Print this Article


අවබෝධයෙන්ම යා යුතු ගමන

අවබෝධයෙන්ම යා යුතු ගමන

බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් පැහැදීමට ඇවිත් මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ ඇයි? එහෙම නැති වුණොත් තමන්ගේ ඇස් දෙක කවදාවත් හොඳ වෙන්නේ නැහැ. තමන් අන්ධභාවයේ ඉඳගෙනම අත ගගා කියනවා මේ පංචඋපාධානස්කන්ධය මේ වගේ එකක් කියා. අප පංචඋපාධානස්කන්ධය තුළ හෝ වේවා, අුායතන, ධාතු, පටිච්චසමුප්පාද ගැන සඳහන් වන කාරණා ඒ දේශනා ඇසුරෙන්මයි තේරුම් ගත යුත්තේ. ඒ දේශනා ඇසුරෙන් තේරුම් අරගෙන ඒ කාරණා ඒ දේශනාවලට අනුකූලවම නිරවුල්ව විනිවිදව අවබෝධ කරගන්න ඕන

අපගේ ස්වාමි වූ භාග්‍යවත් බුදුරාජාණන් වහන්සේ විසින් අපවෙත පතළ මහ කරුණාවෙන්මයි ශ්‍රී සද්ධර්මය වදාළේ. ශාස්තෘ ශාසනය ලෙසයි එය අප හඳුන්වන්නේ. උන්වහන්සේ කෙරෙහි පැහැදීම මුල් වූ වැඩ පිළිවෙලක් තමා එහි තිබෙන්නේ. ඒ වැඩපිළිවෙල නිසිපරිදි පවත්වා ගනිමින් ඔබට උපකාර කරනවා ධර්මය නිරවුල්ව තේරුම් ගන්න.

ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අද අපට බහුලව අසන්නට ලැබෙනවා. ඒ ධර්මය නිරන්තරයෙන් විවිධාකාර මාර්ග ඔස්සේ සුලභ ආකාරයට ලැබුණට යම්කිසි හානියක් එහි තිබෙනවා. ඒ තමා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තිබෙන එක වචනයක් සමහර විට එක එක ආකාරයට තේරුම් අරගෙන කියන්න පුළුවන්. ඒ වචනයම තව කෙනෙකුට තව ආකාරයට කියන්න පුළුවන්. එකිනෙකා උන්වහන්සේගේ ධර්මය තේරුම් ගන්නා ආකාරය වෙනස්. නමුත් තම තමන්ට තේරෙන විදිහට නොවේ එය සිදුවිය යුත්තේ. අවබෝධයෙන් වටහා ගන්නා ආකාරයටයි බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අප තේරුම් ගත යුත්තේ.

මෙය භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් වදාළා. ඛුද්දක නිකායේ සඳහන් වන මේ උපමාව වන්නේ ඇතෙකුගේ අංග අන්ධ පුද්ගලයන් එක් එක්කෙනා කියන්න උත්සාහ කරනවා. එක් අන්ධයෙක් ඇතාගේ කකුල් අතගාලා ඇතා වංගෙඩියක් වගේ කියනවා. තව අයෙක් ඇතාගේ නැට්ට අතගාලා කොස්සක් වගේ කියනවා. හොඬවැල අතගාලා මෝල්ගහක් වගේ කියනවා. බඩ අතගාලා කුල්ලක් වගේ කියනවා. එකිනෙකා ඇතාව අතගගා තමාට හිතෙන එක එක හැඩ කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළා ඒ එක අන්ධයෙකුටවත් ඇතාගේ හරි හැඩය කියන්න බැහැ. අලියාගේ හැඩය අලි හැඩය. ඇතාගේ හැඩය ඇත් හැඩය. ඒ අලි හැඩයෙන් සොයන්න නම් එයා අන්ධභාවයෙන් මිදෙන්න ඕන. නැත්නම් අන්ධයා අලියා අත ගගා සිතනවා මම මේ අලියාව අතගාලයි කියන්නේ. කවුරුවත් කොහොමද ඒක නැහැ කියන්නේ කියා ඔහු ඔහු තුළම විශ්වාසයක් ගොඩනඟා ගන්නවා. ඒ වගේ අත ගගා කිවුවත් කියන හැඩය තමාට හිතෙන ආකාරයට කියන්න ගියත් ඒක හරි හැඩය නොවේ. අලි හැඩය දකින්නනම් ඇස්දෙක ඇරෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළත් පංචඋපාධානස්කන්ධය කියන දේ කථා කරන විට එක එක්කෙනා විවිධාකාරව ඒක තේරුම් ගන්නේ. පංචඋපාධානස්කන්ධය තමාට හිතෙන දෘෂ්ඨියකින් තේරුම් ගත්තා කියා නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් පැහැදීමට ඇවිත් මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ ඇයි? එහෙම නැති වුණොත් තමන්ගේ ඇස් දෙක කවදාවත් හොඳ වෙන්නේ නැහැ. තමන් අන්ධභාවයේ ඉඳගෙනම අත ගගා කියනවා මේ පංචඋපාධානස්කන්ධය මේ වගේ එකක් කියා. අප පංචඋපාධානස්කන්ධය තුළ හෝ වේවා, ආයතන, ධාතු, පටිච්චසමුප්පාද ගැන සඳහන් වන කාරණා ඒ දේශනා ඇසුරෙන්මයි තේරුම් ගත යුත්තේ. ඒ දේශනා ඇසුරෙන් තේරුම් අරගෙන ඒ කාරණා ඒ දේශනාවලට අනුකූලවම නිරවුල්ව විනිවිදව අවබෝධ කරගන්න ඕන. ඒ ආකාරයට විනිවිදව අවබෝධ කරගන්නවා කිවුවේ බුදුරජාණන්වහන්සේ ගේ ධර්ම කරුණු පොතට හෝ දැනුමට සීමා කරන්න ඕන දෙයක් නොවේ. අවබෝධය කරා යන දහමක් කියෙන්නේ. ඔහුට මේ ලෝකයේ ජීවත් වෙද්දී, රූප බලද්දී, ශබ්ද අසද්දී, ගඳසුවඳ විඳිද්දී, රස, පහස විඳිද්දී, සිතද්දී ඒ සෑම තැනකදීම තමන් ධර්මය දැනගන්න කලින් කටයුතු කළ ආකාරයයි ධර්මය අවබෝධය වෙනවිට කටයුතු කරන ආකාරයයි සම්පූර්ණයෙන්ම දෙකක්. එසේ වන්නේ ධර්මය අවබෝධ කර ගන්න විට ලෝකය ගැන අදහස පුළුල් වෙනවා. ලෝකය ගැන අදහස පුළුල් වෙන්න වෙන්න ඔහු කටයුතු කරන්නේ ලෝකයත් සමඟ ඇලෙන ගැටෙන ආකාරයට නොවේ. ඇලෙන ගැටෙන විදිහට කටයුතු කරන නිසාමයි මේ ලෝකයේ සියලු දෙනාම ලිහා ගන්න බැරි ලෙස ගැටගැසී ගැසීයන්නේ.

