Print this Article


බුදුරදුන් සමීපයට යන්නේ කෙසේද?

බුදුරදුන් සමීපයට යන්නේ කෙසේද?

බෞද්ධ ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ ඇසුරෙහි වාසය කිරීම තරම් වටිනා සැපතක් නොමැත. සෑම බෞද්ධයෙක්ම උන්වහන්සේගේ ඇසුර පි‍්‍රය කරති. ලොව ශ්‍රේෂ්ඨ කලා කෘති අතර බුද්ධ ප්‍රතිමාව තරම් චිත්ත ශාන්තිය ගෙනදෙන නිර්මාණයක් නම් කිරීම අසීරුය. එය දකින්නා තුළ රාග,දෝස , මෝහ ඇති නොවෙයි. බියක් සංකාවක් ඇති නොවෙයි. කොතරම් වේලාවක් වුවද ඒ අබියස වාඩි වී සිටිය හැකිය. විවිධ ඉරියව්වලින් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා නිර්මාණයෙන් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේට සමීප වීමට උත්සාහගත්තද එය සැබෑ සමීප වීමක් නොවන බව ධර්මානුකූලව විමසා බැලීමේදී පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේට සැබෑ ලෙසම සමීප වන්නේ කෙසේද යන්න උන්වහන්සේ විසින්ම දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාලියේ දැක්වේ. සඪඝාටිකණ්ණ සුත්ත නමින් හැඳින්වෙන මෙම සූත්‍රයෙහි බුදුරදුන් වෙත සැබෑ ලෙස සමීප වන්නේ ධර්මය දැකීමෙන් බව අවධාරණය කරයි. (ධම්මං පස්සන්තෝ මං පස්සති) මෙම සූත්‍රයෙහි දැක්වෙන පරිදි කිසියම් ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේගේ සඟල සිවුරු කොණක් අතින් ගෙන උන්වහන්සේගේ පියවර අනුව පියවර තබමින් පිටුපසින් ගමන් කළද, ඒ තැනැත්තා තථාගතයන් වහන්සේට සමීප නොවේ. එසේ සමීප නොවන්නේ එම පුද්ගලයා තුළ අභ්‍යන්තර පාරිශුද්ධත්වය ඇති කෙරෙන ගුණාංග නොමැති හෙයින්ය. කිසියම් ශ්‍රාවකයෙකුගේ අභ්‍යන්තරයෙහි අභිධ්‍යාව හෙවත් දැඩි ලෝභකම, පංචකාම ලෝකය කෙරෙහි දැඩි ආසක්ත බව, දූෂිත සිතක් ඇති බව, දුෂ්ඨ චේතනාවක් යුක්ත වීම, අවසිහියෙන් යුක්ත වීම , සම්‍යක් ප්‍රඥාවෙන් තොරවීම, ඒකාග්‍ර වූ සිතින් තොරවීම, විශේෂයෙන් ම තැති ගත් සිතින් යුක්ත වීම සංසුන් ඉඳුරන්ගෙන් තොරවීම යන මානසික දුර්වලතා පවතින්නේ නම් එම ශ්‍රාවකයා බුදුරදුන්ගේ සඟල සිවුරෙහි කොණක් අතින් අල්ලාගෙන උන්වහන්සේගේ පියවර අනුව පියවර තබමින් පිටු පසින් ගමන් කළද එම ග්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් වඩාත් ඈතය. බුදුරදුන් පිටිපසින් ගමන් කළද උන්වහන්සේ ද එම ශ්‍රාවකයාට ඈත යැයි වදාළහ. මේ අනුව උක්ත මානසික දුර්වලතා පවතින තාක් බුදුරදුන්ට එම ශ්‍රාවකයා ඈත වගේම උන්වහන්සේද ඔහුට බොහෝ ඈතය. (අථසො ආරකාව මය්හං අහං ච තස්ස)

