Print this Article


බුදුදහම ඉටුකළ යුග මෙහෙවර

බුදුදහම ඉටුකළ යුග මෙහෙවර

ක්‍රිස්තු පූර්ව හයවැනි සිය වසෙහි භාරතයේ සිදු වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම යුගයේ අවශ්‍යතාවක් ඉටුවීමකැයි සැලකීමට තුඩු දෙන කරුණු රාශියක් සූත්‍ර හා විනය පිටකවල විසිර තිබේ. බුදු උපත එක් අතෙකින් යුගයේ දාර්ශනික අවශ්‍යතාවයෙක් විය. අනෙක් අතින් සංස්කෘතිය වුවමනාවක් වූයේය. එසේම ඒ ඓතිහාසික සිද්ධිය වෙසෙසින්ම යුගයේ සමාජමය අවශ්‍යතාවක් වූයේය. සියවස් ගණනාවක් මුළුල්ලෙ භාරත දේශයේ අනුක්‍රමයෙන් සංවර්ධනය වූ ආගමික හා දාර්ශනික සංකල්පයන්ගේ එක්තරා පරිණත අවස්ථාවක බුදු උපත සිදු වීමෙන් මැ ඒ බව තවදුරටත් පැහැදිලි වෙයි. එම අවධිය වන විට භාරතීය ආගමික හා දාර්ශනික පරිසරය වෙලාගෙන සිටි ව්‍යාකූලතාවයන්ගෙන් එය සැබවින්ම මුදාලමින් මානව චින්තනය හරවත් කරන විධිමත් විචාර පූර්වක දර්ශන මාර්ගයකට අවශ්‍ය න්‍යායික වූත් ප්‍රායෝගික වූත් මගක් පෙන්වීමට බුදුසමය සමත් වූ බව ප්‍රකටය.

යුගයේ අවශ්‍යතාවය ඉටු කළ ඓතිහාසික සිද්ධිය එසේම සාමාජීය වශයෙන් ඒ වන විට ඇතිව තිබූ අප්‍රසන්න අසහනකාරි විෂමතාවන්ගෙන් ගහණ වටපිටාවෙන් මිදී වඩාත් ප්‍රසන්න සහනසීලි නිදහස් ආකල්ප ඇති සමාජයක් ඇති කර ගැනීම පිණිසද බුදු දහම විසින් මග පෙන්වන ලද්දේය. මේ තත්ත්වය යටතේ බුදු උපත යුගයේ අවශ්‍යතාවය ඉටු කළ ඓතිහාසික සිද්ධියක් වශයෙන් සැකසීම සාධාරණ වෙයි.

