Print this Article


පූජාච පූජනීයානං

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි

විවිධ දක්ෂතා හා හැකියාවන් ඇති සුවිශේෂී පුද්ගලයන් කලින් කල ලෝකයෙහි පහළ වන අයුරු ඉතා ප්‍රකටය. එබඳු සුවිශේෂි විරල ගණයේ පැවිදි උතුමෙකු වශයෙන් මීට වසර 30 කට පෙර අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ පිළිබඳව සඳහන් කළ යුතුය. උන්වහන්සේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේත්, අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරස්ථානයේත් විහාරාධි- පතිවරයාණෝ වූහ.කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවියද උන්වහන්සේ විසින් දරන ලදහ.

‘බෙල්ලන්විල නායක හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධියට පත්ව වැඩ සිටි නාහිමිපාණන් වහන්සේගේ පැවිදි ජීවිතය වර්තමාන භික්ෂු පරපුරට මහත්සේ ආදර්ශයට ගත හැකි විශිෂ්ට ගති ලක්ෂණයන්ගෙන් හෙබි උදාර චරිතාපදානයකි. විහාරාධිපතීන් වහන්සේ නමක වශයෙන් ආරාමයක් පාලනය කළ යුතු අයුරු උන්වහන්සේ විසින් ඉතා ප්‍රායෝගිකවම ප්‍රකට කර වදාළහ. දායක දායිකාදීන් සමඟ ක්‍රියාකරන අයුරු පමණක් නොව විහාරස්ථාන දියුණූ පවුණු කරන විදියද ඒවා නියම කළමනාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යන අයුරුද නාහිමිපාණන් වහන්සේගේ චරිතය මනාව හෙළිපෙහෙලි කර ගත හැකිය. එපමණක් නොව භික්ෂුවක් තුළ තිබිය යුතු මනා පෞරුෂය පිළිබඳ මෙබදු පරමාදර්ශි චරිතයන් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. බෙල්ලන්විල සෝමරතන නාහිමිපාණන් වහන්සේ බෙල්ලන්විල නම් වූ සුන්දර ගම්මානයේ උපන් කෙනෙකි. මේ වනවිට නාගරීකරණයට නතු වුවද , නාහිමිපාණන් වහන්සේ උපන් සමය පූර්ණ ග්‍රාමීය ලක්ෂණයන්ගෙන් අනූණ ගමක් වූවාට සැකයක් නැත. නාහිමිපාණන්ගේ ජීවිතයේ අපි දුටු සුවිශේෂත්වයක් නම් ඒ පැරුණි ගමටත්, ගැමි කමටත්, උන්වහන්සේ තුළ තිබූ සාතිශය කැමැත්තය. ඒ අනුව භෝග වගාව , වෘක්ෂ වගාව පිළිබඳව උන්වහන්සේට තිබුණේ විශේෂිත වූ දැනීමකි. තමන් වහන්සේගේ පියා හොඳ ගොවි මහතෙකු බව නාහිමිපාණන් වහන්සේ එදා ප්‍රසිද්ධ උත්සව සභාවල පවා ප්‍රකාශ කළ අයුරු අපට සිහිපත්වේ. එයින් ප්‍රකාශ වන්නේ උන්වහන්සේ තුළ තිබූ අව්‍යාජ වූත්, නිහතමානී වූත් ගැමි ගතිය බව සඳහන් කළ යුතුය. බෙල්ලන්විල විහාරස්ථානයෙහි වත්මන් දියුණූවේ නිර්මාතෘවරයාණෝ බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නාහිමිපාණන් වහන්සේ බව නොරහසකි. පරම්පරා ගණනකදී සම්පූර්ණ කළ යුතු වූ කාර්යයන් සමූහයක් උන්වහන්සේ තම ජීවිත කාලය තුළදී සම්පූර්ණ කිරීම සැබවින්ම විශ්මයජනකය. සකලාංග සම්පූර්ණව සම්භාවනීය විහාරස්ථානයක් බවට උන්වහන්සේ බෙල්ලන්විල විහාරය පත්කළා මතු නොව එම දියුණුූවේ සෞභාග්‍යය දැක සතුටු වීමේ වාසනා ගුණයද හිමිකරගෙන තිබිණි. බෙල්ලන්විල නම් වූ ගම විශ්වකීර්තියට පත්වීමට හේතුවූයේ බෙල්ලන්විල විහාරස්ථානය බව කිසිවෙකුටත් රහසක් නොවේ. එම යශෝරාවය තමන් වහන්සේ උපන් ගමට ලබාදීම අපේ නාහිමිපාණන් වහන්සේගේ උදාර සමාජයීය මෙහෙවරක් සේ සඳහන් කළ යුතුවේ.

