Print this Article


ඍජුවම නිවනට හේතුවන සම්මාදිට්ඨිය

ඍජුවම නිවනට හේතුවන සම්මාදිට්ඨිය

බුදුරජාණන් වහන්සේ විවිධ දෘෂ්ටි කෝණවලින් සම්මා දිට්ඨිය විස්තර කර ඇති අතර බොහෝ බෞද්ධයන් අතර ප්‍රචලිතව ඇත්තේ චතුරාර්ය සත්‍යය පිළිබඳව ඇති දැනීම යන අර්ථකථනය යි. මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයට අනුව ධර්මය පිළිබඳ අචල වූ ප්‍රසාදයක් ජනිත කිරීමට සම්මා දිට්ඨිය ඉවහල් වේ.

සම්මා දිට්ඨිය යනු කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිබඳව නිවැරැදි අවබෝධය හෙවත් චතුරාර්ය සත්‍යය පිළිබඳව දැන ගැනීම සම්මා දිට්ඨිය වශයෙන් සඳහන් කළ හැකිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවන මාර්ගාංගය වන මෙය යථාර්ථවත් බෞද්ධයෙකු පිවිසිය යුතු පළමු දොරටුවයි.

සම්මා දිට්ඨිය යන පදයට මෙකල බොහෝ තැන්වල දෙන අදහස නිවැරැදි දැයි සළකා බැලීම වටී. බොහෝ විට මෙම වචනයට දෙන සිංහල අදහස නො ගැළපෙන බවක් පෙනේ. යහපත් දැක්ම නිවැරැදි දැකීම හරි දැකීම වැනි වචන ඒ සඳහා යොදන බව පෙනේ.

හොඳ සහ නරක යන වදන් යුගලය සඳහන් වනුයේ බුදු සමය තුළ පමණක් නොවේ. තවද හොඳ සහ නරක යන ක්‍රියා යුගලයට ඒ ඒ දර්ශන හා මතවාද අනුව යෙදෙන අර්ථ බොහෝ වන බැවින් ඍජු වූ අර්ථයක්ද දිය නොහැකි තරම් ය. බෞද්ධ වූ අපට හොඳ වන දේ තවකෙකුට නරක විය හැකිය. තවකෙනෙකුට නරක් වන දේ අපට හොඳ විය හැකිය. ඒ ඒ සමාජ සංස්ථාවලට සාපේක්ෂව හොඳ හා නරක පිළිබඳ අර්ථකථන විවිධ විය හැකිය. උදාහරණයක් ලෙස බෞද්ධයන් වන අප සත්ත්ව ඝාතනය මතු නොව සත්ත්ව හිංසනය ද තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඇතැම් ආගමිකයෝ ගව ඝාතනය දෙවියන් හා එක්වීමට හෝ දෙවියන් සතුටු කිරීමේ ක්‍රමයක් ලෙස භාවිතා කරති. ඒ ඒ දෘෂ්ටිවාදවලට අනුව සමාජයේ සම්මත හොඳ සහ නරක ක්‍රියාවලින් තිබෙන බව අප අවබෝධ කරගත යුතුව ඇත. එබැවින් ඒ ඒ ආගම් සතු හොඳ යැයි සම්මත නිවැරැදි යැයි සම්මත යහපත් යැයි සම්මත ක්‍රියාකාරකම් ඕනෑතරම් තිබිය හැකිය.