දිග් සඟියේ බ්‍රහ්මජාල සූත්‍රය විමසිලිමත් ව අධ්‍යයනය කරන්නෙකුට එවකට භාරතයේ පැවති දාර්ශනික ව්‍යාකූලතාවය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගත හැකි වෙයි. බුදුරදුන් උපන් දඹදිව දෘෂ්ටි කෞතුකාගාරයකි. විවිධ සාමයික දෘෂ්ටි කර ගසා ගත්තෝ කඳවුරු කණ්ඩායම් පිල්වලට බෙදී එකිනෙකා සමඟ වාද විවාද ඇති කර ගත්තෝය. බ්‍රහ්ම ජාලය දෘෂ්ටි ජාලය ලෙසද සුත්‍රයේ ම දැක්වෙයි. එහි දැක්වෙන විවිධ ආගමික දාර්ශනික මතවාද ගණනින් හැට දෙකකි. “මගේ අදහස මතය ම සත්‍යය, සෙස්සන්ගේ මතවාද අදහස් අසත්‍යය යනුවෙන් තර්ක වාද නගමින් හැසිරුණු එවන් මහණ බමුණන් පිළිබඳ සුත්ත නිපාතයේ අට්ඨක පාරායන වග්ගවල සවිස්තර ව වාර්තා වෙයි. විවිධ ආගම් දර්ශන ලබ්ිධී ප්‍රතිපදා සමයවාද, දෘෂ්ටි පිළිගෙන දේශනා කරන්න වුන්ගෙන්ද ඔවුන් අනුව යමින් එම න්‍යාය හා පිළිවෙත් අනුගමනය කරන්නවුන්ගෙන්ද එකල භාරතය පිරී පැවතින. ආත්මයත් ලෝකයත්, ශාස්වතය, සදාකාලිකය නිත්‍ය යැයි ඇතැම් මහණ බමුණෝ ඉගැන්වූහ. ඔවුහු ස්වමත සාධනයටම යොමුවැ විවිධ තර්කවාද නගමින් හේතු සාධක දක්වමින් සෙසු මතවාද ප්‍රතික්ෂේප කළෝ ය. ආත්මයත් ලෝකයත් අශාස්වතය, තාවකාලිකය. මරණයෙන් සියල්ල කෙළවර වේයැයි ඇතැම් මහණ බමුණෝ ඉගැන්වූහ. ඔවුහුද ස්ව මතයම සාධනය කළෝ පරමත ඛණ්ඩනය කරනු පිණිස ක්‍රියා කළහ. බුදු උපත සිදු වූයේ මෙවන් දාර්ශනික දෘෂ්ටි කලහයක් භාරතයෙහි උද්ගතව පැවති අවධියකයි. පූර්වෝක්ත උභතෝකෝටික දාර්ශනික දෘෂ්ටිවාදයන් සියල්ල පසෙකින් තැබූ බුදුරජාණන් වහන්සේ මිනිසා ඉදිරියේ ඇති මූලික ප්‍රශ්නය විසඳා ගැනීම පිණිස ඒ කිසිවකින් පලක් නැති බව පැහැදිලිව ප්‍රකාශ කළහ. මිනිස් ජීවිතයේ ඇති තතු විමසන්නෙකුට සැබවින්ම එය අසාර වු අපරිපූර්ණ වූ අතෘප්තිකර වූ ක්‍රියා සන්තතියක් පමණක් බව පසක් වනු ඇත. අනේක විධ දෘෂ්ටි මායාවන්ගෙන් බැහැරව ජීවිතය දෙස බැලූ බුදුරජාණන් වහන්සේ සසර පැවැත්මට ඉපදීම, මහළුවීම ,ලෙඩවීම , කැමති දේ නොලැබීම ආදි අප්‍රසන්න දුක් සහිත ස්වභාවයන්ගෙන් යුක්ත බව පසක් කළහ.

දෘෂ්ටිමය ගැටළු

සැකෙවින් කියතොත් ජීවිතය නම් වූ මේ උපාදානස්කන්ධ පහම දුකය. අර්ථ ශූන්‍ය සාංසාරික ජීවන පැවැත්මට මිනිස්සු අසුවී සිටිති. ඔවුන් පත්ව සිටින්නේ මහත් වූ දුෂ්කරතාවයකට. අමාරුවකටය. එබැවින් ලෝකය ශාස්වතද? අශාස්වතද? ආත්මය නිත්‍යද? ආත්මය අනිත්‍ය ද? යනාදි දෘෂ්ටිමය ගැටළු පසෙකින් තැබූ බුදුන් වහන්සේ ඒ සියල්ල අව්‍යකෘත (නොවිසඳන) ගණයට ඇතුළත් කළහ. මේ දුකය. මේ දුකට හේතුවය. මේ දුක් නිවීමය. මේ දුක් නිවන මග යැයි වදාළහ. අනවශ්‍ය දාර්ශනික ව්‍යාකූලත්වයන් ඇති කරමින් උභතෝකෝටික වූ අනේකවිධ දාර්ශනික ගැටළු විසදීම පිණිස ආයාස කරව, නිරන්තර ප්‍රයත්නයක යෙදී සිටි මහණ බමුණන් ,චිනතකයන් අතර බුදුරජාණන් වහන්සේ වැනි මැදිහත් විචාර පූර්වක අවදිකමක් ඇති ශාස්තෘවරයෙකු පහළ වීම සැබවින්ම යුගයේ අව්‍ය්‍යතාව ඉටු වීමකි. එවන් කෙස් පලන තර්කනයෙන් ද හානිදායක සාම්ප්‍රදායිකත්වයෙන්ද මිදී ජීවිතයේ ඇත්ත ඇති හැටියෙන් දැක්මට උන්වහන්සේ මග පෙන්වූහ.

