Print this Article


ආර්ය ශ්‍රාවකයාට හිමිවන පිළිසරණ

ආර්ය ශ්‍රාවකයාට හිමිවන පිළිසරණ

සමාන ලුණු කැට දෙකකට එකලුණු කැටයක් වතුර වීදුරුවකට වැටෙනව. අනෙක් ලුණු කැටේ ගංඟාවකට වැටෙනවා. මොකද වෙන්නේ. ලුණු කැට දෙක සමාන වූවාට ඒ දෙකේ ප්‍රතිඵලේ සමාන වෙන්නේ නැහැ. වතුර වීදුරුව ලුණු රහ වෙයි. හැබැයි ගංඟාව ලුණු රහ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා

ආර්ය ශ්‍රාවකයා ගංඟාව වගේ. පෘතග්ජනයා වතුර වීදුරුව වගේ. ඔහුගේ මනස පටුයි. ඒ නිසා පුංචි අකුසලයක් ලොකුවට බලපානවා. ආර්ය ශ්‍රාවකයා ගංඟාවක් වගේ. මනස පුුළුල් වෙලා. ඔහු ලෝකය දෙස පුළුල් ඇහැකින් බලනවා. ඔහුට අර අකුසලයම සිදු වුණත් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ කියා වදාළා

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අපට සතර අපායෙන් නිදහස් වන ආකාරය පෙන්වා වදාළා. උන්වහන්සේ වදාළ ආකාරයට ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ සියලු දෙනා මේ දුක් විඳින සසරින් එතෙර වුණා. ඒ ධර්මය අනුගමනය නොකළ පිරිස සසරේ ගමන් කළා. එසේ වූ ආර්ය ශ්‍රාවකයා හා පෘතග්ජනයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි ලෙස වදාළා.

අපට බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් ලැබුණ කලෙක ලෝකයේ ඉන්න මිනිස්සුන්, දෙවියන්, බ්‍රහ්මයන් වර්ග දෙකට වෙන් වෙන්ව දකින්න ලැබෙනවා. එක් කොටසක් අශ්‍රැතවත් පෘතග්ජනයා. අනෙක් කොටස ආර්ය ශ්‍රාවකයා.

මේ අශ්‍රැතවත් පෘතග්ජනයාත්, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තිබෙන කලෙක උපත ලබනවා අශ්‍රැතවත් පෘතග්ජනයෙක් ලෙස. ඒ නිසා පොඩි දෙයක් වූ ගමන් අප කියනවා අප ඉතින් පෘගත්ජනයිනේ. එහි සිංහල තේරුම පුහුදුන්. පුහුදුන් නිසා මේ වගේ වැරැදි අප අතින් සිදුවෙනවා කියා.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උපන්න ශ්‍රාවකයා. අප දැන් ඉන්න තැනින් යා යුතු තැනක් තිබෙනවා. ඉන්න තැන කොතැනද? අර අශ්‍රැතවත් පෘතග්ජන කියපු තැන. ඉන්න තැන කොතැනද? අර අශ්‍රැතවත් පෘතග්ජන කියපු තැන. යායුතු තැන කොතැනද, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකය කියන තැන. අද ඔබට මා කියා දෙන්නේ අශ්‍රැතවත් පෘතග්ජනයෙක් නොවී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට තිබෙන රැකවරණය පිළිබඳවයි.

