Print this Article


දම්පද මිහිර 02

පහන් සිතට නිරතුරු ගෙන දේ සසර දිවිසුරු

සැවැත්නුවර කියන්නෙ සශ්‍රීක නගරයක් ජේතවනාරාමය, පූර්වාරාමය දෙකම තිබුණේ මේ නුවර සොඳුරු තැන්වල විශාල ශ්‍රාවක පිරිසක් සමඟ බුදුහාමුදුරුවො මේ නුවර වස්කාල 25 ක් ගත කරල තියෙනව.

ජනගහණයත් කෝටි හතක් පමණ ජීවත් වුනා කියලයි සඳහන් වෙන්නෙ. ඒ අතරින් කෝටි පහක් පමණ තෙරුවන් සරණ ගිය අය දනට, පිනට බොහොම ලැදියි. පන්සල්වලට සිව්පසයෙන් අඩුවක් නෑ වගේම බුදුන් පුදන්න ගෙනෙන ලස්සන සුවඳ මල්වලින් අඩුවක් තිබුණෙත් නෑ.

මේ නගරෙ තෙරුවන් සරණ නොගිය පිරිස අතරෙ හිටිය මහා කෝටිපතියෙක් අදින්නපුබ්බක කියල. කෝටිපතියෙක් වුනාට එයා මහා මසුරෙක්. ඒ මසුරුකම කොපමණ දරුණුද කියනව නම් තමන්වත් හරියට වේලක් කෑවෙ නෑ. පිළිවෙළකට ඇඳුමක් ඇන්දෙ නෑ. බිරිඳට වගේම එකම දරුවටවත් ජීවත්වෙන්න සිදු වුනේ ඒ විදියටමයි.

සෑම කෙනෙකුගේම වගේ ගෙල බැඳි කුණ්ඩලාභරණයක් දකින්න ලැබුණ. රන්කරුවෙක් ඒ ආභරණය හදන්න ලොකු මුදලක් අය කරනව. මේ මසුරු පියා පුතාගෙ කුණ්ඩලාභරණය හදන්න රන්කරුවන්ට වියදම් කළේ නෑ. තමාගෙම ඉසුරු වලින් රන් කැබැල්ලක් අරගෙන, තමාට පුළුවන් විදියට තලල තැල්ලක් හැදුව. දරුවට පැළැන්දුවෙ ඒක. තාත්ත කිසිවෙකුට නොදුන් නිසා අදින්නපුබ්බක කියල ප්‍රසිද්ධ වුනා වගේම, මට කොඬොල් කුණ්ඩලාබරණ පළඳනාව නිසා පුතාට කීවෙ මට්ටකුණ්ඩලී කියල.

පුතාගෙ වයස අවුරුදු 16 දී ඔහුට පාණ්ඩු රෝගය හැදුන. තාත්තා පුතාට ආදරෙයි. සුව කරගන්නත් ඕන. ඒත් දැඩි මසුරුකම නිසා වෛද්‍යවරුන්ටවත් බෙහෙත් වලටවත් වියදන් කරන්න හිතක් ඇති වුනේ නෑ.

මේ මසුරු මනුස්සය වෙද මහත්තුරු හමු වෙන්න ගිහින් ටිකක් කතා කර කර ඉඳල මේ වගේ රෝග ලක්ෂණ තියෙන දරුවන්ට මොනවගේ බෙහෙත්ද දෙන්නෙ ‘කියලත් අහනව. කියන බෙහෙත් වර්ගවල නම් අහගෙන ඉඳල කැලේ පුරා ඇවිද ඇවිද තනියම බේත් හොයනව. අහගත්තු විදියට කොටල අඹරල බොන්න දෙනව. ඒත් ලෙඩේ හඳුනගෙන කෙරෙන බේතක් නොවන නිසා පුතාගෙ තත්වය දවසින් දවස බරපතළ වුනා. අන්තිමට තමයි වෛද්‍යවරයෙක් ගෙන්නුවෙ පුතා බලන්න. ඔහු කීව මට නම් දැන් කරන්න කිසිම දෙයක් නෑ කියල.

