Print this Article


දම්පද මිහිර 5 කලහයෙන් බිහිසුණු වැනසෙති ඔවුහු නොදියුණු

දම්පද මිහිර 5

කලහයෙන් බිහිසුණු වැනසෙති ඔවුහු නොදියුණු

මිනිසුන් අතර කලහ විවාද ඇතිවීම අස්වාභාවික නැහැ. රාග.දෝස, මෝහ ප්‍රහීණ නොකළ මිනිසා තුළ නිරන්තරයෙන්ම පහළ වෙන්නේ මනාප අමනාප සිත්, ඒ නිසා කලහ විවාද හටගන්න එක වළක්වන්න බැහැ. කලහ කරන ඕනෑම කෙනෙක් හිතන්නෙ තමාගෙ මතය හරි කියල. තමා කියන දේත් කරන දේත් නිවැරැදි බව ඒත්තු ගන්වන්න උත්සාහ දරනවා මිස සත්‍ය දකින්න උත්සාහ ගන්නෙ නෑ. සද්පුරුෂ ධර්මයක හික්මෙන බුද්ධිමත් මිනිසා කරන්නෙ කලහ විවාද වලින් වැළකී සිටින එක.

දෙදෙනෙක් අතර හටගන්න කලහයක් හෝ විවාදයක් ඒ දෙදෙනා අතරට සීමා වෙලා නතර වෙන්නත් පුළුවන්. සමහර විට දෙපාර්ශ්වයට සිටින ඤාති හිතුවතුන් එකතු වෙලා මහ පිරිසක් අතර විහිදෙන්නත් පුළුවන්. අවසානයේ සිදුවෙන්නෙ සාමය නැතිව යාම,. සාමය නෑ කියන්නෙ සතුටත් සැනසිල්ලත් නෑ කියන එකමයි.

කලහ කරන දෙදෙනෙක් දෙපැත්තට කරල වෙන වෙනම විමසා බලන්න කලහයට මුල මොකක්ද? කාගෙ අතේද වරද කියල. දෙන්නම කියන්නෙ අනිත් කෙනා වැරැදියි මම හරි කියල. ඒක වෙන්න පුළුවන්ද? කවදාවත් බැහැ. අනිත් කෙනා වැරැදි වුණත් තමා හරි නම් එයා කලහ කරගන්න යන්නෙ නෑ. හේතුව කලහ කිරීමම වැරැදි දෙයක් නිසා. හරි දෙයක් වෙනුවෙන් පෙනී සිටීමට වැරැදි දෙයක් කිරීම බුද්ධිමත් ලෝකයා අනුමත කරන්නෙ නෑ.

කාමරාග, පඨිඝ අනුසය වශයෙන්වත් නැතිව ප්‍රහීණ වෙන්නෙ අනාගාමි ඵලයට පත් වු කෙනෙකුගේ විතරයි. ඒ නිසා ගිහි අය අතර වගේම පැවිදි අය අතරෙත් කලහ විවාද ඇති වෙන්න පුළුවන්. බුද්ධ කාලයේ කොසඹෑ නුවර ඝෝසිතාරාම පන්සලේ විනයධර හිමිනමක් හා ධර්ම කථික හිමි නමක් අතර එවැනි කලහයක් ඇති වුණා. විනය පිළිබඳ ගැටලුවක් මුල් කරගෙන.

මේ කලහයට මුල් වූ දෙදෙනා වහන්සේටම අනුගාමික හිමිවරුන් පන්සියයය බැගින් හිටියා. එකිනෙකා අනෙකාට චෝදනා කරගත්තා. දෙපිරිස අතරෙ අසමගිය වැඩෙන්න පටන් ගත්තා. ඒ අනුව සිතාගන්න පුළුවන් දෙපිරිස අතර වාද විවාදත් කල කෝලාහලයත් මොන තරම් උණුසුම් වෙන්න ඇතිද කියල. තම තමන්ට විශේෂත්වයක් දක්වන දායක දායිකාවනුත් ඒ අනුව බෙදෙන එක වළක්වන්න බෑ. සංඝයා බෙදෙන කොට ගොදුරු ගමත් බෙදෙනව. වැඩි කාලයක් යන්න පෙර කලහය තවත් දුරදිග ගිහින් දෙවියන් අතරටත් යනවා.