බුදුරජාණන් වහන්සේගේ අරි අටඟි මග හඳුන්වන්නට යන විට එයට අදාළ වූ ම අදහස නොදී ඉහතින් සඳහන් කළ ආකාරයේ වචන යෙදුවහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අපටත් තිබෙනවා යැයි තර්ක කළ හැකිය. අපටත් හොඳ දැක්මක් තිබෙනවා යැයි පවසනු ඇත. එසේ වුවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සම්මා දිට්ඨිය හා අනෙක් යහපත් දැකීම සැසඳිය හැකි නොවේ. බුද්ධ දේශනාවට අනුව ඒ හා සම දේශනාවක් ඉගැන්වීමක් අන් කිසිදු ආගමක කියැවෙන්නේ නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේ බුදු දහම තුළ පමණි. එහි එන සම්මා යන වචනයේ නියම අදහස තනිව ගත නොහැකිය. තනිව ගත් කළ යහපත් හෝ හොඳ යන අදහස ගෙන දේ. එසේ වූ විට අන් ආගමිකයන්ද අපටත් යහපත් දැකීම, යහපත් සිතිවිලි, යහපත් වචන, යහපත් ක්‍රියා, යහපත් දිවිපැවැත්මක්, යහපත් උත්සාහයක්, යහපත් සිහියක්, යහපත් චිත්ත ඒකාග්‍රතාවක් තිබෙනවාය ඒ පිළිබඳ අපගේ දහමේ ද ඉගැන්වෙනවාය ආදි වශයෙන් තර්ක කළ හැකිය. අන් ආගම්වල ද එබඳු හොඳ දේ තිබෙනවා යන්න පිළිබද ව තර්කයක් නොවන අතර යහපත් යන වචනය ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන තැන තනි අදහසක් වශයෙන් සළකා යොදන්නට වීමෙන් අන්‍යාගමිකයන්ගේ අදහස තහවුරු කිරීමක් වේ. එබැවින් ඒ පිළිබඳව බුදුපියාණන් වහන්සේ ම දී ඇති ඍජු අර්ථකථන විමසා බැලීම වටී.

බුදුරජාණන් වහන්සේ විවිධ දෘෂ්ටි කෝණවලින් සම්මාදිට්ඨිය විස්තර කර ඇති අතර බොහෝ බෞද්ධයන් අතර ප්‍රචලිතව ඇත්තේ චතුරාර්ය සත්‍යය පිළිබඳව ඇති දැනීම යන අර්ථකථනය යි. මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයට අනුව ධර්මය පිළිබඳ අචල වූ ප්‍රසාදයක් ජනිත කිරීමට සම්මා දිට්ඨිය ඉවහල් වේ. (යතෝ ඛෝ ආවුසෝ අරියසාවකෝ දුක්ඛඤ්ච පජානාති දුක්ඛ සමුදයඤ්ච පජානාති දුක්ඛ නිරෝධඤ්ච පජානාති දුක්ඛ නිරෝධගාමිනිං පටිපදඤ්ච පජානාති එත්තාවාතාපි ඛෝ ආවුසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති) ඇවැත්නි, යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා දුකත් දනීද, දුකට හේතුවක් දනීද දුක නැති කිරීමත් දනීද, දුක නැතිකිරීමේ පිළිවෙතත් දනීද ඇවැත්නි ආර්ය ශ්‍රාවකයා මෙතෙකිනිනුත් සම්මාදිට්ඨිය ඇත්තේ වෙයි. ඔහු ඍජු වූ ආකල්ප ඇත්තෙක් වෙයි. ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයක් ඇත්තේ වෙයි. මේ සද්ධර්මය කෙරෙහි පැමිණ වසන්නෙක් වෙයි. මේ සම්මාදිට්ඨිය බොහෝ තැන්වල නිවැරදිව හැඳින්වීමට සුලබව යොදා ගන්නා ධර්ම කාණ්ඩය යි.

තවද බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය විවිධ දෘෂ්ටි කෝණවලින් අර්ථ විග්‍රහ ඉදිරිපත් කර ඇත. කුසලයද කුසල මූලයද, අකුසලය ද අකුසල මූලය ද දැන ගැනීම ආහාරය ආහාරය ඇතිවීමට හේතුව ආහාර නැති කිරීම ආහාර නැති කිරීමේ මග පිළිබද ව දැනීම හෙවත් කබලිංකාරාහාරය ඵස්සාහාරය මනෝසඤ්චේතනාහාරය හා විඤ්ඤාණාහාරය යන ආහාර ඇති වන්නේ තණ්හාව නිසා බවත් ඒ තණ්හාව නිරුද්ධවීමෙන් ආහාර නිරුද්ධ වන බවත් එයට අනුගමනය කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත්, දැන ගැනීම සම්මා දිට්ඨියයි . එසේම පටිච්චසමුප්පාදය පිළිබඳ ව ඇති දැනීම සම්මා දිට්ඨිය ලෙස දක්වා ඇත. ඒ හැම දැන ගැනීමක් සඳහාම යොදා ඇති පාලි වචනය පජානාති යන්නයි. දනී යන අදහසට යොදන්නේ ජානාති යන්නයි. වඩාත් හොඳින් දැන ගැනීම සඳහා ජානාති යන පදය යොදා ඇත. මහාවේදල්ල සූත්‍රයේදී අවබෝධ කරනවා යන අදහසින් පජානාති යන පදය යොදා ඇත. (පජානාති පජානාතීති ඛෝ ආවුසේ පඤ්ඤා) ප්‍රඥාවන්තයා හඳුන්වන්නට යාමේදී මේ අවබෝධ කරනවා යන අදහස පජානාති යන පදයෙන් ගම්‍ය කරවා ඇත. සීල, සමාධි, පඤ්ඤා, යන ස්කන්ධ තුනෙන් පඤ්ඤා ස්කන්ධයෙන් සම්මාදිට්ඨිය පැනෙන බැවින් අවබෝධ කරනවා යන අදහස දීම ගැළපෙන බව පෙනේ. විජානාති පජානාති යන පද දෙක සම්මා දිට්ඨිය ඇසුරු කරන බව අවබෝධ කර ගත හැකිය.

