Print this Article


කාමේසුපලාළිත සූත්‍රය සහ නිවන් මග

කාමේසුපලාළිත සූත්‍රය සහ නිවන් මග

ආර්ය මාර්ගය පිළිබඳ අවබෝධය පහසුවෙන් ලබාදෙන සූත්‍ර කිහිපයකි. ඒ අතර අංගුත්තර නිකාය සේඛබල වර්ගයට අයත් කාමේසුපලාළිත සූත්‍රය ප්‍රධාන වේ. කාමේසුපලාළි යනු වස්තුකාම ක්ලේශකාමයන්ගේ ඇලීමයි. ශ්‍රද්ධාවෙන් ආර්ය මාර්ගයට පත්වන බෞද්ධයා අවබෝධ ශක්තිය මත මෙයින් ඉවත් විය යුතුය. මෙහිදී සත්වයා සසරට බැඳතබන කාම ස්තර තුනක් පිළිබඳ සූත්‍රය කරුණු දක්වයි.

1.පඤ්චහීනකුලකාමය
2.මධ්‍යම සත්වයන්ගේ කාමය
3.රාජාදීන්ගේ කාමය වශයෙනි

මෙයින් පොදුවේ අවබෝධකරගත හැකි කාර්ය වන්නේ මොන තත්වයක සිටියත් සැම සත්වයෙකු තුළම ආශාව ඇලීම ඇති බවයි. එයට කුලය, මට්ටම අදාළ නැත. කිනම් විශේෂණ පදයකින් හැඳින්වුවද මේ සියල්ලම කාම ගණයට වැටේ. කාමය යනු සසරට බැඳතබන ප්‍රබල සංයෝජනයකි. එය දස සංයෝජනයන්හි කාමරාග ගණයට අයත්ය.

ආර්ය මාර්ගයට නිසි පරිදි ඇතුළුවනතෙක් මෙම කාමයන්ගේ ආදීනව හැඳින කටයුතු කිරීමට බෞද්ධයාට ගැටලු ඇතිවේ. ඒ බව සූත්‍ර දේශනාව තුළදී ප්‍රායෝගිකව උදාහරණයක් මගින් බුදුරදුන් දේශනා කළහ.

උඩුකුරුව සයනය කරන යම්තම් බහතෝරන අවධියට පත්වන කුඩා බිලිඳා හොඳ නරක , වස විස, ගත යුතු නොගත යුතු දේ නොදනී. එහෙයින් කිසිදු තෝරා බේරාගැනීමකින් තොරව අතට හසුවන දේ කටට දමා ගැනීමට එම බිලිඳා දෙපාරක් නොසිතයි. මව, පියා, හෝ භාරකරුවෙකුගේ අවධානය ඔහුගෙන් ගිලිහුණුවිට ගල්, කැට, ලී දඬු ඕනෑම දෙයක් තම කටට දාගනී. එවිට භාරකරුවෙකු එම අනවශ්‍ය දෑ වහවහා බැහැර කරයි. එසේ කරනුයේ තම දරුවාට ඇති ආදරය ළෙන්ගතු බව නිසාවෙනි. එය පහසුවෙන් බැහැර කිරීමට නොහැකි වන්නේ නම් ඇඟිල්ල හෝ වෙනත් උපකරණයක් පාවිච්චි කරමින් හෝ බැහැර කිරීමට දෙමාපියන් පසුබට නොවේ. දරුවා හඬද්දී ලේ වමනය බැහැර කරද්දී දෙමාපියන් එම කාර්ය සිදු කරනුයේ දරුවා පිළිබඳ ඇති "මෙත්තාව" නිසාවෙනි.

