Print this Article


පෙරභවය යි කර්ම විපාකය යි 02 භාග්‍ය සම්පත්තියකින් යුක්ත වූ සීවලී මහරහතන් වහන්සේ

භාග්‍ය සම්පත්තියකින් යුක්ත වූ සීවලී මහරහතන් වහන්සේ

සීවලී මහරහතන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසසුනෙහි වැඩසිටි ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අගතැන් පත් මහරහතන් වහන්සේය.ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දුෂ්කර ප්‍රදේශවල සදහම් චාරිකාවේ යෙදෙන ඇතැම් අවස්ථාවල එහිදී ප්‍රත්‍ය නොලැබෙන බව දිවැසින් දකින බුදුරජාණන් වහන්සේ ඒ සඳහා සීවලී මහරහතන් වහන්සේ එකතුකර ගන්නේ උන්වහන්සේට කොහේ සිටියත් කොහේ වැඩියත් ප්‍රත්‍යයන්ගෙන් අඩුවක් නොවන නිසාය.

ඛදිරවනීය රේවත මහ රහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ සහෝදරයෙකි. උන්වහන්සේ වැඩ වාසය කළේ වනයේ ඈත කිහිරි කැලයක් මැදය. එය ඉතා දුෂ්කර ප්‍රදේශයකි. උන්වහන්සේගේ මනා වු ප්‍රතිපත්ති දිවැසින් දකින බුදුරජාණන් වහන්සේ එය අගය කිරීම සඳහා යන ගමනේදි සීවලී මහරහතන් වහන්සේ එකතු කර ගන්නේ එම ගමන කෙතරම් දුෂ්කර වුවද සීවලී මහරහතන් වහන්සේ වඩින බැවින් කිසිම කෙනෙකුට ප්‍රත්‍යයන්ගෙන් අඩුවක් නොවන නිසාමය.

මෙවැනි භාග්‍ය සම්පත්තියකින් යුක්ත වූ සීවලී මහරහතන් වහන්සේ උපතේදී මුහුණ දුන්නේ වෙනත් කිසිවෙකු මුහුණ නොපාන තරම් අභාග්‍ය සම්පන්න අවස්ථාවකට ය. එය විශ්වාස කිරීමට තරම් අපහසු කටයුත්තකි. එහෙත් එය සිදුව ඇත. එනම් සත් අවුරුදු සත් දවසක් මව් කුස තුළ සිටීමට සිදුවීමයි. මෙය මිහිපිට මිනිසෙකු මව් කුසක් තුළ සිටි වැඩිම කාලයයි. අවසන් දවස් හත ගැබ හරස්ව පිහිටීම නිසා මව මෙන්ම පුතුද තියුණු වු කටුක වූ දුක් වේදනාවන්ට පත් ව ඇත. එය උදාන පාලියෙහි මුචලින්ද වර්ගයේ එන සුප්පාවාසා සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

තෙන ඛො පන සමයෙන සුප්පාවාසා කොලියඨිකා සත්ත වස්සානි ගබ්හං ධාරෙති. සත්තාහං මූළ්හගබ්බා සා දුක්ඛාහි නිබ්බාහි බරාහි කටුකාහි වේදනාහි වුට්ඨං.

මෙසේ ඇය මේ තියුණු වු කටුක වු දුක් වේදනාවෙන් ඉවසා දරා ඇත්තේ ත්‍රිවිධ විතර්කයක් (සත්‍යක් ක්‍රියාවක්) සිහිපත් කරමිනි. “සම්මා සම්බුද්ධ වු ඒ බුදුරජාණන් වහන්සේ මෙවැනි දුක් ප්‍රහීණය පිණිස ධර්මය දේශනා කරති. ඍජු පිළිවෙත් ඇති ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය මෙවැනි දුක් ප්‍රහාණය පිණිස මනාව පිළිපන් සේක. මනා සුව එළවන ඒ නිවනෙහි මෙබඳු දුකක් කිසි කලෙක නොවෙයි” යනු ඒ ත්‍රිවිධ විතර්කයන්ය.

කිහි විතක්කෙහි අධිවාසෙති – සම්මා සම්බුද්ධො වත සො භගවා යො ඉමස්ස භවරූපස්ස දුක්ඛස්ස සහානාය

ධම්මං දෙසෙති. සුප්පටිපන්නො වත තස්ස භගවතො සාවකසංඝො යො ඉමස්ස ඵවරූපස්ස දුක්ඛස්ස සහානාය පටිපන්නො සුසුඛං වත තං නිබ්බානං යත්ථිදං එවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති

අවසන් දින අතිශය දුකට පත් සුප්පාවාසාව සිය ස්වාමියා වූ මහාලී ලිච්ඡවී කුමාරයා අමතා වහා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් තමාගේ නමින් පැදකුණු කොට උන්වහන්සේ නැමැද තමන්ගේ දුක්ඛිත ස්වභාවය දන්වන ලෙස අයැද සිටියාය. බුදුරජාණන් වහන්සේ හමුවට වහා පැමිණි මහාලී කුමරු සුප්පාවාසාව කියු පරිද්දෙන්ම කළේය. එවිට බුදුරජාණන් වහන්සේ

”සුඛිනි හොතු සුප්පවාසා කොලියඨිකා ආරොගා ආරෝගං පුත්තං විජායතූ”ති

යනුවෙන් පැවසූහ. වහා නිවසට ගිය මහාලී ලිච්ඡවී කුමාරයාට දැක ගත හැකි වූයේ නිරෝගී වූ සුප්පාවාසාව නිරෝගී වු පුතෙකු බිහි කර සිටියාය. එයින් සතුටට පත් සුප්පාවාසාව දින හතක් බුදුපාමොක් මහසඟන විෂයෙහි මහ දන් පිළිගැන්වීය.

