UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 48 ඒකවිහාරි මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 48

ඒකවිහාරි මහරහතන් වහන්සේ

සාමාන්‍ය මනුස්සයෙක් රමණීය සිත්කළු භූමියක වාසය කළත් ඔහුගේ සිත අපිරිසුදු නිසා ඒ භූමියේ තියෙන සුන්දරත්වය සැබෑ ලෙසම විඳගන්නට ඒ කෙනාට හැකියාවක් නැහැ. නමුත් රහතන් වහන්සේ කියන්නේ කෙලෙස් වලින් අපිරිසුදු වූ ඒ සිත මුළුමනින්ම පිරිසුදු කර ගත් කෙනෙකුටයි.

ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් පුරා සතළිස් පස් වසක් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් බුදු සසුන පිහිටුවා ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ මීට වසර දෙදහස් පන්සිය පනස් අටකට පෙර වෙසක් පුන් පොහෝ දිනයක කුසිනාරාවේදී පිරිනිවන් පා වදාළ සේක. ඒ පිරිනිවන් පානා මොහොතේදී අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් අමතා භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් වදාළ සේක. “පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් පසු ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. අහෝ දැන් අපගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පා වදාළසේක. මින්මතු අපට ශාස්තෘ වරයෙක් නැත්තේ යැයි කියා. පින්වත් ආනන්දය, එසේ නොසිතිය යුතුය. මාගේ ඇවෑමෙන් පසු මා විසින් දේශනා කළ ධර්මයත්, විනයත් ඔබ හට ශාස්තෘ වන්නේය.”

භාග්‍යවතුන් වහන්සේ විසින් පිහිටුවා වදාළ ඒ ධර්මයත් විනයත් නිසා තම ජීවිත සුවපත් කර ගත් ප්‍රඥාවන්ත පින්වන්ත මිනිසුන් රාශියක් බුදුරජුන්ගේ ඇවෑමෙන් පසුවද බිහි විය. ඉතින් අද අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් බොහෝ කළකට පසු ඒ ධර්මය පිහිට කරගෙන සියලු සසර දුක් නිමා කළ ඒකවිහාරි නම් උතුම් මහරහතන් වහන්සේගේ ජීවිතය ගැනයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසිය දහඅටක් ගෙවී ගිය පසු මුළු දඹදිවම එක්සේසත් කොට ධර්මාශෝක නම් අධිරාජ්‍යයා රාජ්‍ය බලයට පත් වුණා. ධර්මාශෝක රජුට තිස්ස නමින් බාල සොහොයුරෙක් සිටියා. එකල මුළු ජම්බුද්වීපයේම යුව රජු බවට පත් වුයේ මේ තිස්ස කුමාරයායි. තිස්ස කුමාරයා නිතර නිතර දඩයම පිණිස වනාන්තරයට යනවා. එක දවසක් මින් පෙර කිසි දිනෙක නොදුටු අපූරු සිදුවීමක් තිස්ස කුමාරයාට දකින්නට ලැබුණා.

මහා වනය මැද රුක් සෙවණක ශාන්ත ඉඳුරන් ඇති භික්ෂුවක් භාවනානුයෝගීව වැඩ ඉන්නවා. මහා හස්ති රාජයෙක් යටහත් සේවකයෙක් වගේ සොඬින් ගත් සල් අත්තකින් ඒ භික්ෂුවට පවන් සලනවා. ආශ්චර්යවත් වූ අද්භූත වු මේ සිදුවීම තිස්ස කුමාරයාගේ සිත සම්පූර්ණයෙන්ම වෙනස් කළා. දමනය නොවූ මහා හස්තියෙකුටත් මේ ශ්‍රමණයන් වහන්සේගේ ගුණවත් ජීවිතය වැටහෙනවා .මම මේ මුළු දඹදිවටම අගරජ වුණත් මේ ශ්‍රමණයන් වහන්සේට වගේ ගුණවත් සංසිඳුණු ජීවිතයක් ඇති කර ගන්නට ලැබෙන්නේ නෑ. ඒ නිසා මම මේ රජ සැපය අතහරිනවා. ශ්‍රමණයෙක් බවට පත්වෙනවා.

