Print this Article


බලගල්ලේ සරස්වතී මහ පිරිවෙන

බලගල්ලේ සරස්වතී මහ පිරිවෙන

ගම්පහ දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයෙන් දෙවැනි ස්ථානය

බලගල්ලේ සරස්වතී මහ පිරිවෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයකි. 1897 පෙබරවාරි 07 වන දින මහෝපාධ්‍යාය මුඩගමුවේ සිරිනිවාසාසභ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට බලගල්ලේ ජයකොඩි පරම්පරාව විසින් එම විහාරස්ථානය සඟසතු කොට පූජා කරන ලදී.


කෘත්‍යාධිකාරි ශාස්ත්‍රපති
හිස්සැල්ලේ රතනසීහ නා හිමි

1903 මාර්තු 07 වන දින සරස්වතී මහ පිරිවෙන ආරම්භ කරන්නට යෙදුණි. වාගීස්වර පඬිතුමා මෙහි පරිවේණාධිපති ලෙස ආරම්භයේ දී කටයුතු කළ අතර මුඩගමුවේ සිරිනිවාසාසභ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන නා හිමියන් 1907 ජනවාරි 01 දින සිට 1955 දක්වා එහි පරිවේණාධිපති ධුරය දරමින් වැඩ සිටියේය. හිස්සැල්ලේ ශී‍්‍ර ඥානෝදයාභිධාන නාහිමියන්ගේ පරිවේණාධිපතිත්වය යටතේ භෞතික සම්පත්වල මනා සංවර්ධනයක් සීඝ්‍රයෙන් ගොඩනැඟෙන්නට විය. 1919 වර්ෂයේදී ලංකා ආණ්ඩුවේ ආධාර ලබන පිරිවෙන් ලෙස ලියාපදිංචි කරන ලදී. රන් පදක්කම්ලාභී ප්‍රාචීන පඬිවරුන් බිහි කර ඇති මෙම ආයතනය තුළ සිංහල, දෙමළ ගිහි පැවිදි සිසුන් සිවු දිසාවෙන් පැමිණ අධ්‍යාපනය ලද කීර්තිමත් ආයතනයක් මෙන්ම එය විදෙස් භික්ෂූන්ටද අධ්‍යාපනයට තෝතැන්නකි.

හපුවලානේ ඤාණාලෝක, හේන්පිටගෙදර ඤාණසීහ,හේන්පිටගෙදර ඤාණාවාස, හිස්සැල්ලේ සුමංගල, හිස්සැල්ලේ ධම්මරතන,පොත්තේවෙල පඤ්ඤාසාර, හේන්පිටගෙදර ඥානතිලක, හිස්සැල්ලේ මේධානන්ද,ආචාර්ය යටගම ධම්මපාල යන නායක මහා ස්වාමින්වහන්සේලා ආදී කීර්තිමත් ග්‍රන්ථ කර්තෘවරු ,ප්‍රාචීන භාෂා විශාරදයන් විශේෂයෙන් දෙමළ බසෙහි හසල බුද්ධිමතුන් බිහි වූ ආයතනයකි. බැස්ටින් රණවීර, වී.මලල්ගොඩ වැනි සුප්‍රසිද්ධ කිවිවරු මෙහි ශිෂ්‍යයෝය.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,ආචාර්ය පොල්ලමුරේ සෝරත හිමි, මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ, මහාචාර්ය ජිනදාස දනන්සූරිය වැනි මහත්වරු මෙහි ආදි ශිෂ්‍යයෝය. හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන නාහිමියන් ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අටවැනි මහානායක ධුරයෙන් පිදුම් ලැබූ නිසා 1956 වන විට පරිවේණාධිපති ධුරයෙන් ඉවත් වූහ.

උන්වහන්සේ 1966 දී අපවත් වී වදාළහ. විශේෂයෙන් ලංකා සම්මා සම්බුද්ධ ශාසනයටත්, සිංහල, දෙමළ සාහිත්‍යයටත් මහා මෙහෙවරක් ඉටුකර ඇත. මෙම ආයතනයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමින් වහන්සේලා දෙනමක් වූ හිස්සැල්ලේ ශී‍්‍ර ඥානෝදයාභිධාන මහා නා හිමියන් සහ පොත්තේවෙල පඤ්ඤාසාර මහා නා හිමියන් එසේම අධිකරණ නායක ස්වාමින් වහන්සේලා දෙනමක් වූ හේන්පිටගෙදර ඤාණසීහ, හේන්පිටගෙදර ඤාණාවාස නාහිමියන්ද අනු නාහිමිවරු තෙනමක් වු ආචාර්ය යටගම ධම්මපාල , මඩිතියවල විජිතසේන, මඩිතියවල මේධංකර යන ස්වාමින් වහන්සේලාද බිහි වූහ.