ජීවිතයේ යථාර්ථයයි සැබෑ විමුක්තියයි

ප්‍රථම ධර්මදේශනයෙන්ම ජීවිතයේ යථාර්ථයත් මිනිසාගේ සැබෑ විමුක්තියත් උන්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී.

බුදු උපත සිදු වන අවදිය වන විට භාරතීය දාර්ශනික පසු තලය නිදහස් චින්තකයෙකු බිහි කර ගැනීමේ පරම අපේක්ෂාවෙන් පසු වූ බවටද කරුණු තිබේ. වෛදික බ්‍රාහ්මණ ශ්‍රැති පරපුර විසින් කරන ලද දැඩි බලපෑම හේතුකොට ගෙන එවකට මිනිසාගේ සිතීමේ හා විමසීමේ නිදහස කෙරෙහි එල්ල වී තිබූ අභියෝගය සුළු පටු නොවේ. පිළිගත යුතු ම යැයි බල කරන ලද දේව භාෂිතය වේදය තුළින් සමාජය වෙත යොමු කර තිබුණි. එහිලා නිදහස් ව නිවහල්ව සිතීමට විමසීමට ප්‍රශ්න කිරීමට ඉඩක් නොලැබුණි.මූලික ආගමික ග්‍රන්ථවල සටහන් වන නිසා ජීවිතය ලෝකය හා සමාජය පිළිබඳ වෛදික අදහස් බැතිමත් ව පිළිගත යුතුව තිබිණි.

ජීවිතය හා ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් පිරිසිඳ දැක්මට නිදහස් ව නිවහල් ව විධිමත් ව විචාරපූර්වක මැදිහත් ව සිතීමේ හා විමසීමේ අවශ්‍යතාව බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල දී පැහැදිළි කර දෙන ලද්දේය. ජීවිතයෙ යථාර්ථය පිළිබඳ දන්නා තුරු දක්නා තුරු මිනිසාට ස්වකීය පැවැත් ම තුළ ඇති අසහන අසම්පූර්ණතාදියෙන් මිදිය නොහැකිය. අර්ථ සම්පන්න වූ සත්‍යය විචාරශීලි නිදහස් ආර්ය පර්යේෂණය තුළින් ලැබිය යුතු ප්‍රත්‍යක්ෂයෙකි. අවිචාරවත් ව අන්තගාමී න්‍යාය වාදයන්හි එල්බ සිටීම සත්‍යය දැකීමට බාධාවකි.

මේ අදහස මේ මතය සත්‍යය අන් සියල්ල අසත්‍යයැයි පූර්ව නිගමනවලට එළඹීම මුලාවෙකි. යම් කරුණක් ධර්ම විනයට එකඟ යැයි කී පමණකින් නොපිළිගත යුතුය. ප්‍රතික්ෂේප ද නොකළ යුතුය. මුල මැද අග යහපත් දහම විමසුම්ශීලි බවින් දැන දැක තමන් විසින් ම පසක් කිරීමට බුදු දහමින් උගන්වන ලදී.

එම සමාජය තුළ ක්ෂුද්‍රයෝ ද,පංචමයෝද, කාන්තාවෝද මූලික මිනිස් අයිතීන් පවා නොලදහ. ඔවුනට රුචි රැකියාවක් කිරීමේ ආර්ථික අයිති වාසිකම ද රිසි සේ ආගම ඇදහීමේ සාමයික අයිතිවාසිකමද නීතියේ රැකවරණය ලැබීමේ අධිකරණ අයිතිවාසිකම ද, ශිල්පශාස්ත්‍ර ඉගෙනීමේ අධ්‍යාපන අයිතිවාසිකම ද සමාජයේ සමතැන ලබා ක්‍රියා කිරීමේ සාමාජික සංස්කෘතික අයිතිවාසිකම ද අහිමි කර තිබුණි. ධනවත් වංශවත් කුලවල පාරම්පරික වහල් මෙහෙකරුවන් වු පහත් යැයි සම්මත කුලවල මිනිස්සු බොහෝ විට උඩුකය ඇඳුමක් ඇඳීමට පවා වරම් නොලැබුවේය. ජටාව, ගෝත්‍රය, කුලය, උපත අනුව මිනිසුන් උස් පහත් යැයි උගන්වන ලදී.

