Print this Article


සුසුමක විමසුමෙන් වැඩිය යුතු මඟ

සුසුමක විමසුමෙන් වැඩිය යුතු මඟ

යමෙකු කණස්සල්ලටත්, වේදනාවටත් පත් වූ විට ඔහුගේ සිත විසිරෙන්නට පටන් ගනී. එවිට ගතට මෙන්ම සිතටද කිසි විවේකයක් නැත. එවිට ඔහු වහා කෝප වේ. වහා වේගයෙන් වචන පිට කරයි. මූණ එල්ලාගෙන සිටියි. සුසුම් හෙළයි. සමහරවිට මේ ලක්ෂණ නිසාම ඔහු ලෙඩ වෙයි. ඔහු ලෙඩ වූයේ ගතටත්, සිතටත් විවේකය මදිකමින් බව ඔහු නොදනී. වෛද්‍යවරුන්ටත් රෝග නිදානය සොයාගත නොහැකි වෙයි. කෙමෙන් කෙමෙන් ඔහුගේ කණස්සල්ලත් වේදනාවත් මඟ හැරී ගිය විට ගතටත් හිතටත් විවේකයන් ලැබෙන විට ටිකෙන් ටික ඔහු සුවපත් වෙන්නට ඉඩ තිබේ. එහෙත් රෝගයකින් සකස් වෙන විඩාව බොහෝ විට ඉතිරි වන්නට පුළුවන.

ඔබේ සිත් තැවුුල පවසන්නට සුදුසු කෙනෙකු ඔබට හමු නො වුණහොත් සිතේ තෙරපාගෙන දුක් විඳින්නට සිදුවේ. අනුන්ගේ දුක ඉදිරියේ උණුවෙන හදවත් ඇති උදාර මනුෂ්‍යයන් ඕනෑතරම් මේ සමාජයේ සිටියි. මිනිස්කම් පිරුණු කරුණා මෛත්‍රියෙන් යුක්ත පින්වතුන් විශේෂයෙන් බෞද්ධයන් අතරේ සිටිති. විශේෂයෙන් කවුරුන් හෝ දුකට පත් වූ විට බෞද්ධයා ඔහුට උදව් කරන්නේ තමන්ගේ ආගමට ඔහු බිළි බා ගැනීමේ කූට අදහසින් නොවේ. බෞද්ධයෝ සැබෑවටම කරුණාවෙන්ම අනුකම්පාවෙන්ම උදව් කරති. බෞද්ධ වූ අප ඒ නිසාම තම තමන්ගේ ජීවිතවල අධ්‍යාත්මික සුවය වර්ධනය කර ගැනීම පිණිසත්, අනුන්ට පිහිට උපකාරීවීම පිණිසත්, කිසියම් මානසික අභ්‍යාසයක යෙදිය යුතුය. ඒ සඳහා ඔබට දැන් කියා දෙන්නේ අනාපානසති භාවනාව යි.

ඔබ උපන්දා සිටම හුස්ම ගන්නේය. හුස්ම හෙළුවේය. එහෙත් ඔබ සිහියෙන් හුස්ම ගැනීමත් සිහියෙන් හුස්ම හෙළීමත් කොට තිබේද? ගිහි ගෙදරදී සිහියෙන් හුස්ම ගැනීම සිහියෙන් හුස්ම හෙළීමත් නොකළ යුතුයැයි කියා ධර්මය නොදන්නා කෙනෙක් කිව්වොත් කිසිසේත් කලබල නො වන්න. මා උපන්දා සිට ගන්න හෙළන හුස්ම ගැන සිහිය යොමුකර ගැනීමේ කිසිම වැරැද්දක් නැතැයි සිතා, සිත හදාගන්න. හුස්ම ගැන සිහිය යොමු කොට සිහිය බලවත් කර ගැනීමේ සුන්දර භාවනා ක්‍රමය අපට උගන්වා වදාළේ අපගේ බුදුරජාණන් වහන්සේ යි.

ඔබ විවේක තැනක් තෝරාගන්න. ඔබට පළඟක් බැඳ ගැනීම අපහසු නම්, පහසු ඉරියව්වෙන් වාඩිවෙන්න. කොන්ද කෙළින් සිටින සේ වාඩිවෙන්න. අත්දෙක පිළිවෙලකට තබා ගන්න. වම් අත උඩින් දකුණු අත තබාගන්න. දැන් සැහැල්ලුවෙන් හුස්ම ඉහළට පහළට දෙතුන් වරක් ගන්න. ගත සිත සැහැල්ලු කර ගන්න. ඉන්පසු දෑස පියාගන්න. දැන් ඔබ මෙසේ මොහොතක් සිතන්න. මේ භාවනාව අපට කියාදුන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! යි තුන්වරක් සිහියෙන් සිතන්න. එපමණ යි. දැන් ඔබ ඉතාම හොඳ අවධානයෙන් යුක්තව හුස්ම ගන්න. ඉතාම හොඳීන් අවධානයෙන් යුක්තව හුස්ම හෙළන්න. හොඳම දෙය නම් දෑස පියාගෙන සිටින ඔබ ඉදිරියට සිත යොමු කරන්න. නාසයේ කෙළවර ළඟ හෝ තොල්පොට උඩ හෝ අවධානය යොමු කරගෙන සිටින්න. හුස්ම හැපෙන තැන් තෝර තෝරා සිටිනවාට වඩා පහසු වන්නේ හුස්ම ගන්න බව, හෙළන බව තේරුම් ගැනීම යි. හුස්ම වදින තැන සිත යොමු කරගෙන සිටීම වදරක් නොවේ. අපට අවශ්‍ය වන්නේ බාහිර අරමුණුවල සිත විසිරෙන්නට නොදී හුස්ම කෙරෙහිම සිත රඳවා ගැනීමට යි.

