Print this Article


පූජාච පූජනීනායං

හැටවන වියට පා තබන අස්සැන්නවත්තේ රතනජෝති නා හිමි

සැදැහැසිත් පෙරටු කොට නමදින තෙරුවනින් ජීවමාන වන එකම රත්නය මහා සංඝ රත්නයයි. ශාන්ති නායකයාණන් වහන්සේගේ උතුම් පරම සත්‍ය වූ ශ්‍රී සද්ධර්මය එතෙක් මෙතෙක් ලොවට දායාද කරමින් දහසක් දුක් දොම්නස් මැද මේ සසුන් පිළිවෙත ගෙනයන්නේ භික්ෂූන් වහන්සේලාය. එම සසුන් පිළිවෙත මැනවින් සුරකින නිරහංකාර ගුණයෙන් යුතු යතිවරයාණන් වහන්සේ නමකි. හැටවන වියට පා තබන කොස්හේන ශ්‍රී විශුද්ධාරාමාධිපති, ශාස්ත්‍රපති ඇස්සැන්නවත්තේ රතනජෝති ස්වාමින් වහන්සේ.

1954 ජූලි 17 වන දින පින්වත් කුමරුවෙකු ලෙස උපත ලබා ගිහිකල ලැබිය යුතු මූලික අධ්‍යාපනය ලබා ගත්තේ අස්සැන්නවත්ත රජයේ කනිටු විදුහලිනි. 1965 මාර්තු 10 වන දින ගල්කන්ද සිරි නිකේත මූල මහා විහාරාධිපති මාත්ගමුවේ පඤ්ඤාජෝති ස්වාමින් වහන්සේගේ හා අස්සැන්නවත්තේ සිරිසුදස්සි ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සුබ මොහොතින් ප්‍රවෘජයා භූමියට ඇතුළත් වූ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිගරු මහානායක හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය ස්වාමින් වහන්සේ එහි උපාධ්‍යාය ධූරයට පත්විණි. අස්සැන්නවත්තේ රතනජෝති නමින් ප්‍රවෘජ්‍යා භූමියට අවතීර්ණව මූලික සිප්සතර හදාරන්නට වේයන්ගොඩ, එළුවාපිටිය ප්‍රඥාදීප පිරිවෙණට ඇතුළත්ව රාජකීය පණ්ඩිත වෑගොව්වේ පඤ්ඤාවංශ ස්වාමින් වහන්සේ වෙතින් 1968 වසර දක්වා ධර්ම ශාස්ත්‍රෝත්ග්‍රහණය ලබා ගත්හ. ක්‍රමයෙන් ශාසන ලැදි සුපේශල ශික්ෂාකාමී භික්ෂු නමක් වූ රතනජෝති හිමියෝ භික්ෂු ජීවිතයක අවශ්‍ය අධ්‍යාපනයත් භික්ෂු ආකල්පත් ප්‍රගුණ කර ගැනීම සඳහා මුල පටන්ම උනන්දු වූහ. 1960 මැයි මාසයේදී කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත් වන්නේ වැඩිපුර අධ්‍යාපනය ලබනු පිණිසය. එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක බද්දේගම විමලවංශ ස්වාමින් වහන්සේගේ ඇසුර ලබන්නට රතනජෝති හිමියෝ භාග්‍යවන්ත වූහ. එම කාලය තුලදී අ.පො.ස. සා.පෙළ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය, ප්‍රාචීන මධ්‍යම විභාගය අ.පො.ස. උසස් පෙළ ආදි සියලු විභාගාදියට ඉදිරිපත්ව ඉන් විශිෂ්ට ප්‍රතිඵල ලබා 1976 වසරේදී කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුලත්ව එහිදී සාර්ථකව උසස් අධ්‍යාපනය ලබා 1979 සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත්හ.