අප දන්නවා බන්ධනාගාර ගත වූ බොහෝ දුක් විඳින දඬුවම් ලබන ඇතැම් රැඳවියන්ගේ ජීවිත කථා අසද්දී අපට තේරෙනවා ඒ අයට තිබෙන්නේ එක්කෝ ඇලීමක් දුරදිග යාම නිසා සිදුවූ ප්‍රශ්නයක්. නැත්නම් ගැටීමක් දුරදිග යාම නිසා සිදු වූ ප්‍රශ්නයක්. එතැනදී බලපා තිබෙන කාරණය මේ ලෝකයේ දී ඔවුන් ඇසෙන් රූපයක් දැකලා ඒ රූපය සමඟ කටයුතු කරද්දී ධර්මය පිළිබඳ අවබෝධයක් නැති නිසා ගැටගැහෙන ආකාරයට කටයුතු කරලා. ඔබ සිතන්න, කඹ දෙකක් තිබෙනවා. මේ කඹ දෙක එක සමාන වේගයකින් එකම පැත්තට කැරකෙනවා. කඹ දෙක එක සමාන වේගයකින් එකම පැත්තට කැරකෙනකොට මේ කඹ දෙකේ ඇඹරිල්ලත් කවදාවත්ම සිදුවන්නේ නැහැ. එය සාමාන්‍ය විදිහට කැරකි කැරකී තියෙයි. නමුත් මේ කැරකෙන කඹදෙක මැද්දෙන් යම් කෙනෙක් ලීයක් දැම්මොත් එදාට කැරකි කැරකි තිබූ කඹ දෙක ඇඹෙරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ඇසයි රූපයයි කියන්නේ ඇඹෙරෙන එකක් නොවේ. කැරකෙනවා. නමුත් ඇඹෙරෙන්නේ නැහැ. ඇඹෙරෙන්නේ ලීයක් නිසා.

