Print this Article


සමාජය ගොඩනංවා ගැනීම අසීරු නැහැ

සමාජය ගොඩනංවා ගැනීම අසීරු නැහැ

සමාජයේ සාරධර්ම පිරිහෙන්නේ සමාජය විසින්ම ගොඩ නගා ගනු ලබන පටු ආකල්ප නිසා බවත්, ඒ ආකල්ප වලින් දුරුවීමට මිනිසාට නොහැකි වී ඇත්තේ ඔවුන් විසින්ම සකස් කරගනු ලබන න්‍යාය පත්‍රයන් නිසා බව පැහැදිලිවම පෙනේ. වැවයි, දාගැබයි, ගමයි , පන්සලයි න්‍යායය අපෙන් ඈත්ව ගොසින් ඇති බව ඉතා පැහැදිලිය. වර්තමානයේ අප ප්‍රසිද්ධියේ කතා නොකළද ඇති හැකි අය විහාරස්ථානයට නොපැමිණෙන බවක් පෙන්නුම් කෙරේ.

විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් ගිහියාට අවවාද අනුශාසනා කරන ලදී. ගිහියා විසින්ද ඒ අනුශාසනා අනුව තම දිවි මඟ සකස් කරගත් නිසා සමාජයේ අර්බුද අවම විය. අයහපත් ක්‍රියා සමාජයෙන් දුරු විය.

නිරන්තරයෙන් පන්සල ඇසුරු කරගත් හෙළයා පසළොස්වක පොහෝ දිනටවත් ඇතැම්විට පන්සලට නොයන්නකු බවට පත්ව ඇත. ප්‍රශ්න විසදා ගැනීමට තිබූ විහාරස්ථානය දායකයාගෙන් ඈත්විය. ගැටලු වැඩි විය. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට තිබූ ස්ථානය ක්‍රමයෙන් ගිලිහෙන්නට විය.

මේ නිසා අතීතයේ තිබූ ගමේ එකමුතුභාවය නැති වන්නට විය. විහාරස්ථානය මූලික වී සිදු කළ සියලු කටයුතු පසෙකට වන්නට වූ අතර එක් එක් පුද්ගලයන්ට හුදකලා ක්‍රමවේදයන් බිහිවන්නට විය. අපට අහිමි වී ගිය මේ සංහිඳියාව යළි ගොඩ නගන්නට අවශ්‍ය වී ඇත. විශේෂයෙන්ම ගමයි පනසලයි පාසලයි පොලිසියයි යන සංකල්පය බිහි කළ යුතුව තිබේ. මේ ආයතන හතරින් යුක්ත වූ ශක්තිමත් සමාජයක් ගොඩ නඟා එමගින් ගම් මට්ටමින් රටේ දියුණුව ඇති කළ යුතුවනවා. එය අපහසු හෝ කිසිදු වියදමක් යන කර්යයක් හෝ නෙමෙයි.

උදාහරණයක් වශයෙන් මේ ආයතන හතරේ මෙහෙය වීමෙන් ශ්‍රමදානයක් සිදු කරන්න පුළුවන්. අද මහා පිළිලයක් බවට පත්ව ඇති ඩෙංගු වසංගතයට එය ඉතා හොඳ පිළියමක්. අප හොඳින් මතක තබා ගත යුතු කාරණයක් තමයි ධර්ම දානය වගේම මහත් ඵල ආනිශංස ගෙන දීමට ශ්‍රමදානයත් සමත් වන බව, ඊට දායක වන්න හැමෝටම පුළුවන්.

ඊට අමතරව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට හැකියාව තිබෙනවා. තම ප්‍රදේශයේ දුරාචාර වැඩිවනවා නම් පොලිස් ස්ථානාධිපතිතුමා හමු වී ඒ සම්බන්ධව දැනුවත් කර රාජකාරි මට්ටමින් බැහැරව හෝ ඒ සඳහා අවශ්‍ය උදව් උපකාර ලබා ගැනීමට එමෙන්ම විදුහල්පතිවරයා සම්බන්ධ කරගෙන ප්‍රදේශයේ අවශ්‍ය අනෙකුත් අධ්‍යාපනික මෙන්ම පොදු කටයුතුවලදී මූලිකත්වය ගන්න පුළුවන්. හුදකලා වී ඇති පන්සලට යම් ජීවයක් ලබා දී සමාජ මෙහෙවරකට දායකකර ගැනීමට අප අවස්ථාවක් ඇති කර ගත යුතු වනවා.

අප මේ තත්ත්වයන් විවෘතව කතා නොකළහොත් අප තවත් පසුගාමී බෞද්ධයන් බවට පත්වෙනවා. අද විහාරස්ථානයට දානය ගෙනා විට බුද්ධ පූජාව තැබීමට දායකයන්ට උදවු උපකාර කිරීමට භික්ෂූන් වහන්සේ නොපැමිණෙන විහාරස්ථාන පවා තිබෙනවා. මේවා සම්බන්ධව හෙළි කිරීම බෞද්ධයන්ට නුසුදුසුයි යනුවෙන් සිතා අප ඒ සම්බන්ධව කතා කරන්නේ නැහැ. මෙහි වරද භික්ෂූන් වහන්සේගේ පමණක් නොවෙයි. මුලදී පැවසුවාක් මෙන් පන්සල හුදකලා වෙලා. එම නිසා පන්සල යළිත් ක්‍රියාකාරි ස්ථානයක් බවට පත් කළ යුතුවෙනවා. ගුණගරුක ස්වාමින් වහන්සේ නමකගේ ඉල්ලීම් අහක දමන්න අපේ සමාජය තවමත් සූදානම් නැහැ.