උක්ත මානසික දුර්වලතා බැහැර කොට ඒ වෙනුවට පරිත්‍යාගය හා දානය ප්‍රගුණ කිරීම, පංචකාම ලෝකය හඹායාම වෙනුවට එහි ආදීනව හා ආශ්වාදයත් මැනවින් දැන එයින් මිදීම පිණිස උත්සාහවත් වීම, ද්වේෂය වෙනුවට මෛත්‍රි සිත දියුණු කිරීම සිහිනුවණින් හා සම්‍යග් ප්‍රඥාවෙන් කටයුතු කිරීම, භාවනාව මගින් සිතේ එකඟ බව දියුණු කිරීම, දිවිපෙවෙත නිවැරදි කරගනිමින් සිත සියලු තැති ගැනීම්වලින් නිදහස් කරගැනීම හා ඉඳුරන් දමනය කරගැනීමෙන් ශ්‍රාවකයෙකුට බුදුරදුන් වෙත සමීප විය හැකි ය. මෙම ගුණ ධර්ම සම්පූර්ණ කරන තැනැත්තා කායිකව යොදුන් ගණනක් ඈතින් සිටියත් ඔහු හෝ ඇය බුදුරජාණන් වහන්සේට සමීප වන අතර බුදුරජාණන් වහන්සේද ඔවුන්ට සමීප වෙති.

සංඝාටිකණ්ණ සූත්‍රයෙහි දැක්වෙන පරිදි බුදුරජාණන් වහන්සේට සමීප විය හැකිවන්නේ ධර්මය අවබෝධ කරගැනීමෙන්ය. ධර්මය දකින්නා බුදුන් දක්නා බව තථාගතයන් වහන්සේම දේශනා කළහ. (යො ධම්මං පස්සති සො මං පස්සති) ධර්මය දැකීම යනු එය තමන්ගේම අත්දැකීමක් බවට පත්කරගැනීමයි. න්‍යායාත්මක වශයෙන් කොතෙක් ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කළත් ඒ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කළත් එය අත්දැකීමක් බවට පත්වන්නේ නැත. එයින් ඇතිවන්නේ හුදෙක්ම තොරතුරු ගොණුවක් මතකයෙහි ගබඩා කරගැනීම පමණි. ධර්මය පිළිබඳ කොතෙක් නම් පොත්පත් ලියවී තිබේද? එසේම ධර්මය පිළිබඳ අධ්‍යයනය කෙරෙන ආයතන විශාල සංඛ්‍යාවකි. ශාස්ත්‍රීය ලෙස බුදුදහම පිළිබඳ අධ්‍යයනය කොට උපාධි ලබාගත් අය කොතෙක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ලියවී තිබෙන ශාස්ත්‍රීය නිබන්ධන හා පත්‍රිකා කොතෙක්ද? මේ සියල්ල ම ධර්මය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමක් පමණි. නැතහොත් එම තොරතුරු මතකයේ ගබඩා කිරීමක් පමණි. මේ අධ්‍යනයන් අනවශ්‍ය යැයි කිසිසේත්ම අදහස් නොවේ. ධර්මය ව්‍යාප්ත කිරීමේදී මෙම අධ්‍යයන අවශ්‍ය වේ. එමගින් ධර්මය පිළිබඳ ශාස්ත්‍රීය උනන්දුවක් දක්වන්නන්ට සිදුවන සේවය ඉමහත්ය. එහෙත් ධර්මය අත්දැකීමක් කරගැනීම යනු වෙනත් ව්‍යාපෘතියකි. ධර්මය තම දෛනික ජීවිතයේ කොටසක් බවට පත්කරගෙන එය ප්‍රතිපදාවක් ලෙස ප්‍රගුණ කිරීමෙන් අත්දැකීමක් බවට පත්කරගත් තැනැත්තා හෝ තැනැත්තිය ධර්මය දකින්නා බවට පත්වේ. ධර්මය අත්දැකීමක් කරගන්නා විට එහි ප්‍රායෝගික වටිනාකම වැටහෙන බැවින් එවැනි පුද්ගලයා තුළ බුදුරදුන් කෙරෙහි විශේෂ ප්‍රසාදයක් ඇතිවේ. බුදුරදුන් වදාළ ධර්මය තම ජීවිතය තුළින්ම දකින තැනැත්තාට උන්වහන්සේට වඩාත් සමීප විය හැකිවේ. මේ සඳහා විභාග සමත්වීම හෝ ගැඹුරු ශාස්ත්‍රිය පර්යේෂණ අවශ්‍ය නොවේ. බුද්ධකාලීනව විමුක්තිය සාක්ෂාත් කළ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගැන සැළකීමේදී පැහැදිලි වන්නේ ඒ අතරින් බහුතරයක් ධර්මය පිළිබඳ අධ්‍යයනය කළ අය නොවන අතර විමුක්තිය සාධනය සඳහා අවශ්‍ය මූලික ධර්මාවබෝධය ලබාගෙන එය අත්දැකීමක් බවට පත්කරගත් අය බවයි. උන්වහන්සේලාට වර්තමානයේ මෙන් ශාස්ත්‍රීය ප්‍රශ්න හෝ ගැටලු නොතිබුණි. ධර්මය පිළිබඳ අනවශ්‍ය වාද විවාද හෝ තර්ක විතර්ක නොතිබුණි. ධර්මය අත්දැකීමක් බවට පත්කරගත් එම රහත් උතුමෝ බුදුරදුන්ගේ අනුශාසනය සිදු කළේ යැයි නිරාමිස සිතින් උදන් ඇනූ අයුරු ථෙර ථෙරී ගාථා මගින් ප්‍රකට වේ. මේ අනුව බුදුන් දැකීම හෝ බුදුරදුන්ට සමීප වීම යනු දහම අත්දැකීමක් බවට පත්කරගැනීමයි.