සැවැත් නුවර දෙව්රම් විහාරෙ මහා කාරුණික බුදුරජාණන් වහන්සේත් වැඩ සිටින කාලෙමයි මේ සිදුවීම වෙන්නෙ. තිසරණයෙහි පිහිටි, සියලු දුක් නිමා කොට නිවන සාක්ෂාත් කිරීමේ අරමුණ ඇතිව,සසුන් බඹසර හැසිරෙන ස්වාමින් වහන්සේලා අතරයි මේ කලහය හටගත්තෙ. ඒ පිළිබඳව දැනගත් බුදුරජාණන් වහන්සෙ ‘පින්වත් මහණෙනි, සමඟි වන්නැ’යි දෙවරක්ම දන්වා යැව්වත් සමඟියක් ඇති වුණේ නැහැ.

“භික්ෂු සංඝයා බිඳුණා” යන වදන් කිහිපය බුදුමුවින් පිට වුණේ ඊට පස්සෙ . සැවැත් නුවරින් කොසඹෑ නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඝෝසිතාරාමයේ දී ශ්‍රාවක සංඝයා රැස් කරවා දෙපිරිසේම වරද පෙන්වා දුන්හ. කලහ විවාදයෙහි අනර්ථකර ස්වභාවය අතීත සිද්ධියක් උදාහරණයට ගනිමින් (වට්ටක ජාතකය) පැහැදිලි කර දුන්හ. බුදු සමිඳුන් විසින් මිහිරි බඹසර අවදි කරමින් අබිමුවෙහි දී දේශනා කරන ලද ධර්මය අසා සිටියත් කලහකාරි භික්ෂූන් සමඟියේ දෑත් දිගුකළේ නැහැ.

සමඟිය ඇති කිරීම පිණිස උන්වහන්සේ දක්වන වෙහෙස දුටු ධර්මකාමී ස්වාමින් වහන්සේලා වෙහෙස වී පලක් නැහැ ස්වාමීනි, ඔබ වහන්සේ විවේක ගන්නැයි අයැද සිටියත් උන් වහන්සේ තම පුත්‍රයන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිසම නැවත නැවතත් සමගියේ වටිනාකම පැහැදිලි කළා. උදාහරණ පිණිස දීඝීති කෝසල නම් පියාගේ රාජ්‍යයත් පැහැර ගෙන, අප්‍රකටව දුක් විඳිමින් සිටි තම පියාණන් හා මෑණියන් මරා දමනු දැක දැකත් දීඝායු කුමරුන් විසින් ඉවසීම දියුණූ කළ පිළිවෙළ කියා දුන්න. පළිගැනීමට සුදුසු අවස්ථාව ලැබී තිබියදි එසේ නොකොට සමඟිය කොතරම් වටිනා එකක් දැයි අවබෝධයෙන් ක්‍රියා කළ හැටිත් පෙන්වා දුන්න. ‘පින්වත් මහණෙනි” සමඟි වන්න.’

බුදුරදුන්ගේ අවවාදයන් පිළිනොගන්නා බව දුටු උන්වහන්සේ ‘මගේ වචනය පිළි නොගන්නා සංඝයා සමග විසීමට වඩා හුදෙකලාව විසීම යහපත් යැයි කල්පනා කළහ. කිසිවෙකුටත් නොදන්වාම පා සිවුරු රැගෙන ඝෝෂිතාරාමයෙන් පිටතට වැඩම කළහ. භගු ස්ථවිරයන් වහන්සෙ වැඩ සිටි පන්සලට වැඩම කළ බුදුරජාණන් වහන්සේ හුදෙකලාව වැඩසිටීමේ අනුසස් උන්වහන්සේට කියා දීල පාරිලෙය්‍ය වනාන්තරයට පිටත්ව ගියා. සුන්දර රක්ෂිත වනාන්තරයක් ඒක. වරෙක නිසල තුරු සෙවණක් තවත් විටෙක ගල් තලාවක් තෝරා ගනිමින් උන්වහන්සේ වස් කාලය ගත කළා.

