Print this Article


පූජාච පූජනීයානං

ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි

ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් අපවත්වී සැප්තැම්බර් මස 26 දිනට වසරක් සපිරේ.

කතරගම කිරවෙහෙර රාජ මහා විහාරය, කතරගම කඳසුරිදුගම විහාරමහාදේවි සෑයද කතරගම ආසිරිබෝධි විහාරය හා පානදුරේ බෝධි චේතියාරාමය යන විහාරයන්හි අධිපති ධුරය දරමින් විශාල ශාසනික සේවාවක් ඉටු කළ මහා තෙරනමකි. කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් වියත් මහා පඬිවරයෙක් වශයෙන් ප්‍රචලිත විය.

හුංගම අලුත්වැව ගම් පියසේදී 1943 අපේ‍්‍රල් මස 05 දින ජන්ම ලාභය ලැබීය.

අලුත්වැව දොන් එළියස් දහනායක විදාන මහතා හා කරුණාවතී දිසානායක මැණිකේ දම්පතීන්ගේ 04 වැනි පුත් රුවන ලෙස වැඩුනේය. අලුත්වැව රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව නාලන්ද විද්‍යෝදය යන විද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලැබීය.

අලුත්වැව, මේධංකර, පරත්තේ ශ්‍රී ආනන්ද, පොළොමිමාරුවේ ශ්‍රී රේවත යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1957 නොවැම්බර් 08 දින පැවිදි බිමට පත්වූහ. ඉන් පසුව විද්‍යාලංකාර විද්‍යෝදය පිරිවෙන් වලින් අධ්‍යාපනය ලැබීය. 1963 මැයි මස 31 දින මල්වතු පාර්ශ්වයේ මංගල උපෝසථාගාරයේදී අධිසිල් ලැබූහ.

අනතුරුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රාචාර්ය ශාස්ත්‍රපති ආචාර්ය උපාධි ලබා ගත්හ. 1976 දී ගුරු සේවයට ඇතුළත්ව අධ්‍යාපනික සේවා කටයුතු කළේය.

කතරගම මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරයට පැමිණ 1987 දී එම විදුහලේ විදුහල්පති ධුරයටද පත් විය.

එවකට මහා විද්‍යාලයක්ව තිබූ කතරගම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් හා ජනාධිපති ජාතික පාසලක් දක්වා උසස් තත්ත්වයට ගෙන ඒමට ගත් උත්සාහය සාර්ථක විය.

උන් වහන්සේ විවිධ ක්ෂේත්‍රයන් වෙනුවෙන් කරන ලද සේවාවන් හා ශාසනික සේවාවන් ඉමහත්ය. උන්වහන්සේගේ ශාසනික මෙන්ම බොදු කටයුතු සේවාවන් අගය කරමින් මල්වතු පාර්ශ්වයේ මහා සංඝ සභාව විසින් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියද 2003 දෙසැම්බර් මස 24 දින මල්වතු විහාර මහානාහිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව විසින් “උපාධ්‍යාය” පදවියද මංගල උපෝසථාගාරයේදී පිරිනමන ලදී.

කතරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හා මොණරාගල හා හම්බන්තොට දෙදිසාවේ විහාරාධිපති සංගමයේ සභාපතිධුරයන්ද කතරගම බෞද්ධ සංගමය, කිරිවෙහෙර මහාසේන, සිල් සමිතිය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය,ශ්‍රී සංඝමිත්තා කුලඟන සමිතිය, විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය මුල් ළමාවිය ලේක්හවුස් සරසවි පියස යන සමිති සමාගම්වල අනුශාසක ධුරයන්ද ඇතුළු ප්‍රදේශයේ සමිති සමාගම් රැසක නිලතල දැරූහ. කතරගම කිරවෙහෙර රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පරත්තේ ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ අපවත් වීමෙන් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරය හා පානදුරේ බෝධිචේතියාරාමය යන විහාරයන්හි අධිපති ධුරයද 87 ගම්උදාව වෙනුවෙන් ඉදිකරන ලද විහාර මහාදේවි සෑය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමා විසින් පූජා ඔප්පුවක් මගින් නාහිමියන්ට පූජා කරන ලදී.

ධීවර අමාත්‍යාංශය විසින් පවත්වාගෙන ආ විසිර ගම්මාන වැඩසටහන කතරගම ප්‍රදේශයට ගෙන ඒමට නාහිමියන් පුරෝගාමී වී ඒ පිළිබඳව දැඩි කැපවීමකින් කටයුතු කර ගම්මාන කීපයකට නිවාස සාදාගැනීමට ආධාර මුදල් ලබා දෙන ලදී.