තම ගුරුදේව මහා ස්වාමීන් වහන්සේලාගේ උපාධ්‍යායෙන් 1976 ජුනි 30 වන දින කළුතර කාල නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උතුම් වූ උපසම්පදා ශීලයට පත්වන්නේය. 1980 වසරේ සිට මරදාන ශී‍්‍ර ලංකා විද්‍යාල මහපිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක්වන රතනජෝති හිමිපාණෝ 1983 වසර දක්වා සිදු කළේ ප්‍රශංසනීය වූ සේවාවකි. මේ අතරතුරදී 1983 ජූලි 01 දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ දිවුල්වැව මහා විද්‍යාලයට රජයේ ගුරුපත්වීමක් ලබා වැඩම කරන රතනජෝති හිමිපාණෝ දැයේ දූ දරුවන්ගේ ශාස්ත්‍රාභිලාශයන් ඉටුකරන්නට ඇප කැප වූහ. අනතුරුව 1987 පෙබරවාරි 01 දා සිට අනුරාධපුර තලාව මහා විද්‍යාලයේ උපගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී 1989 අගෝස්තු 01 දින සිට ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගොඩිගමුව මහා විද්‍යාලයට ස්ථාන මාරු ලැබ වැඩම කරන නාහිමිපාණන්ට තම ගුරු ජීවිතයේ සන්ධිස්ථානයක් වන්නේ මෙම විදුහලයි. උපන් බිම ස්වර්ගයටත් වඩා උතුම්යැයි කියමනක් ඇත. තමන් ජනිත පළාතේම දරුවන්ගේ අභිලාශයන් ඉටු කරමින් ඔවුන් දිනෙන් දින බැබලීමට පත්වූයේ නාහිමියන්ගේ නේතෘත්වයේ මහිමයෙනි. 1990 වසරේ දෙසැම්බර් 31 වන දින සිට මෙම විද්‍යාලයේම නියෝජ්‍ය විදුහල්පති වශයෙන් පත් වන්නේත් ඒ සමගම 2008 වසරේ ජනවාරි මාසයේ විදුහල්පති වශයෙන් පත්වන්නේත් දරු දැරියන්ගේම වාසනාවකට බැව් නොරහසකි. දරු දැරියන්ගේත්,ආචාර්ය මණ්ඩලයේත්, ප්‍රදේශයේ දෙමව්පියන්ගේත් නොමද සහාය නාහිමිපාණන්ට ලැබුනි. එයින් විදුහල දියුණු වුවා පමණක් නොව, දරුවන්ගේ ගුණධර්ම දියුණු වෙමින් ඔවුන් සමාජයේ උසස් තත්වයට පත්වන්නට විය. 2011 වසරේ රජයේ ගුරු සේවයෙන් ඉසුඹු ලැබුවද බඩල්ගම කොස්හේන ශ්‍රී විසුද්ධාරාම මහා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන සිදුකරන ජාතික හා ආගමික මෙහෙවර සුළු පටු නොවේ. 1995 වසරේ කොස්හේන ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති තනතුරට පත්වන නාහිමිපාණන් වහන්සේ කෙතරම් කාර්යය බහුල වුවත් දායක දායිකාවන්ගේ කටයුතු සොයා බලා ඉටු කරති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුවිජ්ජක ධුරන්දර රාජකීය පණ්ඩිත ඇහැලියගොඩ සෝරත ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් කොස්හේන ශ්‍රී ප්‍රඥභා දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයට පත්වන නාහිමිපාණන් වහන්සේ එතැන් පටන් ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම දියුණූ කිරීමටත් ගුණ ධර්ම වර්ධනය කිරීමටත් වර්තමානය දක්වාම දරන්නේ අනල්ප උත්සාහයකි.

