UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දම්පද මිහිර 9 නොදියුණු මිනිස් සිත රාගයෙන් තෙත්වනු ඇත

දම්පද මිහිර 9

නොදියුණු මිනිස් සිත රාගයෙන් තෙත්වනු ඇත

ඉස්සර බොහෝ රාජ කුමාරවරුන්ගේ අභිෂේක මංගල්‍යයත් එක්කම තමයි සරණ මංගල්‍යයත් සිදු වුණේ. බොහෝ විට අභිනව මාලිගාවක් නිර්මාණය කළානම් එහි ගෙවැදීමත් සිදුවෙන්නෙ එදාටමයි. නව යුවළ එදා ඒ නිවසේ පදිංචියට යනව. මහා ප්‍රජාපති ගෝතමියගේ පුත් නන්ද කුමාරයාගෙත් ත්‍රිවිධ මංගල්‍යයම එක දවසක යෙදී තිබුණ.

කලින් දවසේ බුදුපාමොක් මහා සංඝරත්නයට රජ ගෙදර දානයක් පූජා කළා. ඒ වන විට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහල සුද්ධෝදන පිය මහ රජතුමා හිටියෙ සකෘදගාමි ඵලයට පත් වෙලා. සුළු මෑණියන් වන ප්‍රජාපති ගෝතමිය හිටියෙ සෝවාන් ඵලයට පත්වෙලා. ඒ නිසා දානය පූජා කළේ ඉතා හොඳ අවබෝධයකින්.

දානෙ වළඳල අවසන් වෙලා අනුමෙවෙනි බණ දේශනාවකුත් සිදු කළ බුදුරජාණන් වහන්සේ, නන්ද කුමාරයාට කතා කළා. බුද්ධ පාත්‍රය නන්දගෙ අතට දුන්න. ආසනෙන් නැඟී සිටි බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයට වඩින්න මාලිගාවෙන් පිටත්වුණා. නන්ද හිතුවෙ ආසනෙන් නැඟිටල බුදුහාමුදුරුවො පාත්‍රයට අතට ගනියි කියල. ගත්තේ නෑ. දොරකඩදී ගනියි කියල හිතුව, ඒ ගත්තෙත් නෑ. දැන් හිත ටිකක් නොසන්සුන්. මිදුලෙදි ගත්තෙත් නෑ. මේ අතර හිස පීරමින් දුවගෙන ඇවිත් ජනපද කල්‍යාණිය ඇහුව ‘කුමාරයාණෙනි, ඉක්මනට එනව නේද’ කියල. නන්දගෙ හිත තවත් නොසන්සුන් වුණේ ඒ වචනවල තිබුණ ආදරණීය බව නිසා. බුදුරජාණන් වහන්සේ පන්සලට වඩින තුරුම බුද්ධ පාත්‍රය තිබුණෙ නන්දගෙ අතේ.

නන්ද කුමාරය බුදුන් වහන්සේ දැකල තාම දවස් තුනයි. ඒ දින තුන ඇතුළත ඔහු දුටු බුදු අසිරිය ඉමහත්. යමාමහ පෙළහර පෑම, සිත් නිවෙන සැනසෙන දේශනා විලාසය, බඹසර අවදි කරමින් කරන දේශනාවේ මිහිරියාව, නෙත් සනසාලන රූපකාය කියන මේ සියල්ල නිසා නන්ද කුමාරයට බුදුරජාණන් වහන්සේ ගැන තිබුණෙ විශාල ගෞරවයක්. ඒ නිසාම පාත්‍රය ගන්න කියල කියන්න හිතට ශක්තියක් ඇති වුණේ නෑ.

පාත්‍රය දෝත දරා සිටින නන්ද දෙස කරුණාවෙන් දෙනෙත් යොමු කළ බුදුරජාණන් වහන්සේ ‘නන්ද මහණ වෙන්න කැමතිද?’ කියල විමසුව. නන්දට කර කියා ගන්න දෙයක් නෑ. ගෞරවය නිසා බුදු මුහුණ බලාගෙන බැහැ කියන්නත් බෑ. ජනපද කල්‍යාණිය මතක් වෙනකොට කැමතියි කියන්නත් බෑ. ඒ නිසා අකමැත්තෙන් කැමතියි කියන්න සිදුවුණා. ගත වුණේ කෙටි වෙලාවයි, නන්ද මහණ කළා.

නන්දගෙ ගත මහණ කළා. ඒ හිත මහණ දුන්නෙ නෑ. දිවා රෑ දෙකෙහිම ජනපද කල්‍යාණිය කී කතාව මතකයට නැඟෙනව. බණක් භාවනාවක් කිරීමට සිත එකලස් නෑ. සසුන් බඹසරට උනන්දුවක් නැති නන්ද ‘අනේ මා මේ මහණ දම් පුරන්නෙ කලකිරීමෙන්. මම ගෙදර යනව‘ කියල කීප වතාවක්ම අනෙක් ස්වාමීන් වහන්සේලාට කිව්ව. ඒ කාරණය බුදුරජාණන් වහන්සේටත් ආරංචි වුණා.