මැණික් ගඟ කුඩා ගල් අමුණ ප්‍රදේශයෙන් හරස්කර කතරගම ප්‍රදේශයේ ඇති වැව් ජලයෙන් පුරවා යල මහ දෙකම වී ගොවිතැන් කර ප්‍රදේශවාසී ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමේ භාරදුර කාර්යය රජයේ අනුග්‍රහය ලබා සාර්ථක කරගන්නා ලදී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර කතරගම නාගහවීදිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් නව පාලමක් ඉදිකරදීමත් නාගහවීදිය ගම්මානයේ පොල් අතු සෙවිලි කළ කුඩා නිවාස වෙනුවට ස්ථීර නිවාස 200 ක් පමණ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා දානපතියන්ගේ ආධාර උපකාර ඇතිව ඉදිකර එම ගම්මානවල ජනතාවගේ ආර්ථිකය නගාලීම සඳහා ගම්මානය මැදින් ජලය ගලායන ඇළක්ද ලබාදෙන ලදී. නාගහවීදිය ගම්මානය “මහාඝෝෂපුර “ නමින් නව ගම්මානයක් ඉදිකර එම ගම්මානයේ ජීවත්වන අයගේ කී‍්‍රඩා කෞශල්‍ය දියුණු කර ගැනීම සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ක්‍රීඩා මණ්ඩපයක් සහිත විශාල ක්‍රීඩා පිටියක් ලබාදෙන ලදී.

“කතරගම, රාජ මහා විහාරස්ථානයේ පසළොස්වක පෝදා පවත්වන ධර්මදේශනා “කතරගම කිරිවෙහෙර ධර්මදේශනා, නමින් පොත් කාණ්ඩයක් පලකරවීමත් කතරගම පුදබිමෙන් පලකරනු ලබන “කතරගම වෙසක් කලාපය” කතරගම පුද පෙරහර” වාර්ෂික සඟරාවන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පළ විය. ප්‍රශස්ත ලේඛකයෙක් වශයෙන්ද නාහිමියන් අද්විතීය ස්ථානයක වැජඹිණි. විද්‍යුත් මාධ්‍ය හරහා කාලීන දේශනයන්ටද සහභාගි වූහ. නාහිමියන් ඉටුකරනු ලබන සමාජ මෙහෙවර තව තවත් පුළුල්ව කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කතරගම නව නගරයේ පළාත් පාලන විශ්‍රාම ශාලාව කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පවරා ඇත.

කතරගම ග්‍රාම සේවා වසම කප්රුක් ග්‍රාමයක් ලෙසින් නම්කර එම ගම්මානයේ පොල් වගා කරන ලදී.

2011 වර්ෂය කතරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සෑම ගෙවත්තකටම පොල් පැළ ලබාදීමට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොල් සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කර ඇත.

රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන මැණික් ගඟ හරස්කර අමුණු බඳවා කතරගම ප්‍රදේශයේ වැව් වලට ජලය ලබාදී කතරගම සහල් වලින් ස්වංපෝෂිත කළා සේම කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පොල් පැළ ලබාදීමෙන් පොල්වලින් සරුසාර ප්‍රදේශයක් ඇති කිරීම නාහිමියන්ගේ බලාපොරොත්තුව විය.

කතරගම ඒමට තිබුණු කෙටිම මාර්ගය තණමල්විල, කතරගම මාර්ගය වන ජීවී දෙපාර්තමේන්තුව විසින් ලුණුගම්වෙහෙර වන උද්‍යානයට අයත් ප්‍රදේශයක් ලෙසින් සලසා එම මාර්ගය පොදු ජනතාවගේ ගමනා ගමනයට ඉඩ නොදෙන ලදී .මෙම පාර ලබාගැනීම සඳහා වසර ගණනාවක් නාහිමියන් ගත් උත්සාහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වී පොදු ජනතාවට තණමල්විල, කතරගම පාර විවෘත කරන ලදී. ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා කතරගම පාර ලබාගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන ලදී.

ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් අපවත්වී වසරක් පිරීම නිමිත්තෙන් සැප්තැම්බර් මස 26 දින කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසු දින මහා සංඝරත්නය 200 නමක්වෙනුවෙන් මහාදානය පිළිගැන්වීමට කතරගම කිරිවෙහෙර රාජ මහ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල මහාසේන සිල් සමිතිය හා ප්‍රදේශවාසීන් කටයුතු සංවිධානය කර ඇත.


