Print this Article


ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - අභ්‍යාසය -13

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - අභ්‍යාසය -13

1 සිට 10 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

01. වැරැදි පිළිතුර වරහන් තුළින් තෝරා තනි ඉරකින් කපා දමන්න

(අ) බුද්ධ කාලයේ විසූ ශාස්තෘවරුන් අතුරින් ආජීවක සම්ප්‍රදායේ නායකයා ලෙස (නිගණ්ඨනාථපුත්ත/මක්ඛලී ගෝසාල) සලකනු ලැබේ .

(ආ) සිදුහත් තවුසාණෝ (චිත්ත ඒකාග්‍රතාවය /ක්ලේශ ප්‍රහාණය) මගින් සම්‍යක්සම්බෝධිය ලැබූහ.

02. (අ) පස්වග භික්ෂූන් වහන්සේලා නිර්වාණය සාක්ෂාත් කරගත්තේ අනිත්‍ය,දුක්ඛ,අනාත්ම ලක්ෂණ විස්තර කරන (චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව /අනත්තලක්ඛණ සූත්‍ර ධර්ම දේශනාව ) ශ්‍රවණය කිරීමෙනි.

(ආ) යසකුල පුත්‍රයා තුළ (ශ්‍රද්ධාව /කලකිරීම) ඇති කිරීමෙන් පසු බුදුරජාණන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක.

03. (අ) ජනතාවට පූර්ණ සේවාවක් කළ හැක්කේ (දැන උගත් / සියලු බැඳීම්වලින් මිදුණ) අයෙකුට බව ප්‍රථම ධර්ම දූත පිරිසට බුදුරජාණන් වහන්සේ දුන් උපදෙස් තුළින් ප්‍රකට වෙයි.

(ආ) භික්ෂූන් වහන්සේලාට ලාභ සත්කාර වැඩි වශයෙන් ලැබීම භික්ෂු සමාජයේ (දූෂණයට /අභිමානයට) හේතුවන බව විනය පිටකයෙහි දැක්වේ.

04. (අ) මහල්ලෙකු තරුණියක සරණපාවා ගැනීම දියුණුවට හේතු නොවන බව සඳහන් වන්නේ (වසල/පරාභව) සූත්‍රයේය.

(ආ) ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි “සම ජීවිකතා” නමින් දක්වා ඇත්තේ (ධාර්මික දිවි පැවැත්මයි /සමබර අය වැයක් ඇති කර ගැනීමයි)

05. නිවැරැදි පිළිතුර වරහන් තුළින් තෝරාගෙන හිස්තැන පුරවන්න

(අ).............(තම්බදාඨක/කාලි යක්ඛිනී) යථා ප්‍රවෘත්තියෙන් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව ප්‍රකට වෙයි.

(ආ) මිනිසුන් අතර ඇති වන විවිධ අදහස් දෙව් බඹුන් පවා සාකච්ඡා කළ බව ........(මංගල /ධම්මික) සූත්‍රය පිළිබඳ විමසීමෙන් පැහැදිලි වෙයි.

06. (අ) තවුසා කෙරෙහි සෙනහසින් බැදුණ නා රජු .......(දරණ වලින් තවුසා වෙලාගත් බව /ගෙලේ බැඳි මැණික තවුසාට දුන් බව) මණිකණ්ඨ ජාතකයෙහි සඳහන් වෙයි.

(ආ) මුල්ම අසුන, මුල්ම පැන්, මුල්ම ආහාර ලැබිය යුත්තේ ..........(රහතන් වහන්සේ / වැඩිමහල් භික්ෂුව ) බව තිත්තිර ජාතක කථාවෙන් පෙනේ.

(07) වරහන් තුළ ඇති නිවැරැදි පිළිතුර යටින් ඉරක් අඳින්න

(අ) සාලිකේදාර ජාතකයෙහි සඳහන් වන ලෙස “ඉඹුල් වනයට පැමිණ එහි නිධානයක්ද පිහිටුවමි” යයි බෝසත් ගිරවා ප්‍රකාශ කළේ පින් කැමැත්තෙන් (ඉතා දුබල කුරුල්ලන්ට /මහලු මව්පියන්ට) ආහාරදෙන බවයි.

(ආ) (සැරියුත් තෙරුන් වහන්සේට සෙනසුන් ලබා නොදීම / නෑයන්ගේ යහපත පිණිස ක්‍රියාකාරීම) මුල් කොට බුදුරජාණන් වහන්සේ විසින් මහා කපි ජාතකය දේශනා කළ සේක.

(08) සිංහලයට නගන්න

(අ) අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සන්ත්තනො

(ආ) අත්තනෝව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච

(09) පහත සඳහන් අදහස ඇති ධම්මපද ගාථා ලියන්න

(අ) සිදුරු නැතිව එකසේ ඝන වූ පර්වතයට සුළඟින් නොසැලෙන්නේ යම් සේද ,එමෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසාවන්හි කම්පා නොවෙති.