වනයෙන් නික්මී රජ මැදුරට ගිය ඔහු තම සොහොයුරා වු අශෝක රජුගෙන් පැවිද්ද පිණිස අවසර ඉල්ලා සිටියා. අශෝක රජු ඒ සඳහා මුලදි විරුද්ධ වුණත් තිස්ස කුමාරයාගේ බලවත් ඉල්ලීම නිසා මහත් වු රාජශ්‍රීයෙන් පෙරහරකින් කැඳවාගෙන ගොස් අශෝකාරාමය නම් මහා විහාරයේදී තිස්ස කුමාරයා බුද්ධ ශාසනයට පූජා කළා. තමා බලාපොරොත්තුව සිටි උතුම් පැවිදි ජීවිතය ලැබීම නිසා තිස්ස ස්වාමින් වහන්සේ අතිශයින්ම පී‍්‍රතියට පත් වුණා. මුළු ජම්බුද්වීපයේම යුව රජුගේ පැවිද්ද ගැන ඇසු විශාල ජනකායක් එදිනම ගෞතම බුදු සසුනේ පැවිදි බවට පත් වුණා. වීරියෙන් උත්සාහයෙන් ධර්ම විනය ඉගෙන ගත් තිස්ස ස්වාමීන් වහන්සේ තනිවම වනාන්තරයේ වාසය කිරීමට බොහෝ සෙයින් ආසා කළා. හුදෙකලාවේ තනිව වාසය කිරීම අතිශයින්ම පි‍්‍රය කළ නිසාම සබ්‍රහ්මචාරීන් වහන්සේලා උන්වහන්සේ හැඳින්වූයේ ඒකවිහාරී තෙරුන් වහන්සේ ලෙසයි. සසරේ අමා නිවන පතාගෙනම රැස් කළ මහා පින් ඇති උන්වහන්සේ වැඩි කලක් ගතවන්නට පෙර උතුම් පැවිදි ජීවිතයේ එකම අර්ථය වූ ඒ උතුම් අරහත්වය සාක්ෂාත් කොට වදාළා.

සාමාන්‍ය මනුස්සයෙක් රමණීය සිත්කළු භූමියක වාසය කළත් ඔහුගේ සිත අපිරිසුදු නිසා ඒ භූමියේ තියෙන සුන්දරත්වය සැබෑ ලෙසම විඳගන්නට ඒ කෙනාට හැකියාවක් නෑ. නමුත් රහතන් වහන්සේ කියන්නේ කෙලෙස් වලින් අපිරිසුදු වූ ඒ සිත මුළුමනින්ම පිරිසුදු කර ගත් කෙනෙකුටයි. ඒ නිසාම රහතන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ මද මාන ආදි අනේක ප්‍රකාර කෙලෙස් වලින් පීඩිත වූ දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ රහතන් වහන්සේ ගැන උතුම් සම්බුදු මුව මඬලින් වදාළේ මේ විදිහටයි. (“යාවතා භික්ඛවේ සත්තාවාසා, යාවතා භවග්ගං ඒතේ අග්ගා ඒතේ සෙට්ටා ලෝකස්මිං . යදිදං අරහන්තෝති) පින්වත් මහණෙනි, මේ ලෝකයේ යම්තාක් සත්වයන් වාසය කරන්නා වු තැන් ඇද්ද, යම් තාක් භවාග්‍රවයන් ඇද්ද, ඒ සියල්ල අතරේ අග්‍ර භාවයටත් ශ්‍රේෂ්ඨත්වයටත් පත්වෙන්නේ කෙලෙස් දුරු කළ රහතන් වහන්සේලායි” ඉතින් ඒ නිකෙලෙස් හද මඬලක් ඇති ඒකවිහාරි මහරහතන් වහන්සේ තමන් වහන්සේ වාසය කළ ඒ වනයේ සුන්දරත්වය සුන්දර හිතකින් දැක්කේ මේ විදිහටයි.

පුරතෝ පච්ඡාතෝ වාපි – අපරෝ චේන විජ්ජති
අතීව ඵාසු භවති – ඒකස්ස වසතෝ වනේ

වනාන්තරයේ මං තනියම ඉන්න කොට කවුරුවත් මට ඉදිරියෙනුත් නැති නම් කවුරුවත් මගේ පිටුපසිනුත් නැති නම් ඇත්තෙන්ම මට හරි පහසුවක් දැනෙනවා.

හන්ද ඒකෝ ගමිස්සාමි – අරඤ්ඤං බුද්ධවණ්ණිතං
ඵාසු ඒකවිහාරිස්ස – පහිතත්තස්ස භික්ඛූනෝ

අපේ බුදුසමිඳුන් වනයේ වාසය කිරීම හරියට අගය කළා. මං වුණත් වනයට යන්නෙ හුදෙකලාවේමයි. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන භික්ෂුවකට තනියම ඉන්න එක හරිම පහසුයි.

යෝගීපීතිකරං රම්මං – මත්ත කුඤ්ජරසේවිතං
ඒකෝ අත්ථවසී ඛිප්පං – පිවිසිස්සාමි කානනං

මම භාවනා කරන කෙනෙක්. අලි ඇතුන් වාසය කරන මහා වනයට ඇතුළු වීමට මම හරි සතුටුයි. වනය ලස්සනයි. මං තනියම ඉක්මනින් වනය ඇතුළට යන්නෙ ලොකු තේරුමක් ඇතිව.