අඟුළුගහ ධම්මින්ද නා හිමි

ගාල්ල අංකොක්කාවල ශ්‍රී සුමංගල විහාරාධිපති රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අඟුළුගහ ධම්මින්ද ස්වාමීන්වහන්සේ වෙත මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වය මඟින් සද්ධර්ම කීර්ති ශ්‍රී සෝරත යන ගෞරව නාමය සහිත හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

1974 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඒ හිමියන් සිංහල විශේෂවේදී පාඨමාලාව හදාරා, 1978 දී පළමු පෙළ ගෞරව සාමාර්ථයක් හා එම වර්ෂයේ ඉහළම ලකුණු හිමිකරගෙන “රෝලන්ඩ් ස්වර්ණ මුද්‍රිකාව“ දිනාගෙන ඇත. ඉන් පසු, 1979 දී සිංහල ශබ්දකෝෂ කාර්යාංශයට බැඳුණු උන්වහන්සේ සහකාර කර්තෘවරයෙකු ලෙස සේවය කළහ. ඒ අතර, ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ කර්තෘත්වයෙන් එළිදිටු “ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය” සම්පාදනය කිරීමේ සහකාර කර්තෘවරයෙකුව, කටයුතු කළහ.

1982 වසරේදී රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස සම්බන්ධ වූ මහාචාර්ය අඟුළුගහ ධම්මින්ද හිමියෝ 1987 දී විශිෂ්ට සාමාර්ථයකින් යුතු ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්හ. 1999 වසරේ සිට 2002 දක්වා කාලය තුළ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපති ලෙස සේවය කළ ඒ හිමියන් සහාය මහාචාර්ය තනතුරට උසස් කරනු ලැබුයේ 2002 දී ය.

සාහිත්‍ය විචාරකයකු ලෙස මහාචාර්ය ධම්මින්ද හිමියන් විසින් පුවත්පත් සඟරාවලට විශාල ලිපි ප්‍රමාණයක් රචනා කර ඇත.

අංකොක්කාවල ශ්‍රී සුමංගල විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ මීපේ සෝරත ලොකු හාමුදුරුවන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය වූ අඟුළුගහ ධම්මින්ද හිමියන් සමිති සමාගම් බොහොමයක අනුශාසකත්වය දරමින් මහජන සේවයට කැපවෙමින් සිටී.

මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර සානුනායක කාරක සංඝ සභාව විසින් “සද්ධර්ම කීර්ති ශ්‍රී සෝරත යන ගෞරව නාමය සහිත හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු, මාතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය අඟුළුගහ ධම්මින්ද හිමියන් වෙත ප්‍රදානය කර ඇත.

ඒ සඳහා අක්තපත්‍රය භාර ගැනීම මෙම 21 වැනි දා මල්වතු මහා විහාර ඓතිහාසික උපෝසථාගාරයේදී සිදු කෙරුණු අතර අභිනව නාහිමියන්ට උපහාර පිදීමේ උත්සවය මෙම මස 28 වන දා පස්වරු 3 ට ගාල්ල අංකොක්කාවල ශ්‍රී සුමංගලාරාමයේ දී ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


වැලිසර ජිනවංශතිස්ස නා හිමි

අනුබුදු මිහිඳු මා හිමියන් ලක්දිව බුදුසසුන පිහිටුවන ලද කාල වකවානුවලම භාවනායෝගිව මහා සංඝරත්නය වැඩ සිටි රහතන් වහන්සේලාගේ පාදශ්පර්සයෙන් පවිත්‍ර වු වෙහෙර බැන්දකුටිය පින්බිම දැනට වසර 20කට ආසන්න කාලයක් තිස්සේ දුෂ්කරතා මැද වැලිසර ජිනවංස තිස්ස හිමිපාණන් විසින් අබිනව විහාර අංගයන්ගෙන් යුතුව පරිසරයත් අලංකාර කරමින් තිබෙනු කාටත් දැකිය හැකි විය.

1957 ජුනි මස 24 වන දින එම්.ඊ.සිල්වා මහතා සහ පී.පේමාවතී මහත්මිය යන දෙමාපියන්ට දාව වැලිසර දී උපන් අශෝක කීර්ති කුමරා වැලිසර කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූහ. 1968 ඔක්තෝබර් 13 වන විට සසුන් ගත විය.

විද්‍යාලංකාර පිරිවෙනේ ඉගෙනුම ලබා ආගම දහම පිළිබඳව මනා දැනුමක් ලබා ගත්හ. 1978 පෙබරවාරි 08 වන දින බලපිටිය උදකුක්ඛේප සීමා මාලකයේදි රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ගත්හ.

