Print this Article


අඩුපාඩු මඟ හරවා ගනිමු

අඩුපාඩු මඟ හරවා ගනිමු

ලෞකික මෙන්ම ලෝකෝත්තර සුවය පතා බෞද්ධයන් ලෙස අප නිරතුරුවම විවිධ පුණ්‍ය කර්මයන්හි නිරත වෙනවා. එහෙත් අප කොතරම් පින්කම් කළත් බොහෝ පින්කම්වල අඩුපාඩු රාශියක් දක්නට තිබෙනවා .මේ බොහෝ අඩුපාඩු අප නොදැනුවත්වම සිදු කරනු ලබන එසේත් නැත්නම් සිදුවන ඒවා බව අප නොදැන සිටීම නිසා දිගින් දිගටම ඒවා සිදුවනවා. වළක්වා ගැනීමට හැකි එම අඩුපාඩු මඟ හරවා ගැනීමට හැකිනම් එම පූර්වාදර්ශ අනාගත පරපුරටද හිමි වන බව අප සිහිතබා ගත යුතුවනවා.

අඩුම වශයෙන් වන්දනා කරනු ලබන ක්‍රමවේදය හෝ ඇතැම් දේශනා නොදැනීම ගැන බෞද්ධයන් වශයෙන් අප කනගාටු විය යුතුයි.

වැඩි වෙහෙසක් දරා උගැන්විය යුතු නැති විෂයයක් ලෙසින් බුදු දහම සැලකීම කිසිසේත්ම සුදුසු නැහැ. ගණිතය, විද්‍යාව වැනි විෂයයන්ට මුල් තැනක් ලැබී බුදුදහම පසෙකට විසිවී මේ විපාකය අප සමාජය දෙස බලා හෝ තේරුම් ගත යුතුවනවා. වර්තමානයේ සිදුව ඇත්තේ මාධ්‍ය මඟින් පවා මේ සම්බන්ධව කතා කිරීමෙන් වැළකී සිටීමයි. මෙයින් සිදුවන්නේ මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී අප තවත් ප්‍රපාතයට නොදැනීම නිහඬව ඇදී යාමයි.

සිරිත් විරිත් විනාශයට ගිය විට ආගම දහමට අමුතුවෙන් විනාශයක් වන්නට දෙයක් නැහැ. එය ක්‍රමයෙන් පරිහානියට පත් වනවා . අප නාමික ආගම් අදහන්නන් බවට පත්වෙනවා.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටියට පවා අප පවසන්නේ සුගන්ධ කුටිය යනුවෙන් . බුද්ධ මන්දිරයක් උදෙසායි අප වතාවත් කළ යුත්තේ. එවන් මන්දිරයක් ඉදි කළ යුතු සුදුසු තැනක් තිබිය යුතු වෙනවා. බුදු පිළිමයක් තැන්පත් කර වන්දනාමාන කළ යුත්තේ එවන් ස්ථානයකටයි. පුණ්‍යවන්ත පුණ්‍ය භූමියකයි. එසේ නොමැතිව දුර්ගන්ධය පැතිරෙන ස්ථානවල එසේ බුදු පිළිම ස්ථාපිත කිරීම කිසිසේත්ම නොකළ යුතුවෙනවා. අප ගෞරවනීය බෞද්ධයන් යැයි ඇතැම් විට කියා ගැනීමටයි මේ අයුරින් කටයුතු කරන්නේ. එහෙත් නිසි වන්දනාවකින් තොරව බුදු පිළිම ඉදි කර එය පසෙකට දමා නිහඬව සිටීම විශාල අකුසලයක් බව සිහි තබා ගත යුතු වනවා. බුදු පිළිමය ඉතා උතුම් වන්දනීය වස්තුවක් මිස තමන් බෞද්ධ බව පෙන්වීමට යොදා ගන්නා ප්‍රදර්ශනාත්මක භාණ්ඩයක් නෙමෙයි.