ලංකාවේ පමණක් නොව ලෝකයේ නානාවිධ පැවිදි ගිහි ප්‍රභූවරයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද එදා සිටම බෙල්ලන්විල විහාරස්ථානයේ ආශිර්වාදය අපේක්ෂාවෙන් පැමිණීම සාමාන්‍ය දෙයක් විය. නාහිමිපාණන් වහන්සේ ඒ සියල්ලන් කෙරෙහි දක්වන ලද්දේ එකම දයාවකි. තමන් වහන්සේගේ පිහිට පතා පැමිණි කිසිවෙක් උන්වහන්සේ කිසිසේත් හිස් අතින් නොහැරියහ. අපේ අත්දැකීමේ හැටියට උන්වහන්සේ තරම් මිනිස්කම් සපිරි උදාර මනුෂ්‍යයෙකු කෙනෙකුට මුණ ගැසෙන්නේ ඉතා විරළවය. නාහිමිපාණන් වහන්සේ විසින් පුද්ගලයන් පිළිබඳ සැලකීමේදී දුප්පත් පොහොසත් හෝ කුලීන කුලහීන හෝ පළාත් භේද, නිකාය භේද හෝ වැදගත් සාධකයක් නොවීය. කිසියම් කරුණක් පිළිබඳ තීරණ ගැනීමේදී ඉතා නොබියව ඍජුව කටයුතු කළ අතර යුක්තිය සාධාරණත්වය මිස පුද්ගලයා තනතුර හෝ සමාජ තත්වයන් උන්වහන්සේට වැදගත් වූයේ නැත. බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වී දසක තුනක් සම්පූර්ණ වී ඇත. මෙම කාලය තුළ එදා නාහිමිපාණන් වහන්සේ තුළින් අපට දක්නට හැකිවූ ආකර්ෂනීයත්වයත්, පුණ්‍ය මහිමයත්, උන්වහන්සේගේ අදෘෂ්‍යමාන වූ ආශිර්වාදයත් බෙල්ලන්විල පුණ්‍ය භූමිය පුරා අදද ඉතිරී පැතිරී ඇති බව සඳහන් කළ යුතුය.

