UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජ‍ාච පූජනීයානං

බොරවැවේ රතනපාල නා හිමි

අනුරාධපුර කලාවැව නෑගම්පහ වලස්වැව ගමෙහි 1933 මාර්තු 16 දින මෙලොව එළිය දුටු බොරවැවේ නාහිමියෝ වයස අවුරුදු 9 දී ඓතිහාසික නියදවනේ රාජමහා විහාරාධිපතිව වැඩ සිටි පලීපාන ශ්‍රී සුමංගල මහා ස්වාමීන්වහන්සේ වෙතින් පැවිද්ද ලබා ගත්හ.

කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනෙන් හා කුරුණෑගල මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා පිරිවෙන් අධ්‍යාපනය නිම කළේ රාජකීය පණ්ඩිත උපාධිය සමත්වීමෙනි. භික්ෂුවක උගත යුතු ධර්ම ශාස්ත්‍රීය සහ බණ දහම් නිමවා උන්වහන්සේ 1953 ජූනි මස 29 දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටියහ.

මහනුවර හරංකහව ශ්‍රී සංඝානන්ද පිරිවෙන හා කුරුණෑගල අංගංගල ශ්‍රී සිද්ධාර්ථ යන පිරිවෙන්හි ධර්මාචාර්යාණන් වහන්සේ නමක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ අතර, තම විහාරස්ථානයේ ආරම්භ කරන්නට යෙදුණ ශ්‍රී රුවන්බෝධි පිරිවෙනෙහි පරිවේණාධිපති ලෙස විශ්‍රාම ලබන තෙක් ම සේවය කළහ.

පිරිවෙන් ශිෂ්‍යයන්ට ධර්මාධ්‍යනය ලබාදීමෙන් පමණක් නොව විහාරාරාම දියුණු කිරීමට ද නාහිමියන් බලවත් මෙහෙයක් දැරූහ. පොල්පිතිගම හාතිගමුව, ගුරුගොඩ විහාරය, තල්පත්වැව ගල්ලෙන් විහාරය යන විහාරස්ථානවල වැඩ සිටිමින් එම විහාරස්ථානවල විහාර මන්දිර හා සංඝාරාම පිළිසකර කිරීමටද, දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟා සිටුවීමට දහම් පාසල් ආරම්භ කරමින් අමිල සේවාවක් ද සිදු කළහ. නාහිමිපාණන් වහන්සේගේ ජීවිතයේ ඉතා වැදගත් ම සිදුවීම වන්නේ කුරුණෑගල නගරයට ආසන්නව පිහිටා තිබෙන කොටකන්ද නම් කඳු මුදුන මත විහාරස්ථානයක් ආරම්භ කිරීමයි. එම ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත එම විහාරස්ථානය 1968 දී ඉතා කුඩා පැල්පතකින් ආරම්භ කරන්නට යෙදුණි.

ක්‍රමයෙන් එම විහාරස්ථානය දියුණු කරමින් 1969 දී ශ්‍රී රුවන් දහම් පාසල ආරම්භ කර දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟා සිටුවීමට උත්සාහගත් උන්වහන්සේ 1985 දී රුවන් බෝධි පිරිවෙන ආරම්භ කර භික්ෂු අධ්‍යාපනයට ඉතා විශිෂ්ට සේවයක් සිදු කිරීම ප්‍රශංසනීය ය.