ඒ සඳහා ඔබට උත්සාහය අවශ්‍ය වේ. උත්සාහය ඇතිකර ගැනීම පිණිස ඇඟට වීර්යය ගැනීමෙන් වළකින්න. උත්සාහය පිණිස ඉවසීම අවශ්‍ය යි. ඊළඟට ඉතාම හොඳ අවධානයක් අවශ්‍ය යි. ඊළඟට හුස්ම ගැන තිබෙන අවධානය තමන්ට නොදැනීම වෙන වෙන පැතිවලට යොමු වී පරණ විදිහට සිත හැසිරෙන විට එයින් වළක්වා යළි යළබිත් හුස්ම ගැන හිත පිහිටුවා ගැනීමට නුවණක් අවශ්‍ය යි.

දැන් ඔබ හුස්ම ගන්නා විට ඒ දෙස හොඳින් බලාගෙන ‘ආශ්වාසයක්’ කියා සිහි කරන්න. හුස්ම හෙළනා විට ඒ දෙස හොඳින් බලාගෙන ‘ප්‍රශ්වාසයක්’ කියා සිහි කරන්න. ඔය ආකාරයට හුස්්ම දෙස බලාගෙන සිත යොමු කරන විට ටිකෙන් ටික ඔබ හුස්ම තුළ ඇතිවන වෙනස්කම් හඳුනා ගන්නට සමත් වේ. එනම් සමහර විට දිගට හුස්ම ඇතුළු වේ.දිගට හුස්ම පිටවේ. එය ඒ ආකාරයටම තේරුම් ගන්න. සමහර විට කෙටියෙන් හුස්ම ඇතුල් වේ. කෙටියෙන් හුස්ම පිටවේ. එය ඒ ආකාරයට තේරුම් ගන්න. ටිකෙන් ටික ඔබේ සිහිය හුස්ම ගැනීමේ හුස්ම හෙළීමේ ක්‍රියාවලිය තුළ රඳවා සිටීමේ හැකියාව ඇතිවේ. එවිට ඔබ වඩාත් සිහිය ඒ දෙසටම යොමු කරන්න. එවිට හුස්ම සම්පූර්ණයෙන්ම ඇතුල් වෙන ආකාරයත්, සම්පූර්ණයෙන්ම පිටවන ආකාරයත් ඔබට තේරුම් ගතහැකි වනු ඇත.

එහෙත් භාවනාව ආරම්භයේ ඔබේ සිත එතරම් දමනය වී නැත. ඒ නිසා බාහිර ශබ්දවලට සිත යොමු වෙන්නට ඉඩ තිබේ. එවිට සිහිකළ යුත්තේ ’ශබ්දය අනිත්‍යයි’ කියා දෙතුන් පාරක් සිහිකොට ශබ්දය කෙරෙහි අවධානය යොමු නො කොට හුස්ම ගැන සිත පිහිටුවා ගැනීම යි. සමහර විට ඔබේ දණහිස්වල වේදනා ගැන ඔබේ සිත යොමු වෙන්නට පුළුවනි. එවිට ඔබ කළයුත්තේ ඒ ගැන අවධානය යොමු නො කොට හුස්ම ගැන සිත යොමු කරගෙන සිටීමයි. වේදනා වැඩිවුණොත් සිහියෙන් යුක්තව ඉරියව් වෙනස් කළාට වරදක් නැත. සමහර විට ඔබේ සිත එකඟ වෙන්නට පුරුදු වූ විට සිතේ තැන්පත් වී තිබුණ නොයෙක් දේවල් පෙනෙන්නට ඉඩ තිබේ. බොහෝ දෙනෙකුට කිසිවක් නො පෙනේ. ඒ පෙනෙන කිසිවක්ම විශ්වාස කරන්න එපා. සිහින පළාඵල තෝරන්නාක් මෙන් සිතට පෙනෙන දේවල් තෝරන්න එපා. ඒවා සිතේ මායාවල් ලෙස සලකා බැහැර කරන්න. යළිත් ආනාපාන සතියටම සිත යොදවන්න.

