Print this Article


ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

මේ වසරේ (2014) සැප්තැම්බර් මස 17 වැනිදාට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළ වන විශේෂ ලිපි පෙළකි. අද පළවන්නේ එහි තෙවන කොටසයි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

ජූලි 26 සහ අගෝස්තු 4 දා පත්‍ර හා සම්බන්ධයි

අවුරුදු තුන්සියයක පමණ විදේශීය පාලනය නිසා අප රටේ සිංහල බෞද්ධ හැදියාව ඉතා දරුණු අන්දමින් පරිහානියට පත්වී තිබුණු යුගයකි. සිංහල බෞද්ධ සිරිත් විරිත් වෙනුවට බටහිර පන්නයට හැඩගැසුණු විශේෂයෙන් නාගරික උගතුන් යැයි සම්මත මිනිසුන්ගේ හැදියාව තුළ ඒ දේශීයත්වය යටපත්වී පරගැති භාවය මතු වී තිබුණි. පරසිරිත් වැලඳ ගෙන සිංහල බෞද්ධ ජනතාව පරිහානියට පත්වී තිබුණූ සමයක අනගාරික ධර්මපාල නමින් පසු කලෙක ලෝක පූජිත වූ විශ්ව කීර්තියට පත්වු මේ වීරෝදාර බෝධිසත්ව ගුණෝපේත සිංහල දේශයේ මහා විමුක්තිදායකයාණෝ බිහිවූහ.

එකල පැවති පුරුද්ද අනුව අන්‍යාගමික විද්‍යාලයන්හි ඉංගී‍්‍රසි ඉගෙනීමෙහි යෙදුණු මෙතුමා ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රයෙහි ස්වදේශිකයෙකුට ලබාගන්නට හැකිවූ උසස්ම තත්ත්වයක තනතුරවූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකාර තනතුරකට පත්වූහ. එකල කොළඹ නාගරික සමාජයෙහි නවීන පන්නයට හැඩ ගැසුණු උසස් ධනවත් පවුලක ළමයෙකුට ලබන්නට හැකි සෑම පහසුකමක්ම මෙන්ම ධන නිල බලයෙන් ලැබිය හැකි සෑම සාමාජික වරප්‍රසාදයක්ම නිර්යාසයෙන්ම මෙතුමාට ලැබුණි.

අප රටේ අග්‍රගන්‍යවූ වීරයෙකු බවට අනගාරික ධර්මපාලතුමා පත්වූයේ මෙවැනි දැයින් උදම් නොවී ජාතික ආගමික සම්ප්‍රදායට බෞද්ධ සම්ප්‍රදායට නිගා දෙමින් ජීවත් වූ සිංහල බෞද්ධ ජනතාව අමුතුම මගකට යොමු කිරීමට සමත්වූ නිසාය.

අනගාරික ධර්මපාලතුමාගේ විශේෂ පරිශ්‍රමය නිසා කොටහේනේ විහාරස්ථානයේදී හමුවූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේත් මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහිදී මුණගැහුණු හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සෙගේත් ආශ්‍රය නිසාද බුදුසමය කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න ඇල්මක් මෙතුමා තුළ පහළ වූයේ විදේශීය බලපෑම්වලට හිස නොනමා ස්වාධීන අදහස්වලින් යුතුව සිටියේ ජාතික ආගමික දායාදය රැක ගැනීමට සටන් කරන්නෙකු ලෙස සිය දක්ෂතාව කුඩා කල සිටම මැනවින් ගෙන හැරපෑවේය. පානදුරාවාදයේදී බෞද්ධයන් ලත් ජය අසා මෙරට බෞද්ධයන්ට රුකුල්දී බුදුසසුන නැවතත් බබුළුවා ලීමට ආ ඇමරිකන් ජාතික කර්නල් ඕල්කොට් තුමා සමඟ දේශ සංචාරයේ යෙදී ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමට කෙනෙකු වුවමනා වූ විට සිය රැකියාව හැරදමා සමාජ සේවයට සම්බන්ධ වූ මෙතුමා පුරා අවුරුදු 47ක්ම සිය ජිවිතය ඊටම කැප කරමින් ගත කළහ. ඒ වූකලී දුක්කම්කටොලු හිරිහැර කරදර සිත් රිදුම් ආදියෙන් ගහන වූ දිවියකි. මෙතුමාගේ ජීවිතයෙහි ඒ ඒ අවස්ථා විවරණය කළ ගරු සංඝ රක්ෂිත හිමියෝ වරෙක බෝධිසත්වවරයෙකු විසින් පිරිය යුතු දස පාරමිතාවන් මෙතුමා එක ජීවිත කාලයක් තුළදී පුරවා ඇතැයි හේතු සහිතව ප්‍රකාශ කළහ. (ධර්මපාල ලිපි අනගාරික ධර්මපාලතුමාගේ ලිපි සංග්‍රහයකි ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ සංඥාපනය – 1991 )