බෙල්ලන්විල ඇසළ මහා පෙරහරද, අපේ නාහිමිපාණන් වහන්සේගේ නිර්මාණයකි. එය මෙරට ජාතික මට්ටමේ පෙරහරක් බවට පත් කළා මතු නොව එයට අවශ්‍ය සියලු අංගෝපාංගයන් ද උන්වහන්සේ විසින් මැනවින් සකස් කර තබන්නට යෙදිණ. අපේ නාහිමිපාණන් වහන්සේ විහාරස්ථානය දියුණූ කිරීමෙන්, ඇසළ පෙරහර නිර්මාණය කිරීමෙන් ඇති කළ මෙම නවෝදය එසේම පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේ මනා සංවිධානයකින් යුතුව අනාගතය දෙස බලා සැළසුම් කළ ක්‍රමවේදයක් දක්නට ලැබේ. එහි ජීවමාන සාධක ලෙස වර්තමාන විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේත්, විහාරාධිකාරි ශ්‍රී ජයවර්ධනපුුර විශ්ව විද්‍යාලයෙහි කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේත් දැක්විය හැකිය. උන්වහන්සේලා ගෙවී ගිය වසර 30 පුරාම නාහිමිපාණන් විසින් ගොඩනගා ආරක්ෂා කළ බෙල්ලන්විල විහාරස්ථානය පිළිබඳව කීර්තිරාවය දිනෙන් දින ප්‍රවර්ධනය කොට ඇත. විහාරස්ථානයේ කටයුතු ද කාලානුරූපව විධිමත්කොට තිබේ. තවදුරටත් සංවර්ධනය විය යුතු අංශ සංවර්ධනය කොට ඉතා මැනවින් පවත්වාගෙන යනු ලැබේ’. ඓතිහාසික විහාරස්ථානයක් වශයෙන් එහි සම්භාවනීයත්වය මේ වන විට ඉහළම තලයකට පැමිණ වීමට උන්වහන්සේලා මැනවින් සමත්වී ඇත. බෙල්ලන්විල රාජමහා විහාරය, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ පාර්ශ්ව මූලස්ථානයකි. එදා එහි ප්‍රධාන සංඝනායක ධූරය හොබවන ලද්දේ අද දවසේ අප සිහිපත් කරනු ලබන ශී‍්‍ර සෝමරතන නාහිමිපාණන් වහන්සේය. අද මෙම සංඝ සභාවේ අනුනායක ධුරයෙන් උන්වහන්සේගේ කනිෂ්ඨ ශිෂ්‍ය රත්නය වු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ පිදුම් ලබා ඇත. අපේ සෝමරතන නාහිමිපාණන් වහන්සේ විද්‍යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍යවරයන් වහන්සේ නමකි. අද එම පිරිවෙන මුල් කොට ආරම්භ වු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි කුලපති ධුරයද මහාචාර්ය විමලරතන අනු නාහිමිපාණන් වහන්සේ විසින් හෙබවීම සැබවින්ම දෛවෝපාගත සිදුවීමක් ලෙස සැලකිය හැකිය. සාම්ප්‍රදායික පෞරාණික විහාරස්ථානයක පැවැත්මකට යොමුව තිබු බෙල්ලන්විල බුද්ධියටත්, විමර්ශණයටත් නතුවූ ජනසමාජයෙහි කාලීන ගැටලු සඳහා විසඳුම් දෙන ස්ථානයක් වශයෙන් නව යොමු කිරීමක් සඳහා උන්වහන්සේ සමත්ව ඇත. එපමණක් නොව විහාරස්ථානයෙහි භෞතික පරිසරය පුළුල් කිරීමත්, ක්‍රමිකව සංවර්ධනය කිරිමත් මැනවින් දැකිය හැකිය.මේ සියල්ල අපේ නාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේගෙන් පසුවත් සිදුවිය යුතු දේ හැටියට අපේක්ෂා කළ දේ බව සඳහන් කළ යුතුය. බෙල්ලන්විල ශ්‍රීසෝමරතන නාහිමි ගුණානුස්මරණ පින්කම ගෙවි ගිය කාල පරාසය තුළ නොයෙක් ආකාරයේ නොයෙක් ප්‍රදේශවල සිදු කරන්නට යෙදුනා මතු නොව එය ආදර්ශවත් වූ නව ක්‍රමයක් බවට පත් කිරීමටද හැකියාවක් ලැබුණි. එනම් මෙරට දුෂ්කර වූ ප්‍රදේශවලට ගොස් එම ප්‍රදේශයන්හි ඉතා දුෂ්කරව වැඩ වසන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පරිෂ්කාර සහිතව දන් පිරිනැමීමය. මෙවර එම අනුස්මරණ දානමය මහා පින්කම මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත. මේ හැරෙන්නට බෙල්ලන්විල විහාරස්ථානයේදී අගෝස්තු මස 14 වන දින සිට අනුස්මරණ ධර්ම දේශනා මාලාවක්ද සිරිත් පරිදි පැවැත්වෙන අතර වාර්ෂික ඇසළ පෙරහර පූජෝත්සවයේ ආරම්භය ද එය වන්නේය.මේ සියලු පින් බෙලෙන් අපේ බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.