සම්මා දිට්ඨිය ආකාස්මික ව පහළ වන්නේ නැත. එය ඇති වීමට උපකාරවන කාරණා දෙකක් මජ්ක්‍ධිම නිකායේ මහාවේදල්ල සූත්‍රයෙහි දක්වා ඇත. (ද්වේ ඛෝ ආවුසෝ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය පරතෝ ඝෝසෝ යෝනිසෝමනසිකාරෝ ච ඉමේ ඛෝ ආවුසෝ ද්වේ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය) මහණෙනි, සම්මාදිට්ඨිය පහළවීමට උපකාරවන්නා වූ කාරණා දෙකක් ඇත. චතුරාර්ය සත්‍යය අන් කෙනෙකුගෙන් අසා දැන ගන්නට ලැබීම හා තමන් ඒ පිළිබඳ නුවණින් මෙනෙහි කිරීමත් ය. මහණෙනි මේ කරුණුූ දෙක සම්මා දිට්ඨිය පහළවීමට උපකාරි වෙති. මෙහිදී අපගේ සැළැකිල්ලට ගත යුතු පළමු කාරණය නම් පරතෝ ඝෝසය හෙවත් ශ්‍රී සද්ධර්මය තව කෙනෙකුගෙන් අසා දැන ගැනීම හා විජානාති යන පදය අතර සම්බන්ධයටය. යමක් ඇසූ පමණින් අවබෝධ වන්නේ නැත. එහෙත් කිසියම් දැන හැඳිනීමක් ඇතිවේ . ඒ දැන හැඳීනීම වර්ධනය කිරීම තුළින් අවබෝධයක් ඇති කරගත හැකිය. කිසියම් කෙනෙකුගෙන් සිවුසස් අසා ඇති වන හැඳිනීම විජානනය යැයි පැවැසිය හැකි අතර ඒ ධර්ම විජානනය අවබෝධයට උපකාරි වෙයි. පරතෝඝෝසය සම්මාදිට්ඨියට උපකාරි වන්නේ එලෙසිනි.

පරතෝඝෝසය නැති නම් හෙවත් චතුරාර්ය සත්‍යය පිළිබඳ ව අසන්නට නො ලැබේ නම් ඒ පිළිබඳව අවබෝධ කර ගත හැකි නොවේ. එසේ කලින් නො ඇසු විරූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරනුයේ බුදුරජාණන් වහන්සේලා පමණී. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු වශයෙන් දක්වා ඇත්තේ එබැවිනි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අසන්නට ලැබීමෙන් පළමුව ඇති වන්නේ හඳුනා ගැනීමයි. එය අවබෝධයට හේතුවේ. නිදසුනක් වශයෙන් දක්වතොත් මහනුවර දළදා මාලිගාව පිළිබඳව පොත්පත් වලින් කියවා වෙනත් විස්තර කථනවලින් අසා තොරතුරු දැන ගත හැකිය. එසේ වූ නමුදු නුවර ගොස් දළදා මාලිගාව දැක බලා වැඳ පුදා ගැනීමේදී ඇති වනුයේ ඊට වඩා වැඩි වු අවබෝධයකි. ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දළදා මාලිගාව යනු කුමක්දැයි දැන අවබෝධ කරගත් බැවිනි. එමෙන්ම සද්ධර්මය අසා කියවා බලා කිසියම් දැනීමක් හැඳිනීමක් ඇතත් එය නිවනට ඍජුව ම හේතුවන සම්මා දිට්ඨියෙන් යුක්තවීමකැයි කිව හැකිය.

ඉතිරි කොටස අගෝස්තු 17 වනදා පත්‍රයේ

නයනා නිල්මිණි