කුඩා දරුවා වැඩිහිටියෙකු බවට පත්වී මෙන් අනතුරුව පෙර සේ අතට හසුවන දෑ ඔහු කටට දාගන්නේ නැත. එහෙයින් මව හෝ පියා නිරන්තරව ඔහු පසුපස සිටිමින් හොඳ නරක, වස විස පිළිබඳ දරුවා දැනුවත් කළ යුතු නොවේ. තමා විසින් තමා රැකීමට ඔහු දනී. සූත්‍රයේදී ඒ ස්වභාවය හඳුන්වන්නේ “ආත්මගුප්ත” වීම වශයෙනි. එනම් තමා විසින් තමා රැකීමයි. එහෙයින් ඔහු ප්‍රමාදයට පත් නොවේ.

එසේම ආර්ය මාර්ගයට පත් වන තෙක් බෞද්ධයා තමා විසින් තමා නොරැකේ . ඔහු ධර්මය තුළ ආත්මගුප්ත වනුයේ අවමය යටත් පිරිසෙන් සෝවාන් ආදි මාර්ග ඵලයක් හෝ ලැබීමෙන් අනතුරුවය. ඒ බව සූත්‍රයේදී මෙසේ සඳහන් වේ. මහණෙනි, කුසල ධර්මය පිළිබඳ ශ්‍රද්ධාවෙන් කටයුතු නොවන්නේද, හිරියෙන්, වීර්යෙන් , ප්‍රඥාවෙන් කටයුතු සිදුනොවේ නම් ඒ තාක් මම (බුදුරදුන්) ඔවුන් පසු පස සිටිය යුතුය. එසේ සිටිමින් මව දරුවාට රැකවරණය ලබාදෙන සේ බෞද්ධයාට ධර්ම රැකවරණය ලබාදිය යුතුය.

යායුතු මාර්ගය තිබියදී නිවැරදි මගයැයි යමෙකු නිවැරදි නොවන මගක ගමන් කෙරේනම් එය යහපත් නොවේ. එහිදී ඔහුට මග පෙන්වාදිය යුතුය. පැනවීම් කළ යුතුය. කමටහන් දිය යුතුය. එසේ නොමැති වුවහොත් ඔහු මංමුළාවීම වැළැක්විය නොහැකිය.

එවන් අවස්ථාවන්වලදී බුදුරදුන් ජීවමාන නොවුනද ධර්මය ආරක්ෂාව පිණිස තබාගත හැකිය. ඒ සඳහා වැදගත් මාර්ගෝපදේශයක් මෙයින් ලබාදේ.

නිසියාකාරව ධර්ම අවබෝධය ලැබීමෙන් බෞද්ධයා වෘද්ධවේ. තමා විසින් හොඳ නරක අවබෝධ කරගනී. එහෙයින් යායුතු මග පිළිබඳ අවබෝධය ලැබේ. ආර්ය මාර්ගයේ වෘද්ධවීම හෙවත් ආත්ම ගුප්තවීම යනු සෝවාන් ඵලයෙහි පිහිටීමයි. ඔහු නියත සම්බෝධීපරාණ කෙනෙකි. සීල සමාධි යම් තාක් දුරට වැඩුවෙකි. කල්‍යාණ මිත්‍රයෙකි. හොඳ නරක කියා දෙන සද්පුරුෂයෙකි. පාපකර්ම සිදුවිය හැකි මුත් එය එසේ සිදුවූ බව පිළිගනී. එපමණකින් නොනවතින ඔහු ආයති සංවරයෙහි පිහිටයි. සැම මොහොතකම වැරැදි සකසා ගනී. භව අටක් ඇතුළත ඉතිරි සංයෝජන ප්‍රහීණ කරගනියි. එහෙයින් ඔහුගේ සංසාරික ගමන නියත වශයෙන්ම නිවනට යොමුවෙයි. සතර අපාගත වීමක් නැත. පංචානන්තරීය පාපකර්ම මෙන්ම වෙනත් ලබ්ධියකට පත් නොවේ. භව සමුදය උපරිම ලැබේ.උපඋපන්භවයන්හිදී නිවන් මග තව තවත් හෙළිපෙහෙළි කර ගනී.