පැවිද්දන් ලෙස අපත්, ගිහියන් ලෙස ඔබත් කළයුතු දෙයක් තිබෙනවා. අප පෘතග්ජනයි, පෘතග්ජනයි කියා ඉන්නවානම් අපේ ජීවිතයෙන් ගෞතම බුදු සසුන තුළ කිසිම ප්‍රතිඵලයක් නො ගත්තා වෙනවා. එනිසා අප මේ ‘පෘතග්ජනයි’ කියන වචනයෙහි භයානකකම දන්නවානම් අප එක මොහොතක්වත් පෘතග්ජන බව තුළ රැඳෙන්න කැමැති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෘතග්ජනයා ගැන වදාළේ ඕන මොහොතක මියගිය ගමන් නිරයේ උපදින ස්වභාවයෙන් යුක්තයි. තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, උපදින ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඔහුට විශාල අනතුරක් තිබෙනවා. නමුත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට එහෙම නැහැ. අප කතා කරනවා අවසාන මොහොතේ චුති සිතට අනුව තමා උපදින්නේ කියා. ඔය අවසාන මොහොතේ සිතට අනුව උපදිනව කියන එක පෘතග්ජනයට පමණක් සීමා වූ එකක්. ආර්ය ශ්‍රාවකයට ඒක බලපාන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ “සෝතානුදත” කියන සූත්‍රයේදී පෙන්වා වදාළා යම්කිසි ශ්‍රාවකයෙක් ‘සුතා’ ධර්මයෙන් අහනවා, ‘ධතා’ ඒක දරා ගන්නවා. ‘වචසාපරිචිතා’ වචනයෙන් පුරුදු කරමින් ‘මනසානුපෙක්ඛිතා’ මනසින් විමසමින් ‘දිට්ඨියාසෝපටිවිද්දා’ ඔහු ඒ ධර්මය තුළ පැහැදිලි නිරවුල් අවබෝධයකට එනවා. ඔහු ධර්මයේ හැසිරීමක් සිදු වෙනවාද නැද්ද? සිද්ධ වෙනවා. උන්වහන්සේ වදාළා ඔහු රාග සහිත සිතකින් මැරුණොත්, ද්වේශ සහිත සිතකින් මෝහ සහිත සිතකින් මැරුණොත් අනිවාර්යයෙන්ම උපදිනවා කිව්වා දිව්‍ය නිකායක. ඒවගේම උන්වහන්සේ ඒ දේශනාවේදී පැහැදිලිව වදාළා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මියගියොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියා. පෘතග්ජනයාට ඒක එහෙම වෙන්නේ නැහැ. පෘතග්ජනයා අනිවාර්යෙන්ම මරාණාසන්න මොහොත් ඒ සිතට අනුව උපදිනව. ඒ බව ‘ආදිත්‍ය පරියාය’ සූත්‍රයේ තිබෙනවා. ඒ සූත්‍රයේදී පෙන්වා වදාළා රාගය තුළ ඉන්න මොහොතක මැරැණොත් ද්වේශය, මෝහය තුළ ඉන්න මොහොතක මැරුණොත් කෙළින්ම නිරයේ උපදිනවා කියා. මේ කාරණය ඔබට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක් කියන්නම්.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයයි, අශ්‍රැතවත් පෘතග්ජනයයි දෙන්නම එක සමාන අකුසලයක් කරනවා. දෙදෙනාගේ අකුසලය එක සමානයි. අප සිතමු දෙදෙනාටම කෙන්ති ගියා කියා. සෝවාන් වූ ශ්‍රාවකයාටත් පටිඝ සංයෝජනය තිබෙන නිසා කේන්ති යනවා. සෝවාන් වූ ශ්‍රාවකයාට වගේම සකෘදාගාමි වූ ශ්‍රාවකයාටත් යම් යම් කාම අරමුණු කෙරෙහි ගැටීම් ඇතිවෙන්න පුළුවන්. අප හිතමු සකෘදාකාමි වූ ශ්‍රාවකයෙකුට මෙතැන හොඳ සුවපහසු ආසනයක් හා පහසු ආසනයක් තිබෙනවා කියා. මේ දෙකේ සුවපහසු ආසනයට ඇල්මක් තිබුණොත් අපහසු ආසනය කෙරෙහි ගැටීමක් හිතෙන් ගොඩ නැගෙන්නේ නැද්ද? ගොඩ නැගෙනව. එවිට වාඩිවෙන්න පි‍්‍රය කරන්නේ සුවපහසු ආසනයේ. ඒ සුවපහසු ආසනයට ප්‍රිය කරන මෙහොත. අර අපහසු ආසනයට එන ගැටීම වගේ සියුම් ගැටීම් සකෘදාකාමි ශ්‍රාවකයා තුළ හටගන්න පුළුවන්. නමුත් ඔහු සිහියෙන් දැනගත්තු ගමන් ඒක දුරු කරනවා. එවිට මේ තරහ යන එක සෝවාන්, සකෘදාගාමි වගේ ශ්‍රාවකයෙකුටත් තියෙනවා කියා කියන නිසා අප එය පැහැදිලි කර ගනිමු. සෝවාන් ශ්‍රාවකයකුට මේ සිහිය පොඩ්ඩක් පිට ගිය ගමන් තරහ ගියා කියලා. පෘතග්ජනයෙකුටත් ඒ සමානව තරහ ගියා කියා. ඒ් දෙන්න තුළම එකම අකුසලයක්ද, නැද්ද හටගන්නෙ? එකම අකුසලයක්. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ දෙක උපමා කළොත් සමාන ලුණු කැට දෙකකට. එක ලුණු කැටයක් වතුර වීදුරුවකට වැටෙනව. අනෙක් ලුණු කැටේ ගංඟාවකට වැටෙනවා. මොකද වෙන්නේ. ලුණු කැට දෙක සමාන වූවාට ඒ දෙකේ ප්‍රතිඵලය සමාන වෙන්නේ නැහැ. වතුර වීදුරුව ලුණු රහ වෙයි. හැබැයි ගංඟාව ලුණු රහ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා ආර්ය ශ්‍රාවකයා ගංඟාව වගේ. පෘතග්ජනයා වතුර වීදුරුව වගේ. ඔහුගේ මනස පටුයි. ඒ නිසා පුංචි අකුසලයක් ලොකුවට බලපානවා. ආර්ය ශ්‍රාවකයා ගංඟාවක් වගේ. මනස පුුළුල් වෙලා. ඔහු ලෝකය දෙස පුළුල් ඇහැකින් බලනවා. ඔහුට අර අකුසලයම සිදු වුණත් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ කියා වදාළා. අප දන්නවා ගණිකාවො හොරු, මංකොල්ලකාරයෝ, මිනීමරුවො බුදුරජාණන් වහන්සේ ළඟ ඇවිත් මහණවෙලා නිවන අවබෝධ කළා. සිරිමා ගණිකාව අවුරුදු ගණනාවක් ඒ වෘත්තිය කරගෙන ගියා. නමුත් සෝතාපන්න වුණා. මරණින් පස්සේ ඉපදුනේ සුගතියේ. ආර්ය ශ්‍රාවකත්වය ලැබුණ නිසා සෝතාපන්න වූ ගමන් ‘චතූපමුත්තෝ’ සතර අපාය සම්පූර්ණයෙන්ම ක්ෂය වුණා. එහෙනම් ඇයට සතර අපායවල ඉපදෙන්න කර්ම කරගත්තත් ඒ කර්මවල විපාක ලැබෙන්නේ නැහැ. ඇයි ගඟක් වූ නිසා. අර ලුණුකැට ටික ලොකුවට බලපෑවේ නැති නිසා. එහෙනම් අපට පේනවා මරණාසන්න මොහොතේ අපේ ජීවිතය පිළිසරණකට තියා ගන්න ඕන. අප එක එක දේ රක්ෂණය කරනවා. ජීවිතයක් රක්ෂණය කරනවනේ. ඔය ජීවිතය රක්ෂණය කළා කියලා කවදාවත් අපට සුගතිය සඳහා රක්ෂණයක් ලැබෙන්නේ නැහැ. මැරුණ ගමන් ඔබට සුගති රක්ෂණයක් දෙනව කියා කවුරුවත් කියන්නේ නැහැ. එහෙමනම් ඒවා මුදලට ගන්න බැහැ. නමුත් බුද්ධ ශාසනයේ තිබෙනවා සුගති රක්ෂණයක්. ඒ සුගති රක්ෂණය ලැබෙන්නනම් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නම ඕන.

