Print this Article


ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ ඇසළ පොහොය

ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස් පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.ඒ අනුව ඇසළ පොහෝදා සිදු වූ සදාඅනුස්මරණීය සිදුවීම මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍රය පැවැත්වීමයි.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් රැසකට මුල් වූ ඓතිහාසික වූත්, පූජනීය වූත් දිනයක් ලෙස පෙන්වා දිය හැකිය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම මේ අතර ප්‍රධානත්වය ගනී.

තවද වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහාබෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසිනව වන වියේදී සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරදුන් ප්‍රමුඛ පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ඉපදීම ,ගණ්ඩබ්බ රුක් මුල්හිදී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදුකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම් ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට බලපාන කරුණු අතර ප්‍රමුඛත්වය ගනියි.

ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේදී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අට සැට ලෙන් පූජාව, මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමුවරට ලක්දිව වස් එළඹීම.දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම, එම මහාසෑයෙහි ධාතු නිධානෝත්සවය සිදු කිරීමද, දළදා වහන්සේ ලක්දිවට වැඩමකරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යන කරුණු ඇසළ පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් වෙයි.

බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග මහණුන් අරභයා බුදුරදුන් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම ඇසළ පොහෝදා වූ මෙම සෑම සිදුවීමක් අතරම වඩාත් ප්‍රමුඛත්වය ගනියි. එම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග මහණුන් අරභයා මෙසේ දේශනා කළහ.

ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනොගම්මො පොථුජ්ජනිකො අනරියො අනන්ථ සංහිතො යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතා, එතෙ තෙ, භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති

මෙහි සිංහල අර්ථය මෙසේය

මහණෙනි පැවිද්දෙකු විසින් අත්හල යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද, එසේම දුක් උපදන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදුකරන්නාවූ යම් අත්තකිලමථානුයෝගයක් ඇද්ද, මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරෙයි. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සන්සිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිවන පිණිස හේතු වන්නේය.

සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහ කොට ඇත. දුක, දුක ඇතිවීම, දුක නැතිකිරීම් හා දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මෙම අංග සතර බෙදා වෙන්කොට තිබේ. මෙහි දුක නැති කිරීමේ මාර්ගය නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැරකර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානු යෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි. මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස් පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.ඒ අනුව ඇසළ පොහෝදා සිදු වූ සදාඅනුස්මරණීය සිදුවීම මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍රය පැවැත්වීමයි.

ඇසළ පොහොය හා සම්බන්ධව මහනුවර ඇසළ මහා පෙරහර ඇතුළුව ප්‍රකට සිද්ධස්ථාන ගණනාවකම පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් රාශියකම පවතියි. විජය රජු ගෙන් පසුව ලංකාවේ ඇරැඹි ඇසළ උත්සවය 1 වෙනි ගජබා රජුගේ කාලයේදී (ක්‍රි.ව. 112-134) ඇසළ පෙරහර බවට පත්විණි. කප් සිටුවීමෙන් ඇරඹෙන ඇසළ උත්සවය නිමාවට පත්වන්නේ දිය කැපීමෙනි. මේ අනුව මෙය වර්ෂාව ලබාගැනීම සඳහා අතීතයේ පැවැත් වූ උත්සවයකින් ආරම්භ වු බව පෙනේ. කෙසේ වුවද පුරාතනයේ පටන් පැවතෙන අනේකවිධ වූ සිද්ධීන් හා චාරිත්‍රවිධි සිහිකිරීම සඳහා මෙම ඇසළ උත්සවය යොදාගත් බවට සාධක ඇත. දළදා වහන්සේ මෙම උත්සවයට සම්බන්ධ කිරීම එයට ප්‍රධාන සාධකයෙකි. දළදා වහන්සේ ඇසළ උත්සවය හා සම්බන්ධ කරගත් පසුව එය “දළදා පෙරහර හා ,දළදා උත්සවය යන නම් දෙකින්ම ව්‍යවහාර කෙරිණි.

ඓතිහාසික වූත්, පූජනීය වූත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ආමිෂ පූජාවන්ට මෙන්ම වෙසෙසින් ප්‍රතිපත්ති පූජාවන්ට ද මුල්තැන දෙමින් අර්ථවත්ව සැමරීම කෙරෙහි සැදැහැවත් සියලු දෙනාම වඩාත් උත්සුක විය යුත්තාහුය.