(ආ) එක් ගාථා පදයක් අසා කෙලෙස් සංසිදේද , අනර්ථය පිණිස වන ගාථා දහසකටත් වඩා එක් ගාථා පදය උතුම්ය.

(10) “අ” කොටසේ යෙදුමට ගැළපෙන යෙදුම “ආ” කොටසෙන් තෝරා හිස්තැන තුළ ලියන්න.

අත්තානං දමයන්ති පණ්ඩිතා ..............මසුරු තැනැත්තා

ලකුණ්ටකභද්දිය තෙරුන් ..................බරණැස බඹදත් රජු

කෝසිය සිටුවරයා .............වැඩිහිටියන් පිදීම

පුෂ්පක ගිරවා .................නුවණැත්තෝ තමන් දමනය කර ගනිති.

අඹත් වඳුරු මසුත් කමු.............ඉතා මිටි සිරුරක් ඇත්තෙකි

තිත්තිර ජාතකය................තවුසන් සමග විසීම

පිළිතුරු

1. අ.නිගණ්ඨනාථපුත්ත
ආ චිත්ත ඒකාග්‍රතාව

2. අ.චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව

ආ. ශ්‍රද්ධාව

3. අ.දැන උගත්

ආ. අභිමානයට

4. අ.වසල

ආ .ධාර්මික දිවි පැවැත්මයි

5. අ. කාලි යක්ඛිනී

ආ. මංගල

6. අ.දරණ වලින් තවුසා වෙලාගත් බව

ආ. වැඩිමහල් භික්ෂුව

7. අ.ඉතා දුබල කුරුල්ලන්ට

ආ. නෑයන්ගේ යහපත පිණිස ක්‍රියා කිරීම

8. අ.අවෛරයෙන්ම සංසිදේ. මෙය හැමකල්හිම නොවරදිනා සුළු (සනාතන ) සත්‍ය ධර්මයෙකි.

ආ . තමා විසින්ම කළදේ ද නොකළදේද විමසා බැලිය යුතුය.

9. අ. සේලෝ යථා ඒකඝනෝ
වාතේන න සමීරති
ඒවං නින්දාපසංසාසු
න සමිඤ්ජන්ති පණ්ඩිතා

ආ. සභස්සම පි චේ ගාථා
අනත්ථපද සංහිතා
ඒකං ගාථාපදං සෙය්‍යා
යං සුත්වා උපසම්මති

10. නුවණැත්තෝ තමන් දමනය කර ගනිති
ඉතා මිටි සිරුරක් ඇත්තෙකි
මසුරු තැනැත්තා
තවුසන් සමඟ විසීම
බරණැස බඹදත් රජු
වැඩිහිටියන් පිදීම

ii කොටස

2. 1.පැවිද්දට නුසුදුසු පුද්ගලයන් 4 දෙනෙකු නම් කරන්න

2.ඒහි භික්ෂු පැවිද්ද හා ඤත්ථි චතුත්ථ පැවිද්ද පැහැදිලි කරන්න.

3. 1.භික්ෂූන් වහන්සේලාගේ “උපෝසථ කර්මය” හා බැඳුණු “උපෝසථ දින” හතර නම් කරන්න

2.උපෝසථ සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කළ යුතු පුබ්බකරණ පිළිබඳ කෙටි විස්තරයක් කරන්න.

පිළිතුරු

2. 1. පැවිදි වීම යන්නෙහි සරළ අර්ථය උසස් ගමන යන්නය. පස්කම් සැපතින් නික්ම යාම යන අදහසද ගෙන දේ. විනය පිටකයෙහි පැවිද්දට නුසුදුසු පුද්ගලයන් ලෙස දක්වා ඇත්තේ.

ඉතා ළාබාල දරුවන්
කුෂ්ට, දද ආදි රෝගීන්
රාජ භටයන්
හොරුන්
සිරගෙයින් පැන ගියවුන්
ණයකරුවන්
අධිකරණයේ නම ලියවී ඇති අය
කස පහර ලැබූ අය
දාසයන්
දෙමව්පිය අනුමැතිය නැති අය
අතක් නැති අය
පයක් නැති අය
අතක් හා පයක් නැති අය
ශරීරයේ සලකුණූ ඇති අය
කනක් නැති අය
ඇඟිලි අග කැපූ අය
ඇඟිලි අග කැපූ අය
ඇඟිලි කැපූ අය
ඇඟිලි බද්ධ අය
මිටි අය
බරවා පාද ඇති අය
විරූපි අය
අත් පා කොර අය
අංශභාග රෝගීන්
ජරා දුර්වල අය
ගොළුවන්
අඳ, ගොළු, බිහිරි අය
කුදු අය
බෙල්ලේ ගෙඩි ඇති අය
ඇස් අන්ධ වූවන්
බිහිරන්
ආදී අයගෙන් සතර දෙනෙකු නම් කිරීම