වර්තමානයේ අප බොහෝ දෙනෙක් බුදුන් දකින්නට උත්සුක වන්නේ බාහිර භෞතික සංකේත හෝ පුද පූජා ආදිය භාවිතයෙන්ය.මේ සියල්ල අපට අවශ්‍ය වන්නේ ආධාරකයක් වශයෙන් පමණි. එය ස්ථාවර දැක්මක් නොවේ. මෙම බාහිර ආධාරක අවශ්‍ය කොටසක්ද සිටී. ඔවුන් දහමට යොමු කරගැනීමට මෙම සංකේත යම් පමණකට උපකාරි විය හැකිය. එහෙත් ඒවා දහමට යොමුවීමට භාවිතා කෙරෙන ආධාරකයක් මිස අවසාන විමුක්තිය ලබාදෙන්නක් නොවේ. දහම ප්‍රගුණ කළ තරමට එය අත්දැකීමක් කරගත් තරමට උන්වහන්සේ වෙතට සමීප විය හැකිය. දහම අත්දැකීමක් කරගත් තැනැත්තාට බාහිර සංකේත කිසිවක් අවශ්‍ය නොවේ. එවැනි සංකේත පිළිබඳ දක්වන්නේ අල්ප උනන්දුවකි. එසේම දහම තම ජීවිත අත්දැකීම් තුළින් ප්‍රගුණ කරන තැනැත්තා බාහිර සංකේත වෙනුවෙන් කාලය හෝ ධනය වැය කරන්නට උනන්දු නොවේ. ඔහු හෝ ඇය තුළ පවතින ශ්‍රද්ධාව ප්‍රබල වූවකි. අභ්‍යන්තර අවබෝධය තුළින් ඇතිවෙන ශ්‍රද්ධාව ස්ථාවර වූවකි. මෙනිසා කොතරම් බාධක පැමිණියද ධර්මය තුළ පිහිටා එය අත්දැකීමක් කරගනිමින් විමුක්තිය තෙක් ගමන් කිරීම ඒකායන අරමුණ කොට ගෙන වාසය කරයි.

සංඝාඨික සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුරදුන්ට සමීප වීම යනු භෞතිකව උන්වහන්සේට සමීප වීම නොවේ. ආධ්‍යාත්මිකව සමීප වීමයි. ආධ්‍යාත්මික සමීප වීම යනු දහම අත්දැකීමක් කරගැනීමයි. දැනට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වී ඇත. උන්වහන්සේට භෞතිකව සමීප විය නොහැකිය. එහෙත් ආධ්‍යාත්මිකව උන්වහන්සේගේ ඇසුරට සමීපයට සෙවණට ගමන් කළ හැකිය. දහම අත්දැකීමක් කරගැනීමෙන් එය සාක්ෂාත් කළ හැකිවේ.