දවසක් නන්ද හිමියන් ජනපද කල්‍යාණිය පිළිබඳ කල්පනා කරමින් සිටින විට බුදුරජාණන් වහන්සෙ එතනට වැඩම කළා. ‘ඇත්තද නන්ද බඹසර විසීම අපහසුයි කියල සිවුරු හැරල ගෙදර යන්න හදනව කියන්නෙ’.

එහෙමයි, බිම බලාගෙන නන්ද උත්තර දුන්න. ‘මට ජනපද කල්‍යාණිය මතක් වෙන කොට මහණ දම් පුරන්න හිත හදාගන්න බෑ. බුදුහාමුදුරුවනේ.’ බුදුරජාණන් වහන්සේ නන්දගෙ අතින් අල්ල ගත්ත. නන්දත් එක්කම අහසට පැන නැඟුණ. පිලිස්සී ගිය වන ලැහැබකට ඉහළින් අහසේ මොහොතක් නතර වුණා. ගහක් බදාගෙන පිලිස්සී ගිය වැඳිරියකගෙ මළ සිරුරක් එතැන පේන්න තිබුණ. එතැනින් නික්මුණ බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩම කළා. නතර වුණේ සක් දෙවිඳු අබියස. පෙරෙවි පා වැනි රත් පැහැති පා ඇති සුන්දර දෙවඟණන් පන්සියයක් සක් දෙවිඳු පිරිවරාගෙන සිටින හැටි නන්දට පේනව. ඒ කිසිවෙක් බුදු සමිඳු හෝ නන්ද හිමියන් දැක්කෙ නෑ.

“නන්ද, අර දෙවඟණන් ලස්සනද?”

“එහෙමයි” සිනාමුසු මුහුණින් නන්ද හිමියන් උත්තර දුන්න.

“නන්දට හිතෙන්නෙ මේ දෙවඟණන්ද ලස්සන, නැත්නම් ජනපද කල්‍යාණියද ලස්සන?”

“ස්වාමීනි, මේ දෙවඟණන් එක්ක බැලුවොත් නම්, ජනපද කල්‍යාණිය හරියට අපි මඟදී දැක්ක පිලිස්සී ගිය වැඳිරිය වගේ කියල හිතෙනව“

“නන්ද කැමති මේ සුරලියකටද? නැත්නම් ජනපද කල්‍යාණියටද”

“ජනපද කල්‍යාණියට වඩා නම් සුරලියන් ගොඩක් හොඳයි” ලැජ්ජාවෙන් වගෙ උත්තර දුන්න.”

“මම නන්දට පොරොන්දුවක් වෙනව. මා දෙන උපදෙස්වලට අනුව සීල, සමාධි, ප්‍රඥා දියුණු කරල. ප්‍රතිඵල පෙන්නුවොත් පිරිවර 500 ක් එක්ක සුරලියක් ලබා දෙන බවට”

නන්ද හිමියන්ට ඇති වුණේ කියාගත නොහැකි තරම් සතුටක්. මළානික සිත විකසිත වුණා. ජනපද කල්‍යාණිය අමතක වුණා. සුර අඟණන්ගේ රුව සිතේ සිතුවම් වුණා. නැවතත් බුදුරජාණන් වහන්සේ නන්දගෙ අත අල්ලා ගත්ත. සුළු වේලාවකින් දෙවරම් විහාරයට වැඩම කළා.

නන්ද හිමියන් වෙනස් වෙල. ඉඩ ලැබෙන හැම වෙලාවෙම භාවනා කරනව. එකපාරටම මේ ඇති වෙලා තියෙන වෙනස කුමක්ද කියල ස්වාමීන් වහන්සේලා විමසා බැලුවා. සුරඟණන් පතාගෙන නන්ද හිමියන් සසුන් බඹසර හැසිරෙන බව දැනගන්න ලැබුණ. ඒ නිසාම සමහර නොදියුණු මනස් ඇති භික්ෂූන් කිව්වෙ නන්ද කුලියට මහණ දම් පුරනව කියල. මේ අවමන් කිරීම නන්ද හිමියන්ට ලජ්ජාවට කාරණයක් වුණා. පිරිසෙන් ඈත්වෙල බවුන් වඩන්න පටන් ගත්තෙ ඒ නිසා.