කිවුලේගම උපරතන හිමි

ගම්පහ, මිනුවන්ගොඩ පිහිටි උඩුගම්පොළ ශ්‍රී සුධර්මාරාමය හෙවත් සභාවේ පන්සලේ වැඩ සිටින කිවුලේගම උපරතන හිමියන්ගේ 85 වන ජන්ම දිනය නිමිත්තෙනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල කිවුලේගම ග්‍රාමයේ විසූ කිරිබණ්ඩා සහ සුදුමැණිකා යන සැදැහැවත් දම්පතීන්ගේ දරුවන් සයදෙනා අතර තෙවැන්නා ලෙස 1930 ජූලි 29 වැනි දින ගුණබණ්ඩා නමින් මෙම කුමරුවා ජනිත විය. එම දරුවන් සය දෙනා අතුරින් ගුණබණ්ඩා නම් පුතණුවෝ මිල්ලබැද්ද ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලදහ. එම දරුවා සිය මව්පියන්ගේ ආශිර්වාදය මත බදුල්ල මිල්ලබැද්ද පුරාණ විහාරාධිපතිව වැඩසිටි අලකොලගල සාරානන්ද ලොකු හාමුදුරුවන්ගේ ආචාර්-යත්වයෙන් 1945 දී කිවුලේගම උපරතන නමින් සසුන් කෙතට වන්හ. මූලික බණ දහම් තම ගුරුදේවයන් වහන්සේ ඇසුරෙන් හදාරා අනතුරුව ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා බොරලැස්ගමුව පරමධම්මනිවාස පිරිවෙනට ඇතුළත් වූහ. ඉන් මූලික පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් සමත්ව වැඩි දුර අධ්‍යාපනය සඳහා ගම්පහ පහළගම යටවත්තේ පුරාණ විහාරස්ථ ඓතිහාසික විද්‍යාරවින්ද මහ පිරිවෙනට ඇතුළත් වූහ. එවකට පිරිවෙනේ වැඩ සිටි ස්‍යාමෝපාලි වංශික ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක හල්ගස්තොට දේවානන්ද මහා නාහිමියන් සහ අනුනායක (පසුව මහා නායක) රාජකීය පණ්ඩිත ගැට්ටේපොළ ශ්‍රී විමලරතනාභිධාන නාහිමියන් වහන්සේ ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි ව්‍යක්ත විශාරද මහා පඬිවරුන් ඇසුරෙන් සිංහල පාලි සංස්කෘතාදී භාෂා පිළිබඳවත් ත්‍රිපිටකාගත ධර්මය පිළිබඳවත් දැන උගත්කම් ලැබීමටත් මහා පෞරුෂයක් සමඟින් සංයත භික්ෂුවක් බවට කිවුලේගම උපරතන හිමියෝ පත්වූහ. උපතරන හිමියන් 1951 මැයි 26 වැනි දින මල්වතු මහා විහාරීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී එවකට මහානායකව වැඩසිටි මඩුගල්ලේ ශ්‍රී සුමන සිද්ධාර්ථ ධම්මදස්සී මහා නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් යුතුව අලකොලගල සාරානන්ද නාහිමිගේ හා අලකොලගල නන්දසාර මාහිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයෙකු ලෙස උපසම්පත්තියෙහි පිහිටවූහ. ලුණුගල අරවාකුඹුරේ ශ්‍රී ශෛලබිම්බාරාමය ප්‍රදේශයේ කාගේත් අවධානය හා සිත් දිනාගනිමින් කටයුතු කළහ. උපරතන ස්වාමීන් වහන්සේ ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙන යටතේ පැවති උඩුගම්පොළ ශ්‍රී සුධර්මාරාමයේ වැඩ සිටි බැණ්ඩියමුල්ලේ සුමනතිස්ස මහා ස්වාමීන් වහන්සේ දැඩිලෙස ගිලන්ව වයෝවෘද්ධව පසුවූ නිසා හල්ගස්තොට දේවානන්දාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේගේ ඇරයුමට පිටුපෑමට නොහැකිවූ නිසාවෙන් උඩුගම්පොළ ශ්‍රී සුධර්මාරාමයට 1978 දී වැඩම කළහ. සම්බුදු සසුනේ අනාගත සුරක්ෂිතතාවය පිළිබඳවද උපරතන ස්වාමීන් වහන්සේ දූරදර්ශීව ක්‍රියාකර ඇති අයුරු ප්‍රශංසනීයය. ඒ අනුව දැන උගත්කමින් පිරිපුන් දීර්ඝ කාලයක් පුරා ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටින නාගල උපනන්ද හිමියන් උපරතන හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාණෝ වෙති. එමෙන්ම විගොඩ මේධානන්ද හිමියන් සහ ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටින ලන්ඩන් තේම්ස් විහාරවාසී කොහුකුඹුරේ සිරිධම්ම හිමියෝද උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන් වේ. උන්වහන්සේගේ ශාසනික සේවාවන් අගය කරනුවස් 85 වන ජන්ම දිනය සහ, පැවිදි දිවියට වසර 70ක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට දීර්ඝායුෂ පතමින් ඉකුත් 25 සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයක් සහ 26 සංඝගත දක්ෂිණාවක් සුධර්මාරාමයේදි සංවිධානය කර තිබිණි. විශේෂ ස්තුතිය – උඩුගම්පොළ සෙනරත් පරණවිතාන විද්‍යාලයේ ආචාර්ය, සරුදම් අරුණැල්ල උපදේශන කමිටු ලේකම්, දොඹවල අමිත හිමි.