ලෙඩා බලන්න එක්කෙනා දෙන්න ගෙදරට එන්න ගත්ත.ඇතුළුගේ තියෙන මහා සම්පත් එන අයට පේන නිසා මේ මසුරු තාත්ත කල්පනා කළා. ලෙඩා වෙන තැනක තියන්න. බැලුව බැලුව කොතන තිබ්බත් වටින දේමයි වටේ තියෙන්නෙ. අන්තිමට දරුවට හිමි වුනේ පිටත ආලින්දය දරුවට ආදරය නැතුව නෙවෙයි. මසුරුකම කියන මනෝභාවයේ හැටි තමයි ඒ.

ඔබත් මාත් සරණ ගිය බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දර මහා කරුණා සමවතට සමවැදිලා ලොව දිහා බලනකොට කුසල බල වැඩී ඇති හික්මීම ලැබිය හැකි මේ දරුව දකින්න ලැබුණ. උන්වහන්සේ නුවණින් විමසන විට පෙනුනෙ ඔහු බුදුන් දැකීමෙන් පහන් සිත්ඇතිකර ගෙන මහත් සම්පත් ඇති දිව්‍ය ප්‍රතිලාභය ලබන බව මසුරු තාත්තටත් පුතා නිසා ජීවිතාවබෝධය ලැබෙන හැටි බුදු නුවණට පේනවා.

එදා බුදු හාමුදුරුවො ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන පිණ්ඩපාත චාරිකාවෙ වැඩම කළේ මට්ටකුණ්ඩලීගෙ නිවස දිසාවටත් ලෙඩ ඇඳ ළඟට වැඩම කළත් බිත්තිය පැත්තට හැරී වැතිරී සිටිය දරුවට උන්වහන්සේ පේන්නෙ නෑ. ඒත් එක්කම බුදුරැස් දහරාවක් බිත්තියට වැටී ආලෝකමත් වුනා. දරුවගෙ අවධානය ආලෝකය දිගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දෙසට යොමු වුනා. ? උන්වහන්සේ ඇඳ ළඟ බැබළි බැබළී වැඩ සිටිනව.

බුදුන් වහන්සේ ගැන අසා තිබුණත් බණක් අහන්න, දනක් පිනක් කරන්න අවසරයක් කිසි දිනෙක තාත්තගෙන් නොලැබීම ගැන මට්ටකුණ්ඩලීට කළකිරීම ඇති වුනා. ඒ සිතිවිලි යට කරගෙන බුද්ධාලම්බන පී‍්‍රතිය මතු වුනා. බුදුන් වඳින්න දෑත එකතු කරගන්නවත් පණ නැති ඔහු, බුදුරුව දෙසම බලාගෙන හිටියෙ බුදු එළිය පිරුණු සිතින්මයි. උන්වහන්සේගේ දර්ශනය තුළදීම මේ පුතා මිය ගියා.

මට්ටකුණ්ඩලී නිදාගෙන පිබිදුනා වගේ ඕපපාතික දෙව්ලොව පහළ වුනේ මහා දිවඉසුරු ඇතුවමයි. පරිසරය හඳුනාගෙන අවබෝධය ලැබුණට පස්සේ දෙව්ලොවෙහි උපදින්න කුමක්ද මා කළ කුසල කර්මය කියල නුවණින් විමසා බැලුව. මිනිස්ලොවේදි අවසන් නිමේශය ගෙවුණූ හැටි සිහි වුණා. බුදුන් වහන්සේ කෙරෙහි ඇති වූ අචල ශ්‍රද්ධාව මේ දිව ඉසුරු ලැබීමට හේතුව බව ප්‍රත්‍යක්ෂ වුනා. සාදු සාදු කියල දෙව්ලොවේ ඉඳගෙන නැවතත් දෙව්රම් වෙහෙර පැත්තට වන්දනා කළා. ඊට පස්සෙ බැලුව පෙර බවේදී හමු වී සිටි කෝටිපති මසුරු තාත්ත කෝ කියල. තාත්ත ඉන්නව අඬ අඬා පුතාගෙ සොහොන ළඟ.