යම්කිසි පුද්ගලයෙක් තම බිරිඳ වෙනත් පුරුෂයෙකු සමඟ සිටිනවා දැකීමම ඇති අර ස්වාමියා යක්ෂයෙක් කරන්න. ඒ ස්වාමියා යක්ෂයෙක් වෙලා තමාගේ අතට හසු වූ දෙයින් දෙදෙනාටම පහර දීලා හෝ මරා දමා මේ පුද්ගලයා අන්තිමට බන්ධනාගාර ගත වෙනවා. එහි දුක් විඳිනවා. අර මනුස්සයා හිරේ අවුරුදු ගණනක් දුක් විඳින්නේ ද්වේෂයෙන්. මම පාඩුවේ හිටියේ. හොඳින් ජීවත් වුණා. මාව විනාශ කළේ මාව යකෙක් කළේ මේ කාන්තාව කියන අදහසින්. අර පුද්ගලයාට නුසුදුසු දර්ශනය දැකීම් මාත්‍රයම සුළු මොහොතකින් මේ මනුස්සයාගේ අවුරුදු ගණනාවක් දුක්විඳින තත්ත්වයක් හැදුවා. ඒ දර්ශනය කෙරෙහි අවබෝධයක් තිබුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා තිබුණානම් එදා අර කඹ දෙක ඇඹෙරෙන්නේ නැහැ. එක කඹයක් තමා බලන ඇහැ. අනෙක් කඹය තමා අර ඇසට පේන දර්ශනය. පේන රූපයත් බලන ඇසත් කියන කඹ දෙක මැද්දට වැටෙනවා ලීයක්. ඒ ලීය තමා බලන රූපය ගැන අප කල්පනා කරන අනවබෝධ ක්‍රමය. අප හිතන්නේ පටු විදිහට. අපට සාධාරණකරණීය වෙනවා සුළු කාරණාවලටත්. ඒ සුළු කාරණා වලින් අප නිතරම විසඳුම් සොයන්නේ. ඒ විදිහට විසඳුම් සොයද්දී තමා අප ක්ෂණික ක්‍රියාත්මක වෙලා ඒ විසඳුම ගන්නවා. ඒක ඇලීමක් හෝ ගැටීමක් මුල්වෙලා ගන්න විසඳුමක්. අන්තිමට ඒ විසඳුමෙන් බොහෝ ගැට ගැහිලා ඇඹරිලා යනවා. ඒ ඇඹරෙන්න හේතුව අර ලීය නිසා.

අර මරණයට පත් වූ බිරිඳට පිටස්තරයෙකුගෙන් ආදරණීය බැල්මක් ලැබෙනවා. බැල්ම අභියස මේ කාන්තාව ගත් තීරණය ගන්නේ තමාගේ බලන ඇහැ එක කඹයක්. ඒ වගේම අර පුරුෂයාගේ දර්ශනය තව රූපයක්. ඔහු අර කාන්තාවගේ සිත පහදින සතුටුවන ආකාරයට දෙයක් කියනවා. එක්කෝ බලනවා. ඒ බලන දර්ශනය එක කඹයක්. බලන ඇහැ අනෙක් කඹය. මේ කඹ දෙක අතරට අර කාන්තාව කල්පනා කරන වැරැදි ක්‍රමය නිසා අර ලීයක් දා ගත්තා. ඒ ලීය දාගත්තට පස්සේ ඒ කාන්තාව මෙයට පිළිතුරු දෙන්නේ ඇලීම් සහගත විසඳුමක්. බිරිඳ ඇලීම් සහගත විසඳුමක් සොයද්දී සැමියා ගැටීම් සහිත විසඳුමක් සෙව්වා. අපට මේ වගේ සිදුවීම් නිතර අහන්න ලැබෙනවා.

එහෙනම් අප දැනගන්න ඕන ඔහේ පාඩුවේ ඇඹෙරෙන කඹ දෙකට මැද්දට ලීයක් නොදමා ඉන්න. ලීය ලෙස හඳුන්වන්නේ අනවබෝධයෙන් කල්පනා කිරීම. ඒ ක්‍රමය නිසා ඇඹරි ඇඹරී යනවා. ඒ ඇඹරිල්ල අපට සමාජයේ හැම තැනම තිබෙන්නේ. ඇසට රූපයක් දැක්කම, කණට ශබ්දයක් ඇසුනාම ඇඹරිලා ඉවරයි. නහයට ගඳසුවඳ දැනුනාම, දිවට රස දැනුනාම, කයට පහස දැනුනාම, සිතට සිතිවිල්ලක් ආවත් ඇඹරෙනවා. මෙසේ ඇඹරෙන නිසා ඉවරයක් නැති සංසාර ගමනක් අප ආවේ. ඒ නිසා මේ ඇඹරිල්ල ඉවර කරන්න නම් ලීය ගලවලා පැත්තකට දාන්න ඕන. ඒ අනවබෝධයෙන් කල්පනා කරන ලීයට බුදුරජාණන් වහන්සේ පාලියෙන් වදාළා අයෝනිසෝමනසිකාරය කියලා. මේ අයෝනිසෝමනසිකාරය නම් වූ ලීය ගලවලා දැම්මොත් එතැන තිබෙන්නේ යෝනිසෝමනසිකාරය යි. ඇසැත් රූපය සමඟ එකතු වෙලා ඇඹරිලා යන්නේ නැහැ. කණ ශබ්දයත් සමඟ එකතු වෙලා ඇඹරිලා යන්නේ නැහැ. මේවා එකකට එකක් ඇඹරෙන්නේ නැති තැන සැහැල්ලුවක් නිදහසක් සරලබවක් තිබෙනවා. ඒ නිදහස සරලබව සැහැල්ලුව සැපයක් වෙනවා. එසේ නැතිතැන තිබෙන්නේ දුකක් පමණයි.

එනිසා ඔබට මේ යෝනිසෝමනසිකාරය ඇතිකරගෙන අවබෝධයෙන්ම ජීවිත් වීමට මේ දහම් කරුණු උපකාරි වේවා.