මීට හොඳම උදාහරණයක් ලබා දෙන්න පුළුවන්. මගේ ගුරු හාමුදුරුවන්ට මහා ලොකු අධ්‍යාපන සුදුසුකම් නැහැ. නමේ මුලට කිසිම තනතුරු නාමත් නැහැ. නමුත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගමේ සියලු දෙනාම උන්වහන්සේගේ කීමට පිටින් යන්නේ නැහැ. ගමේ සියලු පොදු දේ උන්වහන්සේ සොයා බලා කටයුතු කළා. ගමේ කුඹුරු අස්වද්දන අවස්ථාවන්ට උන්වහන්සේ වැඩම කර ඒ දෙස බලා සිටියා. මේ බව දකින ගම්වාසීන් අනිවාර්යයෙන්ම ඒ කුඹුරුවල වැඩට උදවු උපකාර කිරීමට පැමිණියා. විහාරස්ථානයේ චෛත්‍යයේ කොත පැලඳවීමේ උත්සවයට මුළු ගම්මානයම පැමිණියා. ඒ උන් වහන්සේට ඇති ගෞරවය නිසයි.

අපේ රටේ තිබුණු මසකට වරක් දෙවරක් විහාරස්ථානයට පැමිණ හමු වූ අවස්ථාව ගිලිහී යාම ගැන ගිහි පැවිදි සමාජයන්ම වගකිව යුතුවනවා. ජාතක කතා නාට්‍යය ආදිය නරඹන්න විහාරස්ථානයට පැමිණි ජනතාවට ඒ කටයුතු එපාවීමට එතැනට අලුතින් එක් වූ සම්මාදම් ක්‍රමවේදයත් හේතු වුණා.

අපට යළිත් බෞද්ධ සමාජයක් ගොඩ නඟා ගන්න අසීරු නැහැ. මේ සඳහා සමාජයෙන්ම උදාහරණ තිබෙනවා. පොළොන්නරුව ප්‍රදේශයේ එක් එක් පුද්ගලයන් විසින් නිවාස 25 ක් බැගින් බාරගෙන “අපි” නමින් බෞද්ධ සංවිධානයක් ගොඩනගා තිබෙනවා. මේ සංවිධානය විසින් සිදු කරන්නෙ මසකට එක් දිනක් එක නිවසකට ගොස් නිසි පරිදි බුද්ධ වන්දනාව සුදුවතින් සැරසී සිදු කිරීම පමණයි. මේ කාර්යය කාටවත් හිරිහැරයක් හෝ මහා විශාල කාලවේලාවක් වෙන් කරගෙන සිදු කළ යුත්තක් හෝ නොවේ. වසරකට වරක් රටේ ධර්ම කථික භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා ප්‍රදේශයේ ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ ධර්ම දේශනයට පැමිණෙන සියලුම දෙනා සුදුවතින් සැරසී පැමිණෙන්නේ. බැලූ බැලූ අතින් පෙනෙන්නේ සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසුණු අය පමණයි. එකම පවුලේ තුන් හතර දෙනෙක් අරඹන ලද මේ ක්‍රියා පටිපාටිය අද ඒ ප්‍රදේශයේ ගම්මාන රැසක් පුරා ගිහින්.

මේ ආකාරයේ වැඩසටහනක් බොදු දන පුබුදුව නමින් අප ආරම්භකර තිබුණා. නමුත් අධික කාර්යයන් නිසා එය යම් මට්ටමකට අඩපණ වුවත් ක්‍රියාත්මක සියලු සංවිධාන හොදින් ක්‍රියා කරගෙන යනවා. කිරිබත්ගොඩ ආශි‍්‍රත ප්‍රදේශ රැසක මෙය ආරම්භ කළා. එහිදී එක් නිවසකට බුදු පිළිම වහන්සේ නමක් වැඩම කරවා සියලු පුද පුජාවන් නිවැරැදිව සිදු කළා. එය ගම් මට්ටමෙන් දියුණු වූවා. මේ සඳහා තවමත් ඉල්ලීම් තිබෙනවා.

අපේ සමාජය ගොඩ නගා ගත නොහැකි සමාජයක් නෙමෙයි. ගොඩ නඟා ගැනීමට එක්වීමයි කළ යුත්තේ. ඒ සඳහා පෙර කීවාක් මෙන් රජදරුවන්ගේ කාලයේදී මෙන් වර්තමානයට ගැළපෙන අයුරින් ගමයි පන්සලයි පාසලයි පොලිසියයි එක් කිරීම වහාම කළ යුතු වනවා. එහිදී විහාරස්ථානය මූලිකව කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා. සමාජ අර්බුද රැසකට එයින් විසැඳුම් ලබා ගැනීමට පුළුවන්.