2.ඒහි භික්ඛු චර බ්‍රහ්ම චරියං සම්මා දුක්ඛස්ස අනන්ථ කිරියාය” මහණ මෙහි එන්න. සියලු දුක් බැහැර කිරීම පිණිස බ්‍රහ්ම චරියාවේ හැසිරෙන්න යනුවෙන් බුදුරදුන් තමන්ගේ දකුණු හස්තය දිගු කර අමතනවා සමඟම කෙස් රැවුල් අතුරුදහන් වී කසාවත් වස්ත්‍රදාරීව පැවිද්දෙකු ලෙසින් පෙනී සිටීම ඒහි භික්ෂු පැවිද්ද නමින් හඳුන්වනු ලැබේ. කොණ්ඩඤ්ඤ තවුසා ඇතුළු පස්වග තවුසන් යසකුල පුත්‍රයා ඇතුළු යහළුවන් 54 දෙනා භද්දවග්ගිය කුමාරවරු ජටිල සහෝදරවරු පැවිදි බව ලැබුවේ මෙකී පැවිද්දෙන්ය.

ඤත්ථි චතුත්ථ පැවිදි උපසම්පදාව යනු දැන්වීමක් කොට පැවිදි උපසම්පදාව ලබා දීමයි. රාධ නමැති බමුණෙකු පැවිදි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මෙම ක්‍රමය අනුගමනය කළහ. වර්තමානයේදී පැවිදි උපසම්පදා කරනු ලබන්නේ මෙම ක්‍රමයෙන්ය. ඤත්ථි චතුත්ථ පැවිදි උපසම්පදා ක්‍රමයේදී බලපානු ලබන කරුණු 05 ක් තිබේ. එනම්

1.වත්ථු සම්පත්තිය
2.ඤත්ථි සම්පත්තිය
3.අනුසාවක සම්පත්තිය
4.සීමා සම්පත්තිය
5.අරිස සම්පත්තිය යනු එසේ බලපාන කරුණුය.

3. 1. පසළොස්වක
අමාවක
පුර අටවක
අව අටවක යනුවෙනි.

2.ප්‍රාතිමෝක්ෂ දේශනයට පෙර අවස්ථා 03 කදී මූලික කටයුතු සම්පූර්ණ වී තිබේදැයි පරික්ෂා කරනු ලැබේ. ප්‍රථම වරට කරුණු 04 ක් ඉටු කර තිබිය යුතුය.

1.සීමා මාලකය ඇමදිය යුතුය
2.පහන් දැල්විය යුතුය
3.බීමට හා පා සේදීම ආදියට අවශ්‍ය පැන් තැබිය යුතුය
4.ආසන පැනවිය යුතුය
මෙම කරුණු සතර උපෝසථය සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කළ යුතු හෙයින් පුබ්ඛ කරණ නමින් හැඳින්වේ.

ස්වයං අධ්‍යයනය සඳහා ආදර්ශ ප්‍රශ්න

4. 1. පරාභව සූත්‍රය දේශනාවට අදාළ නිධාන කථාව ලියා දක්වන්න

2. පරාභව සූත්‍රයේ දැක්වෙන පුද්ගලයෙකුගේ පිරිහීමට හේතු වන කරුණු 10 ක් නම් කරන්න.

3.ධර්මයට ද්වේශ කරන පුද්ගලයා පිරිහෙන අයුරු පැහැදිලි කරන්න.

5. 1. මංගල සූත්‍රය දේශනා කිරීමට හේතු වූ නිදාන කතාව ලියා දක්වන්න.

2.මංගල සූත්‍රයේ මංගල කරුණු කෙතෙක් පෙන්නුම් කර තිබේද? ඉන් 10 ක් ලියා දක්වන්න.

3.පුද්ගලයෙකුගේ මෙලොව, පරලොව , දෙලොවට මංගල කරුණු ඉවහල් වන අයුරු පෙන්වා දෙන්න .

6. 1.ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි නිධානය කෙටියෙන් ලියා දක්වන්න

2.එම සූත්‍රයේ පෙන්නුම් කරන ආකාරයට මෙලොව පරලොව දෙලොවට හේතුවන කරුණු මොනවාද?

3.මෙම සූත්‍රයෙන් පෙන්නුම් කරන ආකාරයට පුද්ගලයෙකුට අභිවෘද්ධිය සලසා ගත හැකි ආකාර ගැන පැහැදිලි කරන්න.