කොස්හේන ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ සියලු විහාරාරාංග මැනවින් පාලනය කරමින් පළාතේ දැකුම්කලු විහාරස්ථානයක් ලෙස ශ්‍රී විශුද්ධාරාමය පත්කිරීම නාහිමිපාණන්ගෙන් සිදු වූ මහඟු සේවාවකි. රාජකීය පණ්ඩිත ඇහැලියගොඩ සෝරත නාහිමි අපවත් වීමෙන් පසු උන්වහන්සේ අනුස්මරණය කරමින් ගොඩ නැඟූ අලංකාර ධර්ම මන්දිරයත් ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය වැඩි දියුණූ කිරීම පිණිස තැනු දහම් පාසල් ගොඩනැගිල්ලත් නාහිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යයේ යහපත් ප්‍රතිඵල ලෙස සටහන් කල හැකිය. විහාරස්ථානය මුල් කර ගනිමින් ආරම්භ කරන ලද සමිති සංවිධාන බොහෝය. ඒ අතරින් අවමංග්‍යාධාර සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතිය, වැඩිහිටි සංවිධානය, ශ්‍රී සුදර්ශි ගිලානෝපස්ථාන සමිතිය, ධර්මපාල තරුණ බෞද්ධ සමිතිය ආදි ස්වේච්ඡා සංවිධාන ඉතාමත් සාර්ථක අයුරින් පවත්වාගෙන යාම කාගේත් ප්‍රසාදයට හේතු වී ඇත. විහාර කාර්යය සාධක සමිතිය සහ දහම් පාසල් සංවර්ධන සමිතිය මුල් කර ගනිමින් ප්‍රදේශයේ බොදුනුවන් සියලු දෙනාගේම අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් සිදු කරනු ලබන්නේ සුවිශේෂි සේවාවකි.

නාහිමිපාණන්ගේ තිර අධිඨන වූයේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මයි. බුදුදහම ප්‍රචලිත කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගනිමින් ශක්තිමත් සිසු පරපුරක් සසුනට දායාද කිරීමම එම පියවරෙහි මහඟු ප්‍රතිඵලයකි. ලක්දිව විවිධ ප්‍රදේශවල සිට ජාතික ආගමික වශයෙන් අප නාහිමිපාණන්ගේ සිසුවන් කරන්නේ විශිෂ්ට සේවාවකි. දැයට සමයට වැඩ ඇති උපාධිධාරි පැවිදි සිසුන් විශාල පිරිසක් බිහි කළ අතර ත්‍රිකුණාමලය, ඇතාබිඳුණූවැව මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති කොස්හේනේ ශාන්තදේව හිමියන් ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

සෑම දෙනාටම අනුකම්පා සහගතව කටයුතු කරන උන්වහන්සේ තම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට මහා නුග රුකක් මෙන් දුන් සෙවණ ඉතා විශිෂ්ටය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි ධූරයට පත්වන්නේ 1994 ජූලි මස 09 දිනයේදීය. එදා සිට වර්තමානය දක්වාම තමන් වහන්සේ වෙතින් සිදුවිය යුතු සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරනු දැකීම ප්‍රශංසාජනකය. මුල් ගුරුබිම වු ගල්කන්ද සිරි නිකේත පිරිවෙන් මූල මහා විහාරය වෙනුවෙන්ද දක්වන්නේ අනුපමේය වූ ගෞරවයකි. නිතර එහි දියුණුව ප්‍රාර්ථනා කරන අප නාහිමිපාණන් වහන්සේ වත්මන් විහාරාධිපති තොරණගොඩ සුමණසිරි මහාස්වාමින් වහන්සේට විශේෂ ශක්තියක් වී ඇත. පරිවේනාධිපති ශාස්ත්‍රපති කිතුල්වල පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේගෙන්ද මෙම කටයුතු සඳහා ලැබෙන්නේ අනගි සහායකි. අස්සැන්නවත්තේ රතනජෝති ස්වාමින් වහන්සේ තම දිවි මගෙහි හැටවන වියට පා තබන මොහොතෙහි උන්වහන්සේට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් විශේෂ අටවිසි බුද්ධ පූජා පින්කමක් සිදු කිරීමට විහාරස්ථ ශ්‍රී ප්‍රඥභා දහම් පාසැලේ ආචාර්යය මණ්ඩලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස මෙන්ම විහාරස්ථ දායක සභාව කටයුතු සූදානම් කොට තිබිණි. එමෙන්ම මෙම ජූලි මස 20 දින අනුරාධපුර ජය ශි‍්‍ර මහාබෝධින් වහන්සේ අභියසදී විශේෂ බෝධි පූජාවක් ද පවත්වා අප නාහිමිපාණන් වහන්සේට දිගාසිරි පැතීමට කටයුතු සුදානම් කොට තිබිණි.