ටික කලක් පුරුදු කරන විට අනාපානා සතිය හෙවත් හුස්ම ඉහළ ගැනීමත්, පහළ හෙළීමත් ගැන පමණක් සිහිය මනාකොට පවත්වා ගැනීමේ හැකියාව ඔබ තුළ ගොඩ නැගෙනු ඇත. ඒ අනාපානසති සමාධිය යි. මේ ආනාපානසති සමාධිය වැඩූ කල්හි බහුල වශයෙන් ප්‍රගුණ කළ කල්හි ඔහුගේ කයෙහිත්, සිතෙහිත් කම්පනයක් හෝ සැලීමක් ඇති නො වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මේ අනාපානසති භාවනාව ගැන දීඝ නිකායේ මහා සතිපට්ඨාන සුත්‍රයෙහිත්, සංයුක්ත නිකායෙහි ආනාපාන සංයුක්තයෙහිත් බොහෝ විස්තර ඇතුළත්ව තිබේ. එම සූත්‍ර දේශනා හැදෑරීම තුළින් ඔබට ආනාපානසතිය ගැන බොහෝ කරුණු කාරණා තේරුම් ගත හැකිය.

එක්තරා අවස්ථාවක දී බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමට පෙර බෝසත් අවධියේදී මේ අනාපානසති භාවනාවෙන් බහුලව වාසය කළ බවත්, ඒ හේතුවෙන් කයට හෝ සිතට වෙහෙසක් ඇති නො වුණ බවත් උපාදාන රහිතව සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණු බවත් වදාළ සේක. එමෙන්ම උන්වහන්සේ වදාළේ කෙනෙක් කැමැතිනම් රූපි ධ්‍යාන හෝ අරූපි ධ්‍යාන හෝ ලබා ගැනීමට එමෙන්ම පංචකාමයන් ඇසුරු කොට පවතින විතර්කයන් ප්‍රහාණය කිරීමට එසේ නැතිනම් ආශ්‍රවයන් ක්ෂය කිරීමට ඔහු විසින් ආනාපානසති සමාධිය මැනවින් වැඩිය යුතු බවයි.

ගිම්හාන සෘතුවෙහි අවසන් මාසයෙහි පොළොවෙන් උඩට නැගෙන දුහුවිලි අකාලයෙහි වට මහා වරුසාවකින් අතුරුදහන් කරන්නේ යම්සේද, එමෙන්ම ආනාපාන සතිය වැඩීම නිසා උපන් පාපී අකුසල් සැණෙකින් අතුරුදහන් වෙයි. සන්සිඳී යයි. වරක් ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසා සිටියේ. ‘ස්වාමිනි, එකම එක ධර්මයක් වැඩීමෙන්, බහුල කිරීමෙන්, සතර ධර්මයක් පරිපූර්ණ වෙයිනම්, ඒ සතර ධර්මය වැඩීමෙන්, බහුල කිරීමෙන් ධර්ම සතක් පරිපූර්ණ වෙයි නම්, ඒ ධර්ම සත වැඩීමෙන් බහුල කිරීමෙන් ධර්මයන් දෙකක් පරිපූර්ණ වෙයිනම්, එබඳු වූ එක් ධර්මයක් තිබේද? එවිට භාග්‍යවතුන් වහන්සේ එබඳු එකම ධර්මයක් තිබෙන බවත්, ඒ එකම ධර්මය ආනාපානසතිය බවත් දේශනා කළ සේක. ආනාපනාසතිය නම් වූ එකම ධර්මය වැඩීමෙන් සතර සතිපට්ඨානය පරිපූර්ණ වේ. සතර සතිපට්ඨානය වැඩීමෙන් සප්ත බොජ්ක්‍ධංග පරිපූර්ණ වේ. සප්ත බොජ්ක්‍ධංග වැඩීමෙන් විද්‍යා විමුක්ති පරිපූර්ණ වේ.

මේ ආනාපානසති භාවනාව ඔබේ කයටත්, සිතටත් කිසිදු වෙහෙසක් ඇති නො කරන ඉතාමත් ශාන්ත වූ ප්‍රණීත වූ භාවනා ක්‍රමයක් බව ඔබටම පසක් වේවි. අපගේ චිත්ත දියුණුවට බාධා පමුණුවන ප්‍රඥාව දුර්වල කරන කරුණු පහකි. ඒවා හඳුන්වන්නේ නීවරණ යනුවෙනි. පංච කාමයන්ගේ ආශ්වාදයට සිත ඇදී යාම, ගැටීම තරහව, නිදිමත හා අලස බව, සිතේ විසිරීම හා පසුතැවීම, සැකය යන මේ නීවරණයන් ආනාපානසතිය වැඩීම තුළින් ්ක්‍රම ක්‍රමයෙන් තම සිතින් බැහැර කළ හැකි වේ. එවිට සිත සමාහිත වේ. එවිට ඔබට ඒ සමාහිත සිතින් ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ යථාර්ථය මැනවින් නුවණින් විමසිය හැකි වේ. එවිට ඕනෑම ප්‍රශ්නයක් ඉදිරියේ මහත් ධෛර්යයකින්, අධිෂ්ඨානයකින් සැනසිල්ලකින් එයට මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇත.

ඔබටද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!

නයනා කුමාරි