අමරපුර මූල වංශික නිකායේ මහා සඟ රුවනක් ලෙස සාසන කටයුතු භාරගෙන කරගෙන යනු ලබයි. භාෂා පිළිබඳව මනා දැනුමක් ලබා ගැනීමේ අරමුණින් ස්පාඤ්ඤ ඩිප්ලෝමාව හදාරා ඉන් සමත්ව රුසියා භාෂාව පිළිබඳ දැනුමද ජපන්, තානාපති කාර්යාලයේදී ජපන් භාෂාව පිළිබඳ දැනුමද ලබා ගත් උන්වහන්සේ සංස්කෘත භාෂාව පිළිබඳවද දැනුම ලබා ගත්හ. පාලි භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා ඇත. භාෂා කිහිපයකින්ම ධර්ම දේශනා පවත්වමින් උන්වහන්සේ ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස නම දිනා ගෙන ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර ප්‍රථම ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ගත් උන්වහන්සේ ජපානය, තායිලන්තය, බුරුමය ,හොංකොන් ආදි රටවල් කිහිපයකම වැඩම කර ඇත. වැලිසර ජිනවංශ හාමුදුරුවන් විහාරස්ථානය දියුණුූ කරමින් ප්‍රදේශයේ ජනතාවට විහාරස්ථානවලට කරනා ආගමික මෙන්ම සමාජීය සේවාව අගය කළ යුතුය.

1994 දී අනුරාධපුර ශ්‍රාවස්තිපුර වෙහෙරබැන්දකුටිය රජමහා විහාරයට අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.අබේසුන්දර මහතාගේ ආරාධනයෙන් වැලිසර ජීනවංශ තිස්ස හිමියන් වැඩම කර ඇත. උන් වහන්සේ එහි වැඩම කරන විට වෙහෙර බැන්දකුටිය රජමහා විහාර භූමිය වල්බිහිවී තිබුණි.

ගම්පහ මුදුන්ගොඩ කුමාරසිරි පඩුවාවල මහතා පෞද්ගලික ධනය වැයකර වැලිසර ජිනවංශ හිමියන්ගේ අවශ්‍ය කටයුතු සොයා බලා ගොඩනැගිලි එකින් එක සාදා උන්වහන්සේට පූජා කළහ. වැලිසර ජිනවංශ තිස්ස හිමියන් ආගමික වශයෙන් සමාජීය වශයෙන් වෛද්‍යවරයෙකු වශයෙන් කළ සේවාව මිල කල නොහැකියි.

වසර 30ක පැවැති යුද්ධය සමයේදී වසර ගණනක් රණවිරුවන් වෙනුවෙන් දිනපතාම බෝධි පුජා පවත්වමින් ආශිර්වාද කළහ. වදාකඩ, කිඹුලාකඩ, ගල්වඩුවාගම , ශ්‍රාවස්තිපුර, ගම්මානවලට මෙන්ම නාච්චාදූව ගම්මානවලට කර ඇති සේවාව අගය කළ යුතුය. වෙහෙර බැන්දකුටිය රජ මහා විහාරස්ථභූමිය අවට ප්‍රදේශවල යම් නිවසක යම් අයෙකු අසනීප වූ විට පිරිත් දේශනා කර පිරිත් නූල් බැඳීම උන්වහන්සේගේ වැඩ පිළිවෙළකි. ඒ වාගේම එම ගම්මානයේ යම් අයකු මිය ගිය විට එම නිවසට ගොස් දායකයින් ආගමික පැත්තෙන් දැනුවත් කරමින් මුදල්ද ලබාදීම සිදු කරයි.