සමානාත්මතාවයට මඟ පෙන්වීම

මෙම විෂම අසහනකාරි සමාජ ක්‍රමය බිඳ දමමින් මිනිස් අයිතිවාසිකම් ද මිනිස් නිදහස ද අගය කරන යුග ප්‍රවර්තක චින්තකයකුගේ පහළවීම ක්‍රි.පූ. හයවැනි සියවස වන විට භාරතීය සමාජ පරිසරයේ අවශ්‍යතාවයක් ව තිබුණි. බුදු උපතින් සැබවින් ම එය ඉටු විය. සතර කුලය ම සමාන යැයි වදාළ බුදුහිමියෝ සියලු කුලවල සියල්ලන්ට සමාන අයිතිවාසිකම් හා යුතුකම් ද හිමිවිය යුතු යැයි නොපැකිලිව, නොබිය ව, පැහැදිලි ව ප්‍රකාශ කළහ. බමුණු මතය අනුව ගොඩනැගුණු කුලවාදය අවිචාරවත් නිසරු ප්‍රලාප මාත්‍රයක් බව ලොවට හෙළි දක්වනු පිණිස බුදුරදුන් විසින් විවිධ කරුණු ගෙනහැර දක්වන ලදී. ජීව ලෝකයේ තිරිසනුන් ද, වෘක්ෂලතාවන් ද කුලවශයෙන් බෙදිය හැකිය.

එහෙත් මිනිසුන් එසේ බෙදිය නොහැකි යැයි වාසෙට්ඨ සූත්‍රයේ ජීව විද්‍යාත්මක සාධක ගෙන එයි. මිනිසුන් ජාතිය උපත ගෝත්‍රය අනුව වසලයන් හෝ බමුණන් නොවේ. ක්‍රියාව අනුව ම මිනිසා උසස් පහත්වේයැයි උගන්වන වසල සූත්‍රය ආචාර විද්‍යාත්මක කරුණු ගෙන එයි. සතර කුලය දේව නිර්මාණයක් නොවේ. එය සමාජයේ ඓතිහාසික පරිණාමය තුළ ආර්ථික දේශපාලන සාධක මත සකස් වූ සමාජ සංවිධානය කැයි දක්වන අග්ගඤ්ඤ සූත්‍රය සමාජ විද්‍යාත්මක කරුණු ගෙන එයි. මෙසේ එක් අතකින් කුලවාදී අසාධාරණ විෂම සමාජ ක්‍රමය විචාරයට ලක් කළ බුදුරජාණන් වහන්සේ අතින් සමානාත්මතාව ගරු කළ නිදහස් සමාජ සංවිධානයකට අවශ්‍ය මග පෙන් වූහ. වෛදික අදහස් අනුව සකස් වූ එකළ සමාජය කෙමෙන් පෙරලෙනු වෙනස්වනු දුටු එකල බමුණෝ නොසන්සුන් වූහ. එහෙත් සියල්ල අනිත්‍යය. පෙරැලෙන සුළුය. අතීත උරුමයන් එලෙසම පැවතිය යුත්තේ ඒවා අර්ථවත් වන කල්හි පමණි. හානිකර සාම්ප්‍රදායිකත්වය පිටු දැකිය යුතු යැයි බුදුදහම නිරතුරු පෙන්වා දෙයි. බමුණන්ගේ වර්ණ ධර්ම හා හා ආශ්‍රම ධර්ම ද මත ගොඩ නැගී ආර්ථික දේශපාලන ආගමික සංස්කෘතික ක්‍රියාවලිය බුදු දහමින් නිබඳව විවේචනය විය.උන්වහන්සේ අර්ථවත් සමාජ විපර්යාසයක් සැබැවින්ම අපේක්ෂා කළහ. එය යුගයේ අවශ්‍යතාවයකි.