UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ළමා පරපුර

ළමා පරපුර

රටට වැඩදායි උගත් බුද්ධිමත් ළමා පරපුරක් ඇතිකරගැනීමට නම් දෙමාපියන් ඇතුළු සමස්ත සමාජයේම නිරන්තර අවධානය යොමුවිය යුතුව තිබේ. විශේෂයෙන් දෙමාපියන් ඒ සඳහා සුවිශේෂී කැපකිරීම් කළයුතුව තිබේ. දෙමාපියන් ඒ සඳහා ආදර්ශයන් ලබා දිය යුතුව තිබේ

තවත් ලෝක ළමා දිනයක් පැමිණ තිබේ. ළමුන් පිළිබඳව සුවිශේෂී කථාබහක් මෙම දිනට සමගාමීව සිදුවනු ඇත. සමාජයේ දී ළමා පරපුර මුහුණ දෙන සුවිශේෂී අභියෝග කවරේද? යන්න සොයා බැලීම ළමා පරපුරේ උන්නතිය තකන සැමට වැඩදායි වනු ඇත.

පසුගිය ලෝක ළමා දිනයකදී එහි තේමාව වශයෙන් සඳහන් වූයේ “පවුල සුරකිමු” යන්නයි. සැබැවින්ම ඒ ඉතාමත් කාලෝචිත තේමාවක් වශයෙන් සඳහන් කළ හැකි වේ.

මන්ද ළමුන් අනාරක්ෂිත වන්නේ පවුල සවිබල නොවූ අවස්ථාවලදී බව අමුතුවෙන් කිවයුතු නොවේ. විවාහයේ බර දරාගැනීමට තරම් නොමේරූ ලා බාලයන් විවාහ වීම බහුල වීමත්, එයට සමගාමීව දික්කසාද බහුල වීමත් හේතුවෙන් ළමුන් අනාරක්ෂිත වූ අවස්ථා තිබේ.

වර්තමානයේ දරුවන් මුහුණ දෙන තවත් අභියෝගයක් වශයෙන් අපයෝජනයන් හා දූෂණය කිරීම් දැක්විය හැකිවේ. විශේෂයෙන්ම විවිධාකාර වූ මානසික විකෘතිතා සහ රෝගී තත්ත්වයන් ඇති අය මෙන්ම මතට ඇබ්බැහිවූවන්ගෙන් ද ළමුන්ට වන හානිය සුළුපටු නොවේ. ලිංගිකත්වය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා කිරිසප්පයන් දූෂණය කර මරා දැමූ අවස්ථා මෑතකාලීනව අසන්නට දකින්නට ලැබුණි. ඉතා සුපරීක්ෂාකාරීව සොයා බැලීමේ දී මෑතක දී වාර්තා වූ බොහොමයක් කනගාටුදායක සිද්ධීන් වළක්වා ගැනීමට ඉඩකඩ තිබූ ඒවා බව අනාවරණය විය. මව පියා ඇතුළු පවුලේ සාමාජිකයින් දරුවා සිටින ස්ථානය පිළිබඳව යම් අදහසකින් සිටියානම් යම් සොයා බැල්මක් ඇතිව සිටියානම් බොහෝ සිද්ධින් වළක්වා ගැනීමට ඉඩකඩ තිබූ ඒවා බව අනාවරණය වී තිබේ.

එබැවින් විශ්ව ළමා දිනය සමරන මේ මොහොතේ දී දෙමාපිය වැඩිහිටියන් දරුවන් කෙරේ වැඩි අවධානයකින් සිටිය යුතුව ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එවැනි තත්ත්වයක් යටතේ “සෙනෙහස දී අප රකින්න” මෙවර විශ්ව ළමා දින තේමාව ලෙසට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර තිබීම ද ඉතාම කාලෝචිත බව පෙනේ. සමස්ත සමාජයම දරුවා සුරැකිය යුතුව තිබේ. තම පවුල තුළින් දරුවා සම්බන්ධව පවතින රැකවරණය සොයා බැල්ම සහතික කළ යුතුවේ.

උතුම් වූ මාතෘත්වයේ වගකීම දරද්දී අසම්මත ඇසුරක් පැවැත්විය හැකිද? එවැනි අසම්මතයක් සඳහා මනස විවර වනුයේ පවුල් ඒකකයේ අඩදබර හැලහැප්පීම් මෙන්ම ඇතිවන ගැටලු නිසි පරිදි කළමනාකරණය කරගැනීමේ නොහැකියාව හේතුවෙනි. නැතහොත් පවුල් ඒකකය පළුදු වීමෙනි. ළමුන් අනාරක්ෂිත නොවීමට නම් පළමුව වැඩසටහන් සැකසිය යුත්තේ පවුල් ඒකකය ශක්තිමත් කිරීමට විය යුතුවේ. පවුල් ඒකකය සවිබල ගැන්වීමේ වැඩසටහන් ඇති කළ යුතුව තිබේ. එවිට නිතැතින්ම ළමුන් සුරැකෙනු ඇත. තවත් පැත්තකින් මවගේ හෝ පියාගේ ජීවිකාව ද දරුවන්ට බලපා ඇති බව පෙනේ. තම ජීවිකාව තෝරාගැනීමට මත්තෙන් තම බිරිඳගේ සහ දරුවන්ගේ අනාගතය හා ගෞරවය මෙන්ම දරුවන්ගේ පෞරුෂයටද බලපානා බව අමතක නොකළ යුතු යි.

