Print this Article


ප්‍රතිමා වන්දනාව බුද්ධ කාලයට පෙරත් තිබුණා

ප්‍රතිමා වන්දනාව බුද්ධ කාලයට පෙරත් තිබුණා

පිළිම වන්දනාව සම්බන්ධයෙන් අතීතයේ අප අතර මතිමතාන්තර තිබුණේ නැහැ.පිළිම වන්දනාව බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් පෙර සිටම තිබුණු බවට සාධක තිබෙනවා. ජනතාවට, ලෝකයට සේවය, කළ ගිහි පැවිදි දෙපාර්ශ්වයේම පිළිම තැනීම, සොහොන් කොත් තැනීම ආදි කාලයේ සිටම පැවතුණු සිරිතක්, විවිධ ස්මාරක ඒ අය උදෙසා ගොඩ නැඟුණා. ටජ්මහල් වැනි නිර්මාණ පවා බිහිවුණේ ඒ අනුවයි.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර තුන්සියයකට පමණ පසු බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය ආරම්භ වූ බව පෙනෙන්නට තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය සිතින් මවාගෙන කලාකරුවා ජනතාවගේ සිත් සතන් පහන් සිත් කරනා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළා. එදා පටන් මේ වන තෙක් බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාව බෞද්ධ රටවල සිදු කෙරෙනවා. ඒ එක් එක් රටවලට ආවේණික වූ සිරිත් විරිත් අනුවයි. උදාහරණයක් ලෙස බුරුම රටේ බුදුරජාණන් වහන්සේ මහා වීර නමින් හඳුන්වනවා. එම රටේ මහා වීර ප්‍රතිමා නමින් වෙනමම ප්‍රතිමා දක්නට තිබෙනවා. ඔවුන් මහා වීර පිළිම සඳහා ඔටුනු පවා පළදවනවා.

එහෙත් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල බෞද්ධයන් බුදුරජාණන් වහන්සේට දක්වන්නේ ඊට වඩා වෙනස් ආකල්පයක්. තමන්ට ආශිර්වාදයක් ලබා ගැනීමට මෙන්ම තෙරුවන් බලය ලබා ගැනීමේ එක් පියවරක් ලෙසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාවට ඔවුන් යොමු වී තිබෙනවා.

එසේම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිහි කර උන්වහන්සේ සිතින් මවාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේට කරනු ලබන සැලකිල්ලක් ලෙසින් බුද්ධ වන්දනාවට බෞද්ධයන් පුරුදු පුහුණු වී තිබෙනවා. එය බෞද්ධයන්ට පමණක් සීමා වූවක් නොවේ. වෙනත් ආගමික නායකයන් පවා සිහිකර වන්දනාමාන කරනු ලබනවා.

මෙරට බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරින් සමාධි ප්‍රතිමා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී බව මැනවින් පෙන්නුම් කරනු ලබනවා. එසේ වුවත් විවිධ බෞද්ධ රටවල තම ජාතීන්ට ප්‍රදේශයන්ට උචිත වන පරිදි මේ වන්දනාවන් සිදු කරනු ලබනවා.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කිසිදු විටක බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාව ප්‍රතික්ෂේප කර නොමැති බවයි. ලොව සියලු ස්ථානයන්හි පිළිම ඉදිකරනු ලැබුවේ එම පුද්ගලයන්ට සිදු කරනු ලබන ගෞරවයක් ලෙසින්. එහි කිසිදු වරදක් දක්නට බැහැ.

එම ප්‍රතිමා සඳහා මල් පහන් පුද කිරීම උදෙසා ජනතාව පෙලඹී සිටිනවා. එමඟින් ඔවුන් තම සිත් ධාර්මික සුවය කරා යොමු කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ආමිෂ පූජාවන්ට මේ පුද සිරිත් අයත් වනවා. විශේෂයෙන් ත්‍රිවිධ චෛත්‍යය වන්දනාවේ උද්දේසික චෛත්‍යය ලෙසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාව හඳුන්වා දෙන්න පුළුවන්.

ආමිෂ පූජාව මඟින් ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගත හැකිවනවා. එහෙත් ප්‍රඥාව වැඩි දියුණු කර ගත නොහැකියි. එම පූජා විධි ක්‍රම කිහිපයකින් වැඩි දියුණු කිරීම, අතීතයේ සිට තිබුණා. විශේෂයෙන් ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේ ගැමියාගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීම පිණිස විවිධ ක්‍රම අනුගමනය කළා. එමඟින් හැම විටම ජනතාව අනුන්ට අයහපත් වන කිසිවක් කළේ නැහැ. වර්තමානයේ අනුන් නසා හෝ තමන් හැදීමේ ක්‍රමය ඇරැඹී ඇත්තේ ජනතාව පන්සලෙන් ඈත්වීම නිසයි. මේ නිසා බෞද්ධයන් බුද්ධ වන්දනාවට හුරු කිරීම උදෙසා විවිධ ආමිෂ පුජාවන් ඇරඹී තිබෙනවා.

