Print this Article


සීල විසුද්ධිය -12 භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පැනවූයේ ඇයි?

සීල විසුද්ධිය -12

භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පැනවූයේ ඇයි?

අප ධර්මය ඉගෙන ගනිද්දීත්, සීලයක් සමාදන් වෙලා පුරුදු කරද්දීත්, බණ භාවනා හුරුවීමෙනුත් අපට ආඩම්බරය ඇතිවෙනවා නම් ධර්මය නිසා අපට භය තැතිගැනීම නම් උපදින්නේ, ඒ තිසරණයේ පිහිට අප අත්කරගෙන නැහැ කියා තේරුම්ගත යුතු යි.

භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු අටවෙනි වස්සානය ගත කළේ වේරඤ්ජාව කියන ප්‍රදේශයේ. ඒ සමඟ සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ රහතන් වහන්සේලා පන්සිය නමක් ද එහි වැඩ සිටියා. ඒ කාලයේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේට කල්පනාවක් ඇතිවුණා. “කවර භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනයද චිරාත් කාලයක් පැවතුණේ?” කවර භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනය ද කෙටි කලකින් නැතිවෙලා ගියේ? කියල. ඊට පස්සේ භාවනාවෙන් නැඟී සිටි සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මුණගැහිල වන්දනා කර අසා සිටිනවා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම විවේකීව ඉන්න විට මට මේ වගේ අදහසක් ඇති වුණා. ඒ තමයි “කුමන භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසනයද චිරාත් කාලයක් පැවතුනේ? කෙටි කලකින් නැතිවෙලා ගියේ කුමන භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයද? කියා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ කාරණය අපිට කියා දෙන සේක්වා කියල.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් සාරිපුත්ත, විපස්සී, සිඛී, වෙස්සභු කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන චිරාත් කාලයක් පැවතුණේ නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ පිරිනිවන් පෑමෙන් පසු, ඒ වගේම ඒ සම්මුඛී ශ්‍රාවකයින් වහන්සේලාගේ පිරිනිවීමත් සමඟම ඒ ශාසනය අතුරුදහන් වෙලා ගියා. පසුව ඒ ශාසනයට පැමිණි භික්ෂූන් වහන්සේලා, ශාසනය අතුරුදහන් වෙන්ට කටයුතු කළා. ඒ වගේ ම කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන භාග්‍යවතුන් වහන්සේලාගේ ශාසන, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුත්, ඒ සම්මුඛී ශ්‍රාවකයින් වහන්සේලාගේ පිරිනිවන් පෑමෙන් පසුත් බොහෝ කලක් පැවතුණා.

ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අසා සිටියා, “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, විපස්සී, සිඛී, වෙස්සභු කියන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන, ඒ බුදුරජාණන් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසු, ඒ සම්මුඛී මහරහතන් වහන්සේලාගේ - පිරිනිවීමෙන් පසු අතුරුදහන්වීමට හේතුව? කාරණය මොකක් ද? ඒ වගේ ම ඒ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ද ඒ බුදුරජාණන් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසුවත්, ඒ සම්මුඛී ශ්‍රාවකයින් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසුවත් චිරාත් කාලයක් පැවතීමට හේතුව , කාරණය මොකක්ද ? කියා.

ඊට පස්සේ අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පින්වත් සාරිපුත්ත, විපස්සී, සිඛී, වෙස්සභූ කියන ඒ භාග්‍යවතුන් වහන්සේලා මේ නවාංග ශාස්තෘ ශාසනය බොහෝ විස්තර වශයෙන් දේශනා කළේ නැහැ. ඒ වගේම උන්වහන්සේලා භික්ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂාපද පැණෙව්වේ නැහැ. ඒ වගේ ම උන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට පණවා වදාළේ නැහැ. මෙන්න මේ කාරණා හේතු කරගෙන උන්වහන්සේලාගේ පිරිනිවීමෙන් පසු, ඒ සම්මුඛී ශ්‍රාවකයින් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසු ඒ ශාසන අතුරුදහන් වුණා. නමුත් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, මේ නවාංශ ශාස්තෘ ශාසන විස්තර වශයෙන් දේශනා කළා. ඒ වගේ ම සංඝයා වහන්සේලා උදෙසා ශික්ෂාපද දේශනා කළා. ශික්ෂා පද පැනෙව්වා. ඒ ශික්ෂාපද ගැන කියා දුන්නා. ඒ වගේ ම ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද අනුදැන වදාළා. මෙන්න මේ කාරණා තුන මුල්කරගෙනයි ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනය උන්වහන්සේලාගේ පිරිනිවීමෙන් පසුත්, ඒ සම්මුඛී මහරහතන් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසුත් බොහෝ කලක්,චිරාත් කාලයක් පැවතුණේ, ම කියල.

ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා, “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එහෙනම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පිහිටුවා වදාළ බුද්ධ ශාසනයත් චිරාත් කාලයක් පැවතීම පිණිස, ශික්ෂාපද පණවන සේක්වා. ප්‍රාතිමෝක්ෂය පණවන සේක්වා” කියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළා. “පින්වත් සාරිපුත්ත, දැන්මම භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවන්නේ නැහැ. ඒකට නියම කාලය උදාවෙනවා. අන්න එහෙම නියමිත කාලය උදාවෙන තෙක් භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවන්නේ නැහැ කියල. ඊට පස්සේ සම්බුද්ධත්වයෙන් අවුරුදු විස්සක් ගතවුණායින් පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපද පනවන්නට පටන් ගත්තේ.

භාග්‍යවතුන් වහන්සේ කුමන අරමුණක් මුල්කරගෙනද මේ ශික්ෂා පද පැනෙව්වේ කියල. දැන් ඔබ සියලු දෙනා මේ ශික්ෂා පද සමාදන් වෙලා ඒ ශික්ෂා පද වලට පැමිණ වාසය කරන්ට කැමැත්තෙන් තමයි සිටින්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ශික්ෂා පද පැනෙව්වේ කුමක් අරමුණු කරගෙනද? මේ ශික්ෂාපද මේ අය සමාදන් වෙලා ආඩම්බර වෙත්වා. ජනයා අතර ප්‍රසිද්ධ වෙත්වා. ජනපි‍්‍රය අය බවට පත්වේවා, ඉස්සර වෙලා ශික්ෂා පද සමාදන් වූ පිරිස පස්සේ ශික්ෂා සමාදන් වූ කට්ටියගෙන් ගරුසරු ලබත්වා, ආදි දේ සඳහා ද භාග්‍යවතුන් වහන්සේ ශික්ෂා පද පනවා වදාළේ?

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ නවාංග ශාස්තෘ ශාසනය පිහිටුවා වදාළේ කුමක් අරමුණු කරගෙන ද? ඒ ශික්ෂා පද පැනෙව්වේ කුමක් අරමුණු කරගෙන ද? ඒ ප්‍රාතිමෝක්ෂය දෙසීම පැනෙව්වේ කුමක් අරමුණු කරගෙන ද? අප ඒ අර්ථයටයි පිවිසිලා වාසය කරන්නට ඕන. ඒ අර්ථයට පිවිස වාසය නො කළොත් අප අනර්ථය කරාමයි, වැනසීම කරාමයි යන්නේ.

ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අනුශාසනාව ඉගෙන ගෙන, උන්වහන්සේ ශ්‍රාවකයාගෙන් කුමක්ද අපේක්ෂා කළේ කියන දේ තේරුම් ගන්ට ඕන. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සම්මුඛී රහතන් වහන්සේලාගේ, ඒ ශ්‍රාවකයින් වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසුව මේ ශාසනය බොහෝ කලක් පවතීවා කියන අදහසින් තමයි මේ ශික්ෂා පද පැනෙව්වේ. මේ නවාංග ශාස්තෘ ශාසනය පිහිටුවා වදාළේ, මේ ප්‍රාතිමෝක්ෂය උදෙසීම අනුදැන වදාළේ. එහෙනම් මෙන්න මේ කාරනා තුන අප තේරුම් ගන්ට ඕන. මේ කාරණා තුන අප පිළිගන්ට ඕන. එසේ පිළිගත්ත කෙනා ඒ පිළිගන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කාරුණික අවවාදයි.

ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ චිරපැවැත්ම පිණිස යම් ක්‍රමවේදයක්ද අනුගමනය කළේ එය භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය යි. මේ ශාසනය පිහිටුවේ භාග්‍යවතුන් වහන්සේ. මේ ශාසනය සුරක්ෂිත වෙන විදිය දන්නෙත් භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය සුරැකීම පිණිස, චිරාත් කාලයක් පැවතීම පිණිස, යමක් අනුදැන වදාළේද ඒක අපි පිළිගත්තොත්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය පිළිඅරගෙන එයට අනුව කටයුතු කිරීම පිණිස හිත පිහිටුවා ගත්තොත්, ඔහුට අවස්ථාවක් තියෙනවා, භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්ට.