මසුරුකම මොන තරම් බලවත් වුනත් දරු කැක්කුමත් බලවත්. එකම පුතත් අහිමි වුනාට පස්සෙ දරුවගෙ අම්ම ඔහු ඉදිරියේ මොන තරම් වේදනාවකින් අඬා වැටෙන්න ඇත්ද. ගමේ නගරෙ මිනිස්සු මොනතරම් අවඥාවෙන් ඔහු ගැන කතා කරන්න ඇත්ද. ඇතුළත ගින්නෙන් දැවෙමින් සිටි ඔහුට බාහිරින් එන ගින්නත් බලවත් වුණා. දැන් පුතා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ඔහු සූදානම්. ඒත් දැන් පුතා මිය ගිහින්.

මනුස්ස ලෝකෙදි තෙරුවන් පිළිබඳව ඇතිවන ශ්‍රද්ධා මාත්‍රයක් වුවත් දිව ඉසුරු ලබන්න තරම් උපකාර වෙනව නම්, ඒ ශ්‍රද්ධාවේ පිහිට අවබෝධයෙන් යුතුව කාය සමාචාර වචී සමාචාරයෙහි යෙදෙනව නම් මොන තරම් ප්‍රතිලාභයක් ලැබෙයිද? ශ්‍රද්ධාවෙන් ඒ ධර්මය අවබෝධ කළොත් මොනතරම් භාග්‍යයක් උදා කරගන්න පුළුවන්ද. ඒත් තණ්හාවේ ගිලීගෙන, ඇලීගෙන තමා සතු ධනයෙන් පමණක් වත් ගිලිහෙන්න නොදි ඒ ගැනම හිත හිතා දවස ගෙවන අදින්නපුබ්බක තාත්ත ගැන අනුකම්පාවක් ඇති වුනා.

මිය ගිය තරුණ මට්ටකුණ්ඩලීට සමාන මිනිස් රුවක් මවාගෙන, තාත්ත හඬමින් සිටින කනත්තටම ඇවිත් හිස අත් බැඳගෙන ඉකි බිඳිමින් අඬන්න පටන් ගත්ත. ඒ රුව දුටු විට බමුණගෙ දරු සෙනෙහස තවත් වැඩි වුනා. ළඟට දුවගෙන ගියා.

“සිනිඳු ගත සඳුන් සුවඳ ගල්වගෙන, මල්දම් පැළඳගෙන ,මගේ මට්ටකුණ්ඩලී වගේම රුවක් ඇති ඔබ කවුද? ඇයි පුතේ අඬන්නෙ? මට කළ හැකි දෙයක් නම් කියන්න. කරල දෙන්නම්.

”රනින් කළ ලස්සන කරත්තයක් මට ලැබුණ. ඒත් ඒකට රෝද දෙකක් නැහැ. ගැලපෙන රෝද දෙක ලැබුණොත් මා ජීවත් වෙනව. නොලැබුණොත් මා මියැදෙනව“ කියමින් ඔහු යළිත් අඬන්න පටන් ගත්ත.

“ පුතේ ,ඔබට රනින්ද මැණිකෙන්ද රිදියෙන්ද නැත්නම් වෙනත් ලෝහයකින්ද රෝද දෙක ඕන? මට කියන්න මම හදල දෙන්නම් “අදින්නපුබ්බක ඇහුව.

“නෑ මට ඒ ඒකක්වත් එපා.මට ඕනේ අර බටහිර අහසෙ ගිලීයන ඉරයි නැගෙනහිර අහසෙ මතුවීගෙන එන හඳයි දෙක”

”මේ දරුව හරි මෝඩයි . ඒව කවදාවත් ලැබෙන දේවල්නෙවෙයි. මිය යන්න තමයි වෙන්නෙ”

“මම අඬන්නෙ පාටත් දෑසමට පේන. ගමන් මගත් පේන දෙයක් ඉල්ලල. ඔබ අඬන්නෙ දරසෑයක දැවීගිය, නොපෙනෙන දරුවෙක් ඉල්ලල. මමද මෝඩ නැත්නම් ඔබද?”

අදින්නපුබ්බක නිහඬ වෙල කල්පනා කළා. තමාගෙ අනුවණ ක්‍රියාව ගැන අවබෝධ වුනා. හිත සැනසුනා. ඒ එක්කම මේ තරුණය ගැන සැකයක් වගේම ගෞරවයක් ඇති වුනා.