විවිධ නම් වලින් පැවැත්වෙන මේ ආමිෂ පූජාවන් යම් තරමකට හෝ බෞද්ධ ප්‍රබෝධයක් ගෙන දීමට සමත් බව පෙනී යනවා. විවිධ මල් පූජා, කප්රුක් පූජා වැනි නොයෙක් නම්වලින් අද ඒ ආමිෂ පූජා මඟින් ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීම ඇරැඹී තිබෙනවා. ඇත්තෙන්ම එය අගය කළ යුතුයි.

බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවේ වැදගත්කම පැහැදිලි කළා. එහිදී ධර්මයෙහි හැසිරීමෙහි වැදගත්කම මෙන්ම පිළිවෙත්පිරීමේ වැදගත්කමත් උන් වහන්සේ පෙන්වා දුන්නා. බුදුදහමේ සියල්ල අනිත්‍ය බව දක්වා තිබුණත් අනාගත පරපුරට නිසි දහම් දැනුම ලබා දීමේ ක්‍රමවේදයක් ධර්ම දේශකයාණන් වහන්සේ හඳුන්වා දෙනවානම් එයයි වැදගත් වන්නේ. ඇතැම් දේශන මඟින් ජනතාව ශ්‍රද්ධාව තුළ හිර කර තිබෙන බවක් පෙන්නුම් කෙරෙනවා.

එයින් එළියට පැමිණ සැබෑ ලෝකය ගැන දකින්න ඔවුන්ට හැකියාවක් නැහැ.

එමඟින් ජනතාව මුළාවනවා. බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසට පැහැදිලිව දේශනා කර වදාළේ පිළිවෙත් පුරමින් ප්‍රතිපත්ති පූජාවට යොමුවන ලෙසයි.

ප්‍රතිපත්තියෙන් තොර නිවනක් නැහැ. නිවන්මඟ ප්‍රාර්ථනා කරන්නෙක් නම් අනිවාර්යයෙන්ම තම ආකල්ප වෙනස් කරගෙන ධර්මයෙහි හැසිරී නිසි පිළිවෙත් ආරක්ෂා කළ යුතුයි.

බුද්ධ ප්‍රතිමා වන්දනාව සැදැහැවත් බෞද්ධයන් විසින් සිදු කරන අතර බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම ඇතැම් අය ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා. එසේ බුදුපිළිම නිර්මාණය කර අලෙවි කිරීමත් කිසිදු පිරිසුදුකමක් නොමැති ස්ථානයන්හි බුදුකුටි තැනීමත් බලවත් අකුසලයක්. නික්ලේශී බුදුරජාණන් වහන්සේට කරනු ලබන නිග්‍රහයක් ලෙස එය හඳුන්වා දෙන්න පුළුවන්. එමඟින් බුදුහිමියන් උදෙසා අප විසින් සිදු කරන්නේ ආමිෂ හෝ ප්‍රතිපත්ති හෝ පූජාවක් නොවේ. අප බෞද්ධයන් බව ප්‍රදර්ශනය කිරීමක් පමණයි. එසේ වුවත් පරිසුදු සිතින් ශ්‍රද්ධාවෙන් බුදුපිළිම නිර්මාණය කරන අතළොස්සක් වූ පිරිස් ද සිටිනවා. බුදුපිළිම මඟින් මුදල් ඉපැයීම බලවත් අකුසලයක් බව සිත්හි තබා ගත යුතු වනවා. තමන්ගේ ශ්‍රමයට හා ඒ සඳහා වැය වූ වියදම් පියවා ගැනීම වරදක් නෙමෙයි. නමුත් ඇතැම් අය එය ව්‍යාපාරයක් ලෙස කරනු ලබන බව පෙනෙනවා. බුදුපිළිමයක් මිල කළ නොහැකියි. එය ආදායම උපයන මාර්ගයක් කර නොගත යුතුයි. ඇතැමුන් බුදු පිළිම නිර්මාණයේදි බුදු හිමියන්ගේ නොමැති ඉරියව් පවා නිර්මාණය කර තිබෙනවා.

අතීතයේ කලාකරුවන් අතිවිශාල පිළිම නිර්මාණය කළේ එය සම්බුද්ධ ශාසනය පවතිනතාක් තිබෙන ලෙස පැවතීමටයි. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ තේජස බල මහිමය එම විශාල පිළිම මඟින් අන් අයට හඳුන්වා දීමට මේ අයුරින් විශාල පිළිම නිර්මාණය කළා. එමඟින් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව වැඩිදියුණු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වී තිබෙනවා. උදාහරණයක් ලෙස අවුකන පිළිමය ස්ථාන කිහිපයක නිර්මාණය කිරීමට කලාකරුවා උත්සාහ කර තිබෙනවා.

බුදුපිළිමයක් නිර්මාණයේදී එය රියන් ගණනින් නිර්මාණය කිරීමෙන් පමණයි නිසි පරිදි පිළිමය නිර්මාණය කර ගත හැකි වන්නේ. බුදුපිළිම නිර්මාණයත් වන්දනාවත් ඒ සඳහා කළ යුතු නිසි ගෞරවයත් ගැන මේ අයුරින් අප නිසි අවබෝධයක් ලබා ගත යුතු වෙනවා.