එහෙනම් ඔබලා ශික්ෂාවට කැමති වෙනවා නම් කැමැති වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව ඉටු කරන්නටයි. ප්‍රාතිමෝක්ෂය දෙසීමට කැමති වෙනවානම් කැමැති වන්නේ් භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව ඉටු කරන්ටයි. ඉතින් ඔබලා ඒ නවාංග ශාස්තෘ ශාසනය බොහෝ අයට කියාදෙමින් එයට හානි නොවන ආකාරයෙන් කටයුතු කරන්ට කල්පනා කරනවා නම් ඒ ඔබලා කැමැති වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව ඉටුකරන්ට යි. එවිට භාග්‍යවතුන් වහන්සේ සමඟ වාසය කරන කෙනෙක් බවට පත්වෙනවා. එහෙම නැත්නම් අප ඒ ධර්මය ඉගෙන ගන්නවා. නමුත් කවුද මේ ධර්මය කියල දුන්නේ කියලවත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ ධර්මයම අරගෙන අප ආඩම්බරය ඇති කර ගනී. එපමණයි සිදුවෙන්නේ. ඒ අවාසනාවන්ත ඉරණමට අපි ගොදුරුවීමේ ඉඩකඩ වැඩියි. ඇයි ඒ? මේ ලෝකේ අධිපති භාවයට පත්වෙලා ඉන්නේ මාරයා. ඒ මාරයාගේ වසඟයේ තමා සාමාන්‍ය මනුස්සයා නිතරම ඉන්නේ. මේ ඇස, කන, නාසය, දිව, කය, සිත කියන ආයතන හය මාර වසඟයේ තමයි තියෙන්නේ. කීකරු වෙන්ට නම් මාන්නය අයින් වෙලා යන්ට ඕන. නිහතමානීකම ඇතිකර ගන්ට ඕන. මාන්නය තියාගෙනම අප කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනවා කියන කාරණය කරන්න කල්පනා කළොත්, කල්‍යාණ මිත්‍ර ඇසුර කියන එක නිවැරැදිව සිද්ධ වෙලා යන්නේ නැහැ. ඒ නිසා මේ අකුසල සහගත ස්වභාවයට ගොදුරුවීමේ ඉඩකඩ වැඩියි. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය කාලෙත් මේවා බහුලව සිදුවුණා. එහෙනම් අද සිදු නොවී තියෙයි ද? අද ඊට වඩා සිද්ධ වෙන්න පුළුවන්. ඇයි, අද ප්‍රඥාවෙන් දුබල වූ මනුස්ස වර්ගයා තමයි ඉන්නේ. ප්‍රඥාව දුබල කරන දේට ම තමයි සමාජය විසින් මනුස්සයා පොළඹවන්නේ. ප්‍රඥාව ඇති කරණ ස්වභාවයට මනුස්ස වර්ගයා පොළඹවන ස්වභාවය ඉතා අඩුයි. එහෙනම් එබඳු ස්වභාවයක් තුළ අපිට අමාරුවේ නොවැටෙන්ට තියෙන ඉඩකඩ ඉතා අඩුයි.

එහෙනම් අපි රැකෙනව නම් රැකෙන්ට තියෙන එකම තැන තමයි කීකරුකම. කීකරු කෙනාට, අතිශයින්ම කීකරු කෙනාට, බොහෝ සෙයින් කීකරු කෙනාට, බොහෝ ප්‍රතිලාභ ලබාගන්ට පුළුවන්කම තියෙනවා. අකීකරු කෙනාට බොහෝ ප්‍රතිලාභ අහිමිවීමයි තියෙන්නේ. ඒ නිසා අපි කැමති වෙන්නේ ඔබලා කීකරුකම කියන කාරණාවට කැමතිවෙනවාට යි. අන්න එසේ කීකරුවෙන කෙනා භාග්‍යවතුන් වහන්සේ විසින් පිහිටුවා වදාළ ශාසන චිරාත් කාලයක් පැවතීම උදෙසා යම් ක්‍රමවේදයක් හඳුන්වා දුන්න නම් පිහිටුවා වදාළ නම් අපට ඒ ගැන අනුශාසනා කළා නම්, අන්න ඒ දේ හිස් මුදුනින් පිළිඅරගෙන, තමන් අතින් ඒකට කවදාවත් හානියක් සිදු නොවන ආකාරයට කටයුතු කරන්ට සිත් පිහිටුවා ගනිවී.

නයනා නිල්මිණි


සීල විසුද්ධිය - 11 කොටස සේඛබල සහිතව සිල් රැකීම සීල විසුද්ධියට මඟයි