“ගිතෙලක් වගේ ගිනිගෙන තිබු මගේ සිත ඔබේ වචන වලින් නිවි ගියා. හදවතේ ඇනී තිබු වේදනාවේ උල ඔබ ගලවා දැම්ම. ඇත්තටම ඔබ කව්ද? දෙවියෙක්ද ගාන්ධර්වයෙක්ද නැත්නම් සක් දෙවිඳුද?

”යම් කෙනෙක් මියගොස් චිතකයේ දේහය දවා ඒ වෙනුවෙන්ම ඔබ හඬා වැටෙනවද? ඒ පුතණුවන් තමයි මම. බුදුරජාණන් වහන්සේ දැකල පැහැදුණු සිතින් මිය ගිය මා දෙවියන් අතරට යන්න භාග්‍යවන්ත වුණා.”

මේ වචන ටික ඇහෙන කොට ඔහුගෙ මුදිතා ගුණයෙන් සිත පිරී ගියා. සතුටු සිත් ඇතිව ඇඟ කිලිපොලා ගියා. “සාදු..සාදු.. මම තෙරුවන් සරණ යනව. දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරනව. මගේ ගුරුවරයා ඔබයි.”

මට්ටකුණ්ඩලී දිව්‍යපුත්‍රයා එතැනින් අතුරුදන් වුනේ තාත්තට මේ අවවාදයත් කරල. “ඔබ ගෙදර යන්න. බුදුපාමොක් මහා සංඝයාට දන් දෙන්න. බණ අහන්න. ඔබ සතුව ඇති ධනයෙන් දන් පින් කරන්න. ජීවිතය ජයගන්න”.

ඔහු ඒ උපදෙස් පිළිගෙන එදාම දෙව්රම් වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේට හෙට දනට වඩින්න කියල ආරාධනා කළා. මහා කරුණාවෙන් ආරාධනාව පිළිගත් උන්වහන්සේ දානයට වැඩම කරළ දන් වැළඳුව. වළඳල අවසන් වුනාම අදින්නපුබ්බක බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇසුව. “ස්වාමීනි දන් නොදී, බණ නොඅසා , සිල් නොරැක සිත පැහැදුණු පමණින්ම කෙනෙකුට ස්වර්ගයට යන්න පුළුවන්ද?”

ඒ ප්‍රශ්නයට “පුළුවන්” කියල පිළිතුරු දුන්න බුදුහාමුදුරුවො අදිටන් බලයෙන් මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා එතැනට ගෙන්නුව. දන් පිදූ පිරිස ඉදිරිපිටදී ඔහුගෙන් මෙහෙම විමසුව“ දිව්‍ය පුත්‍රය, ඔබ ඕෂධී තරුව වගේ පැහැබරව බබළනව.මහා තෙද බල පෙනෙන ඔබ ස්වර්ගයේ උපදින්න තරම් මිනිස් ලොවේදී කළ කුශලය කුමක්ද?”

“ඔබ වහන්සේගේ දර්ශනයෙන් පහන් වූ මගේම සිත පමණයි ස්වාමීනි,කියල මට්ටකුණ්ඩලි පිළිතුරු දුන්න. එයම උපමාවට අරගෙන දෙව්පුතුන් සහිත පිරිසට , පහන් වු සිතෙහි අනුසස් කියාදෙමින් බුදුහාමුදුරුවො ධර්මය දේශනා කළා. ඒ බණ අහල බොහෝ පිරිසක් ධර්මාවබෝධයට පත් වුනා.

මේ සිත තමයි ලෝකෙ තියෙන පළවෙනි පුදුමය. අපේ ජීවිත මෙහෙය වන්නෙත් දුක සැප ගෙනත් දෙන්නෙත් සිතමයි. හැම දහමකටම මුල් වන සිත ප්‍රසන්න වෙනකොට කාය කර්ම වගේම වචී කර්මත් ප්‍රසන්න වෙනව. ඒ නිසා සකස් වෙන කුසල කර්ම හෙවනැල්ල වගේ අපි යන යන තැන ළඟ ඉන්නව.


දම්පද මිහිර 1 - අකුසල් විපාකය ගෙන දෙයි දෙලොව සෝකය