අප රටේ ඉතිහාස පොතෙහි අනගාරික ධර්මපාල තුමා පිළිබඳ ඉතා දීර්ඝ පරිච්ඡේදයක් වෙන්කළ යුතුව ඇත. අප රටේ මේ වන විටත් විද්වතුන් රැසක් විසින් අනගාරික ධර්මපාල තුමා පිළිබඳ ලියා ඇත.

අනගාරික ධර්මපාලතුමා ගේ ආගමික හා සමාජ සේවාව භාරත දේශයේ සහ ශ්‍රී ලංකාවේ සිදු කළ බව රහසක් නොවේ. එසේ වුවද භාරත දේශයේ (පුරාණ ජම්බුද්වීපයේ) සිදුකළ ආගමික සමාජ සේවාව ලොව පුරා යළිත් වරක් සිදු කළ යුතුව ඇත. එතුමා විසින් සිදු කළ ඒ සේවාව කළ නොහැකිවූ බවද අවිවාදිතවම පිළිගන්නා කරුණකි.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම සන්නිවේදනය ලොවපුරා ප්‍රචාරය කර හැරීමේදී සම්බුද්ධ පරිනිර්වාණයට වසර 200 පමණ පසුව තවත් ශ්‍රේෂ්ඨ නරපතියෙක්, අධිරාජයෙක් ගංගා නිම්නය ආශි‍්‍රතව පාඨලී පුත්තයෙහි (නූතන පැට්නා) රජ වුයේය. එතුමා නමින් අසෝක රජතුමා (ක්‍රි.පූ. 272-232) ය. පසුව ධර්මාශෝක නමින් ප්‍රකට විය. එතුමාගේ පාලන කාලයේදි පුරාණ භාරතය පුරා ගෙන ගිය ධර්ම විජය ප්‍රතිපත්තිය ඉතා ප්‍රකටය. ඒ යටතේ අනාගතය සඳහා බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතය හා සම්බන්ධ වු පුදබිම් රැසක්ම නැවත මෙකල පවා හඳුනා ගැනීමට හැකිව ඇත්තේ අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ස්තම්භ මෙන්ම ගොඩනගන ලද දාගැබ් වෙහෙර විහාර නිසා බව දඹදිව පුදබිම් පිළිබඳ විමසා බලනවිට පැහැදිලි වෙයි.

එම කාර්යයට පමණක් දෙවැනි වන දඹදිව බොදු පුදබිම් නැවත බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට මෙන්ම ඒවා දැක ගැනීමට වාසනාව උදා වූයේ (බුද්ධගයාව බේරාගත් අයුරු පසුව විස්තර කරනු ලැබේ) ඒ උදාරතර බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා නිසාය. අසෝක රජතුමාගේ නැවත උප්පත්තියක් ලෙසින් අනගාරික ධර්මපාලතුමා හඳුනා ගැනීමට කිසිදු බාධාවක් නැත . අසෝක රජතුමාගේ ජීවිතයේ අවසාන භාගයේදී බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධින්වහන්සේ පිළිබඳ ඉතා දැඩි භක්තියකින් හා ශ්‍රද්ධාවකින් සිටි බව අප රටේ ලියැවුනු මහාවංසයේ සඳහන් පුවතකි. සංසාරගත පුරුද්දක් නිසා අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව අන්‍යාගමිකයින්ගේ තර්ජනවලින් බේරාගැනීමට ගෙන ගිය සටන කිසිදු පෞද්ගලික ලාභපේක්ෂාවකින් තොරව ඉටු කළ මෙහෙයක් බව ලොවම පිළිගනී. (ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය – පි. 317–318 සමුද්‍ර ප්‍රකාශන 2014)

මතු සම්බන්ධයි