තොරණාගොඩ සුමනසිරි නාහිමි

මිනුවන්ගොඩ ගල්කන්ද මූල මහා විහාරස්ථ සිරිනිකේත මහ පිරිවෙන් අධ්‍යක්ෂ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ධුරන්දර ශාස්ත්‍රාචාර්ය තොරණාගොඩ සුමනසිරි මහා ස්වාමීන්වහන්සේගේ 70 වන ජන්ම දිනය ඉකුත් 24 වන දිනට යෙදී තිබිණි.

රත්නපුර තොරණාගොඩ ග්‍රාමයෙහි අයි.ජී. කරුණාතිලක පැල්පිටිය සහ කේ.පී. ලීලාවතී දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස අයි.ජී. බෝධිපාල පැල්පිටිය යන නාමයෙන් 1945 ජූලි 24 වන දින මෙලොව එළිය දුටුහ.

නිසි වයස් එළඹිකල ඇහැලියගොඩ ළදරු පාසලෙන් මූලික අධ්‍යාපනය ලද එම කුමරු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය සිරිනිකේතාරාමාධිපති මාන්ගමුවේ පඤ්ඤාජෝති, ත්‍රිපිටකාචාර්ය අස්වැන්නවත්තේ සිරි සුදස්සි, ධර්මාචාර්ය පණ්ඩිත ඇහැලියගොඩ සෝරත නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් සසුන් කෙතට වන්හ. බලගල්ල සරස්වතී මහ පිරිවෙනින් උගතමනා මූලික පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කළ උන්වහන්සේ කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනට වැඩම කරවන අතර එහිදී එම පිරිවෙන කේන්ද්‍රස්ථානය කොටගෙන එවකට වැඩ සිටි අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක බද්දේගම විමලවංශ අනුනාහිමියන්ගේ සෙවනෙහි ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණය කළහ. අනතුරුව අ.පො.ස. (උ/පෙළ) සමත්ව පේරාදෙණිය සරසවි වරම් ලබා ගත්හ.

මෙලෙසින් අග්‍රගණ්‍ය පඬිවරයන් වහන්සේලාගේ ඇසුරෙන් උගතමනා ධර්ම, විනය, ශබ්ද ශාස්ත්‍ර යනාදිය ප්‍රගුණ කිරීමෙන් පසු 1972 ජූලි 10 දින උපසම්පදාව ලැබූහ. අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කොට ස්වකීය විහාරස්ථානය වෙත පුනරාගමනය කළහ.

ඉන්පසු උන්වහන්සේ මයුරපාද පිරිවෙන, ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙන, උපුල්දෙනිය විද්‍යාලය, කැකිරාව මැදි විදුහල, හොරම්පැල්ල සීලවිමල විද්‍යාලය යන පිරිවෙන් හා පාසල් ගණනාවක ම අධ්‍යාපන සේවයේ යෙදෙමින් විනීත උගත් සිසු පරපුරක් බිහිකිරිමෙහිලා කැපවූහ.

1983 සැප්තැම්බර් 29 වන දින ගල්කන්ද සිරිනිකේත මහ පිරිවෙන්හි විහාරාධිපති තනතුරට පත්වන නාහිමියෝ තම ශාසනික සේවාවන් ඉමහත් උනන්දුවෙන් සිදුකළහ. අභාවයට ගිය පිරිවෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කර වත්මන් දියුණුව කරාගෙන ඒමට ඇප කැපවී කටයුතු සිදුකරන ලදහ. විහාරස්ථානයේ වර්තමානය තුළ ඉදිවී ඇති සියලුම ඉදිකිරීම් නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ඉදි වූ නිර්මාණයන්ය. උන්වහන්සේගේ ශාසනික සේවාවන් ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සසුනට දායාද කිරීමටද සැදී පැහැදී සිටින්නාහ. උන්වහන්සේ දුටුවන් පහදන රූපකායකින් යුතු අතර විචිත්‍රභාණක, පරිත්‍රභාණක චාතූර්යයන්ගෙන් සමන්විතය. එමෙන්ම ශිෂ්‍ය පිරිස හා දායක කාරකාදීන් කෙරෙහිද දක්වන්නේ අපරිමිත සෙනෙහසකි. උන්වහන්සේ ආදර්ශවත් මහ තෙර නමකි. මෙම සියලු ශාසනික සේවාවන් අගය කරනු වස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ධූරයෙන්ද උන්වහන්සේ පිදුම් ලැබූහ. ඒ වෙනුවෙන් ඉකුත් 24 දින සිට 29 දින දක්වා පින්කම් මාලාවක් සංවිධානය කර තිබිණ.