානයටද වඩා උසස් ආනිසංස ලැබෙන බව දක්වා ඇත්තේ මහා සංඝරත්නයෙහි ඇති පූජනීයත්වය වඩ වඩාත් තහවුරු කරමිනි. දිනක් මහා ප්‍රජාපති ගෝතමිය සිවුරක් සකස් කොට ගෙනවුත් බුදුරජාණන් වහන්සේට පූජා කළාය. බුදුරජාණන් වහන්සේ එය සංඝයාට පූජා කරන ලෙස පැවැසූහ. එසේ කළ කල්හි එය තමන්ටද කරන පූජාවක් වන බව දැන්වූහ. කරුණු මෙසේ හෙයින් ආර්ය මහා සංඝරත්නය සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන්නේය. සැරියුත් මුගලන් ආදි මහා ක්ෂීණාශ්‍රව උතුමන් වහන්සේලා මිනිසුන්ගේ අනේකවිධ පුද පූජාවන්ට යෝග්‍යවූයේ උන්වහන්සේලා සතුව ඒ මහරු ගුණ කඳ නිසාවෙනි. උන්වහන්සේ වැඩි මඟ වඩින කළ්‍යාණ පෘථග්ජන උතුම් සංඝ රත්නය අද ද පුදනු ලබන්නේ ඒ ගුණ කඳ සිහි කර ගෙනය. වත්මන් සමාජයේ වැඩ වසන ස්වාමින් වහන්සේ නමක-ගෙන් කුඩා වූ හෝ වරදක් දුටු විට බොහෝ දෙනා සමස්ත සංඝ සමූහයා වෙතම දොස් නඟන්නට බලා සිටිති. එය නිසි ලෙස තෙරුවන් සරණ නොගිය අය විසින් කරනුු ලබන්නකි. කෙසෙල් ඇවරියක ගෙඩියක් නරක් වූ සැනින් ඇවරියම විසි කළ යුතු වන්නේ නැත. තෙරුවන් සරණ ගිය මේ ධර්ම මාර්ගයෙහි ගමන් කරන්නට උත්සාහ කරන තැනැත්තා සඟරුවන තමන්ට දකින්නට ලැබීම පවා තමන්ගේ භාග්‍යයක් ලෙස සළකා කටයුතු කරති. උන් වහන්සේලා තුළින් තමන්ගේ පින් සිත් දියුණු කර ගනිති.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ ආර්ය මහා සංඝ රත්නයට අනුත්තර පුණ්‍යෂේත්‍රයක් වනුයේ සැදැහැවතුන්ගේ දන් පිළිගැනීමෙන්ම පමණක් නොවන බවය. මහ සංඝරත්නය සැදැහැවතුන්ගේ ශීල භාවනාදි ගුණධර්ම ද දියුණු කරන්නට බෙහෙවින් උපකාර වන බව අප තේරුම් ගත යුතුය. එසේ ගුණ ධර්ම දියුණු කර ගැනීමට පොළොව වනුයේ මහ සඟරුවනයි. කෙත කෙතරම් සරු වුවත් බිජු වපුරන්නා ඒ ක්‍රියාව නිසි ලෙස නො කරන්නේ නම් සරු ඵල නොලැබේ. එබැවින් සැදැහැති බෞද්ධයෝ තමා ධර්මයෙහි පිහිටා සඟරුවන තුළින් පින් ඵල සරු කර ගන්නට වෙර වඩත්වා!

නයනා නිල්මිණි

 

 වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07 වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.

 මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]