වර්තමානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රාචාර්ය හපුවලානේ සරණංකර මහෝපාධ්‍යාය හිමියන්ය. එහි කෘත්‍යාධිකාරි ශාස්ත්‍රපති හිස්සැල්ලේ රතනසීහ ස්වාමින්වහන්සේය. පරිවේණාධිපති පහලගම ධම්මික ස්වාමින් වහන්සේය. නියෝජ්‍ය පරිවේණාධිපතිවරු ලෙස කටයුතු කරන්නේ කලුගල්ලේ මංගල හිමියන් හා වළකුඹුරුමුල්ලේ වජිර හිමියන් වහන්සේය. මේ වන විට දහස් ගණන් ගිිහි පැවිදි පිරිසක් මෙහි අධ්‍යාපනය ලබා දෙස් විදෙස්වල ධර්ම ශාස්ත්‍රීය කටයුතු සිදුකර තිබේ.

2012 හා 2013 වර්ෂයන්හි ගම්පහ දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයෙන් තුන් වැනි ස්ථානය හිමි කරගත් අතර 2014 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයෙන් දෙවැනි ස්ථානයට පත්විය. ඒ සඳහා පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයේ කැපවීම අතිශය අගය කොට සලකමි.එමෙන්ම පිරිවෙන් විහාරස්ථ දායක සභාව ද පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි.

ප්‍රථමස්ථාන හිමිකරගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා

හෝමාගම ධම්මාලෝක හිමි (ප්‍රාථමික අංශය – හසුරු කුසලතා)

වැල්පොත විජිතවංස හිමි (කනිෂ්ඨ අංශය – හසුරු කුසලතා)

කොකාවැවේ ගුණානන්ද හිමි (කනිෂ්ඨ අංශය – ගායනා කුසලතා)

කොකාවැවේ ගුණානන්ද හිමි (කනිෂ්ඨ අංශය – සිංහල පද්‍ය රචනා)

මාමඩලේ පඤ්ඤානන්ද හිමි (කනිෂ්ඨ අංශය – දෙමළ ගද්‍ය රචනා)

මන්දාරම්නුවර සරණානන්ද හිමි (ජ්‍යෙෂ්ඨ අංශය – පාලි ගද්‍ය රචනා)

තොටුපලතැන්නේ අමිතසාර හිමි –(ජ්‍යෙෂ්ඨ අංශය –පාලි ගාථා රචනා)

කුඹල්ගම ධම්මසාන්ත හිමි –ජ්‍යෙෂ්ඨ අංශය – සංස්කෘත භාෂා හා සාහිත්‍ය ඥාන)

හම්බෙගමුවේ පදුම හිමි – ජ්‍යෙෂ්ඨ අංශය – ධර්ම දේශනා

දෙවැනි ස්ථාන හිමිකරගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා

කොකාවැවේ ධම්මානන්ද හිමි – (කනිෂ්ඨ අංශය – සිංහල ගද්‍ය රචනා)

වැලිපත සුමංගල හිමි –(කනිෂ්ඨ අංශය – දෙමළ අත්අකුරු)

තාරක නිලුපුල් රණවීර (කණිෂ්ඨ අංශය – බෞද්ධ චිත්‍ර)

තොටුපොලතැන්නේ අමිතසාර හිමි (ජ්‍යෙෂ්ඨ අංශය පාලි කථික )

හම්බේගමුවේ පදුම හිමි (ජ්‍යෙෂ්ඨ අංශය – අත් අකුරු)

දෙකටන ධම්මසාර හිමි (පූර්ව ප්‍රාථමික අංශය – හසුරු කුසලතා)

තෙවැනි ස්ථාන හිමිකරගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා

කෝවින්නේ අමර විසුද්ධි හිමි – (කනිෂ්ඨ අංශය – සංස්කෘත ගද්‍ය රචනා)

දම්වැල්ඕඩයේ සමිතවංස හිමි (කනිෂ්ඨ අංශය –අත්අකුරු)

හම්බෙගමුවේ පඤ්ඤාලංකාර හිමි (ජ්‍යෙෂ්ඨ අංශය – සිංහල කථික)

කුඹල්ගම ධම්මසාන්ත හිමි (ජ්‍යෙෂ්ඨ අංශය – සංස්කෘත ගද්‍ය රචනා)

හම්බේගමුවේ පඤ්ඤාලංකාර හිමි – ජ්‍යෙෂ්ඨ අංශය – සිංහල කථික)

හලාවත ධම්මසිරි හිමි – ජ්‍යෙෂ්ඨ අංශය (සිංහල භාෂා හා සාහිත්‍ය ඥාන)

හිටුවල ධම්මරතන හිමි – ජ්‍යෙෂ්ඨ අංශය (පාලි හා භාෂා හා සාහිත්‍ය ඥාන)