මෙසේ වැඩකටයුතු කරගෙන ගිය අවස්ථාවේ එක්තරා දිනෙක අනුරාධපුරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සුහදව කථා බහ කිරීමට අවස්ථාවක් උන්වහන්සේට උදාවිය. වෙහෙරබැන්දකුටිය රජමහා විහාරස්ථානයට පිවිසෙන මාර්ග හදා දෙන ලෙස උන්වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. එම අවස්ථාවේම ජනාධිපතිතුමා කාර්යය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාට කථාකර ඊට උපදෙස් ලබා දුන් අතර එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ හෙතෙම වෙහෙරබැන්දකුටිය රජමහා විහාරස්ථ මාර්ග කාපට් කිරීමට අවශ්‍ය කටයුතු යෙදීය. ගම්මාන සියල්ලම ආවරණය කරමින් කිලෝමීටර් 11ක් පමණ ඉක්මණින්ම කාපට් කර දුන්හ. උන්වහන්සේගේ ඉල්ලීම මත පාර කාපට් කිරීමට ප්‍රථම ගමටම විදුලිය ලබාදී ගම්මාන සියල්ලටම පිරිසුදු පාණීය ජල පහසුකම් ද ලබා දී ඇත. මේ සඳහා විදුලි බල මණ්ඩලය මෙන්ම තලාව ජලපවිත්‍රාගාරය උදව් උපකාර ලබාදී ඇත. මාර්ග සියල්ලම කාපට් කර දුන් පසු උන්වහන්සේ එදා සිට සෑම වෙසක් පුන් පොහෝ දිනකම කාපට් මාර්ග කිලෝමීටර් 11 දෙපස මැටි පහන් පත්තු කර ජනතා සහාය ඇතිව සැම නිවසකම වෙසක් කූඩු දල්වා ගම්මානවල සියලුම ජනතාව දායක දායිකාවන් වෙසක් පුන් පොහොය දින සහ ඊට පසු දෙදින විහාරස්ථානයට කැඳවා සියලු දෙනාම එකතු වී බෝධි පූජාවක් පවත්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ගාමිණී සෙනරත් මහතාට ආශිර්වාද කිරීම මේ වන තෙක්ම කරගෙන එනු ලැබේ.

විහාරස්ථානයට විශාල අඩුවක්ව පවතින චෛත්‍යය ඉදිකිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. උන්වහන්සේගේ දැන් එකම අභිප්‍රාය වී තිබෙන්නේ ජනාධිපතිතුමා සහ ගාමිණී සෙනරත් මහතා විහාරස්ථානයට කැදවා ආශිර්වාද කිරීමයි. නව චෛත්‍යය ඉදිකිරීමේදී ඊට අවශ්‍ය වන කොත් වහන්සේ නිලංගනී හපන්ගම මහත්මිය විසින් ලබා දී තිබෙන අතර මෙම චෛත්‍යය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 300ක් පමණ වැයවෙතැයි ගණන් බලා තිබේ. වෙහෙරබැන්දකුටිය රජ මහා විහාරය නැවත ගොඩ නැගීමේදී එදා සිට මේ දක්වා උදව් උපකාර කල සියලු දෙනාටම උන්වහන්සේ නිතරම ආශිර්වාද කිරීම අගය කළ යුතුයි.

අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ලෙසත්, නාච්චාදූව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ලෙසත් කටයුතු කරන උන්වහන්සේ හමුවට යන ඕනෑම අයෙකුට ඉතාම සුහදශීලිව කථා බහ කිරීම සිරිතය.

ලබන 27 වන දින බලපිටිය අඹගහපිටිය අම්බරුක්ඛාරාම මූල මහා විහාරයේ දී සවස 2.00 ට ශ්‍රී රතනවංස රාහුලතිස්ස වංශාතංස සද්ධර්ම කීර්ති ශී‍්‍ර ත්‍රිපිටක වාගීස්වරාචාර්ය අසරණ සරණ යන ගරු නාමය හා උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති. ලබන 28 වන දින තලාව ඥාණෝදය පිරිවෙනට වැඩම කරනු ලබන නාහිමිපාණන් වහන්සේ රිය පෙරහරකින් ශ්‍රාවස්තිපුර වෙහෙරබැන්දකුටිය රජ මහා විහාරස්ථානය වෙත වැඩම කර උත්සවශ්‍රීයෙන් පිළිගනු ලැබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක රාජකීය පණ්ඩිත නාපානේ පේමසිරි මහ නාහිමි, ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, ශ්‍රී ලංකා භික්ෂූ විශ්ව විද්‍යාලයේ කුලපති මහෝපාධ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසල ධම්ම නාහිමි,උඩරට අමරපුර නිකායේ අනුනායක අන්තරගම වජිරජෝති නාහිමි අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමි, රුවන්වැලි චෛත්‍යරාමවාසී පල්ලේගම හේමරතන නාහිමි, උතුරු මැද හා උතුරු මධ්‍යම, දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, ඇතුළු අටමස්ථානයේ නාහිමිවරුන්, නාච්චාදූව ප්‍රදේශයේ විහාරස්ථානවල ගරුතර මහා සංඝරත්නය සමඟ සියලු නිකායවල මහා සංඝ රත්නය සමඟ රජරට දේශපාලන නායකයින් ඇතුලු මැති ඇමැතිවරුන් ද ඊට සහභාගි වීමට නියමිතය.