ශාසනික වශයෙන් පමණක් නොව සාමාජික වශයෙන් ද කටයුතු කළ උන්වහන්සේ අසරණ වූවන්ට පිහිට වීමට ද කාරුණික වූහ. එසේම තම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන වයඹ සමාජ සුබසාධන සංස්කෘතික සංවර්ධන පදනම මඟින් ස්වේච්ඡා සංවිධානයක් බිහිකළ උන්වහන්සේ එමඟින් ජනතාවගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආර්ථික සංවර්ධනයට ද අමිල සේවාවන් රැසක් සිදු කළහ. නිරන්තරයෙන් සසුනේ උන්නතිය පිළිබඳව සිතූ උන්වහන්සේ දැන උගත් ගිහි, පැවිදි ශිෂ්‍ය පිරිසක් ඇති කිරීම ද ප්‍රශංසා කටයුතුය. පැවිදි ශිෂ්‍යයන් අතර විශ්‍රාමලත් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් රාජකීය පණ්ඩිත වලස්වැවේ ඤාණරතන හිමියන් ප්‍රධාන වන අතර අනෙක් ශිෂ්‍යයන් පාසල් ක්ෂේත්‍රයේ පිරිවෙන් ක්ෂේත්‍රයේ සහ ඉන් පරිබාහිරව සේවයේ යෙදීම සිටීම නාහිමියන්ගේ ශාසනික කටයුතුවල මහඟු දායාදයෝය.

ලේඛකයකු වූ නාහිමියෝ නිරන්තරයෙන් පුවත්පත් සඟරාවලට ලිපි සැපයූ අතර “සුචරිත මග“ හා “පාන්කිරිති සන්දේශය” යන ග්‍රන්ථ ලියා පළ කළහ. නක්ෂත්‍රය පිළිබඳව හසළ කුසලතාවයකින් හෙබි උන්වහන්සේ බොහෝ පිරිසකගේ විවිධ ගැටලුවලට සහන සැලසූහ. පාරම්පරික අක්ෂි වෛද්‍යවරයෙකු ලෙස ද සුපතළ උන්වහන්සේ නිරාමිසව එම සේවාව සිදු කළහ. ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් මෙන්ම පරිත්‍රාණ ධර්ම දේශකයාණ කෙනෙක් ද වූහ. පාලි, සංස්කෘත හා සිංහල භාෂාවලින් කාව්‍ය බන්ධනයෙහි ද දැක්වූයේ සුවිශේෂී දක්ෂතාවයකි. බොරවැවේ රතනපාල නාහිමි අට වන ගුණ සමරුව ඉකුත් 12 සහ 13 දෙදින සිදු කෙරිණි.

අපවත්වී වදාළ බොරවැවේ රතනපාල නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.


මාපලානේ ඤාණධජ නා හිමි

කඹුරුපි මාපලාන නම් වූ ගමෙහි පුංචමානගේ මද්දුම හාමිනේ සහ දික්වැල්ලගේ හෙන්ද්‍රික් යන දම්පතීන්ට දූදරුවන් දසදෙනෙක් වූහ. එම සහෝදර සහෝදරියන් දස දෙසා අතුරින් 1950 මැයි මස 27 වන දින උපන් පින්වත් කුමරුවා සිරි දික්වැල්ලගේ නම් විය. කුඩා කල දෙමාපියන්ගේ පාසෙවනේ හැදී වැඩුණු මෙම පින්වත් කුමරු උල්ලල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

1962 ඔක්තෝබර් මස 26වන දින උල්ලල මාස්මුල්ල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ සිටි උල්ලල සිරි සද්ධම්ම පඤ්ඤාධාර මහා ස්වාමීපාදයන් වහන්සේ සහ කණුමුල්දෙනියේ රේවත නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් වූ ප්‍රවෘජ්‍ය භූමියට පත් මෙම කුමරුවා මාපලානේ ඤාණධජ සාමණේරයන් වහන්සේ නම් වූහ.

ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ පා සෙවනේ උගතමනා බණ දහම් හදාළ මාපලානේ ඤාණධජ සාමණේරයන් වහන්සේ මාතර තල්පාවිල ශ්‍රී විද්‍යාරත්න පිරිවෙණට ඇතුළත්ව මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූහ. ඉගෙනුමට ඉතා දක්ෂ වූ උන්වහන්සේ ඉන් අනතුරුව බොරැල්ල සිරිසුමන විද්‍යාල පිරිවෙනට ඇතුළත් ව එහිදී අ.පො.ස (සා.පෙළ) විභාගය සහ අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටිමින් විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමට සමත්වූහ. කොළඹ කොටහේන ජේතවන විද්‍යායතන පිරිවෙනෙන් සහ නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.