බුදු පුතුන්ට නොදැණුනු බුදු සුවඳ වන සතෙකුට දැනුන හැටි හරි පුදුමයි. පාරිලෙය්‍ය ඇතා බුදුරජාණන් වහන්සේ හඳුනා ගත්තහ. වස් කාලය නිමා වනතුරු උන්වහන්සේට සියලු උවටැන් නොපිරිහෙලා ඉටු කළා. ඒ සත්ව චර්යාව හරිම සුන්දරයි. ඒ වගේම අසිරිමත්. ඒත් ඒ ගැන සාකච්ඡා කරන්න යෑම ලිපිය දීර්ඝ වීමට හේතුවක්.

අපට බුදුහාමුදුරුවෝ දකින්නවත් නැහැ. ඒක කළේ කලහ කරගත්තු මේ ශ්‍රමණයන්, කුමක් නිසා අපි ඔවුන්ට සලකන්නේදැයි සාකච්ඡා කළ ගම්වැසියන් ස්වාමින් වහන්ස්ලාට සිව්පසය පිළිගැන්වීමත් ගරු බුහුමන් දැක්වීමත් නතර කළා. උන්වහන්සේලා සමඟ කතා කිරීම පවා නොකරන්න තීරණය කළා. දහසක් පමණ ස්වාමින් වහන්සේලාට මේ තත්වය දරාගන්න අපහසු වුණා. ප්‍රත්‍ය පහසුවක් නැති වීම ඉතා දැඩිව දැනෙන්න පටන් ගත්තා. අසමඟියෙන් ගෙවන කාලයේ පීඩනයත් නොසතුටත් ඒකටම එකතු වුණා.

එකිනෙකා තනි තනිව සමඟිය ගැන යළි සිතන්න පටන් ගත්තා. අන්තිමට හැමෝම සමඟි වුණේ ධර්මානුකූලව තනි තනිව සිතීමේ ප්‍රතිඵලයක් විදියට. පාරිලෙය්‍ය වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව දැනගත් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ආනන්ද හාමුදුරුවන්ට ආයාචනා කළා බුදුහාමුදුරුවෝ වැඩම කරවාගෙන එන්න කියල. අනේපිඬු සිටුතුමා වගේම විශාඛාවත් මේ ගැන ගොඩක් උනන්දු වුණා.

වස් කාලය නිමාවට පත් වුණා. භික්ෂූන් වහන්සේලා වගේම උපාසක උපාසිකා පිරිසකුත් ආනන්ද ස්වාමින් වහන්සේ සමඟ පාරිලෙය්‍ය වනයට යන්න සුදානම් වුණා. වනාන්තරය අසලට පිරිසත් එක්ක වැඩිය ආනන්ද හාමුදුරුවෝ වනය ඇතුළට එන්න පිරිසට ඉඩ දුන්නෙ නෑ.

බුදුහාමුදුරුවෝ වනාන්තරයෙන් එළියට වඩිනව. පාරිලෙය්‍ය ඇතා පා සිවුරු සොඬින් ගෙන හුම්බස්තලයේ තියාගෙන පස්සෙන් එනව. ඒත් ඇතාට වනාන්තරය කෙළවරේ නතර වෙන්න සිදු වුණා. උගේ දෑසින් කඳුළු ගලා යද්දී බුදුන් වහන්සේ දෙසම බලා සිටියා. ඇතාගේ දර්ශන සීමාවෙන් බුදුරජාණන් වහන්සේ නොපෙනී යද්දී, දරාගත නොහැකි වේදනාවෙන් පාරිලෙය්‍ය හස්ථීරාජයා මැරී වැටුණා. බුදු සුවඳ විඳ විඳ මියැදුණූ පාරිලෙය්‍යක ඇතාට දුගතියෙන් මිදී සුගතිය උරුම කරගන්න භාග්‍යය ලැබුණා.