අපට සමහර අය කියනවා මරණාසන්න මොහොතේ චුති සිත හදාගන්න පින්පොත් ලියනව කියා. මේ පින් පොතේ ප්‍රධානම අරමුණ හැටියට තිබෙන්නේ මැරෙන වෙලාවේ තමන් කියපු, කරපු සියල්ල පින් ටික කියවාගන්න. එසේ කියවා ගත්තාට සුගතියේ ඉපදෙන්න බැහැ. නමුත් ඔබ පින් පොත. නිතර නිතර කියමින් සිහි කරනවානම්, අර පින නැවත නැවත සිහි වෙලා පින වර්ධනයක් වෙනවා. ඒ සඳහා පින්පොත හොඳයි. නැතිනම් මරණාසන්න මොහොතට පිහිටක් එයින් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපට පේනවා මරණාසන්න මොහොතේ රාග සහිත සිතකින් මැරුණත් සුගතියේ උපදින්නනම් කළයුතු එකම දෙය ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන එක. මේ ජීවිතයේදී මගඵල ලැබීමට තිබෙන එකම ක්‍රමය ශ්‍රැතවත් ශ්‍රාවකයෙක් වීමයි. එය කළහැකි වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළම පමණයි.

*ලබන සතියේ සිට පංචඋපාධානස්කන්ධය පිළිබඳව සරළව දැනගත හැකි ලිපිමාලාවක් පළ කරන්නෙමු.

නයනා නිල්මිණි