Print this Article


වේරහැර ශ්‍රී ධර්ම විජය දහම් පාසල

වේරහැර ශ්‍රී ධර්ම විජය දහම් පාසල

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල හත් පත්තුවේ මැදපත්තු බස්නාහිර කෝරළයෙහි, යක්විල, වේරහැර නම් සුන්දර ගම්මානයෙහි පිහිටි ශ්‍රී සිද්ධාර්ථාරාම රජමහා විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ධර්මවිජය දහම් පාසල වසර 35ක අබිමානයක් ඇති දහම් නිකේතනයකි.

කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ සමයේ, සිද්ධාර්ථ නම් රහතන් වහන්සේ විසින් ධාතු කරඬුවක් මැදිකොට වෙහෙරක් තැනීමෙන් මෙම වේරහැර (වෙහෙරට+හැරී) ගමේ පිහිටි ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරය නිර්මාණය වී ඇත. එම විහාරස්ථානයට අනුබද්ධව දහම් පාසලක් බිහිවන්නේ 1978 දී ය. එය ද විහාරස්ථානය සමීපයේ පිහිටි වේරහැර කණිෂ්ඨ විද්‍යාලය තුළදීය. ඉතා අඩු පහසුකම් මැද විවිධ දුෂ්කරතා මැදින් පවත්වාගෙන ගිය දහම් පාසලෙහි ස්වර්ණමය කාලපරිච්ඡේදය උදාවන්නේ 2006 වර්ෂයේ සිටය.

විහාරාධිපති ශාස්ත්‍රපති මාවතගම සීවලී හිමිපාණන්ගේ අවවාද අනුශාසනා මැද විහාර ස්ථානය බාරගත් ශාස්ත්‍රපති ඇළබඩගම සීලක්ඛන්ධ හිමියන් විසින් විහාර බිම නවීකරණය කරද්දී, ධර්ම විජය දහම් පාසල ද දියුණු කිරීම සඳහා ඇපකැප වී ක්‍රියා කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස දායක සභාවේ සහයෝගය ඇතිව ළමයින් 150ක් සමඟ ගුරුවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත දහම් පාසලක් බවට දියුණු කිරීමට උන්වහන්සේට හැකි විය.

එදා මෙදා තුර ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ ජයග්‍රහණ ළඟා කර ගනිමින් ධර්ම විජය දහම් පාසල යහපත් ගමන් මඟක ගමන් කරයි. ගෙවී ගිය වසරවලදී පන්නල ප්‍රාදේශිය සභාව සහ පන්නල ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් සෑම වසරකම සංවිධානය කරනපොසොන් උදාන වැඩසටහනේ බැති ගී වලට දායක වෙමින් දහම් පාසල් අතර පහන් කූඩු තරගයෙන් වසර කිහිපයකදී ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ද හැකි වී ඇත. ප්‍රාදේශීය සිසු නිපුණතාවලින් හා කුරුණෑගල දිස්ත්‍රික් දහම් දැනුම තරගවලින් ද ජයග්‍රහණ රැසක් මෙම දහම් පාසල හිමිකරගෙන සිටිති.

සෑම වසරකම වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අබිමානවත් ලෙස පවත්වමින් ගුරු සිසු දෙපාර්ශ්වයම අගැයීමට ලක් කිරීමට ද කටයුතු කෙරෙති. සීලක්ඛන්ධ හිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් පැවැත්වෙන මෙම ශ්‍රී ධර්ම විජය දහම් පාසල ප්‍රදේශයේ දහම් පාසල් අතර ජනප්‍රිය දහම් නිකේතනයක් බවට පත් වී ඇත.


ඇලබඩගම සීලක්ඛන්ධ හිමියන් ඇතුළු දහම් පාසල් ආචාර්ය මණ්ඩලය

9 වන ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල දරු දැරියන්ගෙන් කොටසක්

9 වන ශ්‍රේණියෙන් පහළ පන්තිවල දරු දැරියන්ගෙන් කොටසක්