පාමංකඩ ඉන්දජෝති හිමි

හෝමාගම, උඩුගහපත්තුවේ, ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී පාමංකඩ ඉන්දජෝති හිමියෝ පැවිදි බව ලබා ජූලි 13 දිනට අඩසිය වසරක් සපිරිණි. ඒ නිමිත්තෙන් ජූලි 13 දින පොල්ගස්ඕවිට ශ්‍රී සුධර්මාරාමයේ දී අභිනන්දන උපහාර පූජා පුණ්‍යෝත්සවයක් පවත්වා ජූලි 18, 19, 20 තෙදින තුළ ආශිර්වාද පින්කම් මාලාවක්ද පැවැත්විණි. කොලොම් පුරයට මායිම්ව පිහිටි පාමංකඩ ග්‍රාමයේ දී 1949 ජනවාරි 02 දින මෙලොව එළියදුටු ඥානසිරි කුමරුගේ මාපියන් වූයේ නාවලගේ සයිමන් කුරේ හා ජොස්ලින් කුරේ සැදැහැවත් දම්පතීහුය. කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් අකුරු කර වූ ඒ කුමරු පොත පත පරිශීලනයට පමණක් නොව බාහිර ක්‍රියාකාරකම්වලටද විශේෂිත දක්ෂතා දැක්වූහ. විදුහලේ කෙඩෙට් බළකායට ද එක්වූහ. ඒ සමගම නිතර නිතර පාමංකඩ ශ්‍රී මහා විහාරය ඇසුරු කරලීමේ ප්‍රතිඵලය වූයේ ආගම දහම කෙරෙහි සිත වඩ වඩාත් නැඹුරු වීමයි. මුළු රටේම අසීමිත ගෞරවය දිනාගත් මහාචාර්ය කොටගම වාචිස්සර නාහිමිගේ නිබඳ ආශිර්වාදය ලබන ඥානසිරි කුමරු 1964 ජූලි 13 දින පොල්ගස්ඕවිට, ශ්‍රී සුදර්ශනාරාමයේ දී පැවිදි බිමට ඇතුළත් විය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමශ්‍රී සංඝ සභාවේ අරුග්ගොඩ විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය, හා සංඝනායක ගොඩිගමුවේ පඤ්ඤාසීහ නාහිමියෝ ගුරු දේවයාණෝ වූහ. පිළියන්දල මාම්පේ ශ්‍රී සෝභිත පිරිවෙනින් හදාළ යුතු බණ දහම් ආදිය ප්‍රගුණ කළහ. 1970 ජූලි 9 දින ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර සංඝසභාවේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාශීලයෙහි පිහිටවනු ලැබූහ. යම් භික්ෂූන් වහන්සේ නමක් ව්‍යක්ත, විශාරද බහුශ්‍රැත ධර්මධරයෙකු ලෙස දහමට අනුව කල් ගෙවෙන්නේ නම් එවැන්නෝ සංඝසෝභන ගුණයෙන් හෙබියෝ වන්නාහයි තථාගත දේශනාව සනාථ කළ ඉන්දජෝති හිමියෝ බුදු බණ දෙසමින් සැදැහැවත් සිත් සුමිහිරි දම්රසයෙන් පුරවාලන ජනපි‍්‍රය ධර්මදේශකයාණෝ නමක් වූහ. චාම් දිවි පෙවෙතත්, දායක කාරකාදීන්ට දක්වන ලෙන්ගතු බවත් අතිශයින්ම පුදුම එලවන සුළුවිය. 1972 දෙසැම්බර් 22 දින සිය ගුරු දේවයාණෝ අපවත් වීමෙන් පසුව විහාරාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ එළඹි අභියෝගයනට මුහුණ දෙමින්, අධ්‍යාපන කටයුතු ද අත් නොහැර අධිෂ්ඨානශීලීව ආගමික හා ශාසනික කටයුතුවල යෙදුනි. ශාස්ත්‍රවේදී උපාධිය ද ලබාගත හැකි වූයේ ඉන් ඉක්බිතිවය. පසුව වසරකට ආසන්න කාලයක් දඹදිව ඇතුළු ඉන්දියාවේ විවිධ නගරවල තනිව සංචාරය කරමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත විය.