බුදුරජාණන් වහන්සේ වැඩම කළේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයට නොවෙයි . සැවැත්නුවර දෙව්රම් විහාරෙට වස් කාලය පුරාම බුදුන් වහන්සේ දැකගන්න නොලැබුණු සිව්වනක් පිරිස ලක්ෂ ගණනක් මාවතේ රැස්ව සිටියා. ඔවුන්ගේ සාදුකාර හඬ විහාර පරිශ්‍රයේ නින්නාද දෙන්න පටන් ගත්තා. ඒ අතර කළහකාරි ස්වාමින් වහන්සේලා දහස් නමත් කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙන් පිටත් වුණේ බුදු පා කමල් වන්දනා කරල සමාව ගන්න.

සැවැත් නුවර අයත් වෙන්නෙ කොසොල් රජතුමාගේ රාජ්‍යයට. ඒ නිසා තම රාජධානිය තුළට පිවිසෙන කලහකාරි භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම වළක්වන්න කොසොල් රජතුමා තීරණය කළා. පනස් හතර කෝටියක් කහවනු වැය කොට දෙව්රම් මහා විහාරය නිමවා පූජා කළ අනේපිඬු සිටුතුමාත් එකී විහාරයට මෙවැනි භික්ෂූන්ගේ පැමිණීම නොවටීයැයි කියා සිටියා. ඒත් බුදුරජාණන් වහන්සේ ඒ සිත් වෙනස් කළා.

භික්ෂුවක් අතින් සිදු වූ අවැතක් මුල් කරගෙන විවාදපන්නව මහත් වු කලහයක් ඇති කළ දහසක් භික්ෂූන් වහන්සේලා දෙව්රම් විහාරයට වැඩම කළා. මේ ඒ කලහකාර භික්ෂූන්ද ? මේ ඒ කලහකාර භික්ෂූන්ද? කියමින් රැස්ව සිටි පිරිස් ඇඟිලි දිගු කරමින් එකිනෙකාගෙන් අහන්න පටන් ගත්තා. උන්වහන්සේලා ලජ්ජාවට පත්වෙලා බිම් බලා ගත්ත. බුදු සිරිපා අබියස වැඳ වැටි සමාව අයැද සිටියා.

“මහණෙනි” නුඹලා මහා බරපතළ වරදක් කළා. මා වැනි බුදු කෙනෙක් ළඟ පැවිදි වෙලා, වාද විවාද ඇති කරගෙන , කළ කෝලාහල කරගෙන සමඟිය නැතිකර ගත්තා. මම අසමඟියෙ දුක් විපාක කියා දෙමින් සමඟියෙ වටිනාකම පැහැදිලි කරමින් අවවාද කරද්දිත් ඒව පිළි නොගෙන කටයුතු කළා. ඒක බරපතළ වරදක්”

“තම තමන් වැනසෙන බව නොදැන සමහර අනුවණයන් කලහ කරනව. එයින්ම මාරයාගේ බල ප්‍රදේශය තුළ ඒ අය වැනසී යනව. කලහ නිසා තම තමන් වැනසෙන බව දන්නා නුවණැති පුද්ගලයන් නිසා තමයි කලහ සන්සිඳෙන්නෙ

උන්වහන්සේලා ඇතුළු රැස්ව සිටි මහා පිරිසට බුදුහාමුදුරුවො කෝලාහල කිරීමේ ආදීනවයත් සමඟියේ වටිනාකමත් දක්වමින් ධර්මය දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙන කොට උන්වහන්සේලා ඇතුළු විශාල පිරිසක් සෝවාන් ඵලයට පත් වුණා.


දම්පද මිහිර 4 වෛරයේ ගිනිදැල් නසති දිවියේ හසරැල්