අනාගතය බාර ගන්න සිටින දරු දැරියන්ගෙන් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටින්නේ කිසිම අවස්ථාවක බුදු පිළිමයක් කිසිම විටක වැරැදි ස්ථානයක තැන්පත් කරන්ට එපා. බුදුරජාණන් වහන්සේගේ පිළිම හන්දි ගානේ තැබුවාට බෞද්ධකම වැඩිවන්නේ නැහැ. ශාසන ව්‍යාප්තියක් සිදු වන්නේ නැහැ. ශාසනය ආරක්ෂා වන්නේ පුද්ගලයා පිළිවෙත් ආරක්ෂා කරමින් බුද්ධිමත්ව කටයුතු කළහොත් පමණයි.

බුදු පිළිමයකට නිරතුරුව වන්දනාමාන කරනවා නම් එය තුළ බුදු ගුණ අන්තර්ගත වනවා. එය මැටියෙන් හෝ ලීයෙන් හෝ වෙනත් ද්‍රව්‍යයකින් තැනුවත් වන්දනය තුළින් එම ප්‍රතිමාවන්ට ජීවමානව බලයක් ලැබෙනවා. සුනාමියේදි පවා බුදු පිළිමයන්ට හානි නොවුණේ එම නිසයි. එවන් පිළිම නිසා අනෙක් පිරිසටත් විශාල ආරක්ෂාවක් සැලසෙනවා. ඒක මිථ්‍යා විශ්වාසයක් නොවන බව අප තරයේ සිහි තබා ගත යුතුවනවා. දහම තුළ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනා බව අප තේරුම් ගත යුතු වනවා. පසුගිය දිනවල කතරගම කිරිවෙහෙරෙන් කිරි මතුවීමත් ,සෝමාවතී වැනි චෛත්‍යරාජයාණන් ගේ බුදුරැස් විහිදීම වැනි කතා මිථ්‍යා කතාවන් ලෙස බැහැර කිරීමට බැහැ. බුදුරැස් විහිදිය හැක්කේ බුදුරජාණන් වහන්සේගෙන් පමණයි. එය සැබෑවක් නමුත් යම් කිසි ප්‍රාතිහාර්යයක් වැනි යමක් සිදු විය හැකියි.

දහස් ගණනක් පිරිසක් කරුණා මෛත්‍රිය පෙරදැරි කරගෙන වන්දනා මාන කරන විටදී සෑම විටම එහි ශක්තිය ලැබෙනවා. එය පුණ්‍ය භූමියක් බවට පත් වෙනවා. එහි අනෙක් පැත්තත් මේ අයුරින් මයි සිදු වන්නේ ,අප විසින් ඇස් වහ, කටවහ, හෝ වහ යනුවෙන් හඳුන්වන්නේ මෙවන් සිද්ධාන්තයන් බව පෙනෙනවා.

මේ සඳහා හොඳම උදාහරණයක් ලබා දෙන්න පුළුවන්. බණ්ඩාරවෙල ප්‍රදේශයේ මා දන්නා අයෙකුගේ තක්කාලි වත්තක් තිබුණා. එක වරකට ලොරි හතරකට පහකට පමණ තක්කාලි ඵලදාව ලැබෙනවා. තක්කාලි කුඩා ලොරි වලට පැටවීමට විශාල පිරිසක් අවශ්‍ය වුණා. එතැනට පැමිණි වයෝවෘද්ධ ඥාති කාන්තාවකට අපේ 'අප්පොච්චියේ මෙහෙමත් තක්කාලි වගාවක්' කියා කියැවුණා.

පසුදින තක්කාලි වත්තට එද්දී ඉදුණු තක්කාලි සියල්ල බිමට වැටිලා තිබුණා. ඇස් වහ කටවහ ප්‍රායෝගික-වම අත් දුටු අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

ඇතැම් අය කෙසෙල් කැන් දිහා බලා කරන ප්‍රකාශ ඔබ අසා ඇති එම ඵල දාවට වන්නේ කුමක්ද? මේ ප්‍රකාශ කරන අයගේ ඇග ඇතුළේ තියෙන විසයි මේ ලෙසින් පිට වන්නේ. අනුන්ගේ සැපය ගැන දරා ගන්න බැරි එවන් මිනිසුන් සමාජයට හානියක් නොවේද ඔවුන්ගේ වචන මෙලොව ජීවිතයත් පරලොව ජිවිතයත් දෙකම දුගතිගාමි බව හොඳින් අවධාරණය කර ගත යුතු වනවා.