උගතමනා බණදහම් ඉගෙන විසිවයස් සම්පූර්ණ වූ මාපලානේ ඤාණධජ සාමණේරයන් වහන්සේ 1972 ජූනි මස 23 වන දින බලපිටියේ මාඳුගඟේ ස්වේජින් සීමාවේ දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක ධුරන්දරව වැඩ සිටි රාජකීය පණ්ඩිත සිරි සද්ධම්මවංසපාල ගණාචරිය කොස්ගොඩ ධම්මවංසාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටු වූහ.

රත්මලානේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් ව වසර දෙකක් ගුරු පුහුණුව ලැබූ මාපලානේ ඤාණධජ ස්වාමීන් වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර සිසුවෙක් ලෙස ලියාපදිංචි වී සිංහල, පාලි, සංස්කෘත යන භාෂාත්‍රයෙන් අධ්‍යාපනය ලැබූහ. 1979 ජනවාරි මස 03 වන දින ගාල්ලේ දඩල්ල වාලුකාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී විද්‍යාරාජ මහ පිරිවෙනේ ගුරුවරයෙක් ලෙස සේවයට එක් වූහ.

1989 සිට පරිවේණාධිපතීන් වහන්සේ ලෙස පත් වූහ. 1994 දී කොළඹ බොරැල්ල තිලකරත්නාරාම විහාරස්ථ සිරිසුමන විද්‍යාල පිරිවෙනේ පරිවේණාධිපතීන් වහන්සේ ලෙස සේවයට එක් වූ උන්වහන්සේ වසර තිහකට ආසන්න ගුරු සේවය නිමා කරමින් 2009 දී විශ්‍රාම ලැබූහ. දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද කරන ලද උදාර සේවය අගයමින් 1997 දී අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ සිටි අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් වහන්සේගේ සුරතින් “ධර්මපාණ්ඩිත්‍ය” ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.

උන්වහන්සේ කරන ආගමික සහ සාමාජික සේවය විශේෂයෙන් අගය කළ යුතුය. ස්වකීය විහාරස්ථානයට වැඩම කළ නාහිමියෝ වසර කිහිපයක් ඇතුළත අලංකාර විහාරස්ථානයක් බවට පරිවර්තනය කිරීම ගිහි පැවිදි කාගේත් ප්‍රසංශාවට හේතු වූවකි. නියමිත කාලයටත් වඩා වසර පහකට පෙර විශ්‍රාම ලබා ගත්තේ ද උපන් ගමට සිය විහාරස්ථානයට සේවය කිරීමේ උතුම් අරමුණු ඇතිවය.

ආදිකර්තෘ ධුතාංගධාරී බෝධිසත්වගුණෝපේත වෑපිටියේ ශ්‍රී විමලානන්ද මාහිමිපාණන් වහන්සේ සිහිවීම පිණිස ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමය ලෙස නම් කළ මාස්මුල්ල ආරණ්‍ය සේනාසනය අද ඉතා දැකුම්කළු විහාරස්ථානයක් බවට පත් කිරීමට නාහිමියෝ සමත් වී ඇත. ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ ශ්‍රී නාමය සිහිවීම පිණිස සිරි පඤ්ඤාධාර ධර්ම විද්‍යාලය ආරම්භ කර ප්‍රදේශයේ දූ දරුවන්ට දහම් අධ්‍යාපනය හැදෑරීමට තොතැන්නක් බවට පත් කර ඇත.

කඹුරුපිටිය උල්ලල මාස්මුල්ල ශ්‍රී විමලානන්ද යොගාශ්‍රමාධිපති, පූජ්‍ය පණ්ඩිත මාපලානේ ඤාණධජ මහා ස්වාමීන් වහන්සේ සිදු කරන මෙම ආගමික ජාතික සාමාජික සේවය අගය කරනු වස් ස්වකීය නිකාය වූ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අතිගරු මහානායක සිරි සද්ධම්මවංසපාල ගණාචාරිය මහෝපාධ්‍යාය අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ “සුධර්මා” නම් කාරක සංඝ සභාවේ එකච්ඡන්දයෙන් මාපලානේ ඤාණධජ මහා ස්වාමීන් වහන්සේ වෙත “සිරි සද්ධම්ම පඤ්ඤාධාරවංසාවතංස ශ්‍රී සද්ධම්ම වාගීශ්වර” යන ගෞරව නාම සම්මුතිය සහිතව මාතර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍රය පසුගිය දා බලපිටිය මහාකප්පින වලව්ව සීමා මාලක විහාරයේ දී ප්‍රදානය කරන ලදී.