හත්වන දින දානය අවසානයෙහි සැරියුත් මහරහතන් වහන්සේ සුප්පාවාසාව වසර හතක් හා දින හතක් කුස තුළ තබා බිහි කළ සීවලි කුමරු අමතා සුවදුක් විචාළේය.

අථ ඛෝ ආයස්මා සාරිපුත්තො තං දාරකං ඒතද වොච – කච්චිතෙ දාරක ,ඛමනීයං කච්චි යාපනීයං, කච්චින කිඤ්චි දුක්ඛන්ති

එවිට කුමරු පවසා සිටියේ ස්වාමීනි, සත් වස් සත් දවස් ලේ කලයක මෙන් ජීවත්වීම කුමන නම් සැපයක්ද යනුවෙන් පරිණත ලෙස පැවසීය.

“කුතො මේ භන්තෙ සාරිපුත්ත, ඛමනීයං , කුතො යාපනීයංසත්ත මේ වස්සානි ලෝහිතකුම්නියා වුත්තානී” ති

පසුව සම්බුදු සසුනෙහි පැවිදි වී සීවලි නම් මහරහතන් වහන්සේ බවට පත්විය.

මෙසේ සීවලී මහරහතන් වහන්සේ සත්වස් සත් දිනක් මව් කුසක් තුළ දුක් විඳීමට හේතු වූයේ සිය මවගේ මෙහෙයවීමෙන් සිදු කළ අකුශල කර්මයකි. මෙයින් මවද අතිශය දුකට පත්ව ඇත. එම අකුශල කර්මය මෙසේය.

”පුනාහං ඛාරාණසියං රාජා හුත්වා මහායසො
සත්කුකස්ස තදා දුට්ඨො, ද්වාරරොධම්කාරයිං

මම බරණැස් නුවර මහත් කීර්ති ඇති රජෙක්ව උපන්නෙමි. මාගේ රාජ්‍ය අල්ලා ගැනීමට පැමිණි රජෙක් කෙරෙහි කිපුණේ නුවරයට ඇතුළු වු කල්හි නැවත පිටවිය නොහැකි වන සේ නගර දොර වැසුයෙමි.

”තදා තපස්සිනො රුද්ධං ඒකාහං රක්ඛිතා අහුං
තතො තස්ස විපාකෙන, පාපතිං නිරයං භුසං

මෙසේ සත් දිනක් දොර වසා තැබීමෙන් ඒ සතුරු රජු සහ පිරිස නිරාහාරව සත් දිනක් දුක් වින්දේය. එසේ කිරීමේ විපාක වශයෙන් මා නිරයේ ඉපිද බොහෝ සේ දුක් වින්දෙමි.

“ඛත්තියෙ පුඤ්ඤකම්මේන, ද්වාරරොධස්ස වාහසා
සත්ත වස්සානි නිවසිං, මාතුකුච්ඡිම්හි දුක්ඛිතො

පෙර අත් භවයක විපස්සි සම්බුදුරජාණන් වහන්සේට කිරි හා මී පැණි පූජා කළ කුශල කර්ම කිරීමේ අනුහසින් ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෙමි. අසහාය වු ලාභ ඇත්තේ වෙමි. සත් දිනක් නගරයෙහි දොරටු වසා සතුරු රජු ඇතුළු පිරිස පෙළීමේ අකුශල විපාකයෙන් සත්වස් සත් දිනක් මව් කුස දුක් වින්දෙමි.

“සත්තාහං ද්වාරමුල්භොහං, මහාදුක්ඛසම්ප්ජිතො
මාතා මේ ඡන්දදානෙන, එවං ආසි සුදුක්ඛිතා

මාගේ මව්තුමෝ සත් වස් සත් දිනක් මා කුසෙහි හොවා අතිශය කටුක වූ දුක් වින්ඳේ සත් දිනක් නගරයෙහි දොරටු වසා සතුරු රජු ඇතුළු පිරිස පෙළීමට උපදෙස් දුන් නිසාය.

මෙයින් අපට පවසන්නේ රහත් වුවද කරන ලද යහපත් දේ යහපත් ප්‍රතිඵල ලබාදෙන බවත් අයහපත් දේ අයහපත් ප්‍රතිඵල ලබා දෙන බවත්ය. එබැවින් යමක් කිරීමට පෙර දෙවරක් සිත සිතා බැලීමට මෙය හොඳ නිදසුනකි.


කර්ම විපාකය යි 01 කුස පිරීමට ආහාර නොලත් ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ පෙරභවය යි