ඉහත තත්වය හෙවත් ආත්මගුප්ත වීම සූත්‍රාවසානයේ මෙසේ දක්වයි.

“සද්ධාය කතං හෝති කුසලේසු ධම්මේසු හිරියා කතං හෝති කුසලේසු ධම්මේසු ඔත්තප්පේන කතං හෝති කුසලේසු ධම්මේසු විරියේන කතංහෝති කුසලේසු ධම්මේසු පඤ්ඤාය කතං හෝති කුසලේසු ධම්මේසු අනපේකෝ දානාහං භික්ඛවේ තස්මිං භික්ඛුස්මිං හෝමි” අත්තගුත්තෝ දානි භික්ඛු නාලං පමාදායාති”

කුසලධර්මය පිළිබඳ ශ්‍රද්ධාවෙන්, හිරියෙන්, ලජ්ජාවෙන්, විර්යෙන් , ප්‍රඥාවෙන්, කටයුතු කරන්නේද ඔහු සෝවාන් ඵලයෙහි පිහිටීම හෙවත් ආත්මගුප්ත බවට පැමිණේ.

කුසල් හෙවත් කැපකිරීම සිදු කිරීම හැමෝටම කළ නොහැකිය. කෞෂල්‍ය හෙවත් හැකියාව යහපත විෂයෙහි යෙදවීම උතුම්ය. ඒ සඳහා ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය ආර්ය මාර්ගයේ මූලය ලෙස මෙය හඳුන්වන්නේද එහෙයිනි. පව්කිරීම බියක් හා ලජ්ජාවක් තිබීම පින් කුසල් කිරීමට ඉවහල්වේ. හිරිඔත්තප්ප ගුණය ලෝකපාලක ධර්මයක් ලෙසත් දේවධර්මයක් ලෙසත් හඳුන්වන්නේ ඒ නිසාවෙනි. කුසල් වැඩිය හැක්කේ මෙම ගුණ ඇත්තන්ටය. ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට හෙවත් කුසල් වැඩීමට වීර්ය අත්‍යවශ්‍යය. හීන වීර්යෙකුට අලසයෙකුට හැකි යාව උද්දීපනය කරගත නොහැකිය. වීර්යෙන් තොර නිවනක් පිළිබඳ බුදුදහමෙහි කථා කළ නොහැකිය. කුසල කර්ම ඉබේ සිදුනොවන අතර එය ඇති කර ගැනීමට කෙලෙස් යටපත් කළ යුතුය. ඒ සඳහා වීර්ය අවශ්‍යමය. නිවන යනු ප්‍රඥාවේ අග්‍රඵලයයි. කුසල ඇතිවීමට ප්‍රඥාව අවශ්‍යය. ප්‍රඥාවෙන් තොරව කරන ක්‍රියා කුසල් ගණයට අයත් නොවේ. කුසල ධර්මය පිළිබඳ ප්‍රඥාවෙන් කටයුතු කිරීම බෞද්ධයාට උරුම වූ තත්වයකි.

මෙසේ ඉහත ගුණධර්ම තුළ පිහිටා කුසල් වැඩීම ආර්ය මාර්ගයේ පළමු පියවරට පත්වීම හෙවත් ආත්මගුප්ත වීමයි. එවිට කිසිවිටක පමාවට නොපැමිණෙයි. ලෞකික අපේක්ෂා , විරහිත වෙයි. මින් එහා ආර්යන් වහන්සේ කටයුතු කරනුයේ පාර ලෞකික සැප ඇති කරගැනීම සඳහාය. එය කායික වෙනසක් නොව ආධ්‍යාත්මික වෙනසකි. මිථ්‍යාදෘෂ්ටි විරහිත මාර්ගය පිළිබඳ යථාවත් අවබෝධය ඇතිවේ. එවිට බුදුකෙනෙකුන් හෝ ධර්මය ඔහු පසුපස සිටිය යුතු නොවේ. තමාටම යථාවබෝධය ලබා ගත හැකිවේ.