එක් රාත්‍රියක දෙව්රම් වෙහෙර බබුළුවාගෙන එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිය. උන්වහන්සේට වන්දනා කරල පි‍්‍රයශීලි කතාවෙ නිරත වුණා. අනතුරුව මෙහෙම ප්‍රකාශයක් කළා.

“ස්වාමීනි, නන්ද ස්වාමීන් වහන්සේ සියලු ආශ්‍රව ක්ෂය කොට ආශ්‍රව රහිත, චේතෝ විමුත්තියටත්, පඤ්ඤා විමුත්තියටත් පැමිණ, තමන්ම ඒ බව සාක්ෂාත් කොට නිවනට පැමිණ වාසය කරනව.”

“ඔව් මා ඒ බව දැන සිටියා” බුදුරජාණන් වහන්සේ ඒ දෙවියාට පිළිතුරු දුන්න.

පසුදා පෙරවරුවෙහි නන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දෙපා වන්දනා කරල මෙසේ සඳහන් කළා.

“ස්වාමීනි, ඔබ වහන්සේ විසින් දිව්‍ය අප්සරාවන් පන්සියයක් ලබා දීම සඳහා මට පොරොන්දුවක් තියෙනව. මා විසින් ඒ පොරොන්දුවෙන් ඔබ වහන්සේ නිදහස් කරන්නයි පැමිණියෙ.”

“නන්ද මම මගේ සිතින් ඔබගේ සිත විනිවිද දුටුව. යම් මොහොතක ඔබ සියලු ආශ්‍රවයන් ක්ෂය කළාද ඒ මොහොතේ සිට මා ඒ පොරොන්දුවෙන් නිදහස් වුණා.”

“නන්ද, යම් කෙනෙක් කාමයේ විස කටු කඩා බිඳ දමල සසර නමැති මඩ ගොහොරුවෙන් එතෙර වුණාද, මෝහය ක්ෂය කොට සිටින ඔහු, සුවදුක් දෙකෙහිම නොසැලෙන නිවනට පැමිණි කෙනෙක්”

නන්ද හිමියන්ගෙන් සමහර ස්වාමීන් වහන්සේල විමසුව “ඉස්සර සසුන් බඹසර දිවිය ගැන කලකිරී සිටි ඔබ ගිහි වෙන්න තීරණය කරල තිබුණ නේද? තාමත් ඉන්නෙ ඒ අදහසින්මද?” කියල. නැහැ. මා ඒ අදහස අතහැරිය නන්ද හිමියන් උත්තර දුන්න. නන්ද ස්වාමීන් වහන්සෙගෙ රහත්භාවය ගැන දැන නොසිටි උන්වහන්සේල බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල නන්ද හිමියන්ගෙ මේ වෙනස ගැන කීව.

“මහණෙනි, ගෙදරක වහල හරියට සෙවිලි කරල නැත්නම්, වැසි දිය කාන්දු වෙන්න ගන්නව. ඒ නිවස සුරක්ෂිත තැනක් වෙන්නෙ නෑ. ඒ වගේමයි දියුණු නොකරන ලද සිතත් රාගය කාන්දු වෙන්න ගන්නව. දියුණු කරන ලද සිතක් ඇති කෙනා හොඳින් සෙවිලි කළ වහලක් වගේ. රාගය කාන්දු නොවන සිතක් ඇති කෙනෙක්. එයා ආරක්ෂිතයි.

“පසුගිය කාලෙ නන්දගෙ සිත, හොඳින් සෙවිලි නොකළ වහලක් වගේ රාගය කාන්දු වෙමින් තිබුණෙ. ඒත් දැන් නන්දගෙ සිත හොඳින් සෙවිලි කළ වහලක් වගේ. නන්ද දැන් සියලු ආශ්‍රවයන් ක්ෂය කරල රහත් භාවයට පත්වූ කෙනෙක්”

අතු ඉති සෙවිලි කළ
වහලේ පලුදු ඇති කල
වැටී දිය බිඳු පෙළ
කඳුළු පුරවයි ඔබේ ගේ පැල

දියුණු නොකරන සිත
රාගයෙන් තෙත් වනු ඇත
සිදුරැති වහල මත
වැටෙන වැසිදිය මෙන් ගලනු ඇත

සිදුරු නැති විලසේ
සෙවිලි කර ඇති නිවසේ
වැසි ඇතත් දවසේ
නිවැසියන් කල් ගෙවති සුවසේ

දියුණු සිත ඇති විට
රාග තෙත නැත ඔවුනට
නිසි වහල ඇති විට
වැසිදියෙන් තෙත් නොවන විලසට


දම්පද මිහිර 8 සරු නිසරු දැන ගෙන සරු ඵල නෙලා ගනු මැන

 

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 01 වැනි දා බදාදා අපරභාග 01.47 ට ලබයි. 02 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 01 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 08 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]