ඉක්බිතිව රජයේ පාසලක ධර්මෝපදේශක තනතුරක් ලද උන්වහන්සේ බණ්ඩාරවෙල ශ්‍රී සුගත විද්‍යාලය, ඇල්ල විද්‍යාලය, පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලයේ සේවය කළහ. ජපානයේ ධර්මප්‍රචාරක කටයුතුවල නිරතවීමට ඉඩලබාගනු පිණිස රජයේ සේවයට සමුදුන් උන්වහන්සේ විදේශ රටවල් ගණනාවකද සංචාරය කිරීමේ වාසනාව ලදහ.

මෙරටට වඩ වඩාත් ආගමික කටයුතුවල නිරතවීමට දැක්වූ අධිෂ්ඨානයේ ප්‍රතිඵලය වූයේ පොල්ගස්ඕවිට ශ්‍රී සුදර්ශනාරාමය දුටුවන් සිත් ඇද බැඳ ගන්නා රමණීය පුණ්‍ය භූමියක් බවට පත්වීමයි.

මේ කාලයේ දී හොන්නන්තර දූව ශ්‍රී සුදර්ශන විහාරය, කෝරළඉම සඳකිරණ විහාරය, අලුතින් ගොඩනගාලීමටත්, එතුළින් සසුනේ උනන්තිය වෙනුවෙන් දායක වීමටත් උන්වහන්සේ අපමණ වෙහෙසක් ගත්හ. එක් එක් විශේෂිත හේතු අරමුණු හේතු කරගෙන සුදු පින්කම, මව් දිනය, පිය දිනය, ගුරු දිනය වැනි පූජා පින්කම් සෑම වසරකම ක්‍රියාත්මක වනුයේ ඒ අනුවය. අඛණ්ඩව වසර 15 ට ආසන්න කාලයක් දායක දායිකාවන් ගේ ද සහභාගිත්වයෙන් පවත්වාගෙන එන “දළදා පූජාව“ නම් වූ බුදුගුණ වැඩසටහන උන්වහන්සේගේ ආගමික මෙහෙවරේ උත්තුංග අවස්ථාවක් වෙයි.

තම ධර්මශාස්ත්‍රීය සේවාව අඛණ්ඩව ව්‍යාප්ත කරනු උදෙසා ධර්මධර හා විනයධර භික්ෂු පරපුරක් සසුනට දායාද කිරීම ද සිහිපත් කළ යුතුමය. විජේරියේ පියතිස්ස, අඹතැන්න ඉන්දසුමන, පොල්ගහකුඹරේ ඉන්දරතන, ඇඹුල්අඹේ ඉන්දසර, උඩබාගේ නන්ද, බුත්තල ඉන්දවිමල හා මිරිස්වත්තේ ඉන්දසිරි යන ශිෂ්‍ය පරපුර විදේශ රටවල පවා ධර්මප්‍රචාරක කටයුතුවල නිරතව සිටිති. උන්වහන්සේට ආශිර්වාද පතන දායක කාරකාදීන් ජූලි 13 දින පොල්ගස්ඕවිට ශ්‍රී සුදර්ශනාරාමයේ දී අභිනන්දන උපහාර පූජා වැඩසටහනක් සංවිධානය කර තිබිණි. ‘සුදාකර’ නම් වූ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමද එහිදී සිදුවිය.