වරින් වර දරුවන් පැහැර ගැනීම් වාර්තාවෙමින් තිබේ. අතීතයේ දරුවකු සමාජයේ රැකවරණයට නිතැතින්ම භාජනය වූ බව නොරහසකි. දරුවකු තනිව දුව පනිමින් සෙල්ලම් කරමින් නිදහසේ ගත කිරීමට අවකාශ තිබුණ ද ඇතැම් විට මව් තුරුලේ නිදා සිටින දරුවා පැහැරගෙන යාමට තරම් සාහසිකත්වයක් දරුවා කෙරෙහි මුදා හැර ඇති බව පෙනේ. දරුවාගේ ජීවත්වීමේ අයිතිය උදුරාගනිමින් තිබේ. කප්පම් ලබා ගැනීමටත් වැඩිහිටියන් සමඟ ඇති කෝන්තර පිරිමැසීමටත් දරුවන් පැහැර ගන්නා අවස්ථා දක්නට ලැබේ. මේවා මැඬලීමට නම් දරුවා සමාජයේ පූජනීය හා ගෞරවනීය වස්තුවක් මෙන්ම පොදු වස්තුවක් වශයෙන් සළකා කටයුතු කිරීමට සමාජය පෙළඹවීමත්, වර්තමානයේ මේ සම්බන්ධව පවතින නීතිරීති තවදුරටත් වැඩිදියුණු කිරීම කළ යුතුව තිබේ.

මීළඟට වැදූ මව විසින්ම දරුවන්ට වස කැවීම, ගඟට විසිකිරීම වැනි සිද්ධීන් ද වාර්තාවෙමින් තිබේ. එවැනි තත්ත්වයන් වහාම පරාජය කළ යුතුව තිබේ. තමන්ගේ දරුවා තමන්ට එපානම් වැඩිහිටියන්ගේ ප්‍රශ්න හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවීම මිනිස් සමාජයට ගැළපෙන්නක් නොවේ. මන්ද තිරිසන් සමාජයේ පවා තම දරුවන් රැකීමට අපමණ වෙහෙස ගන්නා අවස්ථා අනන්තවත් අසන්නට දකින්නට ලැබේ. තම දරුවන් තමන්ට එපානම් මරා දැමිය යුතු නැත. රජය එවැනි දෙමාපියන් සඳහා අවස්ථා විවර කර ඇති බව මොවුන් නොදන්වා විය හැක.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ඔබේ අනවශ්‍ය දරුවා භාර ගැනීමට සූදානම්ව සිටින බව ඔබ නොදන්නාකමින් කිරි සප්පයන් කී දෙනෙකුට නිරපරාදේ ජීවිතයෙන් සමුදී ඇත්ද?

වර්තමානයේ ඇතැම් දරුවන් මුහුණ දෙන තවත් අභියෝගයක් වශයෙන් ජංගම දුරකථන, අන්තර්ජාලය, විවිධාකාර වූ සමාජ වෙබ් අඩවි ප්‍රමුඛතාවයක් ගනී. ජංගම දුරකථන අද ඇතැම් දරුවන්ට තබා වැඩිහිටි පවුල්වලද බරපතළ අවුල්ගෙන දීමට සමත්ව ඇති බව නොරහසකි. ජංගම දුරකථනය බිරිඳට සැමියාත්, සැමියාට බිරිඳත් සැකයට භාජනය වන මෙවලමකි. පවුල් අවුල් බොහොමයකට මෙය බලපා තිබේ. නිසි අවබෝධයක් හා සංයමයක් නොමැතිව පරිහරණය කිරීමේ දී වැරදි සහගත හා අසභ්‍ය දසුන් මෙන්ම පණිවුඩ මේ හරහා පැමිණීමත් සිදුවේ.

ජංගම දුරකථනය වැඩිදියුණු කිරීම තුළ සමාජ වෙබ් අඩවි හා අන්තර්ජාල පහසුකම් කරාද ඉතාමත් පහසුවෙන් පිවිසීමේ හැකියාව තිබේ. ළමා මනස විකෘති කරන හා ඒ හේතුවෙන්ම ළමුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලකරවීමට බලපෑ හැකිය. මේ තුළින් සැබෑ ආදරය, දයාව, කරුණාව වෙනුවට ඉස්මතුවන්නේ කෲරත්වය, හා ආත්මාර්ථය පමණි. නිසි අවබෝධයක් සහිතව අන්තර්ජාල හා සමාජ වෙබ් අඩවි පරිහරණය කිරීම කළයුතුව තිබේ. මේ සම්බන්ධව වැඩිහිටියාගේ විශේෂයෙන්ම දෙමාපියන්ගේ යුතුකම හා වගකීම පැහැර හැරිය නොහැකිවේ. දරුවන්ට ඉතා සමීපව මිතුරු මිතුරියන් සේ දෙමාපියන් සිටින්නේ නම් තහනම් හෝ පහත් රුචිකත්වයක් කරා ළමුන් නොපෙළඹෙනු ඇත. 2014 විශ්ව ළමා දිනය සමරන මේ මොහොතේ රටට වැඩදායි උගත් බුද්ධිමත් ළමා පරපුරක් ඇතිකරගැනීමට නම් දෙමාපියන් ඇතුළු සමස්ත සමාජයේම නිරන්තර අවධානය යොමුවිය යුතුව තිබේ. විශේෂයෙන් දෙමාපියන් ඒ සඳහා සුවිශේෂී කැපකිරීම් කළයුතුව තිබේ. දෙමාපියන් ඒ සඳහා ආදර්ශයන් ලබා දිය යුතුව තිබේ. එසේ කළහොත් මෙවර විශ්ව ළමා දින තේමාව වන සෙනෙහස දී අප රකින්න යථාර්ථයක් බවට පත්කළ හැකිවේ.

 

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 01 වැනි දා බදාදා අපරභාග 01.47 ට ලබයි. 02 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 01 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 08 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]