සුපුප්ඵිතේ සීතවනේ – සීතලේ ගිරිකන්දරේ
ගත්තානි පරිසිඤ්චිත්වා – චංකමිස්සාමි ඒකකෝ

එක යායට මල් පිපෙත්වා, වනය සීතලයි. සිහිලැල් දොළකින් ඇඟපත සෝදාගෙන මම තනියම සක්මන් කරනවා.

ඒකාකියෝ අදුතියෝ – රමණීයේ මහාවනේ
කදාහං විහරිස්සාමි – කතකිච්චෝ අනාසවෝ

නිවන් මඟ වඩලා අවසන් කරපු රහත් නමක් හැටියට දෙවැන්නෙක් නැතිව තනියම මේ ලස්සන මහ වනයේ මම ඉන්නේ කවදාද?

ඒවම්මේ කත්තුකාමස්ස – අධීප්පායෝ සමිජ්ඣතු
සාධයිස්සාම්‍යහං යේව – නාඤ්ඤෝ අඤ්ඤස්ස කාරකෝ’ති

ඒ විදිහට තමයි මම කැමති. මගේ අදහස ඉටුවේවා! නිවන් මඟ සකසාගන්ට තියෙන්නෙ මා විසින්මයි. මේ වැඩේ තවත් කෙනෙක් තවත් කෙනෙකුට කරල දෙන්නෙ නැහැ.

ඒස බන්ධාමි සන්නාහං – පවිස්සාමි කානනං
තතෝ න නික්ඛමිස්සාමි – අප්පත්තෝ ආසවක්ඛයං

මම වනයට යන්නෙ වීරිය තියෙන යුද ඇඳුම් ඇඳගෙන .ආයෙ ඉතින් ආශ්‍රවයයන් ප්‍රහාණය කරල මිසක් මම වනාන්තරයෙන් එළියට එන්නෙ නෑ.

මාලුතේ උපවායන්තේ – සීතේ සුරභිගන්ධිකේ
අවිජ්ජං දාළයිස්සාමි – නිස්නනෝ නගමුද්ධනි

සිහිල් සුළඟ හමනකොට හරිම සුවඳයි . දිව්‍ය සුවඳක් වගෙයි. මම කන්ද මුදුනෙ ඉඳගෙන අවිද්‍යාව පලා දමනවා.

වනේ කුසුමසඤ්ඡන්නේ - පබ්භාරේ නූන සීතලේ
විමුත්ති සුඛේන සුඛිතෝ -රමිස්සාමි ගිරිබ්බජේ

වනය පුරාම සුවඳ මල් පිරිලා. මේ සීතල කඳු බෑවුම්වල විවේක සැපයෙන් සුවපත්වෙලා. ඒකටම සිත් අලවාගෙන මං ඉන්නවා.

සෝහං පරිපුණ්ණ සංකප්පෝ – වන්දෝපණ්ණරසෝ යථා
සබ්බාසව පරික්ඛීණෝ – නත්ථිදානි පුනබ්භවෝ

මම හිතාගෙන හිටපු සියලු දේම මට දැන් ඉෂ්ට වුණා. මමත් පෝයදාට ආකාසෙ පායලා තියෙන පුන් සඳක් වගේ. හැම ආශ්‍රවයක්ම නැති කළා. දැන් ඉතින් මට පුනර්භවයක් නෑ.

ඒ කවිහාරි මහ රහතන් වහන්සේ විසින් මේ ථේර ගාථාවන් වදාළේ තමන් වහන්සේගේ අතීත ජීවිතය සිහිපත් කරමින් අරහත්වයට පෙර වීරීය වැඩූ අයුරුද පෙන්වා දෙමිනි. ඇත්තෙන්ම මේ ගාථාවන් ඇසු එකල වැඩ සිටි පින්වත් ස්වාමින් වහන්සේලා මේ අවවාදයන්ගෙන් බොහෝ ප්‍රයෝජන අරගන්නට ඇති.කෙලෙස් තවන වීර්ය ඇති කර ගන්නටත්, හුදෙකලා රසයට කැමැත්ත ඇති කර ගන්නටත්, ඒ වගේම රහතන් වහන්සේලාගේ ජීවිතවල ඇති සුවය තේරුම් ගන්නටත් අපට මේ ගාථාවන් විශාල ලෙස උපකාර වෙනවා. එනිසා අපිත් ඒ රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගනිමු.

නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 47 සිරිමන්ද මහරහතන් වහන්සේ

 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]