මඩිත්තගම රතනවංශ හිමි

සිංහල පාලි සංස්කෘත දෙමළ හින්දි ආදී භාෂා රැසක් පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් උන්වහන්සේ අධ්‍යාපන ආයතන කිහිපයකම සේවය කර ඇත.

කොළඹ කොටහේන පරමානන්ද පිරිවෙන, යටියන විජයමංගල, ගම්පහ සාම විහාරය යන විද්ධස්ථානයන්හි සේවය කිරීමෙන් අනතුරුව නිට්ටඹුව සාරිපුත්‍ර අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කර ඇත.

උන්වහන්සේගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතාවය වූයේ දෙමළ භාෂාව පිළිබඳ දැක්වූ නිපුණතාවයයි. දෙමළ භාෂාවෙන් එළි දැක්වූ පුවත් පත් සඟරා මෙන්ම ග්‍රන්ථ රාශියක් ද වෙති. ඒ අතර “මල්ලිකා” නම් වූ දෙමළ සඟරාව විශේෂ ස්ථානයක් ගනී.

ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ ලිපි ලේඛන සිංහලයටත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සිංහල කතා දෙමළ බසට පරිවර්තනය කිරීමේ වාසනාව ද උන්වහන්සේ හට උදා වී තිබුණ.

මඩිත්තගම රතනවංශ හිමිපාණෝ උසස් අධ්‍යාපන කටයුතු කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ බැවින් උපසම්පදා තත්ත්වයට පත්වීම පවා තරමක් ප්‍රමාද විය. ඒ අනුව 1951 ජූනි මස 21 වන දින කැලණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලබා ගත්හ. තම ගුරු දේවයාණන් වූ උඩුනුවර ශ්‍රී ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1962 වසරේ දී කොරස සුධර්මානන්ද විහාරාධීපති පදවියට පත්වූහ. එතැන් පටන් විහාරස්ථානයේ දියුණුව සඳහා ධර්මශාලාව නිර්මාණය කිරීම වැනි කටයුතු රැසක්ම ඉටු කිරීමට අමතරව ප්‍රදේශවාසීන්ගේ ආගමික මෙන්ම සාමාජික අවශ්‍යතාවය ද ඉටු කිරීමට මහත් කැපවීමක් කළහ. සිල්වත්, ගුණවත්, ආදර්ශවත් පැවිදි ජීවිතයක් කෙරෙහි, නිතරම අවධානය යොමු කළ උන්වහන්සේ සසුනේ චිරස්ථිතියට තම පැවිදි දිවිය කැප කළහ. ඇසුරු කළ සැමගේ සිත් දිනා ගත්හ. ලෙන්ගතු වූහ. ඊටම සුදුසු වූ වාග් මාලාවක් හද තුළ ගැබ්වී තිබුණි. උන්වහන්සේ උතුම් සද්පුරුෂ දිවියක් අගය කළහ.

මෙවන් උදාර ජීවිතයක් ගත කළ අපවත් වී වසර 10 ක් ගතවන මේ මොහොතේ උන්වහන්සේගේ ගුණානුස්මරණය පිණිස දායක කාරකාදීන්ගේ හා දානපතීන්ගේ නොමසුරු මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද අභිනව ධර්මශාලාව රතනවංශ ගුණානුස්මරණ ධර්ම ශාලාව ලෙස නම් කර සඟ සතුව පූජාකිරීමටත් ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ඇතුළු විශේෂ පින්කම් රාශියක් සිදු කිරීමටත් සැලසුම් කර තිබිණි.

 

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 01 වැනි දා බදාදා අපරභාග 01.47 ට ලබයි. 02 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 01 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 08 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]