UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොල්ගොල්ලේ ධම්මකුසල නා හිමි

පොල්ගොල්ලේ ධම්මකුසල නා හිමි

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී බෞද්ධාලෝක විහාරාධිපති “විමල කීර්ති ශ්‍රී ධම්මපාල” පොල්ගොල්ලේ ශ්‍රී ධම්මකුසලාභිධාන කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක හිමියෝ වයෝවෘද්ධ, තපෝවෘද්ධ, ශීල වෘද්ධ ආදර්ශවත් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

ඓතිහාසික මහනුවර නගරයට ආසන්න පොල්ගොල්ල ග්‍රාමයේ දී 1949 අප්‍රේල් 12 වන දා මෙලොව එළිය දුටු පින්වත් කුමරාගේ දෙමාපියන් වූයේ එම්.එම්.එම්. රම්බණ්ඩාර නිළමේතුමා සහ බිසෝ මැණිකේ රණතුංග මාතාවය. මූලික අධ්‍යාපනය ගමේ පාසලින් ලබාගෙන 1963 ඔක්තෝබර් 07 දා කොළඹ 07 බෞද්ධාලෝක විහාරයේ දී අපවත්වී වදාළ “සද්ධර්ම කීර්ති ශ්‍රී ප්‍රඥානන්ද” පණ්ඩිත දොරගමුවේ ශ්‍රී ධම්මපාලාභිධාන කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජා භූමියට ඇතුළත් විය.

කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලබා ප්‍රදේශ කිහිපයකම රජයේ පාසල්වල පාඨශාලාචාර්යවරයෙකු ලෙසට දහස් සංඛ්‍යාත දරු පිරිසකගේ නැණැස පාදා දුන්හ. ඒ අතර දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලය, කොළඹ 05 පරාක්‍රමබාහු විද්‍යාලය සහ විශ්‍රාම යද්දී තිඹිරිගස්යාය විද්‍යාතිලක විද්‍යාලයේ විදුහල්පති ධූරය දරමින් සිදුකළ අධ්‍යාපනික හා සාමාජික සේවාව ඓතහාසිකය. පාසලට බලවත් අඩුවක්ව පැවැති බුදු මැදුර ඇතුළු කොට අඩු පාඩු බොහොමයක්ම සම්පූර්ණ කිරීමට උන්වහන්සේට හැකියාව ලැබුණි.

1973 දී ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරය දරමින් වැඩ සිට අපවත් වී වදාළ ගොඩමුන්නේ ශ්‍රී නාගසේන ධම්මානන්දාභිධාන මහානාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් අස්ගිරි මහා විහාරීය උපෝසථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූහ.

ඉහළ කාය වාග් සංවරයකින් යුතුව, ඇවතුම්, පැවතුම් වලින් මෙන්ම කතිකාවෙන් ක්‍රියාවෙන් ප්‍රදේශවාසීන්ගේ සිත් දිනා ගනිමින්, ස්වකීය ගුරුදේවයන් වහන්සේගේ අවවාද ලබමින් කොළඹ 07 ශ්‍රී බෞද්ධාලෝක විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ප්‍රදේශයේ ජාතික, ආගමික හා අධ්‍යාපනික සේවාවන්හී නොපැකිලව පුරෝගාමීව ක්‍රියා කරන්නට විය. සිය ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව උන්වහන්සේගේ ආධිපත්‍යය හිමිව තිබූ විහාරස්ථානයන්හිද විහාරාධිපති ධුරය දරමින් සිදුකළ ලෝක ශාසනික සේවය ප්‍රමාණ කළ නොහැකි ය.

සිය විහාරස්ථානවල අඩුපාඩු සපුරමින්, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇති කරමින්, නිකායික අවශ්‍යතා ද සම්පූර්ණ කරමින් ඉතාම සරල චාම් ජීවිතයක් ගත කළහ. පොල්ගොල්ලේ ධම්මකුසල නාහිමියෝ සිය විහාරස්ථානවල ගවයන්ට අභයදානය ලබාදෙමින් සිය ගණන් සතුන් මරණයෙන් බේරාගෙන පෝෂණය කළහ.

මෙසේ දිවා රාත්‍රී නොබලා ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ පොල්ගොල්ලේ නාහිමියෝ විශේෂයෙන්ම ජාතික ක්‍රිකට් මූලස්ථානය මුල් කරගෙන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආධ්‍යාත්මික සුවය පතා බෞද්ධාගමික වතාවත් පැවැත්වීමෙහිලා ද පුරෝගාමී වූහ. ජාතික ක්‍රිකට් කණ්ඩායම විදේශගතවන හැම මොහොතකම සෙත් පිරිත් දේශනා කොට පළමුව ආශීර්වාද කරන්නේ පොල්ගොල්ලේ ධම්මකුසල නා හිමිපාණන් වහන්සේ ය.

මේ ආදී වශයෙන් සුවිශාල ජාතික ආගමික, ශාසනික, සාමාජික මහ මෙහෙවරක නියැලෙමින් සිටිය පොල්ගොල්ලේ ධම්මකුසල නායක මාහිමිපාණන් වහන්සේ 2014.09.20 ද පස්වරුවෙහිදී අපවත් වී වදාළ සේක. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 24 දා ප.ව. 3.00 බොරැල්ල කනත්ත ආදාහන මළුවේ දී සිදු කැරිණි. අපවත්වී වදාළ ගරුතර පොල්ගොල්ලේ ධම්මකුසල් නායක මාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුවය ලැබේ.!

 

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 01 වැනි දා බදාදා අපරභාග 01.47 ට ලබයි. 02 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 01 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 08 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]